ආක්‍රමණිකයන් රිසි සේ කොල්ලකන මුහුදු ආදිවාසීන්ගේ උරුමය

561
වෙරුගල් කෝවිල

හැම පැත්තෙන්ම ‘වැටලීමට ලක් වූ’ සුළුතර ජන කණ්ඩායමක් වූ මුහුදු ආදිවාසීන්, ඔවුන්ට වඩා බලවත් විවිධ පාර්ශ්වවලින් දරුණු ලෙස සූරාකෑමට ලක්ව සිටති. වඩාත් අවාසනාවන්ත කාරණය නම්, ඔවුන්ට රැකවරණය සැලසීමට බැඳී සිටින රජයද ඔවුන්ගේ උරුමය කොල්ලකෑමට චූදිතයකු වී සිටීමයි. මේ අවනඩුවට වහා මැදිහත් වීම, ශිෂ්ට සමාජයේ යුතුකමකි.

මුහුදු ආදිවාසීන් හෙවත් ‘මුහුදු වැද්දන්’ වැඩි දෙනකුගේ අවධානයට ලක් නොවූ, මෙරට වෙසෙන තවත් එක් සුවිශේෂී ජන කොට්ඨාශයකි. අප රටේ ශිෂ්ටාචාරයෙහි අක්මුල් ගැන කියැවෙන ජනප්‍රවාදයෙහි සඳහන් වන කුවේනියගේ දරුවන් දෙදෙනාගෙන් තමන් පැවත එන බව මුහුදු ආදිවාසීන්ගේද විශ්වාසයයි.

දුරාතීතයේ සිටම මේ බිමේ මුල් උරුමක්කාරයන් වූ තම වර්ගයාගේ සංස්කෘතික වටිනාකම් හා උරුමයන් දිනෙන් දිනම අහිමි වීමේ ශෝචනීය ඉරණමට වර්තමානයේ තමන් මුහුණ දී සිටින බව මුහුදු ආදිවාසීහු මැසිවිලි නඟති.

වැදි ජනයාගේ සම්භවය සම්බන්ධයෙන් අප රටේ ඇති ජනප්‍රිය අදහස වන්නේ, ඉන්දියාවෙන් පිටුවහල් කරනු ලැබ මෙරටට ගොඩබට විජය කුමරුට දාව, මෙරට ස්වදේශීය යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වූ කුවේණිය බිහි කළ දරු දෙදෙනාගෙන් වැදි ජනයා පැවත එන බවයි. මෙම ප්‍රවාදය බැහැර නොකරන වත්මන් වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් මෙරට ආදිවාසීන් යක්ෂ ගෝත්‍රයට අයත් වන බවත් ඔවුන්ගේ ආදිතමයා බලංගොඩ මානවකයා බවත් ප්‍රකාශ කරයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මෙන්ම එම විශ්වවිද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ නිර්මාතෘ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි පෙන්වා දෙන්නේ, රාක්ෂ, යක්ෂ, නාග යන ගෝත්‍ර සම්මිශ්‍රණයකින් වැදි ජනයා නිර්මාණය වී ඇති බවයි. මෙම ගෝත්‍ර ඈත අතීතයේ මධ්‍යධරණී ප්‍රදේශයේ සිට ඉන්දියාව හරහා ලක්දිවට පැමිණෙන්නට ඇති බව ඔහුගේ මතයයි.

මහාචාර්ය නන්දදේව විජේසේකර විසින් කරන ලද පර්යේෂණවලට අනුව නැගෙනහිර වෙරළ ආශ්‍රිතව වෙසෙන ‘මුහුදු වැද්දන්’ අන් ප්‍රදේශවල වැද්දන්ගෙන් වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කරන අතර, මොවුන් නැගෙනහිර වෙරළ තීරයට පැමිණියේ කිනම් කාලයකදීද යන්න මෙතෙක් හරිහැටි තහවුරු වී නැත.

මුහුදු ආදිවාසීන්ගේ නැගෙනහිර වෙරළ ආගමනය සම්බන්ධයෙන් වත්මන් ආදිවාසී නායක වන්නියලැත්තන් කියන්නේ, මුහුදු ආදිවාසීන් යනු ආදිවාසීන්ගේම කොටසක් බවයි. අතීතයේ කණ්ඩායම් ලෙස ඔවුන් මහවැලි ගඟ ඔස්සේ ආහාර සොයා රට පහළට පැමිණි ගමනේදී මොවුන් නැගෙනහිර වෙරළ තීරයේ පදිංචි වන්නට ඇති බවත්, එම ප්‍රදේශවල වැඩි වශයෙන් වාසය කරන දමිළ ජනතාව ඇසුරේ කල්ගත කිරීම හේතුවෙන් පසු කලකදී ඔවුනට වැදි භාෂාව සහ වැදි සංස්කෘතිය අමතක වී දමිළ භාෂාවට හා දමිළ සංස්කෘතියට හැඩගැසෙන්නට ඇති බවත් ඔහුගේ අදහසයි.

වාකරේ ආදිවාසී පරපුර

ආක්‍රමණිකයන් රිසි සේ කොල්ලකන මුහුදු ආදිවාසීන්ගේ උරුමය

වර්තමානයේ මුහුදු ආදිවාසීන්ගේ නායකත්වය උසුලනුයේ, වාකරේ කුංඤන්ගල්කුලම් හි පදිංචි හැට හැවිරිදි අම්බලවරිගේ නල්ලතම්බි වේලායුදන්ය. ඔහු පවසන අන්දමට මහවැලි ගඟ ඔස්සේ රට පහළට පැමිණි ආදිවාසී පවුල් හතක් ඉංග්‍රීසීන් විසින් සිය අවශ්‍යතාව මත වාකරේ පනිච්චන්කේනි වෙරළ තීරය ආශ්‍රිතව පදිංචි කර ඇති අතර, මුහුදු ආදිවාසීන් පැවත එන්නේ ඔවුන්ගෙනි.

වර්තමානයේ මුහුදු ආදිවාසී ගම්මාන වැඩිම ප්‍රමාණයක් පැතිර ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර්, වෙරුගල් හා සේරුවිල ප්‍රදේශ ආශ්‍රිතවයි. මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුහුදු ආදිවාසී ගම්මාන ප්‍රමාණය කොතෙක් දැයි හරි හැටි සංඛ්‍යාලේඛනවල සඳහන් වී නොමැත.

කෙසේ වෙතත්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි මුළු මුහුදු ආදිවාසී ගම්මාන ප්‍රමාණය 24ක් බව නැගෙනහිර පළාත් මුහුදු ආදිවාසී නායකයාගේ අදහසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර්, වෙරුගල් හා සේරුවිල යන ප්‍රදේශයන්හි පිහිටි ආදිවාසී ගම්මාන ප්‍රමාණය 20කි. එහි පවුල් සංඛ්‍යාව 1700ක් පමණ වන බව මූතුර්, වෙරුගල් හා සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල දත්තවලට අනුව හෙළි වේ.

පොරොව සහ ස්මාර්ට් දුරකථන

අතීතයේ සිට සිය සංස්කෘතික උරුමයන්, වටිනාකම් සහ සාරධර්ම රැක ගනිමින් සරල දිවි පෙවෙතකට උරුමකම් කියමින් විකාශය වූ මුහුදු ආදිවාසීන් මේ වන විට ගෙවනුයේ, සිය ආදිවාසී අනන්‍යතාව රැක ගැනීම හා නූතන පරම්පරාවේ ආකල්ප අතර වූ තීරණාත්මක සංක්‍රාන්තික කාල පරිච්ඡේදයකි.

එක පැත්තකින් අනන්‍යතාව රැක ගැනීමට පොරොව කරේ දමාගත් වැඩිහිටියන්ය. අනෙක් පසින් ස්මාට් දුරකථනය කනේ ගසාගෙන නව ලෝකය ස්පර්ෂ කරන නූතන පරම්පරාවේ තරුණ තරුණියන්ය. මේ අන්ත දෙක අතර ගමනාන්තය කෙබඳු වේද යන්න විසඳුම් නැති ගැටලුවකි.

මුහුදු ආදිවාසීන් ජීවත්වන ප්‍රදේශ බොහෝ කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය යටතේ පැවතිණි. එම ප්‍රදේශයන්හි රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් වගකිවයුතු ආයතනවල නිලධාරීන් දෙමළ ජාතිකයන් වීම සහ විවිධ දේශපාලන අරමුණු හේතුවෙන් මුහුදු ආදිවාසීන්ගේ අනන්‍යතාවට හානිකර තත්ත්වයක් නිර්මාණය වූ බව පෙනේ.

කලකට පෙර සිදු කළ ජන සංගණනයකදී මුහුදු ආදිවාසීන් විසි දහසකට වඩා වැඩි ප්‍රමාණයක් නැගෙනහිර පළාතෙන් වාර්තා වී තිබුණද, ඉන් පසු සිදු කළ ජන සංගණනයකදී එය බොහෝ සෙයින් පහත වැටී තිබුණ බව නල්ලූර් ආදිවාසී නායක නඩරාසා කනගරත්නම් පෙන්වා දෙයි. මෙය ඇතැම් අන්‍ය ජාතික රාජ්‍ය නිලධාරීන් විසින් හිතාමතාම සිදු කරන්නක් බව හෙතෙම කියා සිටී.

අන්‍ය ජාතික ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙම ආදිවාසීන්ගේ ජාතිය ‘වේඩාර්’ වෙනුවට දමිළ ලෙස සඳහන් කිරීම සැලසුම්සහගතව සිදු කර ඇති බවට කනගරත්නම් චෝදනා කරයි. කෙසේ වෙතත්, ලංකා පටුන, පාඨාලිපුරම්, වීරමා නගර්, සංතෝෂපුරම්, නල්ලූර් වැනි ගම්මානවල ඇතමෙකුගේ උප්පැන්න සහතිකවල තවදුරටත් ජාතිය ‘වේඩාර්’ ලෙස සඳහන් කර තිබෙනු දැකිය හැක.

වැදි බස අහිමි වීම

මුහුදු ආදිවාසීන් වැද්දන් වුවද, වැදි බස නොදන්නා අතර දමිළ භාෂාව වෙනස් ඌරුවකින් කතා කරති. බොහෝ විට වෙරළබඩ වෙසෙන දමිළ ජනයා ඇසුරෙන් ඔවුන් දමිළ භාෂාවට හුරුවන්නට ඇතැයි අනුමාන කළ හැක. එහෙත්, මීට වසර හතළිහකට පමණ පෙර තම ජනයා වෙනස් වූ භාෂාවක් කතා කළ බවත්, එය කාලයාගේ අවෑමෙන් අමතකව ගොස් ඇති බවත් වෙරුගල් වට්ටාන්හි පදිංචි හැට හය හැවිරිදි කදිරගාම තම්බි තිරුනාවුපරසු කියා සිටී.

එකල වැදි භාෂාව සිංහල වචන මිශ්‍ර වෙනස් ආකාරයක භාෂාවක් බවත්, එය කතා කරන පිරිස් මේ වන විට දැකිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

“අපි පුංචි කාලේ අපේ සීයලා ආච්චිලා කතා කළේ සිංහල වචන මිශ්‍ර වෙනස් භාෂාවක්. ඒක දැන් මහියංගනයේ දඹානේ ඉන්න අපේ වන්නියලැත්තන් කතා කරන භාෂාවට ටිකක් සමානයි. ඒක දන්න අය සුළු පිරිසක් මීට අවුරුදු විස්සකට විතර කලින් හිටියා. නමුත්, දැන් නම් ඒ අයගෙන් වැඩි දෙනෙක් ජීවතුන් අතර නැහැ…”

මුහුදු ආදිවාසීන් හෙවත් මුහුදු වැද්දන්ගේ ගති පැවතුම් බොහෝ දුරට දමිළ ජනතාවට සමීප නමුදු, තරමක කුලෑටි ගති පැවතුම් පෙන්වයි. කාල වර්ණ සම හා මුදු ගැසුණු කෙස් මෙන්ම උස් නොවූ සිරුර මුහුදු ආදිවාසීන්ගේ මූලික ලක්ෂණ ලෙස දැක්විය හැක. මුහුණේ රැවුල හා පපුවේ රෝම මද ය. හකු තරමක් විශාල බවක් පෙන්වයි. සවිමත් කකුල්ය. එහෙත්, මේ වන විට මුහුදු ආදිවාසීන්ද වෙනත් ජන වර්ග සමග මිශ්‍රවීම හේතුවෙන් එම ජානමය ලක්ෂණ ඔවුනගෙන් ගිලිහී යමින් පවතින බවක්ද දැකිය හැක.

බැහැරින් එල්ල වන තර්ජන

මුහුදු ආදිවාසී සුළු පිරිසකට සිය අනන්‍යතාව ඒ ආකාරයෙන්ම රැක ගැනීමට උවමනාව තිබුණද, වර්තමාන පරපුරේ බහුතරයක් තමන් ආදිවාසීන් යැයි කීමට මැළිකමක් දක්වන බව මූතූර් ‘කුහේනි පලංකුඩි මක්කලින් නලංකුඩි’ සංගමයේ ලේකම් නඩරාජා වර්ධන් පෙන්වා දෙයි. මේ නිසාම ඊළඟ පරම්පරාව වන විට වසර දහස් ගණනකට උරුමකම් කියන මුහුදු ආදිවාසී අනන්‍යතාව සිය ප්‍රජාවට අහිමිවනු ඇති බවට වර්ධන් සැක පළ කරයි.

“අපි මේ රටේ මුල් පදිංචිකාරයෝ කියලයි, අපේ සීයලා මුත්තලා අපිට පුංචි සන්දියේ කියලා තියෙන්නේ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමා අප අවට ඉන්න වෙනත් පිරිස් අපිව වැද්දෝ කියලා අපිව තළලා පෙළලා අපේ අයිතීන් උරුමයන් බලහත්කාරයෙන් උදුරගන්න එක. අපේ නූගත්කම දුප්පත්කම දඩමීමා කර ගෙන අපිව වෙනත් ආගම්වලට හරවගෙන අපේ ජනවර්ගය විනාශ කරන එක. අපි මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න පාර්ලිමේන්තුවට, මානව හිමිකම් කොමිෂම් සභාවට පවා ගියා. අපි මේ රටේ ඉන්න අනිත් ජනතාවගෙන් ඉල්ලන්නේ, අපිට වෙනස් කොට සලකන්න එපා කියන එකයි…”

අන්‍යාගමිකකරණයේ අභියෝගය

අන්‍යාගමිකකරණය මුහුදු ආදිවාසීන් වර්තමානයේ මුහුණ දෙන බරපතළම අභියෝගයයි. පසුගිය යුද ගැටුම් සමයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම ආදිවාසීන්ගේ දරුවන් කුඩා අවධියේම ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි ප්‍රදේශවල පිහිටි මිෂනාරි පාසල්වලට ඇතුළත් කොට එහිම දීර්ඝ කාලයක් නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම හේතුවෙන් අනූව දශකයෙන් පසු ඉපදුණු දරුවන් වැඩි දෙනකු තමන් මුහුදු ආදිවාසීන් යැයි කීමට කැමැත්තක් නොදක්වන බව මූතූර් ආදිවාසි නායක නඩරාජා කනගරත්නම් කියා සිටී.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ, කාලයක් මුළුල්ලේ මුහුදු ආදිවාසීන් විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන පැමිණි ආගමික හා සංස්කෘතික වටිනාකම් බොහොමයක් ඔවුන්ගෙන් ගිලිහී යෑමයි.

“යුද ගැටුම් වෙලාවේ, එක එක රාජ්‍ය නොවන සංවිධාන අපේ ළමයි අරන් ගිහින් ක්‍රිස්තියානි ඉස්කෝලවලට තමා දැම්මේ. මේ නිසා මේ අලුත් පරම්පරාව අපේ පරණ ආගම් නෙවෙයි දැන් අදහන්නේ. එයාලා කතෝලික වෙලා. එයාලා විතරක් නෙවෙයි, ඒ පවුල්වල වැඩිහිටියොත් දැන් අදහන්නේ ඒ ආගම්. ඒ විතරක් නෙවෙයි, අපේ ආදිවාසී ගම්මාන පුරාම අමුතු අමුතු දේවස්ථාන ඉදිවෙලා. අපි ඉස්සර අදහපු දෙවිවරු ගැන, සිරිත් විරිත් ගැන කිසිම දෙයක් මේ අලුත් පරම්පරාව දන්නේ නැහැ. ගොඩක් අය විවිධ වරප්‍රසාදවලට ආගම වෙනස් කරලා. අපි අපේම දෙවිවරු අදහනකොට අලුත් පරම්පරාවේ අය අපිට හිනා වෙනවා. ඉතින් අපි කොහොමද මුහුදු ආදිවාසී කියන අනන්‍යතාවය රැක ගන්නේ..”

උරුමයට අභියෝග කරන සංගීතා

පැරැන්නන් සිය වාර්ගික අනන්‍යතාව රැක ගැනීමට බොහෝ සේ උත්සාහ ගත්තද, අලුත් පරපුර ඒ දෙස බලනුයේ, වෙනස් වූ මානයකිනි. ටී. සංගීතා එම උරුමයට අභියෝග කරන මුහුදු ආදිවාසී තරුණියකි. මුහුදු ආදිවාසී අනන්‍යතාව රැක ගත් පමණින් තමන්ට ලැබෙනුයේ කවර වරප්‍රසාදයක්දැයි සංගීතා ප්‍රශ්න කර සිටී. තමන් කැලයෙන් එළියට ගත්තේ පල්ලිය බවත්, කිසිදු හේතුවක් මත ආපසු නොහැරෙන බවත් ඇය අවධාරණයෙන් කියයි.

එසේ වුවද ඇගේ එළියට ඒම, නූතනත්වය කරා පිවිසීමක් ලෙස වරදවා වටහා නොගත යුතුය.

“අපේ පැරණි පරම්පරාවේ අයට ඕන වෙලා තියෙන්නේ, කැලයෙන් එළියට එන්න නෙවෙයි, කැලයෙන් කැලයට යන්න. ඇයි අපි එහෙම කරන්නේ? මගේ දරුවොත් මම වගේ කැලේ ඉන්න ඕනෙද? සත්තු වගේ හිටිය අපිව මිනිස්සු කළේ පල්ලිය… අපේ ලෙඩ රෝගවලට පල්ලියෙන් කරන යාඥාවලින් හොඳ සහනයක් තියෙනවා. ලෙඩ රෝග හොඳ වෙනවා. අපේ පරණ අය කරන්නේ, එක එක්කෙනාට කොඩිවින හූනියම් කරන එක… අපිව කවුරුත් සල්ලි දීලා ආගමට හරවා ගෙන නැහැ. අපිව වැද්දෝ කරන්න හදන අයට මම කියන්නේ, මමවත් මගේ දරුවොවත් ආයේ කැලේට නම් යන්නේ නැහැ.

රජය විසින් අන්‍යාගමිකරණයට එරෙහිව කොතෙක් වැට බැන්දද, මුහුදු ආදිවාසීන් අරබයා ඇත්තේ, කනගාටුදායක තත්ත්වයක් බව පාඨාලි පුරම්හි ආදිවාසියකු වන පොන්නම් වඩිවේල්ගේ අදහසයි. ඔහු ජීවත්වන පාඨාලිපුරම් ග්‍රාමය ඊට කදිම නිදසුනකි.

“අපේ ගමේ ඉන්නේ පවුල් තුන්සීයයි. හැබැයි, පල්ලි දහයක් හදලා තියෙනවා. ඒ කියන්නේ, පවුල් තිහකට එක පල්ලිය ගානේ තියෙනවා. හැබැයි, ගමේ වැඩි දෙනෙක් තාමත් අදහන්නේ පුරාණ දෙවිවරු. මුලින්ම එන්නේ, ආධාර දෙන්න. ඊට පස්සේ නැති බැරි අයගේ ඉඩම් සල්ලිවලට අරගෙන පල්ලි හදලා, සල්ලිවලට අපේ අය බාගන්නවා.”

සැබැවින්ම එම තත්ත්වය, හුදු සාමාන්‍ය ආගම් ප්‍රචාරණයේ නිදහස හා කැමති ආගමක් ඇදහීමේ නිදහස යන කාරණා ඉක්මවා ගිය ආක්‍රමණශීලී එකක් බව පැහැදිලය.

වෙරුගල් කෝවිලේ උරුමය

මුහුදු ආදිවාසීන්ගේ පාරම්පරික උරුමයන් හා සංස්කෘතික වටිනාකම් වෙනත් පාර්ශ්වයන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම මුහුදු ආදිවාසීන් මුහුණ දෙන තවත් බරපතළ ගැටලුවකි. ත්‍රිකුණාමලයත් මඩකලපුවත් වෙන් කෙරෙන වෙරුගල් ආරු ප්‍රදේශයෙහි පිහිටි වසර 2000කට වඩා පැරණි බව කියන වෙරුගල් කෝවිල කතරගම දේවාලය තරමටම හින්දු භක්තිකයන්ගේ ගෞරවාදරයට ලක් වූ, කතරගම දෙවියන් වැඩ සිටි බව කියන කෝවිලකි. මෙම කෝවිල අතීතයේ සිට මුහුදු ආදිවාසීන්ට අයත්වූවක් වුවද, වර්තමානයේ එහි අයිතිය තිමිලර්ලා සතුය.

තිමිලර් යනු දමිළ ජන කොට්ඨාශයේ කුලයකි. මෙම කෝවිලේ වාර්ෂික උත්සවය සෑම වසරකම සැත්තැම්බර් මාසයේ දින විසි දෙකක් පුරා පැවැත්වෙන අතර එහි දහතුන් වන දිනය වෙන් කර ඇත්තේ, මුහුදු ආදිවාසීන් වෙනුවෙනි. ඔවුන් වෙනුවෙන් එම දිනය වෙන් කිරීම පිළිබඳව ඇත්තේද, අපූරු කථාවකි.

අතීතයේ නල්ලවනාසෙට්ටි නම් වූ ආදිවාසී නායකයකු වෙරුගල් ප්‍රදේශයේ වාසය කර තිබේ. ඔහු ඇඟ පුරාම පැතිරුණු සුව නොවන දරුණු තුවාල සහිත කුෂ්ඨ රෝගයකින් පීඩා විඳි අයෙකි. ඔහු දිනක් රෝගයේ වේදනාව දරා ගත නොහැකිව වෙරුගල් ගඟ අසබඩ වූ ගසක් යට නිදා සිටියදී හිටි හැටියේම කතරගම දෙවියන් දෘෂ්‍යමාන වී ඇත. තමා වෙනුවෙන් මෙම බිමේ කෝවිලක් ඉදිකර දෙන්නේ නම්, රෝගය සුව කර දෙන බව එහිදී කතරගම දෙවියන් නල්ලවනාසෙට්ටිට ප්‍රකාශ කර තිබේ. කෝවිලක් ඉදිකිරීමට තමා සතුව ධනයක් නොමැති බව නල්ලවනාසෙට්ටි කතරගම දෙවියන්ට කියා ඇති අතර, කතරගම දෙවියන් නල්ලවනාසෙට්ටිව ඒ ආසන්නයේ යම් ස්ථානයකට රැගෙන ගොස්, එහි තිබූ නිධානයක් පෙන්නුම් කර එයින් කෝවිල ඉදිකරන ලෙස දන්වා ඇත.

කතරගම දෙවියන්ගේ ඉල්ලීමට අනුව නල්ලවනාසෙට්ටි එම නිධානයෙන් වෙරුගල් ගඟ අසබඩ කතරගම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකර ඇති අතර, ඔහුගේ දරුණු කුෂ්ඨ රෝගයද කෙටි කලකින් සුව වූ බව කියති. කෙසේ වෙතත්, කෝවිල විවෘත කරන දිනයේ, නල්ලවනාසෙට්ටි කෝවිල තුළට ගොස් අතුරුදන් වූ බවත්, නල්ලවනාසෙට්ටි තව දුරටත් කෝවිල තුළ සිටින බවත් මුහුදු ආදිවාසීන්ගේ පිළිගැනීමයි.

කෝවිල කතරගම දෙවියන්ට කැපකරන දින කතරගම දෙවියන් මුහුදු ආදිවාසීන්ට කියා ඇත්තේ, මුහුදු ආදිවාසීන් කෝවිලට පැමිණෙන දිනය තෙක්, තමන් වෙරුගල් කෝවිලෙන් පිටතට වැඩම නොකරන බවයි. වෙරුගල් කෝවිලේ වාර්ෂික උත්සවය ආරම්භ වී දහතුන් වන දිනය මුහුදු ආදිවාසීන්ගේ දිනය වන අතර එතෙක්, කතරගම දෙවියන් පිටතට වැඩම නොකිරීම නොබිඳෙන සම්ප්‍රදායකි.

දහතුන් වන දිනයේදී මුහුදු ආදිවාසීන්ගේ කර මතින් පමණක් කතරගම දෙවියන් බැහැරට ගැනීම සිදු කෙරේ. මෙහිදී මුහුදු ආදිවාසීහු සිය පාරම්පරික ඇඳුම් ආයිත්තම් හා ආයුධවලින් සැරසී මේ විශේෂ දිනයට සහභාගි වෙති. කතරගම දෙවියන් සෙලවිය හැකි අයිතිය ඇත්තේ, තම ජන වර්ගයට පමණක් බව කදිරවේලි පාල්චේනෙයි පදිංචි 91 හැවිරිදි කදිරාමන් රාජරත්නම් කියා සිටී.

කතරගම දෙවියන්ගේ අඹුවක වූ වල්ලි අම්මා තම පරපුරේ කෙනකු වීමද මෙම අයිතියට එක් කාරණයකි. කතරගම දෙවියන් වෙනුවෙන් මුහුදු ආදිවාසීන් වෙරුගල් කෝවිලේ පවත්වනු ලබන පාරම්පරික උත්සවයේ වර්තමාන නායකත්වය දරන්නේ, රාජරත්නම්ය.

මුහුදු ආදිවාසීන් මියගිය ඥාතීන් හෙවත් “උත්ති ආක්කල්” හෙවත් නෑ යකුන් ඇදහීම කාලයක සිට පවත්වාගෙන ආ සිරිතකි. එමෙන්ම අතීතයේ මුහුදු ආදිවාසීන් මුහුදට අධිපති දෙවිවරුන් සේ සැලකෙන කුංචි මාප්පා, මීහච්චි අම්මාන්, පායිමත්තු තේවංගල්, කන්නිමාර් සහ ආන්ඩියන් වැනි දෙවිවරු ඇදහූ බව පැරැන්නෝ කියා සිටිති.

මීට වසර පනහකට පමණ පෙර ඔවුන් කුංචි මාප්පා, නීදි අම්මාන්, මොට්ටානකාලි, කරයානගර්සාමි මෙන්ම හිරු, සඳු, සුළඟ මෙන්ම කාර්ටේරි සාමි වැනි යකුන් ද දෙවිවරුන් සේ සලකා අදහා ඇත.

“කුහේනි පලංකුඩි මක්කලින් නලංකුඩි” සංගමයේ ලේකම් නඩරාජා වර්ධන් සඳහන් කරන්නේ වර්තමානයේ තම වර්ගයා පැරණි ඇදහීම් වෙනුවට, කාලි අම්මාන්, මාරි අම්මාන්, මුරුගන්, පුල්ලෙයාර් වැනි හින්දු පසුබිමක් සහිත දෙවිවරු ඇදහීමට යොමු වී ඇති බවයි. මුහුදු ආදිවාසී ගම්මාන බොහොමයක් දමිළ ගම්මානවලට යාබදව පිහිටීම හා දමිළ ජන සමාජය සමග නිරන්තරව මුහුවීම තුළින් තම පාරම්පරික ඇදහිලි හා විශ්වාසයන් දැඩි සංස්කෘතික කුණාටුවකට හසුව ඇති බව වර්ධන්ගේ අදහසයි.

එසේම ඇතැම් අන්‍ය ජාතික විදේශ රැකියා ඒජන්තකරුවන් තම කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී වැඩි වැටුපක් ලබාදීමට යැයි කියමින්, ඔවුන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම මෙන්ම ඇතැම් මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේ බහු විවාහ නීතියට මුවා වී ආදිවාසී කාන්තාවන් විවාහ කර ගනිමින් ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක බව මුහුදු ආදිවාසීහු කියා සිටිති.

මුහුදු ආදිවාසී කාන්තාවන්ගේ අසරණකම හා නූගත්කම සිය වාසියට හරවා ගන්නා ඇතැම් අන්‍ය ජාතිකයන් සිය කාන්තාවන් විදේශ රැකියාවලට යොමු කරන බව කියමින් විවිධ අපයෝජනවලට ලක්කරන බව සංතෝෂපුරම් කාන්තා සමිතියේ සභාපති කාලිරාසා පසුපති පිල්ලේ චෝදනා කළාය. එසේම අනන්‍යතාව වෙනස් කරමින් සිදු කරන ආවාහ විවාහ කටයුතු හේතුවෙන් මේ වන විට සිය කාන්තාවන් වෙනත් ආගම් වැළඳ ගැනීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

බලධාරීන්ගේ ප්‍රතිචාර

නැගෙනහිර පළාතට පමණක් සුවිශේෂී වූ මුහුදු ආදිවාසීන්ගේ උන්නතිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ විශේෂ අවධානය යොමු වී තිබිණි.

මුහුදු ආදිවාසී ජනයාගේ අහිමි වූ බව කියන නල්ලූර් ප්‍රදේශයේ කුඹුරු ඉඩම්, උල්ලුකුලම් වැව හා සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවත්, මුහුදු ආදිවාසීන් ඉලක්කර ගනිමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් සිටින බවත් මෙම ලිපිය සඳහා කළ විමසීමේදී ඇය පැවසුවාය. එහෙත් ලිපිය පළ වන අවස්ථාව වන විට ඇය එම තනතුරෙහි නැත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුහුදු ආදිවාසීන් වර්තමානයේ මුහුණ දී සිටින ඉඩම් ගැටලු සම්බන්ධයෙන් මේ වන විටත් සිය අවධානය යොමු කර ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බී.එච්.එන්. ජයවික්‍රම මහතා කියා සිටී. ඉඩම් ගැටලු පමණක් නොව ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් රැකදීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයාගේ අදහසයි.

ඔස්ට්‍රේලියානු රජය මෙම දශකය නම් කර ඇත්තේ, ආදිවාසීන්ගෙන් සමාව අයදින දශකය ලෙසයි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සංවර්ධිත රටවල රාජ්‍ය නිලධාරීන් තමා හමුවට යම් කාර්යයක් ඉටු කර ගැනීමට එම රටේ ආදිවාසියකු පැමිණි විට හුනස්නෙන් නැගිට මුලින්ම කරනුයේ, තම ජනතාවගෙන් ආදිවාසීන්ට සිදු වූ ආක්‍රමණය හා නොපහත්කම් සම්බන්ධයෙන් සමාව අයැදීමයි. අනතුරුව ඔහු පැමිණි කාර්යය විමසා කඩිනමින් එය ඉටු කර දීමට යුහුසුලු වේ. ඒ ලෝක තත්ත්වයයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. දරිද්‍රතාවයේ පතුළටම ගිලී සිටින මෙරට මුහුදු ආදිවාසීන් වර්තමානයේ මුහුණ දී සිටින්නේ, ශිෂ්ටසම්පන්න යැයි කියා ගන්නා ජන සමාජයෙන් තම පාරම්පරික උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ භාරධුර අභියෝගයටය.

මංගලනාත් ලියනආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment