අවුරුදු හීන දැක දැක තිබහට කඳුළු බොන උඩරට ගොවියාගේ ඇත්ත කතාව…

112

එහෙනං අපි මේ පාරත් අවුරුදු කාලා හමාරයි…

නුවරඑළිය කියලා කියන්නේ පුංචි එංගලන්තය. සංචාරකයන්ගේ පාරාදීසය. උඩරට එළවළු ගොවියගෙ රජදහන… එහෙමනෙ අපි දන්නේ…

ඒත් කලක පටන් මේ කියන හැම හැඳින්වීමක්ම අභියෝගයට ලක්වෙලා. සංචාරකයන්ගේ පැමිණීම ගැන කතා කරලා වැඩක්ම නෑ. එතකොට එළවළු ගොවියෝ…

එළවළු ගොවියෝත් දැන් අවුරුදු කීපයක් තිස්සේ විඳින දුක් කරදරවල ඉවරයක් නැති නිසා ගොවිතැන දමල යන තත්ත්වයට පත්වෙලා.

ඒත් ඉතින් දෙයියනේ කොහේ කියලා යන්නද…? දන්නා දෑතෙ කර්මාන්තය වන ගොයිතැන අතහැරලා වෙන මොනවා කියලා කරන්නද… උඩරට එළවළු ගොවියෝ මේ දවස්වල ඔවුන්ට තියෙන ප‍්‍රශ්න නිසා විසඳුම් සොයාගත නොහැකිව අන්දමන්ද වෙලා…

අවුරුදු හීන දැක දැක තිබහට කඳුළු බොන උඩරට ගොවියාගේ ඇත්ත කතාව…

නුවරඑළියේ කියලා කිව්වාම එළවළු වවන තැන් කියලා වෙනම විශේෂ පළාතක් නෑ. නගරයේ ඉඳලා බදුලූ පාරෙ වැලිමඩ පැත්තට ගියත් කොළඹ පාර නානුඔය පැත්තට ගියත් රේන්දපොල හන්දියෙන් දකුණට හැරිලා අබේවෙල පැත්තට ගියත් මීපිලිමාන පැත්තට ගියත් හැම තැනම පාර දෙපැත්තෙ දකින්නේ යායට වවපු එළුවළු කොටුම තමා. එතකොට racecourse පිට්ටනිය ළඟින් වමට හැරිලා කඳපොල පැත්තට යනකොට මොන තරම් එළවළුද. නුවරඑළියේ ලීක්ස් කැරට් තීරුව කියලයි ඒ පැත්තට මිනිස්සු කිව්වේ.. හැම මිනිහෙකුගේම ජීවිකාව ගොවිතැන. ඇතැම් අය තමන්ගෙම කොටුවල. හුඟක් අය අනුන්ගේ කොටුවල කුලීවැඩ. ඒ හින්දා මේ හැමතැනම දකින්න ලැබුණේ එළවළු කොටු.

එහෙත් වර්තමානයේ නුවරඑළියේ උඩරට එළවළු වවන ගොවියෝ දිගින් දිගටම මුහුණ දුන්නේ සුබ ප‍්‍රතිඵල ගෙන දුන් අත්දැකීම්වල්ට නම් නෙවෙයි. දවසින් දවස අලූත් වන ඉවරයක්ම නැති කරදර වලට.

එක් අතකින් එළවළු වගාවට පොහොර නෑ. දන්න අම්ම මුත්තා කාලෙ ඉඳලා නුවරඑළියෙ උඩරට එළවළු ගොවියෝ ගොවිතැන් කළේ ඔවුන්ට ආවේනික ක‍්‍රමයට…

ගොම පොහොර, කොම්පෝස්ට් යොදලා පස එළවළු වගාවට ඔබින පරිදි සකස් කර ගත්තා. නිසි කලට හොඳ බීජ ලබාගෙන කල් යල් බලලා වගාදිගා කළා. නිසි කලට රසායනික පොහොර යෙදුවා. දෝෂ දුටු විට අවශ්‍ය පරිදි වල් නාශක පළිබෝධ නාශක දිලීරනාශක යොදලා වගාව පණ මෙන් රැක ගත්තා. අස්වැන්න දෙන්න පටන් ගන්නකොට නිවැරදිව හා සුරැකිව පසට ගසට හා පත‍්‍රවලට අවශ්‍ය පෝෂක එකතු කළා. අස්වැන්න කරදරයක් නැතුව නෙළාගන්න තත්ත්වයට ගොවියා වගාව බලා ගත්තේ එහෙමයි.

වගාවට අවශ්‍ය වැස්ස කලට වෙලාවට වැටුනෙ නැති වුණාම ජල පොම්ප යොදල වතුර ටික නොඅඩුව වගා බිමට දෙන්නත් ගොවියෝ අතපසු කළේම නෑ…

ඔන්න ඔහොම කාලාන්තරයක් තිස්සේ අපේ ගොවියෝ හුරු පුරුදු වුන සරල පහසු ජීවන රටාව අනිත් පැත්ත ගහන්න හැටනව ලක්ෂයේ බලවේගයෙන් රට භාරගත්තු ආණ්ඩුව කටයුතු කරාවි කියලා නුවරඑළියේ ගොවියෝ හීනෙකින්වත් හිතුවේ නෑ…

ඒත් අන්තිමේ හැටනව ලක්ෂයේ බලවේගය නුවරඑළියෙ අහිංසක ගොවියාගේ අවිහිංසක ජීවන රටාව උඩු යටිකුරු කරලම දැම්මා. කොටින්ම කිව්වොත් කනපිට ගහලාම දැම්මා.

ගොම පොහොර යොදලා, අළුහුණු ඩොලමයිට් යොදලා වගාවට කලින් පසට මොනතරම් සත්කාර කෙරුවත් පඳුරු ගහන වෙලාවට, මල් හැදෙන වෙලාවට, අල බහින වෙලාවට රසායනික පෝර නැති වුණාම ලෝභ නැතුව අස්වනු දෙන්න උඩරට එළවළු බෝග හා ගහකොළ වෙර දැරුවෙ නෑ.

ඒත් ඉතින් ගොවියෝ ජීවත් වෙන්නත් මොනවා හරි කරන්නම එපායැ… මේක අතඇරලා කොහොමෙයි…. ගොවියෝ එහෙම හිතන්නත් ඇති.

වළට වැටුණු මිනිහා වළ කටෙන්ම ගොඩ එන්න ඕන නිසා ඔවුන් එහෙම හිතන එක වරදකුත් නෑ… අනිත් එක කෑ පතේ පහරන්න උඩරට එළවළු ගොවියො කැමතිත් නෑ. අනිත් එක හැටනව ලක්ෂෙට ඡන්දෙ දුන්නෙ ඔවුන්මනේ…

ඒක හින්දමදෝ ඇස් වල කඳුළු පුරෝගෙන, දුක තදකරන් ගොවියො ඉවසුවා. ලබන කන්නෙදි වත් ආණ්ඩුව මහපොළොවෙ යථාර්ථය තේරුම් අරන් වගාවට වුවමනා පොහොර ටික හිඟ නැතුව ගෙනැවිත් දේවි කියලා ගොවියෝ හිතන්න ඇති.

මේ විදියට එළවළු වගාව පාඩුවට කන්න දෙක තුනක්ම ගෙවිලා ගියා. ගොවියා පාඩුව ඉවස ගත්තා. වගාවට වුවමනා බීජ හා යෙදවුම් ගන්න බැංකුවට උකස් තියාපු ගෙදර උන්දැලාගේ කණකර, පුංචි එකීලගේ කරාබු පංචායුධ බේරගන්න තරම් කේඩෑරි අස්වැන්නෙන් ලැබිච්චි සොච්චම සෑහුනේ නෑ.

ඒත් හැමදාම ගොවියා හිතුවේ හෙටවත් ආණ්ඩුව මේ වරද නිවැරදි කරවයි කියලයි. බලධාරීන්ට මේ ගැන කියලා කියලා බැරිම තැන ගොවියා මේ ගැන දෙවියන්ටත් කියන්න පටන් ගත්තා…

ඒ අස්සෙ කොරෝනා අර්බුදය මොන තරම් වදයක් දුන්නද… ඒත් ගොවියා ජීවිතේ සටන අතහැරියෙම නෑ.

අවුරුදු හීන දැක දැක තිබහට කඳුළු බොන උඩරට ගොවියාගේ ඇත්ත කතාව…

ගහෙන් වැටුණු එකාට ගොනාත් ඇවිල්ලා ඇනපි… කියලා කියන්නේ ඊළඟට වෙච්චි දේට…

ඉන්ධන අර්බුදය එකපාර ආපු කලබැගෑනියක් නොවෙයි බව ඇත්ත. ඒත් ඉතින් දෙවියනේ කවුද හිතුවේ ඒක මේ තරම් විනාශයක් රටට කරාවි කියලා…

කොරේ පිටට මරේ කිව්වා සේ රුසියාවත් ඇවිල්ලා යූක්රේනයට ඒ අස්සෙම ගහල දමාපි.

ලෝකෙ පොසිල ඉන්ධන මිල ඉහළ යන්නත් ගෑස් මිල ඉහළ යන්නත් සියයට 50 ක් ම බලපෑවේ රුසියාවේ යුද්දේ බව ඇත්ත. ඒත් ඒක ලෝකෙ සමහරක් රටවල්වලට හෙම්බිරිස්සාවක් තරමටවත් දැනෙන්න නැතුව ඇති.

මුළු ලෝකෙටම හෙම්බිරිස්සාව දැනෙනකොට අපේ රටට උණසන්නිපාතෙට එනව කියලා කතාවක් තියෙනවා. ඒක බොරුවක් නෙවෙයි. ලෝක වෙළෙඳපොළේ විවිධ සංකූලතා මත තෙල් මිල ඉහළ යනකොට ඒක වඩාත් තදින් අපි වගේ රටවල් වලට බලපාන බව නොදන්න කෙනෙක් නැහැ.

මේ ඔක්කොම ප‍්‍රශ්න අපට තදින්ම දැනුණේ රට මුහුණ පා සිටින ඩොලර් හිඟය නිසා. කොළඹ වරාය වටේටම ඉන්ධන නැව් හා ගෑස් නැව් පැමිණ නවතාගෙන සිටියත් ඒවා වරායෙන් ගොඩ බිමට ගන්නට තරම් සරිලන ඩොලර් තොග අප සතුව තිබුණේ නැහැ.

මේ නිසා ඇතිවුණු ඉන්ධන හිඟය රටේ මුළු සමාජ තන්ත‍්‍රයේම අකර්මණ්‍ය කර දැම්මා. ඒව ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ…

ඞීසල් හිඟය මුළු රටේම මගී ප‍්‍රවාහනය වගේම බඩු භාණ්ඩ ප‍්‍රවාහන කඩා බිඳ දැම්මා. ඞීසල් හිඟයෙන් වැඩිපුරම පහර වැදුනේ අපේ රටේ උඩරට එළවළු ගොවියාට.

ජනවාරියේ අන්තිම වැහි රැල්ලක් ගියාට පස්සේ පලූ පැලෙන්න පායන පෑවිල්ලෙන් එළවළු වගාව රැකගන්න නම් වතුර ගහන්නම වෙනවා. වගා ළිං වලින් අහල පහළින් ගලා යන දිය පාරවල් වලින් වතුර පොම්ප කරල වගාවට යොදන ජල පොම්ප ඞීසල් නැතිව අකර්මණ්‍ය වුණා.

දවස් ගණන් පෝලිම්වල රස්තියාදු වෙලා භූලිවලට ඞීසල් ගෙනැවිත් ලොකු යුද්ධයක් කරලා වගාවට වතුර දැම්මා.

එහෙම යුද්ධයක් කරලා එළවළු වගාව රැක ගත්තත් ප‍්‍රශ්න ඉවරයක් නෑ…

සිංහල අලූත් අවුරුද්ද කියන්නේ කාට කාටත් මුදල් වුවමනා සමය. ඒ කාලෙට ඇතිවන ඉහළ ආහාර ඉල්ලූමට විසඳුමකුත් දෙමින් තමන්ගේ අතමිට සරුකර ගන්න හිතන එළවළු ගොවියෝ අවුරුදු කාලේ ඉලක්ක කරගෙන එළවළු වැව්වා. හැමෝටම ඕන වුණේ ඉහළ ඉල්ලූමක් ඇති වෙන විටක අස්වනු විකුණලා අතමිට සරු කරන් සතුටින් අවුරුදු කන්න.

ඔවුන්ගේ ජීවිත වලටත් ලොකු ලොකු හීන තිබුණා. කොරොනා වසංගතයෙන් පස්සෙ රට නිදහස් වුණාම තමන්ටත් යම් ඉස්පාසුවක් ලැබේවි කියලා හිතුවා. බලා හිටියෙ මේ අවුරුද්දෙවත් හරියට අවුරුදු කන්න.

ගිය කන්නවලදී වගාවට අවශ්‍ය බීජ ටික, යෙදවුම් ටික ගන්න උගස් කඬේට බැංකුවට තියපු ගෙදර උන්දැලාගෙ කනකර බඩු ටික බේරගන්න බලා හිටියා. අවුරුදු දෙකකින් පොඩි එවුන්ට අවුරුද්දට ඇඳුමක් පැළැඳුමක් ලැබුණේ නෑ. මේ අවුරුද්දෙවත් බලා හිටියේ ඒ වරද නිවැරදි කරන්න. ගෙදර බිත්තිවල හුණු ටිකක් පිළියම් කරගන්න. වහලෙ තෙමෙන තැන් ටික අලූත්වැඩියා කරන්න… වැඩිහිටියන්ට නෑදෑයන්ට අවුරුදු දෙකක් ඉෂ්ට නොකළ යුතුකම් ඉටුකරන්න. කලකට පස්සේ නෑගම් යන්න.

මේ හැම එකක්ම බලාපොරොත්තු. මනුස්සකම විසින් අපේක්ෂා කරන බලාපොරොත්තු. කාටවත් කරදරයක් නැතිව දිවි ගෙවන මේ මිනිස්සු දෑතේ මහන්සියෙන් සොයන සොච්චමෙන් මේ ඔක්කොම කරන්න බලා හිටියා.

ඔවුන්ගෙ ජීවිත හිතන තරම් පහසු නෑ. බලාපොරොත්තු හැමදාම හීන විතරයි. ඔවුන් ජීවත් වුණේ ඒ හීනත් එක්ක.

දුක් විඳලා මහන්සිවෙලා එළවළු වගාව රැකගෙන ඉතුරු වෙච්ච අස්වැන්න ටික ගලවලා කපල ගොඩට ගත්තත් ඒ අස්වැනු ගොවිබිමෙන් නගරයේ තිබෙන ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එක ලේසි වුණේ නෑ. දවස් ගණන් පෝලිමේ දුක් විඳලා ඞීසල් ටිකක් ගහ ගත්ත ලොරි කාරයෝ ඒකටත් ගිනි ගණන් මිලක් ඉල්ලීමක් එක් අතකින් අසාධාරණ නෑ. ඒත් එහෙම වැඩි ගණන් දීලා වෙළෙඳපොළට ගෙන එන එළවළු කීයට කියලා විකුණන්නද.

කොහොමහරි අස්වැන්න ආර්ථික මධ්‍යස්ථානවලට ආවයි කියමුකෝ. එතන ඉඳලා කොළඹට හරි දඹුල්ලට හරි යවන එකත් ලොකු යුද්ධයක්. ඉන්ධන අර්බුදය නිසා වෙනදා වගේ එළවළු ප‍්‍රවාහනයට ලොරි ආවෙ නෑ. සිය ගණනක් ලොරි මේ වැඬේට වෙනදා ආවත් මේ තියන අර්බුද හේතුවෙන් බහුතරයක් දෙනා පස්ස ගැහුවා. එන ලොරි එක දෙක වුණත් එළවළු ගෝනියක් ප‍්‍රවාහනය කරන්න ඉල්ලන මුදල ඇතැම් විට එළවළු ගෝනියේ වටිනාකමටත් වඩා වැඩි වෙන්න ඇති. කෑල්ලකට 200ක් 300ක්?

මේ ගැන කතා කරන්න ආණ්ඩුව පැත්තෙන් කිසිවෙක් ඉදිරිපත් නොවුණු පරිසරයක ගොවියෝ තව තවත් අසරණ වුණා. ඒ අසරණ බව කොතෙක් ද කියල තේරුම් ගන්න සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැහැදිලි කරන මේ කතාවම ප‍්‍රමාණවත්.

‘‘එළවළු ප‍්‍රවාහනය ලොරි රථ, ට‍්‍රක් රථ යොදවපු බහුතරයක් ව්‍යාපාරිකයෝ අද තමන්ගෙ වාහන ගෙවල්වල තියන් ඉන්නවා. එළවළු ගේන්න ගිහිල්ලා ඞීසල් නැතුව මග ලගින්න වෙයි කියලා හුඟක් අය බයයි. සමහර ලොරි දවස් දෙක තුන ඞීසල් පෝලිමේ. මේ හේතුව නිසා භාණ්ඩ ප‍්‍රවාහනය 70% කින් විතර පහුගිය දවස්වල අඩුවෙලා.

රට පුරාම එළවළුවලට ලොකු ඉල්ලූමක් තියනවා තමයි. ගොවියො ළඟ එළවළුත් තියනවා. නමුත් අතරමැදි වෙළෙන්දෝ අද මේ තියෙන ප‍්‍රවාහන ප‍්‍රශ්න නිසා ගොවියා ගෙන් එළවළු මිලදී ගන්න එක අඩු කරල තියෙනවා.

ගොවියා ගෙන් එළවළු මිලදී ගැනීමේ ප‍්‍රතිශතය 80%ක් අඩුවෙලා කිව්වම තේරෙනවා ඇතිනේ. අනිත් එක මේ ප‍්‍රශ්නෙදි ගොවියො විතරක් නෙවෙයි. අපිත් අසරණයි.”

ඒ අසරණ බව තුළ කීදෙනෙක් තවදුරටත් අසරණ වනවා ඇද්ද. අස්වනු කපල ගොඩට ගෙනල්ලා සතුටුදායක මිලකට විකුණගෙන ඒකෙන් අවුරුදු කමින් තියෙන ප‍්‍රශ්න ටික විසඳගන්න බලාගෙන හිටපු නුවරඑළිය පැත්තේ 80% පමණ වන එළවළු ගොවියෝ මේ පාරත් අවුරුදු කාලා හමාරයි…

ඒ හැමෝගෙම බලාපොරොත්තු හීනම විතරයි.

කතාව හා පින්තූර
නුවරඑළිය
නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment