අසීරු මොහොතක ස්වශක්තියෙන් නැගිටින්න… 2022 ගෙනා අයවැය

242

2022 අයවැය හිඟය අඩු වෙයි

සිගරට් බදු, සුරා බදු ඉහළට

පර්පෙචුවල් සල්ලි කෝටි 850ක් භාණ්ඩාගාරයට

කාබනික කෘෂිකර්මය දිරිගැන්වෙයි

ආදායම් හිඟයත් පහළට

වෙළෙඳ භාණ්ඩ අපනයනය ප‍්‍රවර්ධනය කරයි

සංචාරක කර්මාන්තය පණගන්වන යෝජනා

අයවැයක් යනු හුදෙක් කිසියම් වර්ෂයක රජයේ ආදායම වියදම සහ අයවැය හිඟය පියවන ආකාරය දක්වන ලේඛනයක් පමණක්ම නොවේ. එය රටේ අනාගත ගමන් මගේ දිශානතිය පෙන්වනු ලබන ඉතාම වැදගත් ලියවිල්ලකි. එය රජයේ කිසියම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකි. මේ නිසා අයවැය සම්මත වීමෙන් පසු සිදුවන්නේ එම වැඩපිළිවෙළට අදාළ වර්ෂයේ වියදම් දැරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා විසින් සිය මංගල අයවැය ලේඛනය පෙරේදා (12) සවස 2.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව අයවැය ලේඛනයේ අන්තර්ගතය ගැන සහ එහි හොඳ නරනක ගැන ඉදිරි දිනවල රටේ පුළුල් වශයෙන් සංවාදයට ලක්වනු ඇත.

අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින (11) මේ ලියුම්කරු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා 2022 අයවැය හඳුන්වා දුන්නේ මෙය ස්වශක්තියෙන් නැගී සිටීමට සමත් ජාතියක් ගොඩ නගන අයවැයක් බවය. මේ ලියුම්කරු දුරකථනයෙන් අමතන විටත් මුදල් ඇමැතිවරයා සිටියේ ඊට පසු දින සිදු කරන අයවැය කතාව පරීක්ෂා කරමින් ඉතා කාර්යබහුලවය. මුලින් එම ඇමතුමට කතා නොකළත් මද වෙලාවකින් මුදල් ඇමැතිවරයාගෙන් මේ ලියුම්කරුට ඇමතුමක් ලැබුණි. මෙවර අයවැය ගැන කෙටි අදහසක් පවසන ලෙස කළ ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙසේ කීවේය.

‘‘ස්වශක්තියෙන් නැගී සිටීමට සමත් ජාතියක් ගොඩ නැගීම සඳහා ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන ජාතික අයවැයක් 2022 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරනවා. මෙය විදේශ ණය පසුපස නොයා අපේම ශක්තියෙන් ජාතිය නගා සිටුවීමට ප‍්‍රවේශය සලසන අයවැයක්. කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් පාලනය කරගනිමින් ජනජීවිත කඩිනමින් යථාවත් කිරීමට ද 2022 අයවැයෙන් බලාපොරොත්තු වෙනවා. එසේම සංචාරක කර්මාන්තය පණගැන්වීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් මෙතෙක් ආනයනය කළ නමුත් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත ප‍්‍රවර්ධනය කිරීමට මෙවර අයවැයෙන් පහසුකම් සලසනවා.’’

අසීරු මොහොතක ස්වශක්තියෙන් නැගිටින්න… 2022 ගෙනා අයවැය

මුදල් ඇමැතිවරයා 2022 අයවැය ගැන ප‍්‍රධාන වශයෙන්ම හඳුන්වා දුන්නේ විදෙස් ණය පසුපස දුවන්නේ නැතුව තනියෙන් රට නැගිටුවන අයවැයක් ලෙසය. එහි අර්ථය විදෙස් ණය නොගන්නා බවම නොවේ. විදෙස් ණය හැකිතාක් සීමා කරගන්නා බව විය යුතුය. කොරෝනා වසංගතය හමුවේ අප මුහුණ දී සිටින උග‍්‍ර විදේශ විනිමය අර්බුදය හමුවේ තව තවත් අධික විදේශ ණය ගැනීම අපහසු බව සත්‍යයකි. මෙසේ විදෙස් ණය සීමා කරගනිමින් ලබන වසරේ ආදායම් වර්ධනය වීම ද මන්දගාමීව සිදු වන නිසා 2022 වසරේ වියදම් කිරීමට සිදු වන රාජ්‍ය මූල්‍ය අවකාශය පටු වන බව පැහැදිලිය. මේ නිසා දැඩි වියදම් කළමනාකරණයකට ද යොමු වීමට සිදුවනු ඇත. මේ ඉදිරිපත් වූයේ නිදහස් ශ‍්‍රී ලංකාවේ 76 වැනි අයවැය ලේඛනය සහ මුදල් ඇමැතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන මංගල අයවැය ලේඛනයයි. එසේම මෙය වත්මන් රජයේ දෙවන අයවැය ලේඛනය ද වේ. මේ ලිපිය ලිවීමට අපට සිදු වූයේ අයවැය ගෙනා පසුගිය සිකුරාදා (12) දින සවසය. ඒ නිසා අයවැය ලේඛනය පුළුල් ලෙස විමසා බැලීමට කාලයක් නොතිබිණි. අප මේ සාකච්ඡා කළේ 2022 අයවැයට අදාළ මූලික කරුණු කිහිපයක් පමණි. 2022 අයවැය යෝජනාවල හොඳ නරක ගැන අපට ඉදිරි දිනවල පුළුල් වශයෙන් සාකච්ඡා කළ හැකිය.

අයවැය ඉලක්ක මෙන්ම පොදුවේ ආර්ථික ඉලක්ක ජය ගැනීමට අපට කොරෝනා වසංගතය පාලනය කර ගැනීම අනිවාර්ය කරුණකි. එය මේ වසරේ (2021) කරුණුවලින් ද අපට පැහැදිලි වේ. මේ අනුව කොරෝනා මඬින්න ගත් ක‍්‍රියාමාර්ග නිසා මේ වසරේ (2021) රටේ නිෂ්පාදිතයට රු. ටි‍්‍රලියන 2.5 ක පාඩුවක් සිදුවන බවට මහ බැංකුව පසුගියදා (11) නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. එනම් කොරෝනා වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා ගත් ක‍්‍රියාමාර්ග නිසා මේ වසරේ (2021) දී රටේ නිෂ්පාදිතයේ (නාමික වශයෙන් ගණනය කළ) වාර්ෂික පාඩුව රුපියල් ටි‍්‍රලියන 2.5 ක අති විශාල අගයක් බව මහ බැංකුවේ පුරෝකථනවලට අනුව පෙන්නුම් කරන බව මහ බැංකුවේ එම වාර්තාවේ දැක්වේ. මහ බැංකුව විසින් ‘මෑත කාලීන ආර්ථික ප‍්‍රවණතා – 2021’ නමින් නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වේ. එහි සඳහන් වන්නේ වසංගතයේ පැතිරීම වැළැක්වීම සඳහා ආර්ථික හා සමාජ කටයුතු තාවකාලිකව සීමා කර තැබීම සහ සංචරණ සීමා පැනවීම අවශ්‍ය වුවද එමගින් සාර්ව ආර්ථික කාර්ය සාධනය වෙත ඇති වූ බලපෑම ඉතා දැඩි වූ බවයි. මහ බැංකුව විසින් නිකුත් කළ එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

‘ 2019 වසරේ අපේ‍්‍රල් මාසයේ දී මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනවලට අනුව ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ දී රුපියල් ටි‍්‍රලියන 17.39 ක සහ 2021 වසරේදී රුපියල් ටි‍්‍රලියන 19.17ක මට්ටම්වල පවතිනු ඇතැයි අපේක්ෂා කෙරිණි. කෙසේ නමුත් වසංගතයත් සමග ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේ දී රුපියල් ටි‍්‍රලියන 14.97ක් පමණක් වූ අතර 2021 වසරේ දී එය රුපියල් ටි‍්‍රලියන 16.5 ක් පමණ වනු ඇතැයි අපේක්ෂිතය.

මෙමගින් නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික පාඩුව රුපියල් ටි‍්‍රලියන 2.5 ක් පමණ අති විශාල අගයක් බව පෙන්නුම් කෙරේ.’

මේ නිසා 2022 අයවැය සහ ආර්ථික ඉලක්ක යථාර්ථයක් කර ගැනීමට නම් අප මේ කොවිඞ් වසංගතය යළි පැතිරීමට ඉඩ නොලැබෙන පරිදි මර්දනය කරගෙන ජනජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීම ප‍්‍රමුඛ කරුණකි. ආර්ථිකය පණ ගන්වා ගත හැක්කේ ඒ සමගමය. මේ සඳහා එන්නත්කරණය විශාල ශක්තියකි. මේ බව බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරයා ද සිය අයවැය කතාව පවත්වමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාව ආසියාවේ එන්නත්කරණය කළ රටක් ලෙස දැන් පිළිගැනෙන බවයි. මේ නිසා ආර්ථික කටයුතු පණගැන්වීම බාධාවකින් තොරව ඉදිරියට ගෙන යමින් ආර්ථික සහ අයවැය ඉලක්ක ජය ගැනීම සදහා රජය වසංගතය මර්දනය කිරීමට දිගටම පියවර ගන්නා අතරම මහජනයා ද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂිතව තම ආර්ථික සහ

රැකියා කරමින් කටයුතු කළ යුතු වේ. එසේම රජයට මුහුණ දීමට සිදුවන ප‍්‍රධාන අභියෝග ගැන මෙන්ම නිෂ්පාදන ආර්ථිකය දිරිගැන්වීමට ප‍්‍රධාන අවධානය යොමු කරන බව ද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය. එසේම ඔහු වියදම් කළමනාකරණ ක‍්‍රමවේද ගැන ඇති නව සැලසුම් ද ගැන ද අයවැයෙන් ප‍්‍රකාශයට පත් කළේය. මේ සියල්ලම ඉතා වැදගත්ය. එසේම මේවා යථාර්ථයක් වීමට නම් අයවැයේ සඳහන් දේ නිසි පසු විපරමකින් යුතුව ක‍්‍රියාත්මක වීම ඉතා වැදගත්ය.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අයවැය සම්පාදනය වෙනුවෙන් පසුගිය දිනවල දිගටම දිවා ? නොබලා බෙහෙවින් වෙහෙස මහන්සි වූයේය. මේ නිසාම අයවැය කතාව සිදු කිරීමේදී ඔහුට තරමක වෙහෙසකර තත්ත්වයක් ද ඇති වී සිටගෙන කළ කතාව වාඩි වී කිරිමට ද කථානායකවරයාගේ අවසරය ලබා ගත්තේය. එසේ වාඩි වී අයවැය කතාව සිදු කළත් අයවැය කතාව බැසිල් රාජපක්‍ෂ මහතා සිදු කළේ තරමක අපහසුවකින් බව පෙනිණි. ඒ අනුව සුළු වේලාවකින් කථානායකවරයා කෙටි වේලාවකට සභාව කල් තැබීමට යෝජනා කළේය. ඒ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට කෙටි වේලාවක විවේකයක් ලබා ගැනීම සඳහා විය යුතුය. අප දන්නා පරිදි යම් වගකීමක් භාරගත් විට බැසිල් රාජපක්‍ෂ මහතා ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස වෙයි. කැපවෙයි. එසේම මුදල් ඇමැති ධුරය භාරගත්දා සිටම ඔහු විවිධ පාර්ශ්වයන් හමුවෙමින් අයවැයට විවිධ අදහස් හා යෝජනා ලබා ගනිමින් බොහෝ වෙහෙස වී මේ 2022 අයවැය මහජනතාවගේ සැබෑ අයවැයක් බවට පත් කිරීම සඳහා මේ දැඩි ආර්ථික අභියෝගාත්මක වාතාවරණය හමුවේ කි‍්‍රයා කළේය. ඒ නිසාම මේ අයවැය ආර්ථිකයේ පාර්ශ්වයන් රැසක් නියෝජනය කරන එසේම කිසියම් නව පරිවර්තන යුගයකට රට ප‍්‍රවේශ කරවන අයවැයක් බව ද පෙනෙන්නට තිබේ. එසේම කොවිඞ් වසංගතය නිසා පීඩාවට පත් සහ ආදායම් අහිමි වූ අයට මූල්‍ය සහන සැලසීමට ද අයවැයෙන් මුදල් ඇමැතිවරයා යෝජනා කළේය. ඇත්ත වශයෙන්ම වසංගතයෙන් පීඩාවට පත්ව ඇති රට පණගන්වා ගැනීමේදී පීඩාවට පත් මහජනතාව යථාවත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සහන එම ආර්ථික අංශවලට හුස්මක් ගැනීමට ඉඩකඩ සලසා දීමක් බවත් එය ඉතාමත් අවශ්‍ය දෙයක් බවත් කිව යුතුව තිබේ.

අසීරු මොහොතක ස්වශක්තියෙන් නැගිටින්න… 2022 ගෙනා අයවැය

විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීම, සංචාරක කර්මාන්තය පණගැන්වීම, ණය නොවන මාර්ගවලින් විදේශ විනිමය ඉපයුම් ලබාගැනීම, වෙළෙඳ භාණ්ඩ අපනයනය දිරිගැන්වීමට ද මුදල් ඇමැතිවරයා යෝජනා ඉදිරිපත් කර ඇත. එක් සිගරැට්ටුවක් සඳහා රු. පහක මිල වැඩි කිරීමක් සිදු කිරීම හොඳ දෙයක් නමුත් එය ප‍්‍රමාණවත් නොවන බවද කිව යුතුව තිබේ. මුදල් ඇමැතිවරයාම සඳහන් කළ පරිදි වසර තුනකින් සිගරට් බදු වැඩි කර නැත. අනිත් භාණ්ඩ මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබියදී රු. 5 ක බද්දක් පමණක් සිගරට්වලට පැනවීම ප‍්‍රමාණවත් නොවන බව නම් කිව යුතුය. අඩු තරමින් සිගරට්ටුවක මිල රු. 10 කින්වත් වැඩි කළා නම් වඩා හොඳය. එසේම සුරාබදු වැඩි කිරීමද සිදු විය. එසේම පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනු මගින් අයුතු ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් බිලියන 8.5 ක (රු. කෝටි 850 ක) මුදලක් මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට ද මුදල් ඇමැතිවරයා අයවැයෙන් යෝජනා කළේය. එය බැඳුම්කර මගඩියට එරෙහි සියලූ දෙනා වඩාත් අගය කරන යෝජනාවක් වනු ඇති බවට ද කිසිම සැකයක් නැත. ඉදිරියේදී මේ අයවැය යෝජනා ගැන අපි වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කරමු.

රාජ්‍ය අයවැය ලේඛනයට අනුව ලබන වසරේ (2022) සමස්ත අයවැය හිඟය

රු. බිලියන 1628 කි. මේ වසරේ (2021) සමස්ත අයවැය හිඟය

රු. බිලියන 1826 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. මේ අනුව ලබන වසරේ අයවැය හිඟය මේ වසරට සාපේක්ෂව

රු. බිලියන 198 කින් එනම්

රු. කෝටි 19800 කින් පමණ අඩු කර ගැනීමට ද අයවැයෙන් ඉලක්ක කර තිබේ. එසේම මේ අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මේ වසරේ (2021) පවතින සියයට 11.1 සිට ලබන වසරේ (2022) දී සියයට 8.8 දක්වා අඩු කර ගැනීමට ද අපේක්ෂිතය. එසේම ආදායම් හිඟය ද මේ වසර සඳහා ඇස්මේන්තු කළ

රු. බිලියන 1261 සිට ලබන වසරේදී රු. බිලියන 722 දක්වා සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට ද ඉලක්ක කර තිබේ. රාජ්‍ය වියදම් කළමනාකරණය කර ගනිමින් මෙසේ අයවැය හිඟය සහ ආදායම් හිඟය අඩු කර ගැනීමට සැලසුම් කිරීම අගය කළ යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment