විශ්‍රාම වැටුපකින් සඟරාවක් මුද්‍රණය කරන ලොව මුල්ම මිනිසා ඉන්නේ දොඹගොඩ

මුදල් ඇමැති රොනී ද මැල්ගෙන් රාජ්‍ය බැංකුවක අනුග්‍රහය

මුද්‍රණ වාරණ තිබුණත් 88-89 භීෂණ කාලෙත් සඟරාව බෙදා හැරලා

8 ශ්‍රේණියේ කොලුගැටයෙක්ගෙන් 2500 සම්බුද්ධ ජයන්තියට කවි සඟරාවක්

ලාංකේය ලේඛන ඉතිහාසයේ පුවත්පත් සඟරා ආදියෙහි ආරම්භය හා විකාශනය පිළිබඳ විග්‍රහ කිරීමේදී ඉංග්‍රීසි පාලන සමයෙන් ආරම්භ වී වර්තමානයතෙක් විහිදුණු සියවස් දෙකකටත් එපිට කාලපරාසයක් ඇත්තේය.

1802 ප්‍රථම වාරික ප්‍රකාශය ලෙස පළවූ ලංකාණ්ඩු ගැසට් පත්‍රයේ සිට ‘ද කලම්බු ජර්නර්ල්’ ප්‍රථම පුවත්පතින් පසු ‘ඔබ්සවර් ඇන්ඩ් කොමර්ෂල් ඇඩ්වටයිසර්’ පුවත්පත වැනි පුවත්පත් තුළින් ආගමික හා අධ්‍යාපන කරුණු පදනම් කරගනිමින් මිෂනාරි ක්‍රිස්තියානි දහම පැතිරීම වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලබාගෙන තිබූ බවක් දක්නට ඇත්තේය. එමෙන්ම 1812න් පසු මිෂනාරී සේවාවන් මගින් කෝට්ටේ, මහනුවර, යාපනය වැනි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මුද්‍රණාල පිහිටුවා සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණ කටයුතු සිදුකර අධ්‍යාපනික හා ආගමික වශයෙන් තොරතුරු පාඨකයාට ලැබී ඇති බව නොරහසකි.

අනතුරුව 1832දී ‘මාසික තෑග්ග’ නමින් සිංහල ප්‍රථම සඟරාව නිකුත් කර ඇති බවත් මුල්කාලීන එම සඟරා තුළ ක්‍රිස්තියානි ධර්මය ප්‍රචාරය කිරීම මූලික පරමාර්ථය වී ඇති බව පැරණි පොතපත හා අන්තර්ජාල ගවේෂණයේදී තහවුරුවන කරුණකි. ඒවායෙහි ප්‍රතිඵලයක් ලෙස බෞද්ධ මුද්‍රණාල ආරම්භ කරමින් නොයෙක් ආකාරයේ බෞද්ධ පත පොත, සඟරා ආදිය නිර්මාණය වෙමින් මෙරට බෞද්ධ සාහිත්‍ය මෙන්ම ආගම වෙනුවෙන් මූලිකත්වය දී කටයුතු කර ඇති බව සඳහන්වේ. සියවස් එකහමාරකට අධික කාලයක සිට හතු පිපෙන්නා මෙන් ආරම්භ කෙරුණු මෙම සඟරා වසර කිහිපයකින් නවතා දැමීම සුලබ කරුණක් විය.

එහෙත් 1956 වර්ෂයේදී දොඹගොඩ සීලරතන විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුංචි කොලුගැටයෙක් එවකට මෙරට 2500 වැනි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සදහම් මිහිර නමැති කාව්‍යමය සඟරාවක් ආරම්භ කරන්නේය. වෙසක් පොහොය නිමිත්තෙන් ආරම්භ කෙරුණු මෙම සඟරාව වර්තමානය වන විට වසර හැටහතක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඔහු සමත්ව ඇත්තේය.

වසර හැටහතක් ස්වේච්ඡාවෙන් වාණිජ බලාපොරොත්තු රහිතව හුදෙක් ජනීජනයාගේ යහපත පිණිස පවත්වාගෙනා ආ මෙම සඟරාවේ කර්තෘවරයා තවමත් ජවයෙන් යුතුව සිය කාර්යයෙහි නියැළෙන්නේය.

හෙතෙම සල්මන් ආරච්චිගේ ප්‍රේමසිරිය. පාසල් යන වීයේ සිටම කොබවක ප්‍රේමසිරි නමින් ප්‍රකට චරිතයක් වන ඔහු 1940 වර්ෂයේ බුලත්සිංහල, කොබවක ග්‍රාමයේ උපත ලැබන්නේය. දොඹගොඩ සීලරතන මහාවිද්‍යාලය, හොරණ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව සහ හොරණ විද්‍යාරත්නයෙන් අධ්‍යාපනය හදාරා ගුරු සේවයට එක්වීමෙන් පසු කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව දෙවසරක කාලයක පුහුණුවකින් පසු තම වෘත්තීය ජීවිතයට නව පන්නරයක් එක් කරගත් ඔහු අනතුරුව දිවයිනේ පාසල් රැසක සේවය කර ගොවින්න මහා විද්‍යාලයෙන් විදුහල්පතිවරයකු ලෙස විශ්‍රාම ලබන්නේ තම දිවියේ දශක හතරක ගුරු සේවය නිමාකරමින්ය.

ප්‍රේමසිරි කවියට පෙම් බඳින්නේ කුඩා කල පටන්මය. යහළු යෙහෙළියන්ගේ පොත පොතේ අන්තිම පිටුවල පැන්සලෙන් ඇඳෙන නොයෙක් රූප රටා වෙනුවට ප්‍රේමසිරිගේ පොත්වල තිබුණේ අලංකාර කවි පැබදුම්ය. යහළුවන් කෙළිදෙළෙන් දුවපැන සෙල්ලම් කරද්දි කුඩා ප්‍රේමසිරිට කවි ලිවීම විනෝදාශ්වාදයක් විය. ඒ ලියන, කවිය දෙක ගුරුවරුන්ට පෙන්වා පන්තිය ඉදිරියේ ගායනා කිරීම මගින් ඔහු මහා ආශ්වාදයක් ලැබුවේය.

ඔහුගේ කවි කලාවට එවක සිළුමිණ පුවත්පතින් නව පන්නරයක් ලැබිණි. එම පුවත්පතේ කවි සිතුමිණ, රන් සමනල්ලු වැනි නිර්මාණ සංග්‍රහයන් ඔහුගේ කවි මාවත එළිය කරන්නේය.

එකල පැවති ජනප්‍රිය පුවත්පත්, වාර සඟරා ආදිය රැසකට ඔහු සිය දායකත්වය දක්වා ඇත්තේය.

එකල දොඹගොට සීලරතන මහා විද්‍යාලයේ අට ශ්‍රෙණයේ ඉගෙනුම ලැබූ පුංචි ප්‍රේමසිරි තම ප්‍රථම කවි සඟරාව එළිදක්වන්නේ 1956 වසරේදීය.

“ඔය කියන කාලේ 2500 වැනි සම්බුද්ධ ජයන්තිය සමරන්න රටම පෙළගැහිලා රටේම පුදුම බෞද්ධ පිබිදිමක් තිබුණා. පාසල් මට්ටමින්, නොයෙක් නොයෙක් ආයතන මට්ටමින්, රාජ්‍ය මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධානය වෙලා තිබුණා. ඔය කාලේ මට හිතුණා ඒ වෙනුවෙන් කවි සඟරාවක් කරන්න. ඒ වෙලාවේ මම සම්බුදු තෙමඟුල පිළිබඳව කවි පන්ති අටක් ලිව්වා. ගුරුවරුන්ටත් පෙන්නුවා. එයාලා ගොඩක් සතුටු වුණා. ඒ කාලේ බුලත්සිංහල නගරෙයේ තිබුණු “නිව් සිටි’ අච්චුකන්තෝරුවේ තමයි මුද්‍රණය කළේ. ජාලිස් මාමා කියලා කෙනෙක් තමයි අච්චු ගැහුවේ.”

අවුරුදු හැටහතක් පුරා පළකරන කවි සඟරාවක් සදහම් මිහිර

ඔහු කවියට කොතරම් පෙම් බැඳ ඇත්දැයි යන්න අතීතය සිහිපත් කරන විට ඔහුගේ මුහුණෙහි පෙනෙන මඳහසින් පෙනෙන්නේය.

තම දිවියේ 84 වැනිවිය පසු කරමින්, තම දිවියේ සැඳෑසමය ගෙවමින් සිටින කොබවක කවියාගේ කවි සිත තවමත් තරුණ බව කියා පාන්නට ඕනෑ තරම් හේතු කාරණා ඇත්තේය.

මුද්‍රණයට රුපියල් 25කි

හැට හත් වසරක කාලයක් පුරා සඟරාවක් නොව කවි කොළයක් වුව පවත්වාගෙන යෑම අභියෝගයකි. එම අභියෝගය ජයගැනීම ගැනත් තම හැටහත් වසරක සඟරා අතීතය ගැනත් ඔහු සිහිපත් කරන්නේ ඉමහත් සතුටකිනි.

“ඒ කාලේ සඟරාව මුද්‍රණය කරන්න ගියෙ රුපියල් 25ක් විතර වගේ තමයි. මට මතක හැටියට තාත්තා තමයි සල්ලි දුන්නේ. ගෝවින්න ශ්‍රී සුදර්ශනාරාමයේ පූජ්‍ය නාරගල සුමනසිරි හාමුදුරුවෝ තමයි පිටකවරය ඇන්දෙ. මගේ මූලික පරමාර්ථය වුණේ සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් බෙදා හරින්න. දිගටම කරගෙන යන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒත් පළමුවැනි සඟරාවට මට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. ගුරුවරු, දෙමව්පියෝ, හිතවත්තු මාව දිරිමත් කළා. හැමෝම කිව්වේ ඊළඟ අවුරුද්දෙත් කරමු කියලා. ඒ ලැබුණු දිරිමත් කිරීම් එක්ක මම ඊළඟ අවුරුද්දෙත් කවි සඟරාවක් අච්චු ගැහුවා. ඒ ගමනත් තාත්තා සල්ලිවලින් උදවු කළා. ඒ කාලේ මම ලියපු බෞද්ධ කවි සම්බන්ධයෙන් ගමේ පන්සලේ වගේම අවට පන්සල්වල හාමුදුරුවන් වහන්සේලාගෙන් හොඳ ප්‍රතිචාර තිබුණා. ගොඩක් අගය කළා. ඔවුන්ගේ බලාපොරොත්තු වුණේ මම මේක දිගටම කරගෙන යයි කියන එක. ඒ වෙනකොට මට හිතලා තිබුණේ මේ සඟරාව හැම අවුරුද්දේම කරන්න ඕනේ කියලා. එහෙම තමයි මේ සඟරාවේ ආරම්භය සිද්ධ වුණේ. මේ ආපු ගමන් මඟ හරිම දුෂ්කරයි. වාණිජ පරමාර්ථයෙන් කරන සඟරාවක් වගේ නෙමෙයි.

මේ සඟරාව දිගටම කරගෙන යන්න නම් තවත් පිරිසකගේ සහාය සහිතව සංවිධානයක් බිහිවිය යුතුයි කියලා මට හිතුණා. ඒ අනුව මම 1960දී ඒ සංවිධානය ගොඩනඟන්න මුල්ම අත්තිවාරම දැම්මේ අපේ කොබවක ගෙදරදි. ඒ අනුව තමයි පස්යොදුන් රට සද්ධර්ම දාන සංගමය බිහිවුණේ. ඒ වෙලාවේ නාරගල සුමනසිරි හාමුදුරුවෝ පැවැති අනුශාසක ධුරයටත්, රොනි ද මැල් මහත්තයා ගිහි අනුශාසක ධුරයටත් පත් කරගත්තා. සභාපති වුණේ මම. ඒවගේම අනිත් තනතුරුවලටත් පත් කරගත්තේ කවියට ආදරය කරන මිනිස්සුන්වම තමයි.

ඒ වෙනකොට සදහම් මිහිර අපේ ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණේ. විශාල පාඨකයන් ප්‍රමාණයක් හිටියා. විශාල ප්‍රතිචාර ලැබුණා. එම පාඨකයන්ගේ ඉල්ලීමක් තිබුණා, කවියට පමණක් සීමා නොවී තවත් නිර්මාණ ඉදිරිපත් කරන්න. ඉන් පසු පාඨකයන්ගේ ඉල්ලීම් අනුව නිර්මාණකරණයට යොමු වුණා.”

එදා පටන් ගැනුණු එම “සදහම් මිහිර” අද වන විට පිටු අසූහතරකින් යුත් වර්ණ පිටුවලින් හැඩගැන්වුණු සඟරාවකි.

අවුරුදු හැටහතක් පුරා පළකරන කවි සඟරාවක් සදහම් මිහිර

එකල පටන්ම සඟරාවේ වැඩකටයුතු ආරම්භ කරන්නේ සෑම වර්ෂයකම පෙබරවාරි මාසයේදීය. සඟරාවට ගැදි පැදි දෙන්නට බලා සිටින උදවිය බොහෝය. ඔවුන් වසර ගණනාවක සිට සදහම් මිහිර වටා ගොනු වූ පිරිසකි. ඔවුන් අදාළ කාලවකවානුව වන විට සඟරා සම්පාදකගේ ලිපිනයට තමන් විසින් රචිත කවි පැබැදුම් තැපෑලෙන් ලැබීමට සලස්වනු ලබන්නේ ස්වේච්ඡාවෙනි.

ලැබෙන කවි හා ලිපි මුද්‍රණයට සුදුසු ආකාරයට සැකසෙන්නේ කොබවක කවියා අතිනි.

කර්තෘ වාක්‍ය කවියෙන්

ආරම්භයේ ඔහු තනිව මෙම කටයුතු සිදුකරගෙන ගියද විවාහයෙන් පසු පාඨශාලාචාරිනියක වන සුමනා පෝද්දිවෙල නම් සිය බිරිඳගෙන් ඔහුට නොමඳ සහායක් හිමිවන්නේය. සඟරාවේ සහායසම්පාදක වශයෙන් දශක තුනක් පමණ සේවය කළ ඇය, 2018 වසරේදී තම දිවිගමන නිමා කරන්නේ සදහම් මිහිරට ද සමුදෙමිනි.

“පස්වදින් රට ප්‍රධාන සංඝනායක ධුරය ඉසිලූ නාරගල සුමනසිරි හාමුදුරුවෝ ආරම්භයේ ඉඳන්ම මගේ කාර්යයන්ට පුදුම සහයෝගයක් දැක්වුවා. ඒ වගේ ම රොනි ද මැල් මහත්තය මුදල් ඇමැතිවෙලා ඉන්නකොට රාජ්‍ය බැංකුවලින් මුද්‍රණ අනුග්‍රහය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම හිතවතුන්, දානපතීන් දෙන දායකත්වවලින් තමයි මේ සඟරාව මුද්‍රණය කරන්නේ. කිසිම වාණිජ බලාපොරොත්තුවක් නෑ. ගොඩක් වෙලාවට සඟරා මුද්‍රණය කරන්න අවශ්‍ය සම්පූර්ණ මුදල ලැබෙන්නේ නැහැ. අතින් දාලා කරපු වාර අනන්තයි. විශ්‍රාම වැටුප තමයි දැන් වැය වෙන්නේ. ඔහු බොහෝ අය සිහිපත් කරන්නේ කෘතවේදීවය. කොතරම් අඩුපාඩු තිබුණත් ප්‍රේමසිරිව අධෛර්යවත් කරන්නට ඒ අඩුපාඩුවලට බැරිය.

ප්‍රේමසිරි කවියා හැමදාමත් කතෘ වාක්‍ය ලිව්වෙ කවියෙනි. නිරන්තරයෙන් එහි තේමාවක් විය.

“පස්දුම් රටේ කොබවක ගම පිපුණ මලින්,

පින්වන්තයින් කැටි කරගත් අයුරු පෙළින්

අවුරුදු හැටහතක් පුරා පළකරන කවි සඟරාවක් සදහම් මිහිර

වසරෙන් 56 සදහම් මිහිර තුළින්

සන්සුන් ගමන් ගයේ හරි මාවතක කෙළින්

බුදුහිමි උපත බුදු බව සහ පිරිනිවනේ සිදු වූ දිනය සමරන මේ වෙසඟ දිනේ

පැවතුම පරිදි පස් දුන්නට ජනිත පිනේ

සදහම් මිහිර මෙවරත් ඔබ අතට ගෙනේ”

මේ ඔහු තම පනස් හයවන කලාපය තුළ ලියූ කවි පබැදුමකි.

ගත වූ හැටහත් වසර පුරා සදහම් මිහිර සඟරාවට ගිහි – පැවිදි ආචාර්ය මහාචාර්යවරු ප්‍රමාණය අතිවිශාලය. සමාජයේ සෑම මට්ටමක්ම නියෝජනය වන පරිදි සියලු පාඨක ප්‍රජාවට ගැළපෙන කවි හා ලිපි එකතුවක් සදහම් මිහිර තුළ අන්තර්ගතවීම මෙම සඟරාවේ දිගුකාලීන පැවැත්මේ රහස බව පාඨකයන්ගේ අදහසයි.

නිරන්තරයෙන් සමාජය තුළ අසන්නට ලැබෙන විෂමාචාර ක්‍රියා, සදාචාර විරෝධී ක්‍රියාවන් දරුවන් මෙන්ම මුළු මහත් සමාජයම මුදා ගැනීම සඳහා සදහම් මිහිර සඟරාව මේ සමාජයට කරන මෙහෙය අපමණය.

අසූඅට – අසූනවය ගැන මෙන්ම බුලත්සිංහල ගංවතුර ගැන ද ඔහුට ඇත්තේ අපූරු මතකයන්ය. ඒ කිසිවකට සදහම් මිහිර නවතාලන්නට නොහැකි වී ඇත.

“මට මතක හැටියට අසූඅටේ වගේ භීෂණ යුගය. මම සඟරාවේ වැඩකටයුතු ඔක්කොම අහවර කරලා මුද්‍රණය කරන්න මුද්‍රණාලයට ගියා. එතකොට දන්නේ වාර සඟරා ආදියට මුද්‍රණය කරන්න වාරණයක් දාලා කියලා. එතකොට වෙසක් පෝයටත් දින කීපයයි. මුද්‍රණය කරන්න බෑ කියලා මුද්‍රණාධිපති කිව්වා. රටේ පවතින තත්ත්වෙත් එක්ක ප්‍රකාශන නිකුත් කරන්න රජයෙන් අවසරත් ගන්න ඕනේ කියල නීතියකුත් තිබුණා. මම අපේ හිටිය ලේකම් පටබැඳිගේ මහත්තයත් එක්ක පරණ සඟරා දෙකකුත් අරගෙන කොළඹ ගියා නිසි බලධාරීන් හමුවෙන්න. එතුමා සඟරා දෙක බලලා හරියට කනගාටු වුණා, මේ වැඩේට අපි කොළඹ ආපු එක ගැන. ඒ වෙලාවේ එතුමා කිව්වා මේ සඟරාවට අවසර ඕනේ නෑ මුද්‍රණය කරගන්න කියලා. එහෙම නොවුණා නම් අසූඅට අවුරුද්දේ සඟරාව නැති වෙනවා. සැඩ ගංවතුර කාලෙත් අපි ඔරු, පාරු, බෝට්ටුවල ගිහින් සඟරාව එළිදැක්වුවා. ඒවා ත්‍රාසජනක අත්දැකීම්.

තාමත් මම මේ සඟරාවේ පිටකවරේ සරසන්න චිත්‍ර ශිල්පියෙක් තමයි දායක කරගන්නේ. ඒ කාලේ ඉඳන් සඟරාවේ පිටකවරය සරසපු චිත්‍ර ශිල්පීන් ගොඩක් හිටියා. එයාල අද ජීවතුන් අතරත් නෑ. එයාල කවදාක්වත් මේ චිත්‍ර අඳින්න සත පහක්වත් අරගෙන නෑ. එයාලව ආදරයෙන් මතක් කරන්න වගේම පින් පමුණුවන්නත් මම කැමතියි.”

ප්‍රේමසිරි කවියා පවසන්නේ සොම්නස දොම්නස මුසු බැතිමත් හැඟීමෙනි.

අවසන්වරට සිය 67 වැනි කලාපයේ කතුවැකියේ ඔහු මෙසේ කවියෙන් ලියා තිබුණි.

දුක්කම්කටොලු බාධක සමූහයක් ගෙවා හැටහත් වාරයක් සදහම් මිහිර දෙවා,

මා ලැබු සතුට සිරි සරසවි වරම මවා,ඔබටත් නිවන් සුව පතනෙමි සසර නිවා.

පාසල් වියේ පටන් ජීවිතයේ සැඳෑ සමය දක්වා සුවහසක් ජනී ජනයාගේ යහපත පිණිස තම කාලය, ශ්‍රමය, කැප කළ කොබවක ප්‍රේමසිරිලා වැනි බෝසත් මිනිසුන් විරලය. සමාජය තුළ ඔවුන් කෙතරම් දුරට ඇගැයීමට ලක්වනවාදැයි අප නොදන්නා නමුත් හැටහත් වසරක් පුරා අඛණ්ඩ යුග මෙහෙවරක් ඉටුකළ කොබවක කවියානි, ‘දිවයින’ අපේ උපහාරය මෙසේ පුදකර සිටින්නෙමු.

නයනදුල සෙන්දනායක

advertistmentadvertistment
advertistmentadvertistment