අවුරුදු 900ක් පැරණි පොළොන්නරුව කිරිවෙහෙර විනාසයි… බදාම තලයට ඇණගසයි

1074

විශ්ව වාස්තු සම්පතක් සේ සැලකෙන පොළොන්නරුව කිරිවෙහෙරේ විශිෂ්ට ලෙස ආරක්‍ෂා වී ඇති වසර 900ක් පැරණි බදාම තලය මත දැවැන්ත බෝල්ට් ඇණ යොදා බදාම තලය කඩතොලූ කර ඇත්තේ කිරිවෙහෙර සංරක්‍ෂණ කටයුතු පිළිබඳ පුරවිද්‍යා විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කළ සියලූම නිර්නායක උල්ලංඝනය කරමින් බවට චෝදනා එල්ල වී ඇත.

පළමුවැනි පරාක‍්‍රමබාහු රජු විසින් කරවන ලද පොළොන්නරුවේ ස්මාරක අතර අතිශයින් වැදගත් ස්මාරකයක් වන්නේ කිරිවෙහෙර ආරාම සංකීර්ණයයි. ප‍්‍රමාණයෙන් අඩි අසූවක් පමණ වන මේ දාගැබ් වහන්සේ වසර 900ක පමණ කාලයක් ඉපැරණි ස්වභාවික බලපෑම් යටතේ ඉදිකෙරුණු ස්වරූපයෙන්ම බදාම ආලේපිත තට්ටුව විශිෂ්ට ලෙස සුරක්‍ෂිතව ඇති ලංකාවේ එකම ස්තූපය වීමද විශේෂත්වයකි. එමෙන්ම මෙවැනි පෞරාණික බදාම තට්ටුවක් සංරක්‍ෂණය වී ඇති ලෝකයේ අතිශයින් ම දුර්ලභ ඉදිකිරීම්වලින් එකකි.

මෙම බදාම තලය ජාතික උරුමයක් ලෙස සංරක්‍ෂණයට ලක්විය යුතුව තිබුණේ එබැවිනි. එහෙත් මේ බදාම තලය විනාශකර ඒ මත බෝල්ට් ඇණ බස්සවමින් මේ දාගැබ් වහන්සේට හානි පමුණුුවා ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇත. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම සංරක්‍ෂණ සඳහා යෝජනා ඉදිරිපත් කරන විටත් මෙම බදාම තලයේ කොටසක් ගලවා ඉවත්කර තිබී ඇත. පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම පූජා භූමියේ සිට විරෝධතාවයක නිරත වෙමින් ප‍්‍රකාශකර සිටියේ අතීත ශ‍්‍රී විභූතිය විනාශ කරමින් කටයුතු කිරීම මහා අපරාධයක් බවය.

වසර 900ක් පැරණි අති දුර්ලභ වාස්තු විද්‍යාත්මක කිරිවෙහෙර ආරාම සංකීර්ණ ස්තූපයේ ඇති බදාම ඉවත්කිරීම මහා අපරාධයකි. මේවා ප‍්‍රතිසංස්කරණය කරන්න ඕනේ ඉතාම පරිස්සමින් සහ වුවමනාවෙන්. මේ ඓතිහාසික පූජා භූමිය විනාශ කරන්න පිඹුරුපත් සැකසෙද්දී පොළොන්නරුව පින්බිම අපිට අහිමිවෙන අයුරු දෑස් ඉදිරිපිට පෙනෙන්න තියෙද්දීත් පොළොන්නරුවේ ත්‍රෛයිනිකායික හාමුදුරුවරු පන්සල්වලට වෙලා ඉන්නේ නැතිව මේ මහා විනාශය නවත්වන්න කටයුතු නොකරන්නේ මන්දැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

අවුරුදු 900ක් පැරණි පොළොන්නරුව කිරිවෙහෙර විනාසයි… බදාම තලයට ඇණගසයි

මේ පූජාභූමිය කාපට් කරන්න අවසර දීලා තියෙනවා. ඒ ගැන සොයාබලන්න යොදවලා ඉන්නේ ප‍්‍රසව හා නාරිවේද දොස්තර මහත්මයෙකු. මේ අයට පුළුවන් ද පුරාවස්තු ගැන කතා කරන්න. පුරවිද්‍යා අණපනත්වලට එකඟවයි පුරාවස්තු ආරක්‍ෂා කරන්න ඕනේ. සූරියවැව කී‍්‍රඩාංගනය හදනවා වගේ සූරියවැව කාපට් කරනවා වගේ මේ පූජා නගරයට මෙහෙම කරන්න දෙන්න බැහැ. පසුගිය කාලයේ සිංහල දෙමළ සංහිඳියාව ඇති කරවූ ශිව දේවාලයත් කඩා ගලවලා දාලා තියෙන්නේ. මේවා මහා අපරාධ බව උන්වහන්සේ පැවසූහ. එසේම මෙම විරෝධතාවයන් හමුවේ අවසානයේ යෝජනා වී තිබුණේ සියවස් ගණනක් පැරණි පුරාණ බදාම තලය ආරක්‍ෂා කරගෙන කඩතොලූ පමණක් වසා හුණුපිරියම් කර සංරක්‍ෂණය කිරීමය.

දාගැබේ හතරැස් කොටුව මත පුරවිද්‍යා උපදෙස් නොතකා දැවැන්ත ඇණ සහිත යකඩ පුවරු සවිකර සිමෙන්ති යොදා ඉදිකිරීමක් කර ඇත. මෙම ඉදිකිරීම් කර ඇත්තේ දාගැබේ ගර්භයේ හැඩය ගැනීමට කැරකෙන ඉනිමග සවිකිරීමට බව පැවසුවත් පුරවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ එවැනි ඉදිකිරීමක් අවශ්‍ය වන්නේ අලූතින් ඉදිවන දාගැබකට මිස මෙවැනි පෞරාණික දාගැබකට නොවන බවය.

අවසානයේ කිරිවෙහෙර සංරක්‍ෂණය සඳහා රැස් වූ විද්වත් මණ්ඩලය තීරණය කර තිබුණේ ස්තූපයේ දැනට කඩතොලූ වී ඇති ස්ථාන පමණක් පුරවා තහවුරු කිරීමය. වර්තමානයේ දක්නට ඇති ස්තූපයේ හැඩය වෙනස් නොකිරීමට දැඩිව සැලකිලිමත් වීම, කිසිම අවස්ථාවක පැරණි බදාම ස්ථරයට හානි නොවන ලෙස අලූත් බදාම ස්ථරය යෙදීම, ගර්භයේ ග‍්‍රිඞ් සැලැස්මක් හදා එක් එක් ග‍්‍රිඞ් කොටසට අනුරූපීව සංරක්‍ෂණය කළ යුතු ආකාරය, යොදා ගන්නා ද්‍රව්‍ය, උපකරණ හා බදාම මිශ‍්‍රණය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයකින් පසු සංරක්‍ෂණය ආරම්භ කිරීම, සංරක්‍ෂණය සඳහා සෑම අවස්ථාවකම මුල් බදාමයට වඩා දුර්වල බදාමයක් යොදා ගැනීම, කිසිම අවස්ථාවක සිමෙන්ති බදාම සංරක්‍ෂණය සඳහා භාවිතා නොකිරීම, ජීවමාන ස්තූපයක් සේ හුණු පිරියම් කිරීම යන නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා කිරිවෙහෙර සඳහා පත්කර තිබූ උපදේශක මණ්ඩලයේ කමිටු වාර්තාවේ ඒ මහතා විසින් මෙසේ සඳහන් කර තිබිණි.

කිරි වෙහෙරේ පෞරාණික බදාම තලයට හානිවන කිසිම මැදිහත්වීමකට තමන් සිටින තුරු ඉඩලබා නොදෙන බවත්, තමන්ගේ මැදිහත්වීමෙන් සංරක්‍ෂණ කටයුතු වෙනුවෙන් විද්වත් මණ්ඩලයක් පත්කරමින් එම විද්වත් කමිටුවෙන් ලද නිර්දේශ හා යෝජනා මතම පිහිටා සංරක්‍ෂණ කටයුතු සිදුකරන බව ද ඒ මහතා එම වාර්තාවේ සඳහන් කර තිබිණි. පුරවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සංස්කෘතික ද්‍රව්‍ය විශ්ලේෂණ විද්‍යාගාරයේ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා විසින් කිරිවෙහෙර ස්තූපයෙන් ලබාගත් බදාම සාම්පල් සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ස්තූපයෙන් ලබාගත් පළමු සාම්පල පරීක්‍ෂා කිරීමේදී විශේෂත්වයක් තිබෙන බව දක්නට ලැබුණු බවත්, නැවත ගර්භයේ ගඩොල් දක්වා සාම්පල් ගෙන පරීක්‍ෂා කිරීමේදී මේ සඳහා යොදාගෙන තිබෙන බදාමය ඉතා විශේෂිත වූ තද එකක් බවත් සඳහන් කර ඇත. ඒ වගේම මෙහි විවිධ වූ කපරාදු ස්ථර 6ක් තිබීම සුවිශේෂී බවත් හෙතෙම අවධාරණය කර තිබිණ. වැඩිදුරටත් ඒ මහතා විසින් අවධාරණය කර තිබුණේ ස්තූපයේ හැඩය කිසිසේත්ම වෙනස් නොකළ යුතු බව හා අලූත් සිමෙන්ති බදාමයක් පාවිච්චි කිරීමෙන් පැරණි බදාම ස්ථරය බිඳවැටීම සිදුවන හෙයින් සිමෙන්ති බදාම පාවිච්චි කිරීම සුදුසු නොවන බව ද නිර්දේශ කර තිබිණි.

එසේ මේ ආකාරයෙන් අපගේ උරුමයන් හිතූ හිතූ ආකාරයට වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ ඒවා ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීම පමණක් නොව අපගේ ඓතිහාසික ස්මාරක අපට අහිමි වී යෑමය. ඒ නිසාම මෙම මිල කළ නොහැකි පෞරාණික උරුමයන් මතු පරම්පරාව සඳහා ආරක්‍ෂා කිරීම අද ජීවත් වන්නන්ගේ පරම යුතුකම වන්නේය. මේ ඓතිහාසික කිරිවෙහෙර සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් එක්කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ මීට වසර ගණනාවකට ඉහත දී සිමෙන්ති බදාම යොදා මෙම ස්තූපය පිළිසකර කර ඇති බවත් ඒවා මේ වනවිට බොල් වී ඇති හෙයින් එම බොල් වූ බදාමය ඉවත්කර නැවතත් කඩතොලූ වූ තැන් පිළිසකර කර සුදු හුණු පිරියම් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බවත් ය. ඒ වගේම ලෝක උරුමයක් වන අපගේ ඓතිහාසික උරුමයන්වලට කිසිසේත් හානිවීමට ඉඩ නොදෙන බවත් දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.

සටහන – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment