යාල අලුත් වෙයි

අහසින් යන සෆාරි ජීප් වෙනුවට වන සතුන්ට ආදරය කරන රි‍යැදුරන්ට යාලේ දොර ඇරේ

යාල උද්‍යානය යනු අප රටේ ඇති පැරණිතම ජාතික උද්‍යානයයි. රුහුණු ජාතික උද්‍යානය ලෙසද ප්‍රකට යාල, විල්පත්තුව ජාතික උද්‍යානය සමග එකට, එකවර හා එකම දිනයේ ප්‍රකාශයට පත්කරන ලදී. එනම්, 1938 වසරේදී යාල හා විල්පත්තුව ප්‍රකාශයට පත්කරනු ලබන්නේ වන සත්ත්ව හා තුරුලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත ක්‍රියාවට නංවමින් ඒ යටතේ ප්‍රකාශයට පත්කරන ලද පළමු ජාතික උද්‍යාන (National Parks) යුගලය ලෙසය. එසේ නමුත් ඊට අඩසියවසකට පමණ පෙර සිට යාල රක්ෂිතය වන සතුන් ඇසුරු කරගත් “ගේම් පාර්ක්” සංකල්පය යටතේ බ්‍රිතාන්‍යයන් විසින් භාවිතයට ගන්නා ලද අතර, 1900 සිට එය වනජීවී අභයභූමියක් බවට බ්‍රිතාන්‍ය පාලන කාලය තුළදීම ප්‍රකාශයට පත් කර අනතුරුව මෙය ජාතික උද්‍යානයක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය.

මේ නිසාම එංගලන්තය ප්‍රධාන කොටගත් යටත් විජිත රාජ්‍යය තුළ අතීතයේදීත්, අනතුරුව සංචාරක පිරිස් අතර සමස්ත ලෝකයේත් අතිශය ජනාදරයට පත්වන යාල ජාතික උද්‍යානය ලෝකයේ අනෙකුත් ප්‍රකට වනෝද්‍යාන අතර කරට කර වැජඹෙමින් අදටත් විරාජමානව සිටින්නේ මෙම උද්‍යානයේ සත්ත්ව විවිධත්වය හා සතුන් පහසුවෙන් දකින්නට ඇති හැකියාව නිසාය.

සැබැවින්ම ශ්‍රී ලාංකික අපට යාල යනු සාඩම්බරයකි. එසේම, රටට මුදල් උපයා දෙන ධන ආකරයකි. ඒ නැතත් යාල ජාතික උද්‍යානය අපගේ සංස්කෘතියටම ගැළපෙන සේ සැකසුණු වන සතුන් සඳහා වන වටිනා අභය භූමියකි. මෙම අභයභූමිය තුළ ලෝකයෙන්ම ඒකක බිම් ප්‍රමාණයක් තුළ වැඩිම “කොටි” (ශ්‍රී ලංකානු දිවියාගේ) ගණත්වයක් වාර්තාවන අතර, සැබැවින්ම ලෝකයේ වන සත්ත්ව ලෝලීන් අතර යාල ප්‍රකට වීමට එම හේතුවද බලපා ඇත. ඒ නැතත්, වන අලින්, ඇතුන්, මුවන්, ගෝනුන්, වලසුන් නරඹන්නට තෝතැන්නක් වන යාල වනබද හා ජලාශ්‍රිත කුරුල්ලන්ගේද පාරාදීසයකි. එනම්, යාල ජාතික උද්‍යානයට ගමන් කරන කවරකුට හෝ (කොටින්, වලසුන් නැතත්) වන සතකු දැකගන්නට නොහැකිව ආපසු උද්‍යානයෙන් එළියට එන්නට සිදු නොවන තරමටම වන සතුන් කවරකු හෝ දැකගන්නට අවස්ථාව උදාවේ.

අහසින් යන සෆාරි ජීප් වෙනුවට වන සතුන්ට ආදරය කරන රි‍යැදුරන්ට යාලේ දොර ඇරේ

නමුත් පසුගිය දස වසරක පමණ කාලයක සිට යාල ජාතික වනෝද්‍යානය ගැන අපට අසන්නට ලැබෙන්නේ එතරම් සුන්දර කතාවක් නොවේ. “කොටි” මේනියාව පෙරට දමාගත් ඇතැම් ජීප් රථ සෆාරි කරුවන්, හෝටල්කරුවන්, වන සත්ත්ව ඡායාරූප ශිල්පීන් හා වැඩිමනත් ෆෝවීල් ජීප් රථකරුවන් හා තවත් පුද්ගලයන් යාල අභයභූමිය තුළ “කොටි” සොයා පීරන්නට පටන් ගැනීමත් සමග මේ වන විට යාල උද්‍යානය ඉතා අනතුරුදායක සෆාරි ජීප් රථ සේවාවක් පවතින ලෝකයේ එක් ජාතික උද්‍යානයක් බවට හංවඩු ගැසී ඇත. කොටින්ම, යාල උද්‍යානය තුළ පවතින නීති-රීති තඹේකට මායිම් නොකරන මෙවන් පුද්ගලයන් නිසා මේ වන විට උද්‍යාන පිවිසුමෙන් හැල්මේ දුවන ජීප් රථ මගින් විටෙක දැඩි වාහන තදබදයක් උද්‍යානය තුළ කෘතිමව නිර්මාණය කරන අතර, මේ නිසාම ජීප් රථ තුළ ගමන් ගන්නා දේශීය-විදේශීය සංචාරකයන්ගේ ජීවිත අනතුරේ හෙළමින් ඉතා නරක නාමයක් යාල උද්‍යානයට එක් කර ඇත.

අහසින් යන සෆාරි ජීප් වෙනුවට වන සතුන්ට ආදරය කරන රි‍යැදුරන්ට යාලේ දොර ඇරේ

විශේෂයෙන්ම, ජංගම දුරකථන භාවිතයෙන් පණිවිඩ හුවමාරු කරගන්නා සෆාරි ජීප් රථ කරුවන් (තම තම කණ්ඩායම තුළ) “කොටි” මේනියාවෙන් උද්‍යානය තුළ ඉගිල්ලෙන්නට යෑමෙන් බොහෝ සංචාරකයන් අනතුරට ලක්වන (ජීප් රථවල වහළයේ හිස වැදීම වැනි) අවස්ථා රැසක් වාර්තා වී ඇත. එසේම, එසේ කොටින් හඹා ගොස්, කොටින් සිටින ස්ථානවල කිසිදු චාරයක් නොමැතිව ජීප් රථ ඔබ -මොබ හැසිරවීම නිසා උද්‍යානය තුළ ජීප් රථ තදබදයක් නිර්මාණය වීම, අනෙක් ජීප් රථවල සංචාරක පිරිස් අපහසුතාවයට ලක්වීම හා සතුන් ඔවුන්ට නැරඹීමට අවස්ථාවක් නොලැබීම මෙන්ම, වන සතුන්ට සිදුවන අවහිරය හා ඔවුන්ට සිදුවන ජීවිත තර්ජන හා සිදුවන හිංසාවන් නිසා අද වන විට යාල ජාතික උද්‍යානය ලෝකයේ සංචාරකයන් අතර අප්‍රසාදයට ලක්වුණු උද්‍යානයක් ලෙස කළු පැල්ලමකින් වැසී ගොස් ඇත. සැබැවින්ම, දැන් දැන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තය කරගන්නා විදෙස් සංචාරකයන් තම සංචාරක නියෝජිතායතනවලට දැනුම් දෙමින් සිටින්නේ වන සතුන්ට අවහිර, බාධා සිදුකරන මෙම ජාතික උද්‍යානයට තමන්ගේ සංචාරය ඇතුළත් නොකරන ලෙසයි.

ප්‍රවීණ වන සත්ත්වවේදියකු, වනජීවී ප්‍රතිපත්ති සම්පාදකයකු හා යාල නඟාසිටුවීමේ ජනාධිපති කමිටුවේ සභාපති හා හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පවසන පරිදි යාල ජාතික උද්‍යානයට අද ජාත්‍යන්තරයෙන් ඇතිව තිබෙන්නේ විශාල කළු පැල්ලමකි. ඒ විනයක් නැති සෆාරි රියැදුරන් නිසාය. එනිසා යාල සෆාරි ජීප් රථ රියැදුරන්ගෙන් සිදුවන මේ වරද වහා නිවැරදි නොකළහොත්, යාල ජාතික උද්‍යාන තව තවත් ලෝකයෙන් කොන්වන උද්‍යානයක් වන අතර, උද්‍යානයක් ලෙස යාලට, රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබිය යුතු විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් මේ නිසා අහිමිවීමට එය හේතුවක් වනු ඇති බව ඔහු පවසයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමාව මේ පිළිබඳව සොයාබලන්නට පත්කරන ලද කමිටුවේ සභාපතිවරයා ලෙසද පත්කරන්නට යෙදුණු අතර, ජීප් රථ ප්‍රමාණය අඩු නොකර, සෆාරි රියැදුරන්ගේ විනය ගොඩනඟා නැවත යාල උද්‍යානය තුළ සංචාරකයන් සෑහීමකට පත්කරන යහපත් සෆාරි සේවාවක් නිර්මාණය කරන්නට තමන් යෝජනා කර ඇති බව ආචාර්ය පිලපිටිය මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS- Wildlife And Nature Protection Siciety of Sri Lanka) විසින් සංවිධානය කර මාසයක පමණ කාලයක් පුරා තිස්සමහාරාමය-කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වනු ලබන “යාල සෆාරි ජීප් රථකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන” ට එක්වෙමිනි.

“අපට අවශ්‍ය යාල වනෝද්‍යානයට ඇතිවී තිබෙන කළු පැල්ලම ඉවත්කර යළිත් යාලට ජාත්‍යන්තර අවධානය සුබවාදීව යොමුකර ගැනීමයි. මොකද මේක අපේ වටිනාම අභයභූමියක්. ජාත්‍යන්තර අවධානය වැඩිම හා වැඩිම සංචාරක පිරිසක් එන ජාතික උද්‍යානය. එහෙම නම්, වෙනත් රටවල මෙන් අපේ ජීප් රථ රියැදුරන් වෘත්තීය මට්ටමකට ගෙන ඒම මෙම වැඩසටහනේ අරමුණයි” යැයි වැඩසටහන ආරම්භ කරමින් ආචාර්ය පිලපිටිය මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් වැඩසටහන මෙහෙයවනු ලබන එක්ව ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමයේ (WNPSWildlife And Nature Protection Siciety of Sri Lanka) අධ්‍යක්ෂ ස්පෙන්සර් මැනුවෙල්පිල්ලේ මහතා සහ එම ආයතනයේ පර්යේෂක, පරිසරවේදී සුපුන් ළහිරු ප්‍රකාශ් යන මහත්වරු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පැරණිම පාරිසරික හා වන ජීවී සංවිධානය වන තම සංගමය 1894 දී ආරම්භ කර, වන ජීවී ආඥා පණත බලගන්වන්නට ක්‍රියා කර, ඒ යටතේ යාල හා විල්පත්තුව ජාතික උද්‍යාන ප්‍රකාශයට පත්කරන්නට ක්‍රියා කළා සේ යාල ජාතික උද්‍යානයට යම් අකටයුත්තක්, නරක නාමයක් ඇතිවන්නේ නම් තමන් සද්භාවයෙන් හා හැකි උපරිම ආකාරයෙන් ඊට මැදිහත්වන බවයි. ඒ අනුව යාල ගැන දැන් ජාත්‍යන්තරයේ ඇතිව තිබෙන තත්ත්වය සලකා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව මෙම වැඩසටහන දියත් කළ බවත්, ඒ ඔස්සේ ඇතිව තිබෙන නරක නාමය ජීප් රථ රියැදුරන් දැනුවත්කර වෙනස් කරන්නට හැකි බව තම සංගමය විශ්වාස කරන බැවින් මෙවන් වැඩසටහනක් ක්‍රියාවට නංවන්නට තමන් මැදිහත්වූ බවත් ඔවුහු කියා සිටියහ.

ඒ අනුව නොවැම්බර් මාසය පුරා සෑම සතියකම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින ජීප් රථ රියැදුරන් 100 දෙනා බැගින් පුහුණු කර ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබාදෙන්නට මෙම ආයතන කටයුතු යොදා ඇත.

මේ අනුව පුහුණු වූ රියැදුරන් හැරෙන්නට විශේෂ බලපත්‍රය නොමැති වෙනත් කිසිදු සෆාරි ජීප් රථ රියැදුරකුට ජනවාරි මස සිට යාල උද්‍යානයට පිවිසීමට ඉඩ නොදෙන බව යාල උද්‍යාන භාරකරු, වන ජීවී අඩවි ආරක්ෂක මනෝජ් විද්‍යාරත්න මහතා වැඩමුළුවේදී අදහස් දක්වමින් පැවසීය. එසේම, රියැදුරන්ගේ විනය විරෝධී හැසිරීම් තවදුරටත් ඒ ආකාරයෙන්ම පවතින්නේ නම්, වනජීවී නීතිය අනුව දැඩිව ක්‍රියාකරන්නට උද්‍යානය තීන්දුවක් ගෙන තිබෙන බවද ඔහු පැවසීය. එනිසා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පරිදි තම විනය පිළිබඳව දැඩිව සිතා කටයුතු කරන ලෙසද, යහපත් රියැදුරකු ලෙස සංචාරක ව්‍යාපාරයද, වන සත්ත්ව සංරක්ෂණය සඳහාද සහාය දෙමින් තම රැකියාව ගෞරවාන්විත කරන ලෙසද උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාව නියෝජනය කරමින් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජිත මුදිත රංග අබේසිංහ මහතා පැවසුවේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වැදගත් වන්නේ යම් සේද.. ඒ හා සමානව යාල ජාතික උද්‍යානයද සංචාරක කර්මාන්තයට වැදගත් වන හෙයින් එහි ප්‍රමිතිය සුරක්ෂිත කිරීම සඳහා අප සැවොම එකාවන්ව කටයුතු කළ යුතුව ඇති බවයි. එනිසා ජීප් රථ රියැදුරන් තම තමන්ගේ වගකීම හා යුතුකම ඒ ආකාරයෙන්ම ඉටුකරනු ඇතැයිද සඳහන් කළ ඒ මහතා මෙම වැඩමුළුව සඳහා තම ආයතනය අනුග්‍රාහක දායකත්වය දෙන්නට තීන්දු කළේ ඒ නිසා බවද සඳහන් කළේය.

අප්‍රිකානු කලාපයේ සෆාරි සිදුකරන දකුණු අප්‍රිකාව, කෙන්යාව, රුවන්ඩාව, ටැන්සානියාව වැනි රටවල සැලැස්මකට අනුව උද්‍යාන තුළ සෆාරි සේවා සිදුවන බවද, එම රටවල රියැදුරා විසින්ම මාර්ගෝපදේශ කටයුතු සිදුකරමින් වැඩි ආදායමක් ලබාගන්නා බව මෙහිදී පැවසූ ආචාර්ය සුමිත් පිලපිටිය මහතා කියා සිටියේ අපේ ජීප් රථ රියැදුරන්ද එම වෘත්තීය තත්ත්වයට ගෙන ඒම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවයි. එම නිසා මෙම පුහුණුවෙන් පසු ලබාදෙන විශේෂ ගමන් බලපත්‍රය ලබාගැනීමට සියලු ජීප් රථ රියැදුරන් උනන්දු විය යුතු බවද, ඒ සඳහා යාලට වැදගත්වන වන ජීවී සහ පාරිසරික දැනුම ලබාදීම සඳහා එක් එක් විෂයට අදාළව විද්වතුන් රැසකගේ දේශනා මෙම වැඩමුළුවට ඇතුළත් කර ඇති බවද පිලපිටිය මහතා සඳහන් කළේය.

මේ අනුව පක්ෂි විද්‍යාඥ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, පක්ෂිවේදී හේමන්ත සෙනෙවිරත්න, යාල කොටින් පිළිබඳ ගවේෂණයේ යෙදෙන Leopard Diary සංවිධානයේ අධ්‍යක්ෂ දුෂ්‍යන්ත සිල්වා, යාල අලින් පිළිබඳ පර්යේෂණයේ නියුතු බණ්ඩාර, උරගයින් පිළිබඳ පර්යේෂක, යොවුන් ගවේෂණ සංගමයේ නිවහල් විමුක්ති මහත්වරුන් විසින් යාල ජාතික උද්‍යානයට අදාළ එක් එක් සත්ත්ව කාණ්ඩය පිළිබඳව ජෛව විවිධත්වය හා සංරක්ෂණය පිළිබඳ දේශන මාලාවක්ද මෙහිදී පවත්වනු ලැබූහ.

පුහුණුව ලැබූ යාල සෆාරි ජීප් රථ රියැදුරන් 700 කට ආසන්න පිරිසක් සහතිකපත් ලබා ඉකුත්දා විසිර ගියහ.

සැරිසර –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප – මදාරා හේමචන්ද්‍ර
ජගත් කණහැරආරච්චි
අන්තර්ජාලය ඇසුරෙන්

advertistmentadvertistment
advertistmentadvertistment