අවුරුදු 1270ක් පැරණි අත්තනගලු පාරුව වනසා දමයි

625

එදා අපේ පැරැන්නෝ ගංගා, විල්, වැව්, ඇළ දොළවල් තරණය කිරීම සඳහා යොදා ගත්තේ ඔරු පාරු හා අඟුල් ආදී ඉපැරැණි යාත්‍රාවන්ය. ගංගාවලින් එගොඩ මෙගොඩ යෑම සඳහා වැඩි වශයෙන් භාවිතා වූයේ අඟුල් ඔරු වැනි යාත්‍රාවන්ය. අපේ පාරම්පරික යාත්‍රාවන් ගැන සඳහන් කරන විට ඒවාට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. විජය රජතුමා මෙරටට ගොඩබැස්සේද යාත්‍රාවකිනි. ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩමවාගෙන විත් ඇත්තේද යාත්‍රාවකිනි. විහාරමහා දේවිය කැලණි ගඟෙන් පාකොට යවා ඇත්තේද යාත්‍රාවකිනි. අපේ පැරැන්නන් මෙම ඉපැරැණි යාත්‍රාවන් භාවිතා කිරීමට පුරුදු පුහුණු වූයේ ඉන්දියානු ආභාෂය නිසා බව කියති. කෙසේ වුවද දැනට ලංකාවේ ගංගාවන් ආශ්‍රිතව හමුවී ඇති පැරැණිතම යාත්‍රාව වන්නේ කැලණි ඔරුවයි. කැලණි ඔරුව හමුවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදීය. ඒ කැලණි ගංගාවෙනි. එම යාත්‍රාව ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත්තේය. අත්තනගලු ඔයෙන් හමුවී ඇති අත්තනගලු පාරුව ක්‍රිස්තු පූර්ව හත්වන සියවසට අයත්ය. රත්නපුරයෙන්ද ඉපැරැණි ඔරුවක් හමුවී ඇති අතර මේ අයුරින් පාරම්පරික යාත්‍රාවන් ගණනාවක්ම ලංකාවේ ගංගා ආශ්‍රිතව හමුවී තිබේ.

කෙසේ වුවද මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසාවෙන් අත්තනගලු ඔයෙන් හමුවී ඇති පාරුව සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී ඇත්තේය. මෙකී පාරුව අත්තනගල්ල ඔයෙන් හමුවී ඇත්තේ 1998 වර්ෂයේ දීය. වැලිගොඩ දමමින් සිටි පිරිසකට මෙකී පාරුවේ කොටස් හමුවී ඇති බවට සඳහන් වේ. එවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ඉල්ලීමකට අනුව අත්තනගල්ල ඔයෙන් හමුවූ මෙකී පාරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රැගෙනවිත් කොළඹ ජාතික කෞතුකාගාරයේ ජල ටැංකියක ලීකුඩු දමා තැන්පත් කොට තිබුණි. අත්තනගල්ල පාරුව දිගින් අඩි 59යි අඟල් 11කි. පළල අඩි 04කි. කාලනිර්ණය අනුව මෙකී පාරුව වසර 1270ක් පැරණිය.

මෙම පාරුව සංරක්ෂණය කිරීමේ කාර්යභාර්ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබුණි. සංරක්ෂණ කටයුතු සඳහා රුපියල් මිලියන 04ක පමණ මුදලක් වැයකොට පොලිඑතිලින් සහ ග්ලයිකෝල් නැමති රසායන ද්‍රව්‍යයද මිලදී ගනු ලැබීය. ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2001 වර්ෂය දක්වාම එම රසායන ද්‍රව්‍ය භාවිතාකොට මෙම පාරුව සංරක්ෂණය කොට නොතිබූ බවය. එම රසායන ද්‍රව්‍ය වෙනත් කාර්යයන් දෙකකට භාවිතා කොට තිබුණි. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය මගින් වෙනත් ක්‍රමවේදයකට මෙකී පාරුව සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබුණි. වියළි ක්‍රමය යටතේ පාරුව සංරක්ෂණය කිරීමේ කටයුතු සිදුකරනු ලැබීය. සංරක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු මෙකී පාරුව ප්‍රදර්ශනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබුණි. එහෙත් මෙකී පාරුවේ සංරක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු නියමිත අයුරින් ප්‍රදර්ශනයට තැබීමට පියවරගෙන නොතිබුණි. හොර ලී දඬු යොදාගෙන අත්තනගල්ල පාරුව නිර්මාණය කොට තිබූ අතර 2019 වර්ෂය අවසානය වනවිට පාරුවේ කොටස් විශාල ප්‍රමාණයක් දැඩි ලෙස දිරාපත්වී පුළුන් ගොඩක් බවට පත්ව තිබුණි. මේ සඳහා ස්වාභාවික හානි ද හේතුවී තිබූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විගණනයට සඳහන් කොට ඇත. මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සංරක්‍ෂණ අංශයට උපදෙස් ලබාදීම සඳහා මහාචාර්යවරු සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් 2019 වර්ෂයේ දී පත්කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් කටයුතු කරනු ලැබීය.

