අහසින් කඩා වැටුණා වගේ උසාවියට ඇවිත් වැඩ කරන්න එපා සීඅයිඩීයට විනිසුරුගෙන් අවවාද

1370

කෝටිපති ව්‍යාපාරික ඉබ්‍රාහිම් ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ 4 වැනි සාක්ෂිකාරියට සිතාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් දෙදෙනකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හතර වැනි සාක්ෂිකාරියට ලබන ජූලි 2 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (24දා) නියෝග කළේය.

එම නඩුවේ පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකාරිය ලෙස නම් කර තිබූ කාන්තාව විත්තිකරුවන්ගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළ අයකු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ නොදන්වා රහසිගතව විදේශගතවී ඇති බවත් මෙම සාක්ෂිකාරිය ද එලෙස විදේශගතවීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකාරිය විදේශගතවීමට අදාළව ආගමන විගමන පාලකවරයාගෙන් ලබාගත් ලේඛන වහාම ඊයේ දිනය ඇතුළත තම අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට ද විනිසුරු නවරත්න මාරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනිවාර්යයෙන්ම අධිකරණයේ ක්‍රියාපටිපාටිය පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව ඒ අනුව කටයුතු කළ යුතු බවත් අහසින් කඩා වැටුණා සේ අධිකරණය හමුවට පැමිණ ක්‍රියා කිරීමක් එම නිලධාරීන්ගෙන් තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් පෙන්වා දෙමින් විනිසුරුවරයා එම නිලධාරීන්ට අවවාද කළේය.

සහරාන් හෂිම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් 2019.04.21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට තොරතුරු දැන දැනත් ඒ පිළිබඳව පොලිසියට තොරතුරු දැනුම් නොදීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ එම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි. එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (24දා) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පළමු වැනි විත්තිකාර මොහොමඩ් ඉබ්‍රාහිම් නමැත්තා සාක්ෂි විභාගයට මුහුණදීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයකින් පසු නොවන බව පෙන්වා දෙමින් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ කරුණු දැක්වීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරුද්ධත්වයක් නොදැක්වීම නිසා නඩු විභාගය ලබන ජූලි 2 වැනිදා දක්වා කල්තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.

ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් හා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන දෙදෙනා පළමු වැනි විත්තිකාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දරුවන් බව පැමිණිල්ලෙන් පෙන්වා දී තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment