අස්වැසුම එකම හව්හරණ කරගත් කැදැල්ලක්

83

රජයේ අස්වැසුම වැඩසටහන යටතේ ලැබෙන ප්‍රතිලාභය එකම ජීවන මාර්ගය කරගත් පවුලක් පසුගියදා අපට හමුවිය. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 580 වෙල්ලාරගම ග්‍රාමසේවා වසමේ වෙල්ලාරගම පදිංචි මෙම පවුල කුඩා පැල්පතක ජීවත් වෙයි. සාරි, චීත්ත රෙදි හා ඇඳ ඇතිරිලි (බෙට්සීට්) වලින් ආවරණය කරගත් කුඩා පැල්පතෙහි සිව්දෙනකු ජීවත් වෙති. ඩී.දයාරත්න (71) , එච්.ඉන්දාවතී (69), ශියානි බන්දුලා දයාරත්න (40) සහ ඩබ්.ඒ.ඉඳුවර හේෂාන් (10) මෙම කුඩා පැල්පතේ ජීවත් වෙති. ඉඳුවර හේෂාන් මිහින්තලේ අ/වෙල්ලාරගම විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකි.

ශියානි බන්දුලා දයාරත්න විවාහක කාන්තාවකි. ඇය ස්නායු රෝගී තත්ත්වයකින් පෙළෙන හා අඩු කල්පනා ශක්තියකින් පසුවන කාන්තාවක්ය. ඇයට පිරිමි දරුවන් දෙදෙනකු හා එක් ගැහැනු දරුවකු සිටින අතර ඇගේ ස්වාමියා ද රෝගී තත්ත්වයක් හේතුවෙන් දියේ වැටී මීට කලකට ඉහත දී මියගොස් ඇත. වැඩිමහල් පිරිමි දරුවා වයස අවුරුදු 18 පසුවන අතර ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පිරිවනක අධ්‍යාපනය ලබන බවත් වයස අවුරුදු 14 පසුවන ගැහැනු දරුවා ස්වාමියාගේ දෙමාපියන් යටතේ ජීවත් වෙමින් පාසල් අධ්‍යාපනය ලබන බවත් ඇය පැවසුවාය.

ශියානි බන්දුලා දයාරත්න තම ළාබාල දරුවා ද සමග මව හා පියාගේ රැකවරණය යටතේ මෙම කුඩා පැල්පතේ ජීවත් වුවද අවුරුදු 71ක් වයසැති පියා ද ඇස් පෙනීම දුර්වල හෙයින් කිසිවක් කරකියාගත නොහැකිව පැල්පතටම සීමා වී සිටී. ඇගේ මව ද වයස අවුරුදු 69ක් වන අතර ඇය ද යහපත් ශාරීරික තත්ත්වයකින් පසුවන කෙනකු නොවන බව සටහන් තැබිය යුතුය. කුසට අහරක් හිසට වහලක් නැති මෙම අසරණ පවුල වෙත කවරකුට හෝ පිහිටක් වීමට හැකියාවක් ඇත්නම් එය මාහැගි පින්කමක් බව සිහිපත් කරනු කැමැත්තෙමි. මැසි මදුරුවන්, සතා, සර්පයාගෙන් බේරී එක් රැයක් පහන් කර ගැනීමට ඇත්නම් එය තමාගේ එකම සිහිනය බව ඩී.දයාරත්න (71) ගේ අදහස වී තිබේ. නිවසක් ඉදිකර ගැනීම සඳහා තමන්ට කියා බිම් කොටසක් තිබුණ ද ඊට අවශ්‍ය මූල්‍ය ගැටලුව හේතුවෙන් ඔවුන්ගේ ජීවිත මෙම කුඩා පැල්පතටම සීමා වී තිබේ.

මෙම අයට උපකාරයක් කිරීමට කැමති අයෙකු වෙතොත් 0740119698 දුරකථන අංකයට ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවිඩයක් මගින් තොරතුරු ලබාගත හැකිය.

ප්‍රභාත් වනසිංහ- නාච්චාදුව

advertistmentadvertistment
advertistmentadvertistment