අවුරුදු 1270ක් පැරණි අත්තනගලු පාරුව වනසා දමයි

2019 වර්ෂයෙන් පසුව ද මෙකී පාරුව සංරක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. නයිලොන් ගොසම් යොදාගෙන සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කරනු ලැබීය. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යද මිලදීගනු ලැබීය. මේවා ඇළවීම සඳහා යොදාගනු ලබන රාසායනික ද්‍රව්‍ය ඉතා මිල අධික වීමත් නිසා නයිලොන් ගොසම පාරුවේ කැබලි ඇලවීමේ දී දරාගැනීමට නොහැකිවීම නිසා එම සංරක්ෂණ කටයුතු ද ලත්තැනම ලොප්විය. කෙසේ වුවද කමිටුවේ තීරණය වූයේ මෙය අපහරණය නොකළ යුතු අතර නැවත පාරුව ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළයුතු බවය. දැනට පාරුවේ දිරානොගිය කොටස් උපයෝගි කරගෙන අනුරුවක් අයුරින් යළි මෙකී පාරුව ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භකොට ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශය සඳහන් කරන්නේය. සංරක්ෂණ අංශය සඳහන් කරන ආකාරයට මෙකී පාරුවේ සංරක්ෂණ කටයුතු සඳහා ගෙනවිත් තිබූ රාසායන ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව පළපුරුද්දක්ද සංරක්ෂණ නිලධාරීන්ට නොතිබුණි. මෙකී රසායනික ද්‍රව්‍ය ලෝකයේ වෙනත් රටවල කේතුධර ශාක සඳහා භාවිතාකොට තිබුණි. පාරුව හොර ලී වලින් සකස්කොට තිබූ අතර මේ නිසා මෙකී රාසායන ද්‍රව්‍ය හොර ලී සඳහා භාවිතයට ගන්නා ආකාරය පිළිබඳ අන්තර්ජාතික වශයෙන්ද දත්ත නොතිබුණි.

කෙසේ වුවද මේ පිළිබඳ විගණනය මගින් ප්‍රකාශකොට ඇත්තේ සංරක්ෂණ ක්‍රමවේදය හා කාර්යය නියමිත කාලරාමුව තුළ යෝග්‍ය පරිදි සිදුනොකිරීම නිසා 2021 වර්ෂය අවසානය වනවිට පාරුවේ දැව කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය. පාරුවේ විනාශයේ තරම කෙතරම් ද කිවහොත් එය කුඩා දැව කොටස් දක්වා විනාශවී තිබුණි. කෙසේ වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙකී පාරුවේ විනාශවී ඇති දැවමය කොටස් තැබීමට ආධාරකයක් සකස් කිරීම සඳහා රුපියල් 1,770,876ක මුදලක් වැයකොට තිබුණි. එහෙත් පාරුවේ දිරාපත් වූ දැවකොටස් සංරක්ෂණ සීමාව ඉක්මවා තිබීම නිසා එහි අනුරුවක් සකස් කිරීමට යළි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ගෙනවිත් තිබුණි. ඒ අනුව බලනවිට මෙකී පාරුවේ දැවමය කොටස් තැබීම සඳහා රුපියල් දාහත් ලක්ෂයකට අධික මුදලක් වැයකොට යකඩ ආධාරයක් ඉදි කළද එය නිෂ්කාර්ය වියදමක් වී තිබුණි.

රට තුළ දැඩි මූල්‍ය අර්බුදයක් තිබියදී මේ පිළිබඳ අවධානය යොමුකොට ඵලදායි නොවන වියදම් අවම කිරීමට පියවරගත යුතුය. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළින් පාරුව සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත දෙස බැලීමේ දී එවැනි තත්ත්වයක් සිදුවී නොමැති බව පැහැදිලිය. අනික් කාරණය වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය පුරාවිද්‍යාත්මක ස්ථාන පුරාවස්තු පිළිබඳ ගවේෂණය කිරීම කැණීම් කටයුතු කිරීම හා සංරක්ෂණය කිරීමයි. එහෙත් විගණනය මගින් ලබාදී ඇති නිර්දේශයට අනුව සංරක්ෂණ කාර්යයන් නිසි පරිදි ඉටුනොකිරීම නිසා මෙකී පුරාවස්තුව හානිවී විනාශ වී ඇති බවය.

විගණනය මගින් පෙන්වා දෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාරය තුළ 1950 වර්ෂයේ පමණ සිට කැණීම් හා සංරක්ෂණ අංශ මගින් සොයාගත් පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබෙන බවය. ඇතැම් පුරාවස්තු සංරක්ෂණය කිරීමට කටයුතු කර නොතිබුණි. ඒ විතරක් නොව අතීතයේ සිට විධිමත්ව සකස් කළ පුරාවස්තු පිළිබඳ ලේඛනයක්ද නොතිබුණි. 2020 හා 2021 වර්ෂවල පුරාවස්තු ලේඛනගත කිරීම ආරම්භ කළද වාර්තමානය වනවිට පුරාවස්තු විශාල ප්‍රමාණයක් ලේඛනගත කිරීමකින් තොරව අනාරක්ෂිතව පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

ඒ විතරක් නොව පුරාවස්තු සොරකම් හා පුරාවස්තු විනාශ කිරීම පසුගිය කාලය තුළ විශාල වශයෙන් වැඩිවී ඇත. ඉකුත් වර්ෂය තුළ පුරාවස්තු විනාශකිරීම් හා සොරකම් 383ක් වාර්තා වී තිබුණි. කෙසේ වුවද ඓතිහාසික පුරාවිද්‍යා වැදගත්කමින් යුත් අත්තනගල්ල පාරුව රැක ගැනීමට පුරාවිද්‍යා බලධාරීන්ට නොහැකිවී තිබුණි. මෙකී පාරුව අත්තනගල්ල ඔයෙන් ගොඩගෙන රැකගෙනවිත් තැන්පත් කිරීම සඳහාත් විශාල මුදලක් වැයවන්නට ඇත. එමෙන්ම මෙය පාරුවක් ද ඔරුවක් ද නැතිනම් උපසම්පදා විනයකර්මවලදී මණ්ඩපය ඉදිකිරීම සඳහා යොදාගනු ලැබූ ලී දඬුද යන්න පිළිබඳ විවිධ මතවාද පවතී. කුමන මතවාද පැවතියද මෙය වසර 1270ක් පැරණි උරුමයකි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මහතා මෙකී පාරුව ගැන කියන්නේ මෙවැනි කථාවකි.

මාගේ කාලය තුළ තමයි මෙම පාරුව ජාතික කෞතුකාගාරයට රැගෙනවිත් තිබුණේ. මේ පිළිබඳ විවිධ මත තියෙනවා. අත්තනගල්ල විහාරස්ථානයේ පහළින් තමයි මෙම පාරුව හමුවෙන්නේ භික්ෂුන්වන්සේලා උපසම්පදා විනයකර්ම කිරීමේ දී මණ්ඩපයක් හැදීම සඳහා භාවිතා කරපු ලී දඬු කියලා තමයි විශ්වාස කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 08 වැනි ශතවර්ෂයේ දී අනුරාධපුර අග කාලය වන විට අත්තනගල්ල රජමහා විහාරස්ථානය උපසම්පදා විනයකර්මය සිදුකරන වැදගත් විහාරස්ථානයක් බවට පත්වෙලා තිබුණා යැයි ද ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මහතා සඳහන් කළේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment