අළු මතින් සැඟවෙමුද? අළු ගසා නැගිටිමුද?

79

යුද්දවලින් පොලවට සමතලා වූ රටවල්, ඒ අළු දූවිලි ගසා දමමින් හිස එසවූ අයුරු අපි ඉතිහාසය පුරා දකිනවා. සුපිරි ජාතිවාදයකට යෑම තුළින් කඩා වැටුණු හිට්ලර්ගේ ජර්මනිය මෙන්ම ජපානයත්, යුද්ධයෙන් බිඳවැටුණු කොරියාවත් අද ලෝකයේ ප‍්‍රබල ආර්ථිකයක් බවට පත්ව තිබෙනවා. ඇමෙරිකානු ප‍්‍රහාරවලින් විනාශ වූ වියට්නාමය පවා ශක්තිමත් ආර්ථිකයක් සඳහා වන ගමනකට අවතීර්ණව සිටීම අප දකිනවා.

අර්බුදවලින් සහ ව්‍යසනයන්ගෙන් ගොඩ එන්නට පැහැදිලි දැක්මක් සහ නිශ්චිත තිරසාර වැඩපිළිවෙළක් තිබෙන්නට ඕනේ. ඒ පිළිබඳව නිසි අවබෝධයක් ඇතිව නිවරැදි ඒ මගට පිවිසිය යුතුව තිබෙනවා.

අද අපි අපේ රටේ දකිමින් සිටින්නේ කෙබඳු ගමනක්ද? ප‍්‍රධාන වශයෙන් ස්ථාවර ප‍්‍රතිපත්තියක් නොතිබීමයි. සතියෙන් සතිය ප‍්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ අනුව ගත් තීන්දු තීරණ එකිනෙක වෙනස් කරන ගැසට් පත‍්‍ර නිකුත් කරමින් සිටිනවා. තිරසාර ආර්ථික පිළිවෙතක් හෝ විදෙස් පිළිවෙතක් හෝ කෘෂිකාර්මික පිළිවෙතක් නැහැ. ගන්නා වූ දඩිබිඩි තීන්දු නිසා රජය විසින් ප‍්‍රධාන තැන්වලට පත් කළ ”වියත්” උදවිය පවා කලකිරීමෙන් තනතුරුවලින් පෝළිමේ ඉවත්ව යෑම අපි දකිමින් සිටිනවා. පාර්ලිමේන්තුව තුළ සිටින රජයේ පාර්ශ්වයේ ”වියත්” මන්ත‍්‍රීවරුන් දුසිම් ගණනක් ”පුදුම සහගත මුනිවත රැකීමක” යෙදී සිටිනවා. ඒ පාර්ලිමේන්තු විවාද සඳහා ඔවුනට කාලය වෙන් නොකිරීම නිසාද, විවාද සඳහා ඔවුන් ඉදිරිපත් නොවීම නිසාද යන්න අපැහැදිලිය.

රටතුළ දූෂණය, වංචාව, හොරකම ගැන ප‍්‍රවෘත්ති නිරතුරුව මාධ්‍ය මගින් හෙළි කරමින් සිටිනවා. පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාව පසුගිය කාලය තුළ රජයේ ආයතනවල දූෂණ, වංචා සහ සොරකම් ආදිය ගැන කරුණු ඉතා කාර්යක්ෂම ලෙසින් විමර්ශනය කරමින් සිටීම සහ ඒ දූෂිත කටයුතු පිළිබඳ ක‍්‍රියාමාර්ග ගැන්ම සඳහා කටයුතු කරමින් සිටීම අප දකිමින් සිටිනවා. දැන් හදිසියේම පාර්ලිමේන්තු සැසිවාරයන් කල් දැමීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබෙනවා. මේ තීන්දුව නිසා මේ සියලූ කාරක සභා වලට අලූතින් පත්කිරීම් කිරීමට සිදුවෙනවා.

එමෙන්ම මේ කල්දැමීම හරහා සිදුකර ඇති විමර්ශනයන්හි ප‍්‍රතිඵල ලෙසින් සකස් කර ඇති සියලූ වාර්තා අහෝසි වී යෑම සිදුවෙනවා. ක්ෂණිකව මේ කාරක සභා අකර්මන්‍ය කරන ලෙසින් මේ ගත් තීන්දුව ඇත්තෙන්ම ප‍්‍රහේලිකාවක්. රජයේ ආයතන තුළ සිදුකර තිබූ දූෂණ, වංචා, හොරකම් පිළිබඳව මෙතෙක් මේ කාරක සභා කාර්යක්ෂම ලෙසින් සිදුකරගෙන ආ විමර්ශන සහ ඉදිරි කටයුතු ඇන සිටීම මෙන්ම, මේ කාරක සභා සඳහා අලූතින් පත්කිරීම් සිදුකිරීමටද රජය මගපාදා ගැන්ම සිදුකර තිබෙනවා. මේ අයුරින් දූෂණ, වංචා, හොරකම් එළිදරව් කිරීම් වළකන ක‍්‍රියාමාර්ගවලට යෑම ගැන ඇස් කන් වසාගෙන නොසිට තම හඬ අවදි කිරීම වගකිව යුතු පුරවැසි ප‍්‍රජාව විසින් කළ යුතුව තිබෙනවා.

ලෝකය ඉදිරියේ අපේ රට දූෂිත රටක් නොවන බවට ප‍්‍රතිරූපය ගොඩනැංවිය යුතුව තිබෙන පරිසරයක මේ ගන්නා පියවරවල් පිළිකුල් සහගතය. ලෝකයේ දූෂිත රටවල් පිළිබඳ දර්ශකයේ උසස් තැනකට අප රට ගෙන ආ යුතුව තිබෙනවා. රජයක් බලයට පත්වූ විට ප‍්‍රතිවාදීන් දඩයම් කිරීමත්, දූෂිත කටයුතු සඳහා චෝදනා ලැබ ඇති තම පිලේ අයවලූන් නිදොස් කර ගැන්මටත් ක‍්‍රියාකිරීම ගැන චෝදනා එල්ලවන මේ විෂම චක‍්‍රයෙන් අපේ රට නිදහස් කර ගත යුතුව තිබෙනවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර, විනිවිද භාවයෙන් යුතු යාන්ත‍්‍රණයක සහ ගමන් මාර්ගයක අවශ්‍යතාව අපේ රටට තිබෙනවා.

20 වන සංශෝධනය තුළින් සිදුවූ නිදහස් කොමිෂන් සභාවල් අහෝසි කිරීම් වෙනුවට, කළ යුතුව තිබුණේ වඩාත් ශක්තිමත්, නිර්දේශපාලනීකරණයකට යෑමයි. 20 වන සංශෝධනය තුළින් අධිකරණ කටයුතු, මැතිවරණ කටයුතු, නීතිය හා සාමය සුරැකීම ඇතුළු අති වැදගත් ක්ෂේත‍්‍ර සියල්ලකම ප‍්‍රධාන වගකීම් සඳහා ජනාධිපති අභිමතය පරිදි ප‍්‍රධාන වගකීම් දරන්නන් පත්කර ගැන්ම තුළින් ඒ සියලූ කටයුතුවලදී බලය ග‍්‍රහණය කර ගැන්මට මග පාදා දී තිබෙනවා. දැන් පාර්ලිමේන්තුව ජනාධිපති විසින් කල් දැමීම තුළින්, දූෂිත කටයුතු හෙළදරව් කරමින් සිටි වැදගත් කාරක සභාවල සංයුතියද වෙනස් කිරීමකට යෑම ඉලක්ක කර සිටීම ගැන කථාබහ සිදුවෙනවා.

අපේ රට අද මුහුණ දී ඇති මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්නට නම් වේගවත් ආර්ථික වර්ධනයකට අප යා යුතු වෙනවා. මේ සඳහා අපි ආයෝජන වැඩිකරගත යුතුව තිබෙනවා. රජයට පාලනය කර ගත නොහැකි උද්ධමන පසුබිම තුළ, ඉතිරි කිරීම් වර්ධනය කරගැන්ම අභියෝගයක්. ලෝක යුද්ධවලින් විනාශයනට මුහුණ දුන් රටවල් ශක්තිමත් අපනයන ආර්ථිකයන් නිර්මාණය කරගත්තේ ආයෝජන වැඩිකර ගැන්මෙන්. ඉතිරි කිරීම් පිළිබද ඉහළ මට්ටමක් පවත්වා ගැන්ම තුළින්.

අද මේ කොවිඞ් වසංගතය පවතින කාල වකවානු තුළ බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං සහ වියට්නාමය වැනි රටවල් මහත්වූ සෘජු ආයෝජන ප‍්‍රමාණයක් ලබාගන්නත්, ශ‍්‍රී ලංකාව පමණක් එසේ නොලබන්නත් හේතු වී ඇති කාරණා මොනවාද යන්න ගැන අප සද්භාවයෙන් විමසිය යුතුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආයෝජන වාර්තාවට අනුව 2020 වසරේදී ශ‍්‍රී ලංකාව ලැබූ සෘජු ආයෝජනය, ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පමණි. එහෙත් බංග්ලාදේශය, ඇමෙරිකානු ඩොලර් 2,600 ක් ද, කාම්බෝජය ඇමෙරිකානු ඩොලර් 3,600 ක් ද, වියට්නාමය ඩොලර් බිලියන 15.8 ක් ද, මැලේසියාව ඩොලර් මිලියන 3.5 ක් ද, සිංගප්පූරුව ඩොලර් මිලියන 119.1 ක් ද ලබාගැන්මට සමත්ව තිබෙනවා.

ව්‍යාපාරවල නිරතවීම සඳහා පහසුකම් සැපයීමේ ජාත්‍යන්තර දර්ශකයේ 2014 වසරේදී රටවල් 190 ක් අතුරින් 142 වන ස්ථානයේ සිටි ඉන්දියාව 2019 වසරේදී තම ස්ථානය 63 වන ස්ථානය දක්වා උසස් කරගෙන තිබෙනවා. රටක් වශයෙන් නිවැරදි ප‍්‍රතිපත්තියක සිටිමින්, අදිටනින් යුතු ගමනක ප‍්‍රතිඵල ඔවුන් දිනා ගනිමින් සිටීම අපි දකිනවා. රටක් ලෙසින්, ජාතියක් වශයෙන් ශ‍්‍රී ලාංකික අපද තවත් ප‍්‍රමාද නොවී නිවැරදි ගමනකට ප‍්‍රවේශ විය යුතුව තිබෙනවා.

ලෝකයේ, දූෂිත රටවල් පිළිබඳ දර්ශකයේත්, ව්‍යාපාරවල නිරතවීම සඳහා පහසුකම් සැපයීමේ දර්ශකයේත්, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වූ දර්ශකයන්හීත්, මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයන්හීත් යනාදි වශයෙන් මෙම ක්ෂේත‍්‍රයන් පිළිබඳව ජාත්‍යන්තර මිනුම් දඬුවලින් බලද්දි, අපේ රට ඉහළ ස්ථානයකට අප ගෙන ආ යුතුව තිබෙනවා. මේ හැම ක්ෂේත‍්‍රයකින්ම, ලෝකය ඉදිරියේ හුදෙකලා නොවන, ගෞරවනීය ප‍්‍රතිරූපයක් ගොඩ නගා ගැන්ම, අපේ ආර්ථික ඉදිරි ගමන සඳහා පූර්ව අවශ්‍යාතාවක් වෙනවා.

වර්තමාන ලෝකය තුළ රටක් වශයෙන් හිස එසවීමට නම් අපට කොටුවී සිටින්නට පුළුවන්කමක් නැහැ. හුදෙකලාවෙමින්, ලෝකයෙන් කොන්වෙමින් අපට ඉදිරි ගමනක් නැහැ. නිවැරදි දැක්මක් මත පදනම් වූ තිරසාර ගමනකට අදිටනකින් යුතුව අප අවතීර්ණ විය යුතුව තිබෙනවා. සාර්ථක ගමනකදී අප එකිනෙකාගෙන් පාඩම් උගත යුතු වෙනවා. අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය ජාත්‍යන්තර තලය තුළ වැදගත්.

ලෝක ඉතිහාසයේ ආර්ථික ඛේදවාචකයනට මුහුණ දුන් රටවල් අද ආර්ථික අතින් ප‍්‍රාතිහාර්යයන් පාමින් සාර්ථකව හිස ඔසවා ඇත්තේ නිවැරදි දැක්ම, තිරසාර ප‍්‍රතිපත්ති සහ අධිෂ්ඨානශීලී ජව සම්පන්න ගමන් යෑම හේතුවෙනි. අපිද අප ඉදිරියේ ඇති අභියෝග නිසි ලෙස අවබෝධකර ගත යුතුව ඇත්තෙමු. ඉතිහාසය පුරා සිහින ලෝක මැවීම්, වර්ගවාදී, ආගම්වාදී, පන්තිවාදී සටන්පාඨ වලින් වල්මත් වී සිදුකරගෙන ඇති විනාශයන්ගෙන් පාඩම් උගතයුතුව ඇත්තෙමු. අර්බුදයනට විනාශයනට පසු ලොව හිස ඔසවා ඇති, ආර්ථික අතින් ප‍්‍රාතිහාර්ය පාමින් සිටින රටවල් යන මාවත්වල ධන, සෘණ පැතිවලින් පාඩම් උගනිමින්, අපේ රට නිවැරදි මගට අප‍්‍රමාදව අවතීර්ණ කර ගත යුතු වෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment