අහුංගල්ලේ ලොකු පැටීගේ කහතුඩුවේ කුඩු ගබඩාවට STF පනී – කෝටි 30ක මත්කුඩු පිස්තෝල 2ක් සමග තිදෙනෙක් දැලේ

511

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන අහුංගල්ලේ ලොකු පැටීගේ කුඩු ගබඩාව කහතුඩුවේදී වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී රුපියල් කෝටි 30කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් සහ බෙල්ජියමේ නිෂ්පාදිත පිස්තෝල දෙකක් සමග ජාවාරම්කරුවන් තිදෙනකු පෙරේදා (09දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා යොදාගත් ව්‍යාජ අංක තහඩු යෙදූ මෝටර් රථ දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කැස්බෑව, කැබැල්ලගහවත්ත ප්‍රදේශයේදී ලොකු පැටීගේ ගෝලයකු හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කහතුඩුව ප්‍රදේශයේ නිවසක් වැටලූ විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් එහි ගමන් බෑග කීපයක සඟවා තිබූ රුපියල් කෝටි 30කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් කිලෝ 13යි ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කුලී නිවස ඩුබායිහි සැඟවී සිටින අහුංගල්ලේ ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ගබඩාව බව පසුව හෙළි විය. රුපියල් පනස් දහසක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති මෙම නිවස හෙරොයින් බෙදාහැරීමේ මධ්‍යස්ථානය ලෙස පාවිච්චි කර ඇත.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මීට දින කීපයකට පෙර හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් මෙම කුඩු ගබඩාව වෙත ගෙන ආ බවයි. එම හෙරොයින්වලින් කිලෝ දෙකක් මොවුන් විසින් අලෙවිකර ඇති බවද හෙළි වී තිබේ.

අහුංගල්ලේ ලොකු පැටී ඩුබායි රාජ්‍යයේ සිට නිතරම කහතුඩුවේ කුඩු ගබඩාව පවත්වාගෙන යන ජාවාරම්කරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ජාවාරම මෙහෙයවා ඇත.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ද ලොකු පැටී ඔවුන්ගේ ජංගම දුරකථනවලට ඇමතුම් ලබාගෙන තිබේ.

මෙම ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය තොග පිටින් කොළඹ නගරයට සහ කොළඹ සිට ගාල්ල දක්වා ප්‍රදේශ ගණනාවක බෙදා හැර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මොවුන් සතුව තිබී සොයාගත් බෙල්ජියමේ නිෂ්පාදිත පිස්තෝල දෙක මත්ද්‍රව්‍ය තොග සමග බෝනස් දීමනා ලෙස ලැබෙන ආයුධ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වීරවිල, පාදුක්ක සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි අවුරුදු 24,28,48 වයස් සීමාවල පසුවන පුද්ගලයන්ය.

මෙම ජාවාරම්කරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත අධ්‍යක්ෂ (බුද්ධි) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහ, සහකාර පොලිස් අධිකාරි (බුද්ධි) මත්ද්‍රව්‍ය නාශක අපරාධ මර්දන මෙහෙයුම් සාගර කුලසේකර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඒ.එන්.ඩී. කුමාර, පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.

හේමන්ත රන්දුණු සහ ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment