අහස් ගඟ දැක දැක කොළඹට එන කල්‍යාණි රන් පිවිසුම

158

ඇස්තමේන්තුගත වියදම රු.මිලියන 55313.00

මාස 36ක් ඇතුළත ඉදිකිරීම් නිමයි

එම විස්මිත ඉදිකිරීම මේ වනවිට ජනතා අයිතියට පත්කර අවසන්ය. ඒ අනුව මෙතෙක් කලක් ලොව වෙනත් දියුණු රටවල දකින්නට ලැබුණ, මෙරටදී දැක ගැනීමට නොලැබුණ නවීන ගුවන් පාලමක් මෙරට මාර්ග පද්ධතියට එකතු වී හමාරය. එය නම් කරනු ලබන්නේ ‘කල්‍යාණිපුර රන් දොරටුව’ නමින්ය. කල්‍යාණි පුරයට පමණක් නොව එම රන් පිවිසුමෙන් ඇතුළු වූ පසු රටේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීමේ පහසුකම ද සකසා අවසන්ය. වසර කීපයක් තිස්සේ දරන ලද ඉමහත් ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙස දෙස් විදෙස් ජනතාවට එම ස්වර්ණමය අවස්ථාව හිමිවන්නේ ඉකුත් 24 දා සන්ධ්‍යා යාමයේ සිටය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් හඬ මැද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ තවත් සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එදින ‘කල්‍යාණි රන් පිවිසුම’ නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදුවූයේ මෙරට ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ එතෙක් මෙතෙක් සිදුකළ සුවිශේෂී ‘නිමැවුමක්’ ලෙසින්ය.

ජාතික මහා මාර්ග පද්ධතියට අභිනවයෙන් එක්වූ කල්‍යාණි රන් පිවිසුම ඉදිකිරීමේදී අධිතාක්‍ෂණික ක‍්‍රමෝපායන් භාවිත කිරීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එය ලාංකික පාලම් සහිත මාර්ග ඉදිකිරීමේ තාක්ෂණයේ නවමු විප්ලවයක් බඳුය. කැලණි ගං ඉවුරු දෙපස පමණක් ඉදිවෙන අධි ධාරිතාවයෙන් යුත් කුලූනු දෙකක් මත සමබරවන ලෙසත්, කොන්කී‍්‍රට් ඇතිරීම සඳහා සාම්ප‍්‍රදායික සැටරිම හෝ පෙර නිමි කොන්කී‍්‍රට් වැනි ක‍්‍රමෝපායන් භාවිතයෙන් තොරවත් එම ඉදිකිරීම නිර්මාණය කිරීමේදී සුවිශේෂී ලක්‍ෂණයක් බවට පත් වී ඇත. එහිදී පොළොව මට්ටමේ සිට අභ්‍යන්තර පාෂාණය දක්වා කැණීම් සිදුකර කොන්කී‍්‍රට් කුලූනු 35 ක් එක් කණුවකට අයත්වන සේ ගං ඉවුර දෙපස

අහස් ගඟ දැක දැක කොළඹට එන කල්‍යාණි රන් පිවිසුම

ප‍්‍රධාන කුලූනු දෙක සකස්කර ඇත. ඒ අනුව කල්‍යාණි රන් පිවිසුම යනු මෙරට ඉදිකරන ලද විශාලතම පාදම සහිත ඉදිකිරීම ලෙස ද ඉතිහාසයට එකතු වීමට නියමිතය. ආධාරක කුලූනු කිසිවක් නොමැති මෙම පාලමේ එල්ලෙන කොටස කොන්කී‍්‍රට් සහ වානේ කම්බි භාවිතයෙන් ඉදිකොට ඇත. ඒ සඳහා කොන්කී‍්‍රට් කියුබික් ටොන් 33000ක් සහ වානේ කම්බි ටොන් 1100ක් පමණ වැයවී ඇත. මෙම ඉදිකිරීම ආශි‍්‍රත අවට ප‍්‍රදේශයේ අලංකාරය පිණිස කල්‍යාණි රන් පිවිසුම වැඩ නිමවීමට මත්තෙන් තවත් ව්‍යාපෘතියක් ආරම්භ විය. ඒ හරහා රුක් රෝපණ වැඩසටහනක් කි‍්‍රයාත්මක විය. මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් පිට සිදුවූ එම ව්‍යාපෘතිය හරහා හෙක්ටයාර් 12 ක භූමි ප‍්‍රමාණයක් ආවරණයවන සේ මෙරටට ආවේණික දුර්ලභ ශාක විශාල ප‍්‍රමාණයක් රෝපණය කිරීම සිදුවිය. මාස 03 ක් වැනි කෙටි කාලයක් තුළ එම ව්‍යාපෘතිය නිමා කිරීම එහි ඇති තවත් විශේෂත්වයක්ය. ඒ අනුව හෙක්ටයාර් 12ක් පුරා විහිදී ඇති භූමි ප‍්‍රදේශයක රෝපණය කරන ලද ශාක වර්ග 729ක් පමණ දැක බලාගත හැක. ඒ අනුව මෙම ඉදිකිරීමත් සමග හරිත පැහැ පරිසර පද්ධතියක් අලූතින් කොළඹට එක්වී ඇත.

රුපියල් මිලියන 55313.00ක ඇස්තමේන්තුගත මුදලක් යටතේ සිදුකළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලබන්නේ 2017 ඔක්තෝබර් මස 18 වැනි දිනය. පුරා මාස 36ක් තිස්සේ සිදුකළ ඉදිකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ජනතා අයිතියට පත්වූ කල්‍යාණිපුර රන් දොරටුව හේතුවෙන් මෙතෙක් කලක් පෑලියගොඩ හා ඒ අවට ප‍්‍රදේශයේ පැවැති අධික වාහන තදබදය අවම කිරීම සඳහා මේ වනවිට ස්ථිරසාර විසඳුම් ලැබී අවසන්ය. මෙම ඉදිකිරීම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 314ක පමණ පිරිසක් වෙත සාලමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ ස්ථිර නිවාස ලබාදීම හේතුවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය ද මේ වනවිට උසස් මට්ටමකට පැමිණ ඇත.

අහස් ගඟ දැක දැක කොළඹට එන කල්‍යාණි රන් පිවිසුම

මෙම ඉදිකිරීම් කාලය අතරතුර විවිධ අභියෝග ආදියට ද මුහුණ දීමට සිදුවිය. පාස්කු ඉරු දින බෝම්බ ප‍්‍රහාරයත් සමග මෙම ඉදිකිරීම් භූමිය අගනගරය තුළ පිහිටා තිබීම හේතුවෙන් එහි ඉදිකිරීම් පිණිස මහත් බාධා පැමිණ ඇත. පාස්කු ප‍්‍රහාරය සමග කොළඹ හා ඒ ආසන්න ප‍්‍රදේශයන්හි පිහිටි පාලම් ඇතුළු තවත් ස්ථාන රැසකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය හැකි බව ආරක්‍ෂක අංශ විසින් සඳහන් කිරීමත් සමග ව්‍යාපෘති භූමිය එවැනි ප‍්‍රහාරයකින් ආරක්‍ෂාකර ගැනීම පිණිස විශේෂ ආරක්‍ෂක වැඩසටහන් ආදිය කි‍්‍රයාත්මක විය. එවැනි විධිමත් ආරක්‍ෂක වැඩසටහන් කි‍්‍රයාත්මක නොවන්නට එහි ඉදිකිරීම් කටයුතු ආදිය ප‍්‍රමාද වීමට පවා ඉඩකඩ පැවතුණි.

මෙම විසල් ඉදිකිරීමේදී මුහුණ දුන් දෙවැනි අභියෝගය බවට පත්ව ඇත්තේ කොවිඞ් 19 වසංගතය රට තුළ ව්‍යාප්ත වීමය. සංචරණ සීමා පැනවීම්, ඇඳිරිනීති කාල සීමාවන් ආදී නොයෙක් බාධක මැද රජය විසින් නිකුත් කරන ලද නීති හා රෙගුලාසි ආදියට අනුගත වෙමින් මෙම ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම ද මෙම ව්‍යාපෘතිය තුළ දකින්නට ලැබුණ තවත් විශේෂත්වයක්ය.

අවශ්‍ය හුමවාමරු මධ්‍යස්ථාන හා ප‍්‍රවේශ මාර්ග සහිතව මංතීරු 06 කින් සමන්විතව කැලණි ගඟ හරහා ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම’ හේතුවෙන් ඉඟුරුකඬේ මංසන්දියේ සිට කොළඹ වරාය නගරය දක්වාත් කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය ඔස්සේ අතුරුගිරිය දක්වාත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයක් යන ගමනා ගමන මාර්ග තුන එකිනෙක හා සම්බන්ධවන ජාලගත ප‍්‍රවේශය ලෙස කල්‍යාණි රන් පිවිසුම මේ වනවිටත් කොළඹට අලූත් ආලෝකයක් එක්කර ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment