ආංශික කාරක සභා 16ක් මගින් රට ගොඩ නැංවීමට මුළු  පාර්ලිමේන්තුවම එක් කර ගන්නවා – අගමැතිගෙන් අලුත් වැඩපිළිවෙළක්

70

අධීක්ෂණ ආංශික කාරක සභා 16ක් මගින්, මුළු පාර්ලිමේන්තුවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය.

අද අපේ රට ඇද වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමේදී මූලික අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථිකය යළි ස්ථාවර කිරීමට. ඉන්පසුව නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට. මේ කටයුතු දැන් අපි සැලසුම් සහගතව ඉටු කර ගෙන යනවා. ආර්ථික වැඩපිළිවෙළට සමාන්තරව අපි තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතු බව මම අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. මේ අවස්ථාවේ හැකි පමණින් දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් අප කළ යුතුයි. එහිදී වැදගත් තැනක් හිමි වන්නේ පාර්ලිමේන්තුව යළිත් ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ආයතන දේශපාලනීකරණයෙන් මුදා ගැනීම. 22 වැනි සංශෝධනය එක් පියවරක්. පාර්ලිමේන්තු ආංශික කාරක සභා බලවත් කරලීම තවත් පියවරක්.

නිදහසට කලින් අපේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වුණු අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය යළි බල ගැන්විය යුතු බව මම මීට කලින් අවස්ථා ගණනාවකදී අවධාරණය කර තියෙනවා. මේ ක්‍රමය යටතේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මුළු මහත් පාර්ලිමේන්තුවම ප්‍රතිපත්ති සම්පාදනය සහ රාජ්‍ය පාලනය සඳහා දායක වෙනවා. අපේ රටේ මේ දක්වා වර්ධනය වූ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමය ඔස්සේ සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. වර්තමානයේ අපි ඡන්ද කාලයේදී පක්ෂ වශයෙන් බෙදෙනවා. පාර්ලිමේන්තුවට පැමිණියාට පස්සේත් බෙදිල්ල තව තවත් වර්ධනය කරනවා. ආණ්ඩුව අණ පනත් ගෙන එනවා. ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. රාජ්‍ය පාලනය කරගෙන යනවා. විපක්ෂය ඒවාට බොහෝ අවස්ථාවල විරුද්ධ වෙනවා. රාජ්‍ය පාලනයට හා රාජ්‍ය පාලනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස් කිරීමට එක්වීමේ ඉඩකඩක් විපක්ෂයට නෑ.

මේ කමිටු ක්‍රමයේදී රජයට සිද්ධ වෙනවා තනි මතයෙන් බැහැර වෙලා පොදු මතයකට එළැඹෙන්න. විපක්ෂයට සිද්ධ වෙනවා විවේචනයට සීමා නොවී විසඳුම් සෙවීමට දායක වෙන්න. අද අපේ රට වැටී තියන තත්ත්වයෙන් ගොඩ එන්න නම් පාර්ලිමේන්තුව තුළ මෙන්ම මේ විදිහේ වෙනසක් සිදුවිය යුතුයි. කවුරු බලයේ සිටියත්, කවුරු විපක්ෂයේ සිටියත්, රට ගොඩ නැංවීමේ ක්‍රියාවලියට මුළු පාර්ලිමේන්තුවම එක ලෙස සම්මාදම් විය යුතුයි.

මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු බොහොමයක් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම තරුණ මන්ත්‍රීවරු. අමාත්‍යාංශ කාර්ය භාරයක් නොමැති ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් වගේම විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුනුත්, රට ගොඩ නැංවීමේ වෑයමට සාමූහික දායකත්වයක් ලබාදීමේ වැදගත්කම ගැන වරින් වර අදහස් පළ කර තියෙනවා.

අධීක්ෂණ ආංශික කාරක සභා බලවත් හා ශක්තිමත් කරන වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස මම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා. කරු ජයසූරිය මහතාගේ වාර්තාව අද අපි පාර්ලිමේන්තුවට ලබා දෙනවා. ඒ වාර්තාව අධ්‍යයනය කර සාකච්ඡා කර ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට මම මේ මුළු පාර්ලිමේන්තුවේම සහයෝගය අපේක්ෂා කරනවා.

මම අවස්ථා කීපයකදීම මේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළ වැදගත් කරුණක් නැවතත් සිහිපත් කරන්න කැමතියි. මේ අර්බුදකාරී අවස්ථාවේ අප සියල්ලන්ගේම වගකීම හා යුතුකම වන්නේ අතීතය පාරමින් සිටීම නෙවෙයි. මේ අර්බුදයෙන් ගොඩ ඒම උදෙසා ශක්ති ප්‍රමාණයෙන් සහාය වීමයි. අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. එවැනි නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමට මේ ආංශික කාරක සභා ක්‍රමය බලවත් කරලීමේ වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් පදනමක් වෙන බව මගේ විශ්වාසයයි. යෝජිත අධීක්ෂණ ආංශික කාරක සභා මගින් අපි ප්‍රධාන අරමුණු හතරක් ඉටු කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

1. ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ප්‍රජාවට සහ පවුල්වලට සහනයක් ලබා දීම.

2. රටත්, රටේ ව්‍යවසායනුත් යළිත් ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් කිරීම.

3. ජනතාව සහ සමස්ත සමාජයම සුවපත් කිරීම

4. ඉහත තුන් වැදෑරුම් ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය ක්‍රමවේදයන් පුනර්ජීවනය කිරීම.

මේ කරුණු මුදුන්පත් කරගැනීම උදෙසා අධීක්ෂණ ආංශික කාරක සභා දහසයක් බලගැන්වීමට මේ වාර්තාවෙන් යෝජනා කරනවා. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ කමිටුව. බලශක්ති සහ ප්‍රවාහන කමිටුව. ආහාර සුරක්ෂිතතා සහ කෘෂිකර්ම කමිටුව. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ අපනයනය ඉහළ නැංවීමේ කමිටුව. අධ්‍යාපන කමිටුව. සෞඛ්‍ය කමිටුව. විවෘත සහ වගකියන්න රාජ්‍ය සේවකයන් සඳහා වූ කමිටුව. ජාත්‍යන්තර සබඳතා කමිටුව. ජාතික ආරක්ෂාව සඳහා වූ කමිටුව. විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ වූ කමිටුව. යුක්තිය හා නීති ගරුක සමාජයක් පිළිබඳ කමිටුව. පරිසර, ස්වභාවික සම්පත් හා තිරසාර සංවර්ධන කමිටුව. මාධ්‍යය, තාරුණ්‍යය, ජාතික උරුමය හා නව පුරවැසියා පිළිබඳ කමිටුව. සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වූ කමිටුව. ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කමිටුව. ජාතික ආර්ථික හා භෞතික සැලසුම්කරණ කමිටුව.

මේ කමිටු සඳහා මන්ත්‍රීවරුන් නොවන තරුණ තරුණියන් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එක් කර ගැනීමේ වැදගත්කමත් කරු ජයසූරිය වාර්තාව මගින් පෙන්වා දී තියෙනවා. මේ කරුණත් ඉතා වැදගත්. දේශපාලනයට සෘජුව සම්බන්ධ වීමට අකැමැති තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ අදහස් සහ යෝජනා රටේ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේදී ලබා ගැනීමේ මාර්ගයක් මේ ඔස්සේ සැලසෙනවා.

එමෙන්ම විද්වතුන් හා විශේෂඥ උපදෙස් ලබා ගැනීමේ අවකාශ වාර්තාව මගින් යෝජනා කර තියෙනවා. මේ අනුව අධීක්ෂණ ආංශික කාරක සභා ක්‍රමය මගින්, මුළු පාර්ලිමේන්තුවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් වෙනවා. ඒ වගේම තරුණ ප්‍රජාවත්, විද්වතුන් හා විශේෂඥයනුත් මේ කමිටුවලට සහභාගි කරවා ගන්නවා.

මේ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් එක අතකින් අපේ දේශපාලන සංස්කෘතියේ දැවැන්ත වෙනසක් ඇති වෙනවා. අනික් අතින් රටේ අනාගතය ගොඩ නැංවීමට විශාල රුකුලක් ඇතිවෙනවා. සංවර්ධිත ශ්‍රී ලංකාවක් බිහිකරලීමේ අරමුණට සවිමත් පදනමක් ගොඩ නැංවෙනවා. සැබෑ සිස්ටම් චේන්ජ් එකකට මුල පිරෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment