අවුරුදු 94දි විභාගයක් පාස්… තවත් උපාධියක් කරන්නත් ලෑස්තියි

399

මේ කාලයේ දෙමව්පියන්ගේ එකම සිහිනය තම දරුවන් උපාධිධාරියෙක් වනු දැකීමය. මේ කතාවේ හැටියට ඒ දරුවන්ගේ එකම සිහිනය තම මව උපාධිධාරිනියක් වනු දැකීමය. දරුවන්ට කළු තොප්පි කළු ලෝගු දැමීම වෙනුවට මවකට කළු තොප්පියත් ලෝගුවත් දැමීමට වෙහෙසෙන දරුවන් සිටීම දුර්ලභ ගණයේ සිදුවීමකි.

විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්න මාතාවගේ කතාව එවන් වූ දුර්ලභ ගණයේ කතාවකි. ඇය වයස අවුරුදු අනූ හතරක් වූ තැන උපාධිධාරිනියක් ලෙස සිය උගත්කම තවදුරටත් වර්ධනය කරගන්නට වෙහෙස ගන්නේ ඇයි දැයි කාට වුව සිතිය හැකිය. නමුත් මේ තමන් තරුණ වියේ සිට දුටු සිහිනය බවත් එකල ඒ සිහිනය සැබෑ කර ගත නොහැකි වූ නිසාම ඊට සුදුසුම කාලය මෙය බවත් ලීලාවතී මහත්මිය කියන්නීය.

ඇය උපන්නේ, 1928 පෙබරවාරී මස 12 දිනය. ඒ හොරණ මිල්ලෑවේදීය. සහෝදරියන් දෙදෙනකුගේ වැඩිමහල් සහෝදරිය ලෙස ළමා කාලය ගත කළ ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මිල්ලෑව බාලිකා විදුහලෙනි. විභාගය සමත්ව ඉංග‍්‍රීසි ගුරුවරියක ලෙස කලක් සේවය කළ ලීලාවතීගේ එකම අපේක්ෂාව වී ඇත්තේ නීතිඥවරියක වීමය. ඒ අපේක්ෂාව මුදුන්පමුණුවා ගැනීම සඳහා ඇය ගත් එක් වෑයමක ප‍්‍රතිඵලයක් ලෙස නොතාරිස් විභාගයට පෙනී සිටිමින් ලංකාවේ ප‍්‍රථමයා ලෙස ලකුණු ලබමින් සමත් වී තිබේ. 1961 දී පැවැති ලාංකික නොතාරිස්වරුන්ගේ සම්මේලනයට ගිය එකම කාන්තාව ද ලීලාවති ධර්මරත්න මහත්මිය ය.

සම්මේලනය ඇයගේ ජීවිතයේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ ඇයගේ ජීවන සහකරු එම සම්මේලනයේදී මුණගැසීම හරහාය. ඔහු නමින් චිත‍්‍රසෝම ජයලත්ය. ලීලාවතීත් චිත‍්‍රසෝමත් විවාහ වූයේ 1962 වසරේදීය. ඇයගේ නීතිඥ සිහිනය සැබෑවක් වන්නට ස්වාමියාගෙන් ලද සහාය එමට යැයි ලීලාවතී කියන්නීය. ලීලාවතී මහත්මිය නීති විද්‍යාලයට ඇතුළත් වූයේ ස්වාමියාගේ පෙරැත්ත මතය. මන්ද ඒ වන විට ඇය දියණියන් සිව්දෙනකුගේ මවක වී සිටි නිසාය. නමුත් සියල්ල කළමනාකරණය කරගනිමින් ඇයට නීතිය ඉගෙනීමට ස්වාමියා නොමඳ සහායක් ලබා දී තිබිණි. එලෙස සහාය වූ මහා ශක්තිමත් දෑතේ සවිය ලීලාවතියට හිමි වූයේ ඉතා කෙටි කලක් පමණි. ජීවන ගමනේ සහකරු වූ චිත‍්‍රසෝම මහතා වසර 1970 දී හදිසියේම මෙලොව අතහැර ගියේ ලීලාවතියගේ කර මත දියණියන් සිව්දෙනකුගේ බරද ඔසවා තබමිනි.

”මහත්තයාගේ හදිසි මිය යෑම මට දරා ගන්න අමාරු වුණා. මම කරගෙන ආ සියලූ වැඩ මට එපා වුණා. දැන් මම තනිව ජීවත් විය යුතුයි කියන හැඟීම හිතට ආ මොහොතක් මට තිබුණා. මම සියල්ලම පැත්තකට දමලා දුවලා හතරදෙනාගේ වැඩවලට මුල් තැන දුන්නා. මොකද මහත්තයා මටත් ලෝකයටත් දුන්න එකම දායාදය මගේ දරුවෝ. ඒ අය රටේ වැදගත් වගේම අන්‍යයන්ට වැඩදායි පුරවැසියෝ කිරීම අපේ යුතුකමක් කියා මහත්තයා මට නිතර කියා තිබුණා. නොතාරිස් කෙනෙක් විදිහට රාජකාරිය කරමින් මම දරුවෝ හතර දෙනා උස්මහත් කළා. ඉගැන්නුවා. මම ඒ අයව අරමුණක් ඔස්සේ මෙහෙයවූවා. ගහලා බැණලා තරවටු කරලා ළමයින්ගේ ජීවිතය ගොඩ දාන්න බැහැ. මම දරුවන්ට තමන්ගේ ලෝකය හොයා ගන්න අවැසි නිදහස දුන්නා. නමුත් මුල ඉඳලාම හිත්වලට අරමුණක් කාවද්දලා තිබුණා. ඒ තමයි හතර දෙනාම විශ්වවිද්‍යාලයට යා යුතුමයි කියන අරමුණ. අපේ ළඟ තිබෙන මොන සම්පත මොන බැඳීම උදුරා ගත්තත් උගත්කම උදුරා ගන්න කාටවත්ම බැහැ. දරුවෝ මම පෙන්නපු මාර්ගයේ ගියා.

achchi2
කුඩා කල සිටම පිය සෙනෙහස අහිමි දියණියන් සිව්දෙනා මවට කීකරුව හැදී වැඩුණේ මවගේ සිහින සැබෑ කරමිනි. ලීලාවතී මාතාවගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත් වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ය. ඉංජිනේරුවරියක වන සමුද්‍රා ජයලත් මේ වන විට ඔස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙස සේවය කරන්නීය… තුන්වැන්නිය ඉන්දු නීලා ජයලත් ය ඇය ගුරුවරියකි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත්ව දැන් සේවය කරන්නේ නාවලපිටිය පත්තුණුපිටිය මහ විදුහලේය. නීතිඥවරියක මෙන්ම වැඩබලන මහෙස්ත‍්‍රාත්වරියක ද වන මනෝහාරි ජයලත් පවුලේ සිව් වැන්නියයි. සැමියාගේ අභාවයෙන් පසුව තම දරුවන් උපාධිධාරින්ව ලොව ජය ගනු දුටු සිහිනය සැබෑවක් වූ තැන ලීලාවතී මහත්මිය අනේකවරක් සතුටු වන්නීය.

සිය සැමියා සමග අත්වැල් බැඳ ගත් දා පටන් ඇයගේ ජීවිතයේ වූ සිහිනය ඇය කෙලෙසක හෝ උපාධිධාරිනියක වීමය. නමුත් ඒ සිහින ගුලිකොට තබන්නට සොබාදහම ඇයට ඉඩ හසර සලසා තිබිණි. ඇය පනස් වසරකට පෙර වළ දැමූ උපාධි සිහිනය සැබෑවක් කරගන්නට සිතා යළි පාඩම් පොත අතට ගත්තේ පසුගිය වසරේදීය. මුලින්ම ඇය කළේ උපාධි සිහිනය සැබෑ කර ගැනීම සඳහා මඟ පාදා ගැනීමේ අරමුණින් ශ‍්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් විද්‍යෝදය පිරිවෙණ විභාග අංශයට අනුබද්ධව පවත්වනු ලබන ත‍්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටීමය. පසුගිය පෙබරවාරී මස හය වැනි දින මහනුවර ඞී.එස්. සේනානායක විද්‍යාලීය විභාග ශාලාවේදී ලීලාවතී ධර්මරත්න මාතාව විභාගයට පෙනී සිටියාය. එවකට ඒ සම්බන්ධයෙන් රටම කතා කළහ. ඒ ඇය අනූ හතර වසරක කාන්තාවක වීම නිසාය. එදා මුහුණ දුන් විභාග ප‍්‍රතිපල අනුව ප‍්‍රථම, මධ්‍යම හා අවසාන යන විභාගවලින් ඇයට ගෞරව සාමාර්ථ හිමිව තිබීමත් සමඟ දැන් ඇය ගැන යළිත් කතා කරන්නට අවස්ථාවක් උදාවී තිබේ. ලීලාවතී මහත්මියගේ දරුවන් සිව් දෙනාට දැන් අවැසිව ඇත්තේ සිය මව උපාධිධාරිනියක් කරවීමය. ඔවුන් ඒ සඳහා නොයෙක් ලෙස මග පාදා දෙමින් සිටී.

ලීලාවති මහත්මිය නීරෝගිය. උපැස් යුවලක් හෝ නොපැලඳ දෛනික ඖෂධ වට්ටෝරුවක ජීවිතයේ ස්ථිරත්වය පිළිබඳ ලංසු නොතබන ඇය අදටත් ධෛර්යවන්තය. ලීලාවතී මාතාව උපාධි සිහිනය ජය ගැනීම සඳහා දැන් එක් පියවරක් තබා ඇත. ඇගේ මීළඟ අපේක්ෂාව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගැනීමය.

සිංහල, ඉංග‍්‍රීසි, දෙමළ, පාලි හා සංස්කෘත භාෂා කතා කරන්න ලිවීම කියවීම ඇයට කජු කනවා වැනිය. ත‍්‍රිපිටකය කාණ්ඩ ලෙසත් සෙසු බෞද්ධ පොත්පත් ඇය පරිශීලනය කරන්නේ ඉතා හුරුපුරුදු අයෙකු පරිදිය. ඉංග‍්‍රීසි පොත්පත් සම්බන්ධයෙන් ද මනා පළපුරුද්දක් සහ නව්‍ය දැනුමක් ඇති ලීලාවති මාතාව මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් පාලි අධ්‍යයන ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගැනීම සඳහා අධ්‍යාපනය හදාරමින් සිටී.

නාවලපිටිය පල්ලේගම පත්තුණුපිටියේ පදිංචි ලීලාවතී මාතාවගේ තෙවැනි දියණිය වන ඉන්දු නීලා ජයලත් මව පිළිබඳව මෙසේ ප‍්‍රකාශ කළාය. තාත්තා නැතුව අම්මා අපිව හදා ගන්න ලොකු කැපවීමක් කළා. තරුණ වයසේදීම තාත්තා මිය ගියත් අම්මා වෙනත් කසාදයක් කර ගත්තේ නැහැ. අම්මගේ එකම හීනය වුණේ අපිට හොඳින් උගන්වන එක. නාවලපිටියේ අපි පදිංචි වෙලා හිටිය ගෙදර පැය 24 පුරාම කවුරුන් හෝ ඇහැරලා ඉන්නවා. ගෑණු අයම සිටි නිසා අම්මා මේක අපිට පුරුදු කළා. සහෝදරියෝ දෙන්නෙක් ? 8.00 ඉඳන් 11.00 වෙනකල් නැගිටලා පාඩම් කරනවා. එතකන් අනිත් දෙන්නා නිදා ගන්නවා. ඊට පස්සේ ඒ දෙන්නා නිදා ගත්තම අනිත් දෙන්නා පාන්දර 2.00 වෙනකල් පාඩම් කරනවා. අම්මා හැමදාම උදේ 2.30 ට නැගිටිනවා. අම්මට සංස්කෘත කියවන්න පුළුවන් නිසා ඉස්සර අපිව පෞරාණික ස්ථානවලට එක්කන් ගියාම සෙල් ලිපිවල තියෙන ඒවා කියලා දෙනවා. ගිය අවුරුද්දේ අම්මා වැටිලා උකුල් ඇටයක් බිඳුණා. එයා ඒ නිසා ගොඩක් දුක් වින්දා. ශල්‍යකර්මයක් කරන්න ගියාම දොස්තර මහත්වරු කිව්වා වයස වැඩි නිසා කරන්න බෑ කියලා. සිහිය නැති කළොත් ආපහු ගන්න බෑ කිව්වා. වෛද්‍යරියක් වන මගේ අක්කා කිව්වා අම්මට ඕන දෙයක් දරා ගන්න පුළුවන් ඔපරේෂන් එක කරන්න කියලා. අපි හැමෝම ඒකට කැමැති වුණා. අපි දන්නවා අපේ අම්මගේ හිත හයියයි කියලා. පහුගිය අවුරුද්දේ මැයි මාසේ 05 වැනිදා සැත්කම කළා. දොස්තර මහත්වරුන්ටත් පුදුමයි අම්මා ටික දවසකින් නැගිට්ටා. ව්‍යායාම කරලා දැන් එයා ඇවිදිනවා. උදේ පාන්දර නැගිටලා අම්මා විභාගයට පාඩම් කරනවා. සාමාන්‍යයෙන් ප‍්‍රාචීන ලියලා වසරකින් තමයි මධ්‍යම ලියන්නේ. මධ්‍යම ලියලා අවුරුද්දකින් අවසාන ලියන්නේ. ප‍්‍රාචීන, මධ්‍යම හා අවසාන විභාග තුනටම අම්මා පෙනී හිටියේ දවස් දෙකකදී.

අද වන විට අපේ අම්මා දරු මිණිපිරියෝ දැකලා ඒ අය ඉගෙනගන්නවා දැකලා සතුටින් ඉන්නේ. අම්මා අදටත් අපට කියන්නේ රටට වැඩක් වෙන දෙයක් කරන්න කියලා. යමක් වෙනුවෙන් රැඳිලා ඉන්නකොට ජීවිතයේ කලකිරීම් පසුතැවීම් නැති බව අම්මා අපටත් අපේ දරුවන්ටත් කියා දෙනවා. අම්මාගේ කුසෙන් නොවැදුවත් අපිට තවත් නංගී කෙනෙක් ඉන්නවා. අම්මා කවදාවත් එයාට වෙනස්කමක් කළේ නැහැ. එයා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රසායනාගාර පර්යේෂණ සහකාර ලෙස රැකියාව කරනවා. අම්මා ඉගෙන ගන්න හරිම ආසයි. එයා දරුවෝ හැමෝටම උපාධි ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දැම්මා. අම්මටත් ඒ ලෝගුව පොරවලා හිසට කළු තොප්පිය දාන එක තමයි අපේ හීනය…”

ලීලාවතී මාතාව දස්කම් දක්වන්නේ ඉගෙනුමට පමණක් නොවේ. මැහුම් ගෙතුම් ආදි වැඩ ද පොල් හා තල් කොළ ආදියෙන් පැදුරු, වට්ටි, පෙට්ටි වියන්නටද ඇය දක්ෂය. මේ වන විට ඇගේ දියණියන් දෙදෙනකුගේ දරුවන් තිදෙනකු විවාහ වී සිටී. ඒ මුණුපුරු මිනිපිරියන්ට ද ඔවුන්ගේ දරුවන් පස් දෙනෙක් සිටී. දෙමුණුමිනිපිරියන් දැක සැනැහෙන ලීලාවති මාතාව ඒ සෑම දරුවෙකුටම ඇඳුම් කැඩුම් මේ අදටත් මසා නිම කර දෙයි. ඇයට ශක්තිය ලබාදෙන එකම මෙවලම හිතහොඳ වීමය. වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පසෙක තබා යහපත් සිතිවිලිවලින් නිතරම කටයුතු කිරීම මත ඇය නිරෝගීව කල් ගෙවයි.

ලීලාවතී මහත්මිය මෙවර විභාගය ද ඉහළින්ම සමත් වූවාය. සමත්වීම පිළිබඳව ඇයට හොඳ විශ්වාසයක් තිබෙන්නට ඇත. මන්ද විභාග ප‍්‍රතිඵල පැමිණීමටත් පෙර ඇය ඊළඟ විභාගය වන ශාස්ත‍්‍රපති විභාගය වෙනුවෙන් සූදානම් වූවාය. ඇය පාඩම් කිරීමට පොත පත පරිශීලනයට දක්වන්නේ අසීමිත ආසාවකි. වයස සමග ඇයට ඒ සියල්ල පසෙකලා ජීවත්වීමට ද ඉඩ හසර ඇත. නමුත් ඇය නව්‍ය වන ඉගැනුමක අගයට කැමැත්තක් දක්වයි.

”මම ඉගෙන ගන්නේ ආශාවට. මේ වෙලාවේ උපාධියක් අරන් රැකියාවකට යන්න බැහැ. තනතුරක් භාර අරගෙන වගකීමක් දරන්න බැහැ. නමුත් උගත්කම තිබුණා කියා අපට වැඩි වන්නේ නැහැ. මැරෙනකල්ම ඉගෙන ගන්න දේවල් තිබෙන බව අසා තිබුණත් කවුරුත් එය අත්විඳින්න කැමති නැහැ. අතරමගදි අතහැරලා දමන්නේ ඉගෙන ගැනීම. මම හිතන්නේ අපි කළ යුතුවන්නේ මැරෙනකල්ම ඉගෙන ගැනීම…” ලීලාවතී මහත්මිය කියන්නීය.

මහපොළවට දිරා යන කය ගැන ඇයට පසුතැවිල්ලක් ද නැත. අප ඇයගෙන් උගත යුතු පාඩම එයය. ජීවත්වන්නට සරිලන ආදායම් මාර්ගයක් සහිතව දිනෙන් දින අලූත් වන නව දැනුම අපේ ජීවිතවල සරල බව පසක් කරයි. ලීලාවතිය අද අත්විඳින්නේ ඒ සරල බවය. එබැවින් ඇයට පසුතැවීම පිළිබඳව සිතිවිල්ලක්වත් නැත. ඇය උපාධිය ලබා ගන්නේ ද උගත් බුද්ධිමත්කමට මිස ධන තණ්හාවට නොවේ. වර්තමාන සමාජයේ එය හොඳම ආදර්ශයක් බව යළි කියනු කැමැත්තෙමි.

සමන්තී වීරසේකර
ඡායාරූප – සුරංග රාජනායක

advertistmentadvertistment
advertistmentadvertistment