අවුලක් නැතුව හත්හවුල සමග රට පාලනය කළ හැටි

213

වර්තමානයේ රට පාලනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ රජය තුළ නිතරම අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙනේ. එම පොහොට්ටුවට අයත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් රජය ප‍්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටින ආකාරය ද පෙනේ. කොයි මොහොතක හෝ එම ශ‍්‍රී. ල. නි. පක්‍ෂය කැඞී යෑමේ ලකුණු පහළ වී ඇත. තවත් පුදුමයක් වන්නේ පොදුජන පෙරමුණේ රජයේ හවුල්කාර පක්‍ෂ නායකයන් තිදෙනකු යුගදනවි ගිවිසුම සම්බන්ධව රජයට විරෝධය ප‍්‍රකාශකර ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ඉදිරිපත් කිරීමය.

අප පාසල් සමයේ එවකට තිබූ දේශපාලන විiාවට සම්බන්ධ ප‍්‍රජාචාරය නම් විෂය උගන්වන විට කියා සිටියේ සාර්ථක ආමාත්‍ය මණ්ඩලයක් සමගියෙන් ක‍්‍රීඩා කරන ‘‘වොලිබෝල්’’ කණ්ඩායමක් මෙන් පැවතිය යුතු බවය. ඉන් අදහස් කරන්නේ අමාත්‍ය මණ්ඩලය ගන්න තීරණයක් සාමූහික වගකීමෙන් යුක්තව සියල්ලෝ ම භාරගත යුතුය යන්නය. ඇමැතිවරයෙක් වැරදි තීරණයක් ගතහොත් එකිනෙකට බෝලය පාස් කරමින් ගැළවීමට කිසිම ඇමැතිවරයකුට හැකියාවක් නැත. නමුත් පසුගියදා මෙම ආණ්ඩුවේ ඇමැතිවරු තිදෙනකු වූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන තිදෙනා, සාමූහික වගකීම් කඩකරමින් නීතිය ඉදිරියට යෑම නිසා පෙන්වූයේ ලෝකයේ වෙනත් කිසිම රටක නොවූ සිදුවීමකි.

තවද 2022.03.02 දිනයේ වර්තමාන රජයේ හවුල්කාර පක්ෂ 11ක් ම එක්වී රජයට විරුද්ධව ‘ජාතික ප‍්‍රකාශනය’ නමින් විරෝධතා ප‍්‍රකාශනයක් නිකුත් කිරීම ද සාමූහික වගකීමට විරුද්ධව යෑමකි. ඉන් සිදුවූයේ 2022.03.03 වැනි දින ම ජනාධිපතිතුමා විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මනපිල හා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන දෙදෙනා අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමය.

එමෙන්ම පසුගිය කාලය තුළ රජයේ ඇමැතිවරුන් දෙදෙනකු වූ උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ යන දෙදෙනා එකිනෙකාට විරුද්ධව මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශන නිකුත් කිරීම සාමූහික වගකීම් කඩකිරීමකි. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු වූ නිමල් ලන්සා හා සනත් නිශාන්ත යන අය ද එකිනෙකාට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම ද හාස්‍යජනක සිද්ධියකි.

අවුලක් නැතුව හත්හවුල සමග රට පාලනය කළ හැටි

දිවංගත අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ සමන්විත වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විප්ලවකාරී සම සමාජ පක්ෂය, සමස්ථ ලංකා සිංහල භාෂා පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම යන කොටස් 4 එක්වීමෙනි. නමුත් මෙම ම.එ. පෙරමුණ රජයේ ඇමැතිවරු අතර ද සාමූහික වගකීමක් තිබුණේම නැත. සමහර ඇමැතිවරුන් එකිනෙකා විවේචනය කරමින් පුවත්පත්වල පවා ලිපි ලිවීමට ද යෙදුණි. එකල ඇමැතිවරුන් 15ක් සිටි අතර 11ක් වෙනම සිටියහ. එහි නායකත්වය දැරුවේ අධ්‍යාපන අමාත්‍ය ලෙස සිටි විජයානන්ද දහනායක මහතාය. අනිත් කණ්ඩායමේ නායකත්වය දැරුයේ කෘෂිකර්ම අමාත්‍ය වූ පිලිප් ගුණවර්ධන මහතාය. එම කණ්ඩායමට පී. එච්. විලයම් සිල්වා හා ඇම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා යන අය අයත්ව සිටියහ. ටී. බී. ඉලංගරත්න මහතා මධ්‍යස්ථව සිටියේය.

මේ නිසා ම මෙම අමාත්‍ය මණ්ඩලය තුළ සාමූහික වගකිමක් නැතිවීමෙන් ගැටුම් උත්සන්න විය. ඒ නිසා ම අග‍්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතා ද අසරණ විය. අවසානයේ දී ඔහු අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඇති කළේය. ඊට විරෝධය පළකළ පිලිප් ගුණවර්ධන මහතා ඇතුළු 11ක මන්ත‍්‍රී පිරිසක් බණ්ඩාරනායක රජයෙන් කැඞී ගියහ. අවසානයේ දී සිදුවූයේ 1959 ජුනි මාසය වනවිට ම. එ. පෙ. ආණ්ඩුව කෙළවරවී ශ‍්‍රී. ල. නි. පක්ෂයේ ආණ්ඩුවක් ඇතිවීමය.

1970 මැතිවරණයේ දී බලයට පත්වූයේ ශ‍්‍රී. ල. නි. පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය යන පක්‍ෂ තුනෙන් හැදුණු සමගි පෙරමුණේ රජයකි. කෙසේ වුණත් මෙම පක්‍ෂ අතර ද සමගියක් නොවීය. 1975 අගෝස්තු 12 වැනිදා හර්තාල් දිනය සමරමින් ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා කළ කතාවක් පාදක කරගෙන අගමැතිනිය ලෙස සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා ල. ස. ස පක්‍ෂයේ නායකයන් අතර ගැටුමක් ඇතිවිය. එම ගැටුමේ ප‍්‍රතිඵලය වූයේ බණ්ඩාරනායක මැතිනියගේ තීරණයෙන් මුදල් ඇමැති ලෙස සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා වැවිලිකර්මාන්ත අමාත්‍ය ලෙස සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා ප‍්‍රවාහන අමාත්‍ය ලෙස සිටි ලෙස්ලි ගුණවර්ධන යන තිදෙනා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමය.

ඉන් පසුව 1977 පෙබරවාරි මාසය වනවිට ශ‍්‍රී. ල. නි පක්‍ෂයේ ලේකම් පදවිය දැරූ කර්මාන්ත හා විiා කටයුතු අමාත්‍ය ටී. බී. සුබසිංහ මහතා බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් ඉවත් වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ද රජයෙන් ඉවත් විය. ඒ නිසාම ශ‍්‍රී. ල. නි. පක්‍ෂය තනි විය. මින් වඩාත් ම හාස්‍ය ජනක සිද්ධිය වන්නේ 1977 මැතිවරණයේ දී වමේ පක්‍ෂ හා ශ‍්‍රී. ල. නි. පක්‍ෂය එකිනෙකාට දොස් පවරමින් විවේචනය කිරීමය. නමුත් දේශපාලනයට වශයෙන් සත්‍යය විය යුත්තේ 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණු රජයේ සියලූම වැරදිවලට පක්‍ෂ තෙුනේම ඇමතිවරුන් වගකිව යුතු බවය. සාමූහික වගකීම ලෙස සලකන්නේ එම කරුණයි.

2000-10-10 දින පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ නම් හවුල් රජය තුළ තිබුණේ අවුල් සහගත වාතාවරණයකි. ආර්ථික ප‍්‍රශ්න බලවත් වීම නිසා පාලනය තුළ දුර්වලතා ඇතිවිය. මේ නිසා ම 2001 සැප්තැම්බර් 5 වැනිදා පො. එ. පෙරමුණු රජය හා ජනතා විමුක්ති පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක් යටතේ පරිවාස ආණ්ඩුවකට එකඟ විය. ඒ සමග ම ඇමතිධුර දැරූ සමහරුනට ලැබුණේ උප ඇමතිධුර විය. ඒ අතර රාව්ෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් කොංග‍්‍රසය ද රජයෙන් ඉවත් විය. ඒ සමග ම පො. ඒ. පෙරමුණේ සිටි මහාචාර්ය ජී. ඇල්. පීරිස් ඇස්. බී. දිසානායක, මහින්ද විජේසේකර ඇතුළු මන්ත‍්‍රීන් පිරිසක් රජයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්‍ෂයට එක්වූහ. මේ අතරම විපක්‍ෂය මගින් රජයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වූ විට ජනාධිපතිනිය කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැර 2001 දෙසැම්බර් 5 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කිරීමය. ඒ අනුව පො. එ. පෙරමුණේ රජය මැතිවරණයෙන් පරාජය වීම නිසා ඒ. ජා. ප. රජයක් ඇතිවිය.

2004 ජනවාරි 23 වැනිදා ශ‍්‍රී ල. නි. පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගත විය. ඉන් පසුව වමේ අනිකුත් පක්‍ෂ සමග එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් නව දේශපාලන පක්‍ෂය බිහිවිය. ලකුණු වූයේ බුලත් කොළය යි. මේ අනුව 2004 අපේ‍්‍රල් 2 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් හදිසියේම මැති සබය විසුරුවා හරින ලදී. එම මැතිවරණයෙන් එ. ජ. නි. සන්ධානය ජයග‍්‍රහණය කිරීමට යෙදුණි. ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රී 13දෙනා සමග මන්ත‍්‍රීධුර 105ක් ලැබුණි. මෙහි විශේෂය වන්නේ ඉන් ජනතා විමුක්ති පෙරමුණට විශාල මන්ත‍්‍රීන් ගණනක් හිමිවීමය. එම ජ. වි පෙට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී 3දෙනා සමග මන්ත‍්‍රී ධුර 39 ක් හිමිවිය. ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග රජයේ අමාත්‍ය ධුර 4ක් ද එම පක්‍ෂයට ලබා දී තිබුණි. නමුත් ජ. වි. පෙරමුණ එම රජයේ සිටියේ ටික කාලයක් පමණි. එ. ජ. නි. සන්ධානයේ නායකයන් හා ජ. වි. පෙරමුණ අතර ආරවුල් ඇතිවිය. ජ. වි. පෙරමුණ රජයෙන් ඉවත් විය. ඒ සමගම ජ. වි. පෙරමුණ දෙකඩ විය. එහි ප‍්‍රචාරක ලේකම් ලෙස සිටි විමල් වීරවංශ මහතා අස් වී ජාතික නිදහස් පෙරමුණ නම් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා පසුව ජනාධිපති වුණ මහින්ද රාජපක්‍ෂ මහතාට සම්පූර්ණ සහාය දුනි. කෙසේ වුවත් 2022-03-03 වනවිට විමල් වීරවංශ මහතා ද ඉවත් කර ඇත. සමස්තයක් වශයෙන් බලන කල මේ රටේ ආණ්ඩු ගණනාවක් අවසන් වූයේ අවුල් සහගත තත්ත්වයක් උදා වීමෙන් පසුව බව පෙනේ.

නමුත් 1965 සිට 1970 දක්වා අවුල් නැතිව මේ රට පාලනය කළේ ඩඞ්ලි සේනානායක රජයයි. එම රජය සමහරු ජාතික ආණ්ඩුව ලෙසින් ද තවත් සමහරු ‘‘හත් හවුල’’ ලෙසින් ද හැඳින්වීමට යෙදුණි.

1965 මාර්තු 22 වැනිදා පැවැත් වූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී පක්‍ෂ තත්ත්වය අනුව ආසන ගණන වූයේ එක්සත් ජාතික පක්‍ෂයට 66ක් ද ශ‍්‍රී ලංකා නිහස් පක්‍ෂයට 41ක් ද ෆෙඩරල් පක්‍ෂයට 14ක් ද ලංකා සම සමාජ පක්‍ෂයට 10ක් ද ශ‍්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්‍ෂයට 5ක් ද කොමියුනිස්ට් පක්‍ෂයට 4ක් ද ද්‍රවිඩ සංගමයට3ක් ද මහජන එක්සත් පෙරමුණට 1ක් ද ජාතික විමුක්ති පෙරමුණට 1ක් ද ස්වාධීන 6ක් ද වශයෙනි. මෙම ප‍්‍රතිඵලය අනුව කිසිම පක්‍ෂයකට ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත ආසන ගණන හිමි වී නොතිබුණි. එහෙත් මෙහිදී එ. ජා. පක්‍ෂය මගින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ෆෙඩරල් පක්‍ෂය, ශ‍්‍රී. ල. නි. සමාජවාදී පක්‍ෂය, ද්‍රවිඩ සංගමය, ම. එ. පෙරමුණ, ජා. වි. පෙරමුණ, ආදී පක්‍ෂවල සහාය ලැබෙන බව ලිපියක් අග‍්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමාට ඉදිරිපත් කිරීමට යෙදුණි. ඒ අනුව අභිනව ආණ්ඩුවක් ඇති වූ අතර එ. ජා. ප නායක ඩඞ්ලි සේනානායක මහතා ආග‍්‍රාමාත්‍ය ධුරයට පත්විය.

අවුලක් නැතුව හත්හවුල සමග රට පාලනය කළ හැටි

එම ආණ්ඩුවේ ඇමැති ධුර 17ක් තිබූ අතර එ. ජා. පක්‍ෂයට 12ක් ද ශ‍්‍රී. ල. නි. සමාජ වාදී පක්‍ෂයට 3 ක් ද ෆෙඩරල් පක්‍ෂයට 1ක් ද ම. එ. පෙ.ට 1ක් ද ඇමැති ධුර හිමිවුණි. ජා. වි. පෙරමුණ වෙනුවෙන් ඌව- පරණගම මන්තී‍්‍රධුරයට පත් වූ කුසුමා රාජරත්න මහත්මියට උප ඇමැතිධුරයක් ලැබුණි. ද්‍රවිඩ වතු කම්කරු කොංග‍්‍රසයේ නායක ඇස්. තොණ්ඩමන් මහතා මැතිවරණයට ඉදිරිපත් වුණේ නැති වුවත් එ. ජා. පක්‍ෂයට සහාය දුනි. ඒ නිසාම උඩරට ප‍්‍රදේශවල නුවරඑළිය මස්කෙළිය කොත්මලේ නාවලපිටිය වැනි ආසන කීපයක් එ. ජා. පක්‍ෂයට ලබාගැනීමට හැකිවිය. එම කරුණ නිසා කම්කරු කොංග‍්‍රසයේ ඇස්. තොණ්ඩමන් හා වී. අන්නමලේ යන දෙදෙනාට අභිනව රජයෙන් පත් කරන මන්ත‍්‍රීධුර 2ක් ලබාදුනි.

ඩඞ්ලි සේනානායක රජය ජාතික ආණ්ඩුවක් වශයෙන්, නම් කළ ද දේශපාලන පක්‍ෂ 7කින් හැදුණු නිසා විරුද්ධවාදීන් හැඳින්වූයේ ‘‘හත්හවුල’’ යන නමිනි.

පරස්පර විරෝධී ප‍්‍රතිපත්ති ඇති අයගෙන්ද දේශපාලන සතුරන් ලෙස සිටි අයගෙන්ද සමන්විත අමාත්‍ය මණ්ඩලයක් පාලනය කිරීම ඩඞ්ලි සේනානායක මහතාට තිබූ විශාල අභියෝගයකි. 1953 හර්තාල් සමයේදී එතුමා අගමැති ධුරය අත්හැර ගිය නිසා හත්් හවුල පාලනය කළ නොහැකි යැයි දේශපාලන නිරීක්‍ෂණයක් සිතූහ. නමුත් එය එසේ නොවීය. බණ්ඩාරනායක රජය තුළ සිටි විජයානන්ද දහනායක සී, පී.ද සිල්වා, පිලිප් ගුණවර්ධන යන ඇමැතිවරු ජාතික රජය තුළ ද ඇමැතිවරු ලෙස සිටියහ. පිලිප් ගුණවර්ධන මහතා බණ්ඩාරනායක රජය තුළ අනිත් දෙදෙනා සමග ගැටුම් ඇතිකරගත් නමුත් ඩඞ්ලි සේනානායක රජය තුළ එවැන්නක් සිදු නොවීය. එමෙන්ම ඇම්. ඞී. එච්. ජයවර්ධන හා පිලිප් ගුණවර්ධන යන අය අතීතයේ සිට ම දේශපාලන සතුරන් ලෙස සිටි අයවූහ. නමුත් ඩඞ්ලි සේනානායක රජය තුළ ඔවුන් මිතුරන් ලෙස ඇමැතිධුර දැරීම කැපීපෙනෙන සිද්ධියකි. තවද ජාතික රජය තුළ පිලිප් ගුණවර්ධන මහතාට හිමි වී තිබුණේ කර්මාන්ත හා ධීවර අමාත්‍ය ධුරයයි. ඒ නිසා සංස්ථා හා සංයුක්ත මණ්ඩලවල රැකියා දීමේ වාසිය ඔහුට හිමිවිය. ඒ අනුව ඔහු තම පක්‍ෂය වන මහජන එක්සත් පෙරමුණට අයත් සෑහෙන පිරිසකට රැකියා ලබාදුනි. මේ නිසා ම එක්සත් ජාතික පක්‍ෂයේ සමස්ත ලංකා තරුණ පෙරමුණ ඊට තදින් විරුද්ධ විය. එම තරුණ පෙරමුණේ ලේකම් හා පක්‍ෂයේ නිල පුවත්පතවන සියරට පත‍්‍රයේ කර්තෘව සිටි ජිනදාස නියතපාල මහතා එක් අවස්ථාවක රැකියා ප‍්‍රශ්නය පිළිබඳව පිලිප් ගුණවර්ධන මහතා විවේචනය කළේය. ඔහු ඒ ජා. පක්‍ෂයේන ඉල්ලා අස්වීමට ද සූදානම් විය. නමුත් ඩඞ්ලි සේනානායක මහතා ඊට මැදිහත් වී මහජන එක්සත් පෙරමුණ හා ඒජාප තරුණ පෙරමුණ අතර තිබූ ගැටුම සමතයකට පත් කළේය. එමෙන්ම බණ්ඩාරනායක අමාත්‍ය මණ්ඩලයේ සිටි පිලිප් ගුණවර්ධන මහතා හා එවකට නියෝජ්‍ය පොලිස්පතිව සිටි සිඞ්නි සොයිසා මහතා අතර තිබුණේ තදබල විරසකයෙකි. සිඞ්නි සොයිසා මහතා පිලිප් ගුණවර්ධන මහතාට විරුද්ධව අපහාස කිරීමේ නඩුවක් ද ඉදිරිපත් කර තිබුණි. 1962 ජනවාරි මස ඇති වූ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණය අනුව ඉදිරිපත් කළ නඩුවට සිඞ්නි සොයිසා මහතා ඇතුළු සෑහෙන පිරිසක් විත්තිකරුවෝ වූහ. 1965 මැතිවරණය අවසන් වීමෙන් පසු මෙම කුමන්ත‍්‍රණ නඩුවේ තීන්දුව ලැබිණ. එම තීන්දුව වූයේ විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත දස අවුරුදු සිර දඬුවම් හා ඒ අයගේ දේපළ රාජසන්තක කිරීමය. නමුත් විත්තිකරුවෝ සියල්ලෝම ඩඞ්ලි සේනානායක රාජ්‍ය කාලය තුළ එම නඩු තීන්දුවට විරුද්ධව එංගලන්තයේ ප‍්‍රිමි කවුන්සිලයට ඇපෑලක් ඉදිරිපත් කළහ. එම ඇපෑලේ තීන්දුව අනුව සිඞ්නි සොයිසා මහතා ඇතුළු සියලූම විත්තිකරුවෝ නිදහස් වූහ. නමුත් පිලිප් ගුණවර්ධන මහතා ඊට විරෝධය පළ කළේ නැත.

මේ අනුව බලනවිට තදබල ගතිපැවතුම් ඇති පිලිප් ගුණවර්ධන මහතා මෙල්ල කරමින් ඩඞ්ලි සේනානායක මහතා රට පාලනය කිරීම අගය කළයුතු කරුණකි. 1970 මැතිවරණයේදී ම. එ. පෙරමුණට තරග කිරීමට ලැබුණේ ආසන 4ක් පමණි. නමුත් පිලිප් ගුණවර්ධන මහතා වැඩිපුර ආසන ඉල්ලා අරගල කළේ නැත.

1970 මැතිවරණයේ දී ජාතික රජය පරාජය වී සමගි පෙරමුණේ රජයක් ඇතිවිය. ඒ අවස්ථාවේදී පිලිප් ගුණවර්ධන මහතා කළ අදහස් දැක්වීම ඉතා වැදගත්ය. ඔහු කියා සිටියේ 1970 මැතිවරණයෙන් පසු මම ජාතික රජයෙන් ඉවත් වුණෙමි. එහෙත් ඩඞ්ලි සේනානායක මහතා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබන්නෙමි’’ යන්නය. මෙම ප‍්‍රකාශය ඉතාම අගය කළ හැක.

තවද ජාතික රජය තුළ ජාතිවාදී පක්‍ෂ 2ක් තිබුණි. එකක් නම් සිංහල ජාතිවාදී පක්‍ෂයක් ලෙස හැඳින් වුණු කේ. ඇම්. පී. රාජරත්න මහතා නායකත්වය දැරූ ජාතික විමුක්ති පෙරමුණය. අනිත් ජාතිවාදී පක්‍ෂය වූයේ ඇස්. තොණ්ඩමන් මහතා නායකත්වය දැරූ ද්‍රවිඩ වතුකම්කරු ජනතාව වෙනුවෙන් තිබුණු ලංකා කම්කරු කොංග‍්‍රසයයි. රාජරත්න මහතාගේ බිරිඳ වන කුසුමා රාජරත්න මහත්මිය 1965 මැතිවරණයේදී ජා. වි. පෙරමුණෙන් ඌව පරණගම ආසනයට තරග කොට දිනා මන්ත‍්‍රීවරිය වී සිටියාය. එම මැතිවරණයේදී රාජරත්න මහතා වැලිමඩ ආසනය තරග කොට පරාජය වීම නිසා ඩඞ්ලි සේනානායක රජයෙන් ඔහුට සංස්ථාවක සභාපති ධුරයක් ද පසුව උත්තර මන්ත‍්‍රී ධුරයක්ද ලබාදී තිබිණි. ඇස්. තොණ්ඩමන් මහතාටද පාර්ලිමේන්තුවේ රජයෙන් පත් කළ මන්ත‍්‍රී ධුරයක් හිමිවුණි. ජාතික රජය තුළ මෙම ජාතිවාදී පක්‍ෂ දෙක තිබූ නමුත් කිසිම ගැටුමක් සිදු නොවීය. එමෙන්ම 1965 මැතිවරණයේදී වැලිමඩ අසුනට තරග කළ ජා. වි. පෙ. නායක රාජරත්න මහතා පරදවා ජයගන්නේ ස්වාධීන අපේක්‍ෂක පර්සි සමරවීර මහතාය. සමරවීර මහතා පසුව ඒ. ජා. පක්‍ෂ යට එක්විය. ඩඞ්ලි සේනානායක මහතා මැදිහත් වී පර්සි සමරවීර හා කේ. ඇම්. පී. රාජරත්න යන දෙදෙනාගේ විරසකය නැති කර ඔවුන් සමගි කළේය. ඒ නිසාම එකල ‘‘ඇත්ත’’ පත‍්‍රයේ කාටුනයකින් ඒ බව කියා තිබුණේ ගහගන්නට එපා දෙන්නාට ම බිරිඳ වන්නම් උඹල දෙන්නම මාගේ නොවේද යනුවෙනි.

1970 මැතිවරණයේදී ජා. වි. පෙරමුණ ආසන තරග කළේ නැත. කේ. ඇම්. පී රාජරත්න මහතාට උත්තර මන්තී‍්‍ර ධුරයක් ලැබී තිබිණ. ඔහු ඒ. ජා පක්‍ෂයට පක්‍ෂව වැඩ කළේය.

ඩඞ්ලි සේනානායක මහතා දෙමළ භාෂාවට සාධාරණ තැනක් දීමේ අධිෂ්ඨානයෙන් ජාතික ආණ්ඩුවටඅයත්ව සිටි ෆෙඩරල් පක්‍ෂයේ විශේෂ ඉල්ලීම පිට 1966 ජනවාරි මස දෙමළ භාෂා විශේෂ විධිවිධාන සහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසුව සම්මත කිරීමට යෙදුණි.

මෙහිදී පුදුමය වන්නේ සුළු ජාතීන් වෙනුවෙන් හඬ නැඟූ වාමාංශික පක්‍ෂ පවා ඩඞ්ලිගේ බඬේ මෂල වඬේ. යැයි කියමින් පනතට විරෝධය දැක්වීමය. මේ නිසාම මේ රටේ ස්වාමීන් වහන්සේලා ද පනතට විරුද්ධ වූහ. අවසානයේදී මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පිට එම පනත ක‍්‍රියාත්මක කළේ නැත. ඒ සමගම පළාත් පාලන අමාත්‍ය ධුරය දැරූ ඇම්. තිරුචෙල්වම් මහතා සමග ෆෙඩරල් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය. නමුත් ඩඞ්ලි සේනානායක මහතා කෙරෙහි තැබූ විශ්වාසය නිසා 1970 මැතිවරණ වන තුරුම ෆෙඩරල් පක්‍ෂය ජාතික ආණ්ඩුවට සහාය දුනි. ඒ නිසා ආණ්ඩුව බිඳ වැටීමක් නොවීය.

ඒ සමගම 1968 වර්ෂය වනවිට සී. පීි. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී. ල. නිදහස් සමාජවාදී පක්‍ෂය විසුරුවා හැරීමට තීරණය විය. ඒ අනුව එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරු එ. ජා. පක්‍ෂයට එක් වූහ. සීි. පීි. ද සිල්වා මහතාට ද එ.ජා පක්‍ෂයේ උප සභාපති ධුරයක් හිමිවිය. ජාතික ආණ්ඩුව තුළ සභානායක ධුරය දැරුවේ සී. පී ද සිල්වා මහතාය. නමුත් රාජ්‍ය අමාත්‍ය ධරය දැරුවේ ඒ.ජා. උප නායක ලෙස සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාය. මේ නිසාම ඩඞ්ලි සේනානායක මහතා කළේ විදේශ සංචාරවල යෙදෙන විට අගමැති ධුරයේ වැඩ බැලීමට ජේ. ආර්. ජයවර්ධන මහතා පත් කිරීමය. මේ නිසාම ජේ. ආර්. ජයවර්ධන මහතා හා සී, පී. ද සිල්වා මහතා අතර භේදයක් සිදු නොවීය. මේ අනුව බලන විට ද්‍රවිඩ පක්‍ෂ, ජාතිවාදී පක්‍ෂ, වමට අයත් ම. එ. පෙරමුණ ඇතුළු පක්‍ෂ 7 කින් යුත් හත් හවුල අවුලක් නැතිව පාලනය කිරීමට ඩඞ්ලි සේනානායක මහතා සමත් විය. ඒ නිසාම නිල කාලය අවසන් වන තුරුම අවුරුදු 5 ක්ම ජාතික ආණ්ඩුව පැවතීම දේශපාලන ක්‍ෂේත‍්‍රයේ වැදගත් සිද්ධියකි.

විශ‍්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ
නන්දලාල් වාකිස්ට

advertistmentadvertistment
advertistmentadvertistment