අසූචි යාත‍්‍රා පැනය

126

එකල්හි මඤ්ඤංලන්ත රජ්ජුරුවෝ රාජසභාවට පිවිස සිංහාසනාරූඪව, අසුන් අරා සිටිනා මැටි ඇමැටි මඬුල්ල සිසාරා බැල්මක් හෙළා උන් අඩුවෙක් ඇතිදැයි සිතින් ගණන කොට හිස්වූ අසුන් සුඟක් ඇත්තේ නොවේදැයි සිතට ගෙනැ තව ස්වල්පයකින් උන් පැමිණෙතැයි තීරණ කොට රජසභ මන්ත‍්‍රණය ඇරඹුම පිණිසැ රජසබපතියාට සංඥා කරනට සූදානම්වැ එකෙණෙහි හැමූ මන්ද මාරුතයකින් සකළ සබයම මහත් වූ දුර්ගන්ධයකින් වැසී ගිය නියාව දැනී මහත් වූ අපුලෙන් නාසිකාව හකුලා අසල වූ කේවට්ටයන් රෑන දෙස බලා,

”එම්බල තොප තුෂ්ණිම්භූතව බලා සිටිනුයේ තොපට නාසිකා නොවෙත්දැ? නැතහොත් රස ගන්ධ නාඩි අක‍්‍රියව ගොස්දැ? මෙසේ හමනා මහා දුර්ගන්ධය කිමෙක්දැයි වහා සොයා බලව්’’ යැයි ගිගිරූ කල්හි කේවට්ට රැල නින්දෙන් අවදවූ කලෙක මෙන්, ‘රජතුමන් අප කෙරෙහි එසේ ඇමැතුම නොහොබනේයැ. රටේ වියතුන් වූ අප ගත් මග අනුව සිහසුනට ආ එතුමන් එකී නින්දා පරවශ ආමන්ත‍්‍රණයෙන් අප අමතන කල්හි රටවැස්සන් කුමක් සිතනේදැ’යි එකිනෙකාට මුමුණමින් බෝ සෙමින් අසුන් වලින් නැගී සිට ‘රජ්ජුරුවන් එසේ ඇමැතීම ගැන අප එසේ කම්පා වන්නේ නම් රටවැස්සන් අප අමතන විලාසයෙන් පණ නසා ගැනුමට වන්නේයැ’ යි සිතා ඉදින් අප කෙසේ එකී දුර්ගන්ධය හමනා ස්ථානය සොයත්දැයි විපිලිසරවැ සිටිනාහ. එසේ උන් සැම අඤ්ඤකොරෝසවැ හිඳිනා කල රජ්ජුරුවෝ කෝපාග්නි බැල්මෙන් සිටිනා බැව් දක්නා එක් කේවට්ටයකු, ”සකියනි, එකී දුර්ගන්ධය කිමෙක්දැයි සොයනු පිණිසැ මා හට අපූරු වූ කල්පනාවක් පහළ වී යැ’’යි කී කල්හි අනෙකුන් මහා ප‍්‍රීතියෙන් ”ඒ කිමෙක්දැ?’’යි වහා අසනායැ. උපායලාභී කේවට්ටයා,”එසේ නම් සීරුවෙන් අසව්, මහා බ‍්‍රහ්මයා විසින් විශ්වය හා සත්ත්වයන් මවා අවසන්වැ එක් එක් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිසැ උපදේශ පවසනුයේ සුනඛයන්ගේ වාරය වන් කල්හි උන් මහා බ‍්‍රහ්මයන් හමුවට ගියාහුයැ. එකල්හි එතුමන් උන් සිසාරා බලා උන් පැවැත්ම පිණිස උපදෙස් කිමෙක්දැයි පැවසුම ඇරඹූ කෙණෙහිමැ මෙසේමැ සභාව පුරා මහා දුර්ගන්ධයක් පැතිර ගියේයැ. එකී දුර්ගන්ධය ආශ්වාස කළ මහා බ‍්‍රහ්මයා උදහස්වැ එකී අපුල වූ දුර්ගන්ධ සහිත අධෝවාතය පිට කළා වූ අමන සුනඛයා වහා මා ඉදිරියට පමුණුවන තෙක් මා හමුවට නොඑවයි කෝපයෙන් පවසා පිටව ගියාහුයැ. ඉදින් එතැක් පටන් මෙතැන් දක්වා සුනඛයකුට තවත් සුනඛයකු හමු වූ කල්හි උගේ පශ්චාද් භාගය ඉව කොට අධෝ වාතය පිට කළ අමනයා සොයනායැ’’ යි දුර්ගන්ධ සෙවුම් උපාය හෙළි කරනායැ. එබස් ඇසූ එක් කේවට්ටයකු,”ඉදින් තා පවසන්නේ අපදැ එසේ මෙතැන සිටිනා එක් එක් සභිකයන්ගේ එක් එක් අධෝ මුඛයන් ඉව කළයුතු බවදැ?’’යි අසනායැ. ” එසේයැ. එසේ හැර වෙනත් උපා ඇත්නම් කියව’’යි පෙර කේවට්ටයා කී කල්හි දුර්මුඛ වූ දෙවන කේවට්ටයා රජ්ජුරුවන් දෙස සොරැසින් බලනුයේ කේවට්ටයන්ගේ කතාලතා පමාව නිසා එතුමන්ගේ පිපුරුමට ආසන්න වූ මුව කමල හා අසැබි වදන් තෙපලනු පිණිසැ කොකියනා වූ දෙඅදර දැක, ”සකියනි, රජ්ජුරුවන්ගේ තදනන්තර පිපුරුම ඉතා ආසන්නයැ. වහා මූ කියනා සේ කළයුත්තේයැ’’ යි පවසා රජසභයට වැදැ සභිකයන් එකිනෙකා අසුනෙන් නැගිටවමින් නැවී උන් අධෝ මුඛ ඉව කොට බලමින් යන්නාහ.

උන්ගේ එකී ක‍්‍රියාව දක්නා රජ්ජුරුවෝ ‘මෙකී අමනයන්ගෙන් මෙයට වඩා දැයක් අපේක්ෂා කළ නොහැක්කේයැ. මුන්ගෙන් උවදෙස් පතනා අඥානයා මා යැ. එක් අමන කේවට්ටයකු දුන් උවදෙස් අසා පොහොර තහංචි කොට කැරගත් හරිය සෑහේයැ.’යි රජසබය සිසාරා බලනුයේ එක් විපස් සභිකයකු දැකැ, ‘මුහු දැයක් කියනුයේ බොහෝ විපරමෙන් අනතුරුවයැ. මෙකී ගන්ධය කිමෙක්දැයි මුහු ඉන්තේරුවෙන්මැ දතයුත්තේයැ’ යි සිතා, ”එම්බල, හමනා වූ මෙකී අපුල දුර්ගන්ධය කිමෙක්දැයි තොපට අදහසෙක් වේ දැ?’’ යි අසනාහ. ”එසේයැ ස්වාමීනී, මෙකී දුර්ගන්ධය වනාහී නුඹ වහන්සේගේ සභිකයන්ගේ ගන්ධයන් නොවන්නේයැ. රජවාසල තුළදී නොහමනා මුන්ගේ

ගන්ධයන් සකළ මඤ්ඤංලන්තය පුරා හමනායැ. සියලූ රටවැස්සෝ මුන්ගේ දුර්ගන්ධයන් දන්නාහ. මේ හමනා දුර්ගන්ධය වනාහී තෙල මකර දේශයේ සිට පැමිණියා වූ අසූචි රැගත් යාත‍්‍රාවෙන් හමනා වූ දුර්ගන්ධය වන්නේයැ. පොහොර පිණිසැ එවා ඇතැයි පවසනා මෙකී මකර අසූචි ක්ෂුද්‍ර පරපෝෂිතයින්ගෙන් ගහණයැ. එසේ වුවද එකී අසූචි අප මිලට ගන්නා තෙක් උන් ගේම ඉල්වනායැ.’’යි පවසනායැ. ”ඉදින් මුන් එබැව් නොදනීදැ?’’ යි රජ්ජුරුවෝ සභික අධෝ මුඛ ඉව කරමින් යන්නා වූ කේවට්ටයන් දක්වා අසනාහ. විපස් සභිකයා එබසට ”මුන් දන්නා යැ රජතුමනි, මුන් තෙල කරනුයේ සිරිත් සේ නුඹ වහන්සේ හැඳවීමයැ’’ යි කියනාහ. රජ්ජුරුවෝද කාරණා වටහා ගනුයේ, ”එම්බල අමනයිනි, සුනඛයන් සේ නොහැසිරී මෙහි පැමිණ තොප අසුන්හි ලැග ගනුව’’ යි ගර්ජනා කොට කේවට්ටයන් කැඳවා,” එකෙකු වහා ගොස් ගොයිතැන් ඇමැට්ටා වන පරණගමයා කැඳවා ගෙන එව’’ යි අණ කරනාහ.

පරණගමයා පැරණි රසාංගයක් උරුවම් කෙරෙමින් මහා තුටින් පැමිණෙනු දක්නා රජ්ජුරුවෝ,” එම්බල පරණගමය, මේ සා පැනයක් තිබියදී තා මෙසේ ජොලි මූඩයෙන් සිටිනුයේ කෙසේදැ?’’ යි විමතියෙන් අසනාහ. ”අවුලක් නොමැත්තේයැ රජතුමනි, පැනය විසඳා හමාරයැ’’ යි උහු කී කල්හි රජ්ජුරුවෝ තවත් විමතිවැ,”ඒ කෙසේදැ? මේ සා බැ?රුම් පැනයක් විසඳාලූයේ කෙසේදැයි වහා පහදව’’ යි කියනාහ. එබසට පරණගමයා මහත් උජාරුවැ, ”රජතුමනි, උනට රන් කහවනු අටසිය කෙළක් ගෙවා එකී පැනය නිමා කළෙහියැ.’’ යි කී කල්හි, ”එකී අමනෝඥ ගිවිසුම කළවුන් එකී වන්දිය ගෙවන්නට ඇත්තේ නොවේදැ?’’යි රජ්ජුරුවෝ ඇසූ කල්හි,”එසේ නොවේයැ රජතුමනි, එකී වන්දිය ගෙවන ලද්දේ මහජන බදු මුදලෙනියැ.’’යි ගණනක් නොමැති සේ පිළිවදන් දෙන්නායැ. රජ්ජුරුවෝද තවත් විමතිවැ,”ඉදින්

ගමය, විරෝධයක් නොනැගෙන සේ වැසියනට කාරණා වටහා දියයුතු නොවේදැ? මෙකී ඉලව් විරෝධතා, වැඩ වැරුම් මට ඇති වී ඇත්තේයැ’’ යි කී කල්හි, පැනයෙක් නොමැත්තේයැ රජතුමනි, දැනටමත් එකී අඬ බෙරය යවා අවසන්යැ. බලනු මැනව’’යි අඬබෙර පණිවුඩය රජු අත තබනායැ. මඳ වේලායෙක් එකී පණිවුඩය කියැවූ රජ්ජුරුවෝ,” එම්බල, මෙහි කුමක් කියා ඇතිදැයි මට නම් නොතේරෙන්නේයැ. වහා පහදව’’යි යළි පණිවුඩය ගමයා අත තබනාහ. ගමයා එය සුරතට ගෙනැ,”එසේ නම් සොඳයැ. මටද මෙය නොතේරෙන්නේයැ. මෙය ලේඛන කළවුන්ටද මෙය නොතේරෙන්නේයැ. ඉදින් වැසියනට කෙසේ වැටහෙත්දැ? අපට ඇවැසිද එයමයැ. උනට නොතේරුණ කල්හි ‘අපට නොවැටහෙනා නීති පැනයක් මෙතැන ඇත්තේයැ’ යි උන් සිතනාහ. මෙකී උපාය වනාහී අත්දුටුවයැ’’ යි අසූචි කතාව නිමා කරනාහ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment