අසාමාන්‍ය ලෙස වත්කම් ඉපයීමේ විමර්ශනය! පාර්ලිමේන්තුවෙන්ම ආරම්භ විය යුතුය

417

නීති විරෝධී ක‍්‍රියාවල යෙදෙමින් අසාමාන්‍ය ලෙස වත්කම් උපයන පිරිස් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි. එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම තොරතුරු විශේෂ දුරකථන අංක 1917 ට ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි. එසේ නම් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල යටතේ පිහිටු වූ ස්ලිට් ආයතනය සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමය (කැබිනට් ක‍්‍රියාදාමය ඇතුළුව) අවභාවිතා කරමින් රජයේ අයිතීයෙන් බැහැර කිරීම පොලිසියේ අවධානය යොමු විය යුතුමය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට නායකත්වය දුන් මහාචාර්ය චරිත හේරත් මෙම ක‍්‍රියාව පද්ධතිගත දූෂණයක් බවයි. පාර්ලිමේන්තු ක‍්‍රමය දූෂණයට යොදා ගත්, යොදා ගන්නා බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපතිවරයාට අවධාරණය කිරීමට සිදුවීම කෙතරම් අවාසනාවක්ද? හේරත් මන්ත‍්‍රීවරයාට 9 වන පාර්ලිමේන්තුවේ පළමු වන සැසිවාරය කල් තැබීම සමඟ අහිමි විය. නව සැසිවාරය ජනවාරි 18 දින ආරම්භ විය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නායකත්වය එතුමාට නැවත ලැබීම යුක්තිය ඉටුවීමකි. කපන්න බැරි අත සිබිමකි. එලෙසෙම රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ මුල්‍ය කාරක සභාව නායකත්වය පිළිවෙළින් මහාචාර්ය තිස්ස විතානට සහ අනුර පි‍්‍රයදර්ශන යාපාට නැවත ලැබීම සන්තෝෂයට කාරණාවකි.

‘නීති විරෝධී වත්කම් සහ දේපල විමර්ශන අංශය’ පසුගියදා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය. රහස් පොලිසිය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ස්ථාපිත කර ඇති එම අංශය අසාමාන්‍ය ලෙස වත්කම් ඉපයීම පිළිබඳව යම් සාධාරණ සැකසහිත තොරතුරු මහජනතාව සතුව තිබේ නම් වහාම 1917 දුරකථන අංකය හරහා තම කණ්ඩායමට දැනුම් දෙන ලෙස ප‍්‍රකාශයක් කළේය.

පොලිස් මූලස්ථානය දෙසැම්බර් 22, 2021 නිකුත් කරන ලද නිවේදනයකට අනුව ‘නීති විරෝධී වත්කම් සහ දේපල විමර්ශන අංශය’ ස්ථාපිත කිරීමට තීරණය වූයේ විවිධ පුද්ගලයින් නීති විරෝධී ක‍්‍රියාවල යෙදෙමින් වත්කම් උපයන බවට පොලීසිය නිරීක්ෂණය කළ නිසාය.

මෙම විවිධ පුද්ගලයින් අතර දේශපාලඥයින්, ප‍්‍රභූන්, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් මෙන්ම ව්‍යාපාරිකයින්ද සිටිය හැක. පොලිස් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ද සිටිය හැක. මාධ්‍යවේදීන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයින් සම්බන්ධයෙන්ද සොයා බැලීමක් කිරීම කිසිදු වරදක් නැත.

අසාමාන්‍ය ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පාතාලයට පමණක් නොවේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැති සභය නියෝජනය කරන බවට චෝදනා එල්ල විය. පකිස්ථානයේ කරච්චි නුවරින් කොළඹ වරායට ඒවා තිබූ හෙරොයින් සහිත කන්ටේනරයක් නිදහස් කර ගැනීමට එවකට අග‍්‍රාමාත්‍ය දි. මු . ජයරත්නගේ කාර්යාලයෙන් ලිපියක් 2013 දී රේගුවට ඉදිරිපත් කළ බවට කිසිදු සැකයකින් තොරව ඔප්පු විය. නිසියාකාර පරීක්ෂණයක් සිදු නොවීය.

රහස් පොලිසිය යටතේ ක‍්‍රියා කරනු ලබන අධ්‍යක්ෂවරයකු යටතේ ක‍්‍රියාත්මක මෙම විශේෂ කණ්ඩායම දවසේ පැය 24 පුරාම තොරතුරු ලබා ගැනීම සිදු කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනය ජනතාවට අනතුරු ඇඟවීමක්ද කළේය. එනම් ද්වේශ සහගත ලෙස හෝ පෞද්ගලික අමනාපකම් මත මෙන්ම හේතු නොමැතිව මෙම විශේෂ දුරකථන අංකයට ඇමතුම් ලබා දෙන පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශනය කරන බවයි.

දූෂණය, වංචාව සහ බරපතල අක‍්‍රමිකතා ඉහවහා ගොස් ඇති තත්ත්වය යටතේ ‘නීති විරෝධී වත්කම් සහ දේපල විමර්ශන අංශය’ ජනතාවගෙන් තොරතුරු ලැබෙන තුරු බලා සිටීමට අවශ්‍ය නැත. විමර්ශන පාර්ලිමේන්තුවෙන්ම පටන් ගත හැකිය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (එවකට සභාපති මහාචාර්ය චරිත හේරත්), රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (මහාචාර්ය තිස්ස විතාරණ) සහ මූල්‍ය කාරක සභාව (අනුර ප‍්‍රියදර්ශන යාපා) 2020 අගෝස්තු මහා මැතිවරණයෙන් පසුව විගණන දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වයෙන් සකස් කරන ලද විමර්ශන වාර්තා පොලිසියේ කාර්ය භාරය අනිවාර්යෙන්ම පහසු කරනු ඇත. ඒ පිළිබඳව සැකයක් නැත.

එම වාර්තා පාර්ලිමේන්තුව හරහා මහජනතාවට ඉදිරිපත් විය. නමුත් එම ආන්දෝලාත්මක හෙළිදරව් නිසි අවධානයකට ලක් නොවීය. දේශපාලන නායකත්වය එම පරීක්ෂණ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීමට පසුබට වූවාද? පාර්ලිමේන්තු මුර බල්ලන් මෙන් ක‍්‍රියාකරන එම කාරක සභා කළ හෙළිදරව් නීති විරෝධී සහ අසාමාන්‍ය ලෙස වත්කම් ඉපයීම් පිළිබඳව විමර්ශනය කරන විශේෂ පොලිස් කණ්ඩායමට මහත් රුකුලක් වනු ඇත.

අසාමාන්‍ය ලෙස වත්කම් ඉපයීම පිළිබඳව විමර්ශනය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් රහස් පොලිසියේ එසේ නැතහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියාත්මක විශේෂ කණ්ඩායමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහයෝගය ද ලබා ගත හැකිය. නීතිපති දෙපාර්තමේන්තුව ද සමස්ත දූෂණ විරෝධී මෙහෙයුමට සම්බන්ධ කළ යුතුය. ජනතාව තොරතුරු ලබා දෙන තුරු විමර්ශකයින් බලා සිටිය යුතු නැත.

අදාළ කාරක සභා විගණන දෙපාර්තමේන්තුවේ ද පූර්ණ සහයෝගයෙන් විමර්ශනාත්මකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා පිළිබඳව නීතිප‍්‍රකාරව කටයුතු කිරීමේ වගකීමක් පාර්ලිමේන්තුවට ඇත. ඊට පාර්ලිමේන්තුව වගවිය යුතුය. රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුව වගකිව යුතු බව අමුතුවෙන් අවධාරණය කිරීමට අවශ්‍ය නැත.

පොලිස් මූලස්ථානයට අවශ්‍ය නම් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් දූෂණය, වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අදාළ වාර්තා ගෙන්වා ගත හැකිය. එසේත් නැතහොත් එම වාර්තා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ගෙන් ගෙන්වා ගත හැකිය. නැතහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ එකතුවී දැනටම නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර ඇති එම වාර්තා රහස් පොලිසියට යැවිය හැක.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව මුහුණ දෙන අභියෝග පිළිබඳව විමසා බැලීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ මෑතකදී සංවිධානය කර තිබූ වැඩසටහනකදී මෙම ලියුම්කරු අදාළ පාර්ලිමේන්තු වාර්තා ගොන්නක් ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායකට බාර දුනි. සමස්ත ආර්ථිකය බරපතල අර්බුදයකට මැදිවී ඇති මෙම අවස්ථාවේ රාජ්‍ය මූල්‍ය ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින්ම අවධානය යොමු කර ඇති කරුණු කාරණා පිළිබඳව කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරිණි. රාජ්‍ය අංශය සහ රාජ්‍ය අංශය – පෞද්ගලික අංශය සමඟ එක්වී රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපාන ආකාරයට ක‍්‍රියාත්මක වී ඇති බවද මෙහිදී අවධාරණය කළේය.

අසාමාන්‍ය ලෙස වත්කම් ඉපයීම් විමර්ශනය කළ යුත්තේ රජයට හිමිවිය යුතු අදායම් අහිමි කිරීම් පිළිබඳව අවධානයට ලක් කරමිනි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකිනෙකාට එල්ල කර ගන්නා දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා චෝදනා පිළිබඳව විමර්ශනය කළ හැකිය. මෙහෙමත් පාර්ලිමේන්තුවක් කුමකට ද කියා ජනතාවට සිතෙන තරමට චෝදනා බරපතළය. ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක නොසන්ඩාල පාර්ලිමේන්තු ක‍්‍රමය අවිනීතය. කිසිදු වගකීමක් නැත. ආණ්ඩු පක්ෂය කුමක් වුවත් දූෂිත ක‍්‍රමය රැක ගැනීමට කටයුතු කරන බවට පැහැදිලිය. හිටපු කථානායකවරයකු වන ඩබ්ලිව්. ජේ. එම්. ලොකුබණ්ඩාරගේ පුත‍්‍රයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකුබණ්ඩාර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි ගණනක් අවසරයකින් තොරව ගත් බවට අග‍්‍රාමාත්‍යවරයා කළ චෝදනාව අතිශය බරපතලය. අසාමාන්‍ය ලෙස වත්කම් ඉපයීම් විමර්ශනය කිරීම සම්බන්ධයෙන් සැබෑ අවශ්‍යතාවයක් තිබේ නම් අග‍්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් සම්බන්ධයෙන් ද නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුය. නමුත් පොලිස් පරීක්ෂණයක් අපේක්ෂාවෙන් අදටත් අරලියගහ මන්දිරයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වී නැත.

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය විනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති තත්ත්වය මෑතකදී අවධාරණය කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පැසසුමට ලක්විය යුතු නායකත්වය දුන් මහාචාර්ය චරිත හේරත් ය. ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමයේ 63 වන සංවත්සරික මහ සභා රැස්වීම පැවැත්වූ බත්තරමුල්ලේ වෝටර්ස් එජ් හෝටලයේදී හේරත් මන්ත‍්‍රීවරයා කළ අදහස් ආන්දෝලනාත්මකය. ඒ ජනවාරි 25 දිනය.

ජාතික ලැයිස්තු මන්ත‍්‍රී හේරත් මින් පෙර කිසිදු ජනතා නියෝජිතයකු නොකළ ප‍්‍රකාශයක් කළේය. කවුරු බලයේ සිටියත් රාජ්‍ය යාන්ත‍්‍රණය මූල්‍ය විනය පවත්වාගැනීමට ප‍්‍රධානම බාධාව බව ඔහු කළ ප‍්‍රකාශය සමස්ත දේශපාලන නායකත්වයේ අවධානයට යොමු විය යුතුය. ‘නීති විරෝධී වත්කම් සහ දේපල විමර්ශන අංශය’ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. රටේ මූල්‍ය විනය පවත්වා ගැනීමේ පූර්ණ වගකීම පාර්ලිමේන්තුව සතුය. එවැනි තත්ත්වයක් යටතේ මහාචාර්යවරයා කළ ප‍්‍රකාශය සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රමයට එල්ල කළ ප‍්‍රබල ප‍්‍රහාරයකි. එතුමා කළ ප‍්‍රකාශය ඔහුගේ වචනයෙන්ම පහත සඳහන් වේ.

”ඔබ සේවය සිදුකරන්නේ රාජ්‍ය යාන්ත‍්‍රණයේ සැලසුම් ක‍්‍රියාත්මක කරන්නන්ගේ සහ සමහර දූෂණයට සම්බන්ධ විෂම චක‍්‍රයන්ගේ රැවුම් ගෙරවුම්, අමනාපයන් සහ අභියෝග මාධ්‍යයේයි. මේ කාරණය සමහර අවස්ථාවල බරපතළ පීඩාවන්, තර්ජනය කිරීම් දක්වා වර්ධනය වූ අවස්ථා තිබූ බව ඔබ හොඳින් දන්නවා.”

දශක හයක් ක‍්‍රියාත්මක වූ ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමය මුහුණ දෙන, තවදුරටත් වර්ධනය වෙමින් පවතින අභියෝග අවධාරණය කරන්නේ සමස්ත අසාමාන්‍ය ලෙස වත්කම් උපයන කණ්ඩායම් දේශපාලන බලයෙන් සන්නද්ධ වීම නොවේද? අසාමාන්‍ය ලෙස වත්කම් උපයන කණ්ඩායම් ශක්තිමත් වීම සැසඳිය යුතු වන්නේ ඊට සාපේක්ෂව රාජ්‍ය ආදායම අඩුවීමයි. නීති විරෝධී ආකාරයට මුදල් ඉපයීම පිළිබඳව පසුබිම් කතාව එම තොරතුරු විමර්ශනය සඳහා පිහිටුවා තිබෙන කණ්ඩායමට පාර්ලිමේන්තු වාර්තා අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැක.

මහාචාර්ය හේරත් රජයට කොටස් 99% හිමිකාරිත්වය ඇති ලිට්රෝ සමාගම 2019 ආණ්ඩු පෙරළියෙන් පසුව කටයුතු කළ ආකාරය අවධාරණය කළේය. රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවේ වගකීම බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි තත්ත්වයක් තුළ ලිට්රෝ ආයතනය රාජ්‍ය විගණනය අක‍්‍රිය කරන්නේ ඇයි? රාජ්‍ය ආයතනයකට එවැනි තීරණයක් ගත හැකිද? ලිට්රෝ නායකත්වය සහ මහාචාර්ය හේරත් මෙහෙයවනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව අතර ඇතිවන ගැටුම්කාරී තත්ත්වය තුළ එම ආයතනය අධිකරණයට යෑම සාධාරණීකරණය කළ හැකිද? මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ ලිට්රෝ ආයතනයේ හිමිකාරිත්වය ඇති ශ‍්‍රී ලංකා රක්ෂණ සමාගම සහ නීතිපතිවරයා ලිට්රෝ විගණනය කිරීමේ පූර්ණ අයිතිය විගණකාධිපතිවරයාට ඇති බවට පෙන්වා දී තිබෙන පසුබිමක අදාළ ආයතනය කටයුතු කර තිබෙන ආකාරය අදහා ගත නොහැක.

”මේ විගණකාධිපති වපසරිය පිළිබඳව සමහරුන් තුළ ඇති විචිකිච්ඡාව පුදුම සහගතයි. මෙහි සිටින විගණකාධිපතිතුමා හොඳින් දන්නවා සමහර රජයේ කොටස් 50% නොව 98% පමණ තිබෙන ව්‍යාපාර රජයේ විගණනයෙන් ඉවත් වී යෑමට උත්සාහ දරන අවස්ථා විශාල ගණනක් තිබෙනවා. පසුගිය 9 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ ලිට්රෝ සමගම රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්ස හයක් ගත්තා. ලිට්රෝ සමාගම යනු 99% ක් කොටස් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයිති, රජයේ ආයෝජනයකින් මිලදී ගත් 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සමාගමක්. මේ සමාගම 2021 මුල් කාලයේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවට පැමිණීම ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව,

විගණකාධිපතිතුමාට විගණනය සඳහා කිසිදු අයිතියක් නැතැයි කියන මතය දැරුවා. එපමණක් නොවේ, මේ සමාගම 2021 වර්ෂයේ විගණකාධිපතිවරයා ගණනය කිරීමට එරෙහිව උසාවියේ වාරණ නියෝගයක් ලබා ගත්තා. රජයේ ආයතනයක්, රජයේ විගණනය කිරීමට එරෙහිව උසාවි ගොස් ඒ නඩු /නීතිඥ ගාස්තු සඳහා පමණක් ලක්ෂ 200 ක් ඒ සමාගමේ මුදල් වියදම් කර තිබෙනවා. මම හිතන්නේ මේ කාරණය ඉතාමත් බරපතළ තත්ත්වයක් අප හමුවේ විවර කරනවා.”

මහාචාර්ය හේරත් නොකියූ කතාවක් ද ඇත. එනම් ලිට්රෝ සමාගම ඒ නඩු /නීතිඥ කටයුතු සඳහා සේවය ලබා ගෙන ඇත්තේ ජනාධිපති නීතිඥවරුන් වන රටට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමේ භාරදුර රාජකාරියට නායකත්වය දෙන රොමේෂ් ද සිල්වා සහ මුදල් මණ්ඩලයේ සාමාජික සංජිව ජයවර්ධනය. රුපියල් ලක්ෂ 211 වියදම් කර ඇත.

රජය සතු ආයතන විගණනය කිරීමේ බලය ව්‍යවස්ථාවෙන්ම විගණකාධිපතිවරයාට පවරා ඇත. ඒ බලය අධිකරණය හරහා අභියෝග කරනවා නම් ඊට ඇති හේතුව විමර්ශනය කිරීම කළ යුතුය. අංක 1917 දුරකථන ඇමතුම් ජනතාවගෙන් ලැබෙන තුරු සිටීමට අවශ්‍ය නැත. රහස් පොලිසිය යටතේ ක‍්‍රියාත්මක විශේෂ අංශයට මහාචාර්ය හේරත් කියූ කරුණු කාරණා පිළිබඳව විමසා බැලිය හැක.

දූෂණයට, වංචාවට සහ අක‍්‍රමිකතාවලට පාර කපන්නේ දේශපාලන නායකත්වය (කවුරු බලයේ සිටියත්) සහ ඉහළ නිලධාරී පැලැන්තිය නොවේද? යහපාලන සමයේදී ජාතික විගණන පනත දියාරු කර හැරීමට කටයුතු කළේ කවුද? එදා යෝජනා කළ පරිදි අධිභාරයක් පැනවීමට නීතියෙන් ඉඩක් තිබුණේ නම් ලිට්රෝ ආයතනයට සිදු වූ මූල්‍ය හානිය පූර්ණය කර ගැනීමට අවස්ථාව ඇත. මහාචාර්ය හේරත් ද ඒ බව ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමයේ 63 වන සංවත්සරයේදී පැවසීය.

ශ‍්‍රී ලංකාවේ දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතා මෙහෙයවන එන්ජිම දේශපාලන සහ නිලධාරී බලයද? තත්ත්වය කණපිට හැරවිය විය කාලය පැමිණ ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment