පසුගිය කාලය පුරා ත්‍රස්ත ප්‍රහාරවල විශාල වැඩිවීමක් සමග සිවිල් වැසියන්ගේ ජීවිත හානි සංඛ්‍යාව ඉහළයාම නිසා 2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ දෙවන ස්ථානය පාකිස්තානයට හිමිවීම කනගාටුදායකය. නමුත් එය නොවැළැක්විය හැකිය. පසුගියදා ආර්ථික හා සාම ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාව අනුව ලොව පුරා රටවල් 163 ක් අතරින් ත්‍රස්ත දර්ශකයේ දෙවැනි තැන පාකිස්තානයට හිමිව තිබේ. මේ රටවල් 163ට ලෝක ජනගහනයෙන් 99.7 ක් අයත්වෙති. රටක සිදුවන ත්‍රස්තවාදී සිදුවීම් සංඛ්‍යාව, මරණයට පත්වූ ප්‍රමාණය, තුවාල ලැබූවන්, ප්‍රාණ ඇපකරුවන් සහ ත්‍රස්තවාදයට ඒවායේ බලපෑම ඇතුළු දර්ශක මෙහිදී අධ්‍යයනය කර මේ වාර්තාව සකස් කරයි. පසුගිය වසර පහ තුළ පාකිස්තානයේ ත්‍රස්තවාදයට සම්බන්ධ මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර 2024 දී රට පුරා ත්‍රස්ත ප්‍රහාරවල සියයට 45 ක දැවැන්ත වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මේ වාර්තාව හෙළි කරයි.
2024 දී පාකිස්තානයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර 1,000 ඉක්මවා ගොස් තිබේ. එරට තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ටෙහ්රීක්-ඊ-තලේබාන් අඛණ්ඩව දෙවන වසරටත් එරට රටේ වේගයෙන්ම වර්ධනය වන ත්‍රස්ත කණ්ඩායම වී තිබේ. එසේම එය ලෝකයේත් වේගයෙන්ම වැඩෙන ත්‍රස්ත සංවිධානයයි. 2024 දී, ටෙහ්රීක්-ඊ-තලේබාන් විසින් පකිස්ථානයේ ප්‍රහාර 482 ක් සිදු කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 585 ක් සිදුව තිබේ.
ඇත්තෙන්ම ඇෆ්ගනිස්තානයේ තලේබාන්වරුන් බලයට පත්වීමෙන් පසු පාකිස්තානය තුළ ත්‍රස්ත ප්‍රහාරවල සැලකිය යුතු වැඩිවීමක් සිදුව තිබේ. ඇෆ්ගනිස්තානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් විශේෂයෙන් පාකිස්තාන-ඇෆ්ගනිස්තාන දේශසීමාවේ ඔවුන්ගේ ප්‍රහාර තීව්‍ර කර ඇත. බලුකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්තවල වඩාත් දැඩි ලෙස ත්‍රස්ත ප්‍රහාර වැඩිවී තිබේ. මෙම බටහිර දේශසීමා ප්‍රදේශවල 2024 දී පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර සහ මරණ වලින් සියයට 96 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ. 2021
අගෝස්තුවේදී තලේබාන් සංවිධානයට කාබුල් ආණ්ඩුවේ බලය අල්ලා ගැනීමට පාකිස්තාන හමුදා ඔත්තු සේවාවේ ප්‍රබල සහයක් ලැබුණු බව ප්‍රකට කරුණකි. නමුත් දැන් ඇෆ්ගනිස්තානට වඩා අස්ථාවර වී තිබෙන්නේ පාකිස්තානයයි. තලේබාන් ආණ්ඩුව වඩා හොඳින් තම රට සුරක්ෂිත කර තිබේ.
බලුකිස්තාන ප්‍රාන්තයේදී එහි ක්‍රියාත්මක බැලොච් විමුක්ති හමුදාව නම් ත්‍රස්ත සංවිධානය මීට සතියකට පමණ පෙර දුම්රියක් පුපුරවා එහි ගමන් ගත් 400කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීම ඉස්ලාමාබාද් ආණ්ඩුව සලිත කළ සිද්ධියක් විය. ලෝක ඉතිහාසය ගත්ත ද ත්‍රස්ත සාමාජිකයින් පිරිසක් විසින් මෙපමණ කණ්ඩායමක් දුම්රියක් තුළදී ප්‍රාණ ඇපයට ගත් පුවතක් අසා නැත. නොයෙක් විට දුම්රිය පුපුරවා ඇතත් මෙවන් ප්‍රහාරයක් කිරීමට තරම් ශක්තියක් බැලොච් විමුක්ති හමුදාවට ලැබුණේ කෙසේද යන්න පාකිස්තාන ආරක්ෂක අංශවලටත් ප්‍රශ්නයකි. මේ ප්‍රහාරය හරහා ඉතා බලවත් පාකිස්තාන හමුදාව ද නිග්‍රහයට පත් කිරීමට බැලොච් විමුක්ති හමුදාවට හැකිවිය. ජෆාර් දුම්රිය මුදාගැනීම සඳහා පාකිස්තාන හමුදාවට පැය 36ක් ගතවිය. මෙහිදී ඇතිවූ ගැටුම් වලින් 55ක් මියගිය අතර ඒ අතර ත්‍රස්තවාදීන් 33ක් විය. මෙම දුම්රියේ නිවාඩු ලබා එන හමුදා සෙබළු විශාල ප්‍රමාණයක් වූ අඅතර එම පිරිස් තෝරාගෙන මරා දමා ඇත්තේ ආරක්ෂක අංශ මෙය මුදා ගැනීමට පෙරය. ඉන්දීය මාධ්‍ය මේ ප්‍රහාරය මහත් උත්කර්ෂයෙන් වාර්තා කර තිබූ අතර ඔවුන් සඳහන් කර තිබුණේ මෙයින් සියයකට වඩා පිරිසක් මරුමුවට පත්ව ඇති බවයි. ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනි මාධ්‍යවේදියෙක් වන ආර්නාබ් ගෝස්වාමි මේ ප්‍රහාරය ගැන රූපවාහිනි වැඩසටහන් පවත්වමින් කියා සිටියේ තමන් බැලොච් නිදහස් සටනට සහය දෙන බවයි. මෙයින් ඉන්දියානු මාධ්‍යවල ආකල්පය පැහැදිලිවේ.
තෙල් හා ඛනිජ වලින් පොහොසත් බලුකිස්තානය පාකිස්තානයේ විශාලතම සහ අඩුම ජනගහනයක් සහිත පළාතයි. බලුකිස්තාන වැසියන් මධ්‍යම රජය තමන්ට වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ චෝදනා කර ඇත. ඉස්ලාමාබාද් ආණ්ඩුව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. පුරා වසර 75ක පටන් බලුකිස්තානයේ වෙසෙන බැලොච් ප්‍රජාව වෙනම රටක් ඉල්ලා සිටින නමුත් ඔවුන්ට ශක්තිමත් බලයක් නොවීය. විවිධ නැගිටීම් 4ක් මීට පෙර සිදුව ඇති අතර වර්තමාන කැරලිකාරිත්වය ආරම්භ වන්නේ 2004 සිටය. වර්තමානයේ ඔවුන්ට වඩා හොඳ ආයුධ මෙන්ම පිරිස් බලයක් ද ලැබී ඇත. බැලොච් යනු ගෝත්‍රික ප්‍රජාවකි. මොවුන්ට ඇෆ්ගනිස්තානයේදී ඇමරිකාව දමා ගිය ආයුධ තොග ගණනින් ලැබීම බැලොච් ත්‍රස්ත කණ්ඩායමට බෙහෙවින් වාසි සහගත වී තිබේ. මේ කණ්ඩායම චීන ජාතිකයින් හා එම ආයෝජනවලට ද පහරදීම ආරම්භ කර ඇත්තේ අද ඊයේ සිට නොවේ. චීන ආයෝජනයක් වන ග්වාදාර් වරායට ද පහරදීමට කිහිපවරක් උත්සහ කරන ලද අතර ඒවා ව්‍යර්ථ කරන ලදී. වේගයෙන් වර්ධනය වන මේ බැලොච් ත්‍රස්ත තර්ජනය පාකිස්තාන රජයට මෙන්ම හමුදාවට ද බරපතළ තර්ජනයක් වී තිබේ. එක පැත්තකින් ටෙහ්රීක්-ඊ-තලේබාන් තර්ජනය නිසා ප්‍රහාර වැඩිවන අතර අනෙක් පසින් බැලොච් බෙදුම්වාදී ප්‍රහාර කිසි කලක නොවූ ආකාරයෙන් වැඩිවී ඇත. මෙය පාකිස්තානයේ බලවත්ම මිනිසා වන හමුදාපති ජෙනරාල් අසීම් මුනීර් අපහසුතාවට පත් කරන බව නොකියාම බැරිය.
බැලොච් ත්‍රස්ත කණ්ඩායමට සහය ලබා දෙන්නේ කවරෙකුද? ඔවුනගේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථාන ඇෆ්ගනිස්තානයේ පිහිටුවා ඇතත් එක් බලවත් රාජ්‍යක් මොවුන් පිටුපස සිටී. ඒ ඉන්දියාවයි. දුම්රියට එල්ලවූ ප්‍රහාරයෙන් පසු පාකිස්තාන හමුදාව කෙලින්ම් ප්‍රකාශ කලේ මේ පිටුපස සිටින්නේ නැගෙනහිර අසල්වැසියා බවයි. ඒ භාරත මාතාවයි. පසුගිය 14 වැනිදා ඉස්ලාමාබාද්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් පැවසුවේ “බලුකිස්තානයේ සහ ඊට පෙර අනෙකුත් ප්‍රදේශවල සිදු වූ මෙම ත්‍රස්තවාදී සිදුවීමේදී, ප්‍රධාන අනුග්‍රාහකයා ඔබේ නැගෙනහිර අසල්වැසියා” බවයි. බලුකිස්තානයේ ප්‍රධාන අමාත්‍ය සර්ෆ්‍රාස් බුග්ටි පැවසුවේ ඉන්දියාව මේ ප්‍රහාරවලට සම්බන්ධ බවට පාකිස්තානය සතුව “ස්ථිර සාක්ෂි” ඇති බවයි. 2016 දී අත්අඩංගුවට ගත් රෝ ඔත්තුකරුවකු වන ඉන්දීය නාවික නිලධාරියෙකු වූ කුල්භූෂන් ජාදව්ට මරණ දඬුවම කළේ වසර ගණනාවකට පෙරය. මොහු බැලොච් බෙදුම්වාදීන්ට සහ අනෙකුත් සටන්කාමී කණ්ඩායම්වලට සහාය වීම සඳහා ඉන්දීය බුද්ධි අංශ වෙනුවෙන් සේවය කර ඇති බව හෙළිව තිබිණි. මොහු අත්අඩංගුවට පත්වන්නේද බලුකිස්තාන ප්‍රාන්තයේදීය. මීට වසරකට පමණ පෙර බලුකිස්තාන ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය සියවුල්ලා ලැඟු පවසා තිබුණේ තහනම් සංවිධාන වන ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තානය සහ බලුකිස්තාන විමුක්ති හමුදාව හි “තනි ආයෝජකයා” ඉන්දියාව බවයි ඉන්දීය ආණ්ඩුව මේ චෝදනා ප්‍රතික්ෂේප කරන නමුත් නොකියන ඇත්ත අපි හොඳින් දනිමු.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ නායකයා ලෙස හැඳින්වෙන තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්න්ට ඉන්දියානු සම්බන්ධයක් තිබිණි. කෙසේ වුවද මේ ගැන අදහස් දැක්වීම ඉන්දියානු බලධාරීන් පිළිබඳ ප්‍රතික්ෂේප කර තිබිණි. කොටි සංවිධානය ඇතුළු උතුරේ ත්‍රස්ත සංවිධාන 1970-80 දශකවල පුහුණුව ලැබුවේ ද ඉන්දියාවේදීය. ඒ සඳහා ඉන්දියානු හමුදාව හා රෝ සංවිධානය එක්ව පහසුකම් සලසා තිබිණි. එක අවස්ථාවක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කර තිබුණේ තම කණ්ඩායමට ඉන්දියාවේ දෙහෙරාදුන් හි ආයුධ පුහුණුව ලැබුණු බවයි. අවසානයේ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි ද කොටි සංවිධානයේ ගොදුරක් බවට පත්විය. එසේම ශ්‍රී ලංකාවට අන්තවාදී මුස්ලිම් ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි අංශ තොරතුරු ලබා දුන්නේ ද ඉන්දියානු බුද්ධි අංශ විසිනි. මේ අනුව අපට පෙනෙන්නේ ඉන්දියාව අහිංසක නොවන බවයි.
පාකිස්තානය “දැඩි රාජ්‍යයක්” බවට පත් කිරීමේ අවශ්‍යතාව පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් පසුගියදා අවධාරණය කළේ, ත්‍රස්තවාදයට එරෙහි අරගලය රටේ “පැවැත්ම” සඳහා “සටනක්” බව පවසමිනි. බලොව් සටන්කාමීන් මගී දුම්රියක් පැහැරගෙන ගොස් මඟීන් මිය යෑමෙන් දින කිහිපයකට පසු කැඳවන ලද ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ ඉහළ මට්ටමේ රැස්වීමකදී ජෙනරාල් මුනීර් මෙම ප්‍රකාශය කළේය. රටේ ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ උපදෙස් පරිදි ඔහු කැඳවූ අභ්‍යන්තර රැස්වීමේ මුලසුන දැරුවේ ජාතික සභා කථානායක අයස් සාදික් විසිනි.
මේ අතර මෑතකාලීන විනාශකාරී ප්‍රහාර රැල්ල හේතුවෙන් පාකිස්තානයේ පැතිර යන අවිනිශ්චිතතාවය සහ කැලඹීම මධ්‍යයේ, හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් අගමැති ෂෙහ්බාස් ෂරීෆ් බලයෙන් පහ කිරීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කරමින් සිටින බවට පුවත් පළවී තිබේ. ජෙනරාල් මුනීර් හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ගේ පාරේ යමින් සිටින්නේ ද යන ප්‍රශ්නය මතුව තිබේ.
පාකිස්තාන මාධ්‍යවල සංසරණය වන වාර්තාවලට අනුව, ජෙනරාල් මුනීර් හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ ආදර්ශ ගනිමින් බලුකිස්තාන විමුක්ති හමුදාව සහ ටෙහ්රීක්-ඊ-තලේබාන් පාකිස්තානය විසින් මෑතකදී සිදු කරන ලද ත්‍රස්ත සිදුවීම්වල වගකීම අගමැතිගේ ෂෙහ්බාස් ෂරීෆ් මත පටවමින් ඔහු කොන් කිරීමට කටයුතු කරන බව පෙනී යයි. හමුදා ප්‍රධානියා ෂෙබාස් රජය “දුර්වල” ලෙස හඳුන්වන අතර පාකිස්තානයේ පිරිහෙන ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලකයින් වගකිව යුතු බවට චෝදනා කරයි. වසර 25 කට පෙර කාර්ගිල් යුද්ධයේ පරාජයට හිටපු හමුදාපති ෆර්වේස් මුෂාරෆ් වත්මන් අගමැතිගේ සොහොයුරු හිටපු අගමැති නවාස් ෂෙරීෆ්ට දොස් පැවරූ ආකාරය බියජනක ලෙස සිහිපත් කරමින් අතීත චක්‍රය නැවතත් ක්‍රියාත්මක වෙයි ද යන අවිනිශ්චිතභාවය මතුව තිබේ.
චතුර පමුණුව