අහස පොළොව නුහුලන අපරාධකරුවෝ නිදැල්ලේ…සරුසාර මාළු මිරිස් වගාවකට වල්නාශක ඉසලා

142

ලක්‍ෂ 35 ක අස්වැන්නක් ගන්න තිබුණා- ශාන්ත බණ්ඩාර ගොවි මහතා

ආදායම් ලබමින් තිබුණ අක්කර භාගයක වගාකර තිබූ මාළු මිරිස් කොටුවකට කිසියම් පුද්ගලයන් කීපදෙනකු ගොස් වල්නාශක ඉස වගාබිම විනාශ කර දැමීමේ සිද්ධියක් නොච්චියාගම රන්කෙත්ගම ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙලෙස වගාබිම විනාශ කර දමා ඇත්තේ අංගමුව ජලාශයට ඉහළින් පිහිටි ඉඩමක මිරිස් කොටුවකටය. මෙම මාළු මිරිස් වගාකළ ගොවි මහතා මෙවර යල් කන්නයේදී රුපියල් ලක්‍ෂ 06ක් පමණ වැයකොට වගාව ආරම්භ කළ බව පවසයි. වගාවේ පළමු අස්වැන්න ඉකුත්දා කිලෝ 500ක් පමණ ලබාගෙන ඇත.

අනික් මුරයට අස්වැන්න ලබා ගැනීමට ආසන්නව තිබියදී පුද්ගලයන් කීපදෙනකු පැමිණ සිව් වතාවකට වල් නාශක ඉස ඇතැයි ගොවි මහතා කියයි.

මෙම මාළු මිරිස් වගාව සඳහා නොච්චියාගම රන්කෙත්ගම පදිංචි ආර්. එම්. ශාන්ත බණ්ඩාර ගොවි මහතා කෘමිනාශක, පොහොර සහ ජලය සැපයීමට රු. ලක්ෂ 06 ක පමණ මුදලක් වැයකර ඇත. මෙම වගාවෙන් තවත් මුර කිහිපයක අස්වැන්න නෙලාගත් පසුව රු. ලක්ෂ 35 ක පමණ මුදලක් ලබා ගැනීමට තිබුණ බවද පැවසීය. මෙම ආදායම ලබාගැනීම ඉවසාගත නොහැකි ගමේ කීපදෙනකු ඊර්ෂ්‍යාවෙන් මෙම ගොවිපළට වල්නාශක ඉසින්න ඇතැයි හෙතෙම පැවසීය. දැනට මෙම වල්නාශක ඉස දින 15 ක් පමණ ගතවී ඇතත් අපරාධය කළ අය ගැන හරිහැටි සොයා ගැනීමට අපහසු වී තිබේ.

තඹුත්තේගම – සී. එම්. ආරියපාල

advertistmentadvertistment
advertistmentadvertistment