අසිරිමත් රූමස්සල ගැන මෙහෙමත් කතා අහන්න

182

දකුණේ උපන් අපට ගාලූ ස්වභාවික වරායත්, සුන්දර රූමස්සල ඔසු උයනත් පිහිටීම වාසනාවකි. එදා හිමාල කන්දේ ස්වභාවික බෙහෙත් පැළෑටි කොතෙක් තිබුණද ඒ සියල්ලම කැටිකර පුංචි කඳු වළල්ලක ඒවා පිහිටීම දේව බලයෙන්ම සිදුවූ පිහිටීමක් ලෙස මා දකිමි. ලංකාවේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වූ රාවණා සියලූ ශාස්ත‍්‍රයන්හි අගතැන්පත්ව සිටි බව අපි අසා ඇත. වෛද්‍ය වෘත්තිය, දුනු ඊතල කඩු සරඹ දැනුම, උඩින් යෑමේ තාක්‍ෂණය, දඩුමොණරය නිර්මාණය, නක්ෂත‍්‍රය හා වෙදකම පිළිබඳ ඉහළම හැකියාව ආදී මේ සියලූ දැනුම ඔහු සතුව තිබිණි. මේ සියලූ දැනුම් සම්භාරයක් තුළින් රාජ්‍ය නායකයෙක් බිහිවීම දුර්ලභ සිද්ධියකි. ඔහුගේ යුද ශක්තිය තුළින් එදා ඉන්දියාවේ රජකළ රාම කුමරු හමුවට ගොස් ඔහුට තම ශක්තිය පෙන්වා ඔහුගේ මෙහෙසිය සීතා කුමරිය තම දඬුමොණරයෙන් ලංකාවට ගෙනවිත් ආරක්‍ෂිතව සිරකර තැබීය. නමුත් සීතාවන්ට රාවණා ළං වූයේ නැත. එයින් රාවණා රජුගේ උත්තරීතරභාවය හොඳට පැහැදිලි වේ. පසුව ඉන්දියාවෙන් ආ සේනාවන් අපේ සිංහල සේනාව සමග සටන් වැදුනි. රාමා ඇතුළු ඔහුගේ හමුදාව රාවණා රජුගේ සේනාව අතින් තුවාල ලැබූහ. රාමාගේ දක්ෂ යුද සෙනෙවියෙක් වූ හනුමන්තාට හිමාලයට ගොස් බෙහෙත් පැළෑටි ගෙනඑන ලෙස රාමා විසින් නියෝග කළා. ඔහු තම සෘද්ධි බලය පා හිමාලයට ගියා. බෙහෙත් වර්ග අමතක විය. ඔහු කළේ තම හැකියාව පෙරටුව හිමාලයේ බෙහෙත් ඇති බිමක් ඔසවාගෙන ඒමයි. අපේ වාසනාවට එයින් කොටසක් උණවටුනේ පතිත විය. එය අපි අද රූමස්සල නමින් හදුන්වයි. එය අපට ලැබුණ දේව ආශිර්වාදයක් බවද කිව යුතුය. උණවටුන නම හැදී ඇත්තේද මේ කරුණ මුල්කරගෙනය.

ජාත්‍යන්තර කීර්තියට පත් ආතර් සී ක්ලාක් මහතා මේ භූමිය ගැනත් සාගරය ගැනත් පර්යේෂණ පවත්වා ඇත. ඔහුගේ මතය නම් මේ රූමස්සල බිම්කඩ මෙයට වසර ලක්‍ෂයට පමණ පෙර සූර්යයාගෙන් ගිලිහී ආ උල්කාපාතයක කොටසක් බවයි.

රූමස්සල කඳුවැටියේ එදා දුර්ලභ සියලූම බෙහෙත් වර්ග ආරක්‍ෂිතව තිබී ඇත. ඉන්දියාවේ වෛද්‍ය ආචාරීන් බෙහෙත් වර්ග සමීක්‍ෂණය සඳහා රූමස්සල කරා පැමිණ ඇත. ඔවුන්ගේ මුත‍්‍ර බිඳක්වත් කන්දේ පතිතකර නැත. එය බෙහෙත්වලට දක්වන ගෞරවයකි. පෙරදා බවුන් වඩන තවුසන් ඉන්දියාවේ බ‍්‍රාහමණයන් රූමස්සල කන්දේ බෙහෙත් ගම් ආරක්‍ෂා කරමින් සිටි බව පැරැණි අය කියති.

රූමස්සල කඳුවැටියේ මුළු ලෝකයේම තිබූ දුර්ලභ බෙහෙත් ගස් තිබී ඇත. පැරැණි ආයුර්වේද පඬිවරුන් මේ බිමේ තිබූ ගසක කොළ වාෂ්ප කර සිහිනැති කිරීමට, වේදනා අඩු කිරීමට යොදාගත් බව මමද දැනි සිටියෙමි. එම දුර්ලභ ගස යටට යන අයකුට නින්ද යෑම ගැන කිසිවෙක් පර්යේෂණ කර නැත. එදා ගැමියන් විසින් මිනිසුන් මරණ ගසක් යැයි කියා ගසට ගිනි තබා විනාශ කර ඇති බව දැනගන්නට ලැබුණි. මම ඒ ගස දුටු නිසා දුක්වීමි.

අසිරිමත් රූමස්සල ගැන මෙහෙමත් කතා අහන්න

මේ ඔසු උයනේ විවිධ බෙහෙත් ගස් අතර රූපශෝභාව වැඩිකරන, පුරුෂ ශක්තිය වැඩිකරන, නාග විෂ නැතිකරන ගස්වැල් තිබී ඇත. මහාමාරිය, ලාදුරු, ක්‍ෂය රෝගය නිට්ටාවටම සුවකරන බෙහෙත් එමට තිබී ඇත. රූමස්සල කන්ද සිසාරා ගලා එන දියපාරක් ඇත. එම ස්ථානයේ දියපීලි සවිකර ඇත. ඒ ජලය නෑමෙන් රෝග නිවාරණය වීම සිදුවේ. පීල්ලෙන් නෑමට එදා මිනිසුන් පුරුදුව සිටියේය. ඈත පළාත්වල රෝගීන් පැමිණ ජලය ස්නානය කර ගියේය.

එදා උණවටුන ගමේ හඬක් නැගිය හැකි බුද්ධිමතුන් උසස් ධනවත් කොතෙක් සිටියත් ඔවුහු රූමස්සල ඔසු උයන ආරක්‍ෂා කරන වැඩිපිළිවෙළක් ගැන කතා නොකළහ.

උණවටුන ගමේ උපන් මහවිනිසුරු පණ්ඩිත ගුණවර්ධන, එඞ්වින් ආරියදාස ධනවතුන් වන එච්. ඩබ්. අමරසූරිය, රද්දල්ගොඩ ජයසුන්දර, අමරසිංහ වීරසිංහ යන මහත්වරු උණවටුනේ ධනවත් පිළිගත් අය වූහ. මේ කාලයේ බිහිවූ උණවටුනේ ඒ. ටී. ආරියරත්නයන්ගේ සර්වෝදය ව්‍යාපාරය රටේ වෙනසක් කිරීමට තරම් පිළිගත් සංවිධානයකි. ආරියරත්නයන්ද උණවටුන රූමස්සල ගැන හඬක් නැඟුවේ නැත. එදා ප‍්‍රසිද්ධ දේශපාලනඥයකු වූ අධිනීතිඥ ප‍්‍රින්ස් ගුණසේකරයන් පවා නිහඬ පිළිවෙතක් දැරීය. හබරාදුව ගම්සභාපති සී. රත්නායක හා ගම්සභා මන්ත‍්‍රීන් වන ජයසේකර වෙද මහතා ද නිහඬව සිටියහ.

ගාල්ල විජයානන්ද දහනායක මහතා ඇමැතිවරයෙක් ලෙසත් අගමැතිවරයෙක් ලෙසත් මහා බලයක් තිබූ නායකයෙකි. එතුමාට අවශ්‍යව තිබූ රුහුණු සිමෙන්ති කම්හල ආරම්භ කිරීමට අද එම කම්හල පිහිටි භූමිය කොස්වත්ත ජනපදයේ පදිංචිව සිටි දුප්පත් මිනිසුන්ට මේ වටිනා රූමස්සල බෙහෙත් උයන කොටස්කර බෙදා දුනි. පවුල් 60 ක් පමණ දෙනා එදා මේ වටිනා සම්පත ගැන කිසිම හැඟිමක් නැතිව බෙහෙත් ගස් කපා පුළුස්සා දැමීය. එදා උන් මිනිසුන්ගේ දැනීම තරම කෙතෙක්ද කිවහොත් හඳුන් ගස කපා පිළිස්සනෙ විට ඒ සුවඳ ආග‍්‍රාණය කර ඔවුන් තේරුම් ගත්තේ වටිනා ගස් අපි විනාශ කළා කියාය. ඒ මහා බෙහෙත් උයන කපා කොටා විනාශ කෙරිණ. රූමස්සල කන්දේ ඉතිරි ඉඩම් ටික දම්වල කුලූනු කන්ද ධීවර කාර්මිකයන්ට පර්. 40 ගණනේ බෙදා දුන්නේද මේ කාලයේදීමය.

අවසානාවක මහත එදා කිසිම කෙනෙක් මේ බෙහෙත් උයන ගැන කතා නොකළහ. නිහඬව සිටියහ. රූමස්සල ඔසු උයන ගැන දැන් කතාකර පලක් නැත. අශ්වාය පැනගියාට පසු ඉස්තාලය තැනීම කවරනම් කතාද?

මේ රූමස්සල කඳුවැටිය පාමුල ගාලූ වරායත් සාම චෛත්‍යයට ඔබ්බෙන් මහ සමුදුර ආශි‍්‍රතව පිහිටි කොරල්පර දැකීමෙන් මා මවිත වීමි. හික්කඩුව කොරල් පරවලට වඩා දර්ශනීය කොරල්පර රූමස්සල ආශ‍්‍රිත මුහුදේ දක්නට ලැබේ. කොරල් පරයක් හැඩවීමට වර්ණවත් විවිධ මාළු වර්ග සිටිය යුතුය. රූමස්සල මුහුදු කොරල් පරවල දුර්ලභ විසිතුරු මසුන් දැකිය හැක. යම් කලෙක ගාලූ ස්වභාවික වරාය සංවර්ධනය කිරීමේදී මේ කොරල් පර විනාශ වීමට ඉඩ ඇත. ඒ ගැන පරිසරවේදීන් සෝදිසියෙන් සිටිය යුතුය.

මා වර්ෂ 1970 දී උණවටුන ගමේ ග‍්‍රාමසේවා නිලධාරි ලෙස පත්ව ආවෙමි. උණවටුන ගමේ කොටසක් ලෙස රූමස්සල අයිතිව තිබිණි. මා ගමේ ඇවිද යනවිට මට දක්නට ලැබුණේ එදා තිබූ පරණ ඖෂධ ගස් විනාශ කර ඇති ආකාරයයි. එදා මගේ ශක්තිය අනුව රූමස්සල ආරක්‍ෂා කිරීමට බෙහෙත් ගස් කිසිවක් නොතිබිණි. කුඩා බෙහෙත් ගස් උදුරා ගාලූ වෙළෙඳපළට දී සුළු මුදලක් ගැනීමට දුප්පත් මිනිසුන් පුරුදුව සිටියේය.

අද රූමස්සල කන්දේ සියලූම කොටස්වල කුලූනු කන්ද, දම්වල කන්ද ආදී සෑම ස්ථානයකම මිනිසුන් පදිංවිව සිටී. විදේශිකයන් අද ගෙවල්, හෝටල්, විලා තනාගෙන සිටී. රූමස්සල කන්දේ අද පර්. 10 ක් මිලට ගන්න අමාරු තරමට ඉඩම් හිඟයක් පවතී. කෙසේ වෙතත් උණවටුන මුළු කඳු පන්තියම දියුණු කළ යුතුව ඇත. උණවටුන රූමස්සල සාම චෛත්‍යය අසල සිට වැල්ලේ දේවාල පුදබිම දක්වා වාහනයක් යෑමට හැකි තරමට පාරක් අවශ්‍යව ඇත. දැනට කුලූනු කන්ද හරහා දුෂ්කර පාරක් ඇතත් එයද දියුණු කළ යුතුව ඇත. මිනිසුන් දහස් ගණනක් මේ කඳු මුදුන්වල ජීවත් වෙති. ඔවුන්ට දුෂ්කරතා කොතෙකුත් ඇත. ඒවා ගැන සොයා බැලීම පාලකයන් සතු යුතුකමකි. අද කුමක් හෝ රටට වැදගත් වැඩක් කරන විට කිසිම අවබෝධයක් නැති මිනිස්සු සටන්පාඨ ලියා විරෝධතා, පෙළපාලි සංවිධානය කිරීම නිසා වැඩ කරන හැඟිමක් ඇති මිනිසුන් අධෛර්යමත් කරති. උණවටුන රූමස්සල කඳුවැටියත් දියුණු කිරීමට සුදුසු සැලැස්මක් සකසා මෙබිම සංවර්ධනය කිරීම පාලකයන්ගේ වගකීමයි, සේවයයි.

කොට්ටව සිරිසේන

advertistmentadvertistment