රවිචන්ද්‍රන් අශ්වින් සහ කුල්දීප් සිංගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පෙරේදා (26 වැනිදා) සමත් විය.
පූනේ හි පැවති මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 144ක් ලබා ගැනීමට සමත් වූයේය. එම ඉලක්කය හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දු වාර 19.3ක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 115ක් පමණි.
බැංගලෝර් කණ්ඩායම අමාරුවේ දැමූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 17 කට කඩුලු 3ක් සහ කුල්දීප් සිං ලකුණු 20කට කඩුලු 4ක් බිඳ දැමූහ. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංග සිය පන්දු වාර හතර තුළදී ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය. පිතිහරඹයේ යෙදීමේදී ද හතරේ පහර දෙකක් සමග ලකුණු 18ක් ලබා ගැනීමට හසරංග සමත් වූ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් රියාන් පරාග් පන්දු 31කදී ලකුණු 53ක් ලබා ගත්තේය. ඔහු විසින් උඩ පන්දු 4ක්ද රැක ගන්නා ලදි. රවිචන්ද්‍රන් අශ්වින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ලකුණු සාරාංශය
රාජස්ථාන් රෝයල් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 144යි (රියාන් පරාග් (නොදැවී) 56, සංජු සැම්සන් 27, මොහොමඩ් සිරාජ් 30/2, ජෝස් හසල්වුඩ් 19/2, වනිඳු හසරංග 23/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 115යි (ෆෆ් ඩුප්ලෙසිස් 23, ෂබාස් අහමඩ් 17, වනිඳු හසරංග 18, කුල්දීප් සිං 20/4, රවිචන්ද්‍රන් අශ්වින් 17/3, ප්‍රසීද් ක්‍රිෂ්නා 23/2)
|