ආගමකට මුවා වී නොමිනිස්කම ලොවට බෙදන උම්මත්තකයෝ

737

ඉස්ලාමීය ආගමික අන්තවාදය ලෝකයේ රටවල් ගණනාවක් තුළ පිස්සුවක් ලෙස පවතින මේ මොහොතේදී පාකිස්තානය සිටින්නේ එම පිස්සුව හොඳටම තද වූ තැනකය. මේ කාරණයේදී ඇෆ්ගනිස්තානය ද සිටින්නේ ද පාකිස්තානයට වඩා හොඳ ස්ථාවරයකය. මීට අවුරුදු 2500 ට පෙර ඉන්දියාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල් සමූහය එකක් වූ අතර ජනපද වලින් සමන්විත පෞර රාජ්‍යයක් ලෙස පැවතින. මේ පෞර රාජ්‍යවල ප‍්‍රමුඛතම ආගම වූයේ බුදු දහමය. මේ කියන කාලයේදී බුදු දහම සහ හින්දු ආගම හැර ක‍්‍රිස්තියානිය, අහමදීය සමය, සීක් ආගම යනාදී ආගම් ලෝකයේ පහළ වී නැත. අද වනවිට පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයේ තිබෙන ප‍්‍රමුඛතම ආගම ඉස්ලාමය වේ. පාකිස්තානය වෙනම ගත්කල එරට දෙවන තැන හිමිවන්නේ හින්දු ආගමටය. ඊළඟට ක‍්‍රිස්තියානි ආගමත්, අහමදියානු මුස්ලිම් ආගමත්, සීක් ආගමත් සෙසු ක්ෂුද්‍ර ආගම් කිහිපයකුත් එරට තිබේ. පාකිස්තානයේ රාජ්‍ය ආගම ඉස්ලාම් වන අතර ඒ රටේ ජනගහනයෙන් 96.47%ක් ඒ ආගම අදහති. පාකිස්තානයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස සහතික කර තිබුණද ඉස්ලාමීය අන්තවාදීන් හැම විටම උත්සාහ කරන්නේ සෙසු ආගම් අදහන අය මරා දැමීමටය. ඉස්ලාමය යනු ලොව පහළ වූ විශිෂ්ටතම ආගම් වලින් එකකි. මව්වරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන වගන්ති රැසක් ශුද්ධ වූ කුරානයේ තිබේ. සෙසු ආගම් අදහන අය මරා දැමිය යුතුය යන්න ශුද්ධ කුරානයේ කිසිදු තැනක සඳහන්ව නැත. අල්ලා දෙවියන්ගේ ශුභාරංචිය රැගත් මහම්මත්තුමා එක බිම් කඩක් ලෙස පවතින ආසියාව අප‍්‍රිකාව සහ යුරෝපය යන මහද්වීප තුන තුළ ඉස්ලාම් ආගම පැතිරවීමට උත්සාහ කරන්නේ ලෝකය වඩාත් යහපත් තැනක් කරනු පිණිසය. එහෙත් අන්තවාදී ආගමික යක්කු මේ වැඬේ කා දමති. මේ කෙටි ලිපිය මගින් අප ඔබට කියන්නට යන්නේ ඒ කතාවය.

ආසියා නොරීන් යනු පාකිස්තානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ පදිංචි කාන්තාවකි. ඇය ක‍්‍රිස්තියානි ආගම අදහන පවුලකට අයත් විය. ඇය පදිංචිව සිටි ගම අයත් දිස්ත‍්‍රික්කයේ සෙසු ප‍්‍රදේශවල සිටි වැඩි දෙනා ක‍්‍රිස්තියානි ආගමිකයෝ වෙති. මෙයින් වැඩි දෙනාගේ රැකියාව වූයේ පාරවල් අතු ගෑමය. තමා පදිංචි නිවස අසල පිහිටි ගොවිපළක අත් උදව්කාරියක ලෙස වැඩ කළ ආසියා ගඩොල් කපන දුගී මිනිහකුගේ බිරිඳ වූ අතර දරුවන් පස් දෙනකුගේ මව වූවාය. ආසියා ජීවත්වූ ගමේ වෙනත් ක‍්‍රිස්තියානි පවුල් සිටියේ නැත. එබැවින් ඔවුන්ට හැම විටම සිදුවුණේ ඉස්ලාමීයයන් සමග ගනුදෙනු කිරීමටය. ගමේ මිනිසුන් ඉස්ලාම් ආගම වැළඳ ගන්නා ලෙස ආසියාට හැම විටම බල කළහ. එහෙත් ඉන්දියානු අර්ධද්වීපයට ක‍්‍රිස්තියානි මිශනාරිවරුන් පැමිණි මුල් කාලයේ සිටම ඇගේ පවුලේ ආදිතමයෝ ක‍්‍රිස්තියානි කාරයෝ වූහ. එබැවින් තම ආගම අතහැරීමට ඇය නොකැමති වූවාය.

2009 ජූනි මාසයේ දවසක ආසියා නොරීන් තමා වැඩකළ ගොවිපළේ වගා බිමක පලතුරු නෙළමින් සිටියාය. ඇය සමග තවත් කම්කරු කතුන් විසි තිස් දෙනෙක් වූහ. ආහාර ගැනීම පිණිස පටන්ගත් විවේක කාලයේදී තමා සමග සේවය කළ කම්කරු කතකගේ කෝප්පයකින් වතුර ටිකක් බීමට නොරීන්ට සිදුවිය. එවිට එතනට කඩාපීනු වෙනත් කම්කරු කාන්තාවක් ඉස්ලාමීයයන්ගේ බඳුන් වලින් ජලය පානය කිරීම ක‍්‍රිස්තියානිකාරයන්ට තහනම් බවත් ඉස්ලාම් නොවන සෙසු ආගමිකයන් අපිරිසිදු බැවින් එම තහනම පනවා ඇති බවත් කියමින් බැන වදින්නට වූවාය. පාකිස්තානයේ ඇතැම් පළාත්වල කුල භේදය ඉතා තදින් තිබේ. ඇතැම් නූගත් ඉස්ලාමීයයන් කල්පනා කරන්නේ ඉස්ලාමය නොවන වෙනත් ආගම් අදහන අය පහත් කුලයේ අය බවය. තම කෝප්පයෙන් වතුර බීමට අවශ්‍ය නම් ඉස්ලාම් ආගම වැළඳ ගැනීම ආසියා නොරීන් කළයුතු බව ප‍්‍රචණ්ඩ ගැහැනියගේ මතය විය. එවිට ආසියා මෙසේ කීවාය. ”මට මගේ ආගම ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා. ක‍්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත ජීවිතය පූජා කළේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙනුයි. එහෙම බලනකොට මහම්මත්තුමා මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් කරපු සේවය මොකද්ද? හරි නම් ඔබ කතෝලික ආගම වැළඳගත යුතුයි.” මේ කතාව දුර දිග ගිය අතර ආරවුලක් බවට පරිවර්තනය විය. ආසියා නොරීන් වැඩ අවසන් නොකරම හඬමින් ගොවිපළෙන් නික්ම ගියාය. ඉන් ස්වල්ප වේලාවකට පසු කඩු සහ පොලූ රැගත් පිරිසක් ඇගේ නිවස වට කළහ. ඔවුන් ආසියා එලියට ඇදගෙන විත් බිම දමා සැමියා සහ දූ දරුවන් ඉදිරිපිට පහරදීමට පටන් ගත්හ. ඉන්පසුව ඇය පොලිසියට ගෙන යන ලදී. පාකිස්තාන දණ්ඩ නීති සංග‍්‍රහයේ 295 ක්‍ වගන්තිය උල්ලංඝනය කරමින් ඇය විසින් දේව අපහාසයක් කර ඇති බව කියූ පොලිස් රාළහාමිලා ඇය අත්අඩංගුවට ගත්හ. ඒ අතර ඇගේ විරුද්ධවාදීහු පොලිසිය සමග එක්ව ආසියාට විරුද්ධව බොරු සාක්ෂි ගොඩනැගීමට පටන් ගත්හ. සිද්ධියෙන් පැය කිහිපයකට පසු එම පොලිසියේ නිලධාරියකු CNN පුවත් සේවය සමග සාකච්ඡාවක් පවත්වන ලදී. ඔහු මෙසේ කීවේය. ‘‘ශුද්ධ වූ කුරානයට අපහාස වන පරිදි ඇය කතා කළා.’’ (ඔහු කී සියල්ල මෙහි සඳහන් කළොත් අපටද ගස් යෑමට සිදුවන බැවින් අපි ඒවා නොලියමු)

ඇය ජීවත් වූ ගමේ ඉස්ලාමීය පූජකයා කියූ පරිදි ආසියා තද බල දේව අපහාසයක් සිදුකර ඒ වෙනුවෙන් සමාවද ගෙන ඇත. මේ අතර ආසියානු මානව හිමිකම් කොමිසම මේ සිද්ධිය සම්බන්ධයෙන් පහත සඳහන් නිවේදනය නිකුත් කළේය. ආසියා නොරීන් සහ කම්කරු කාන්තාවන් අතර හටගත් ආරවුලෙන් පසු පළාතේ ඉස්ලාමීය අන්තවාදී නායකයෙක් මිනිසුන් කිහිපදෙනකු එකතුකර ආසියා දේව අපහාසයක් සිදුකරනු තමන්ට ඇසුණු බව කීමට බලකර තිබේ. ඉන්පසු ගමේ මුස්ලිම් පල්ලියේ ලවුඞ්ස් ස්පීකරය මගින් ආසියාට විරුද්ධව කතා කිහිපයක්ද ඔහු පවත්වා ඇත.

ආගමකට මුවා වී නොමිනිස්කම ලොවට බෙදන උම්මත්තකයෝ

පොලිසිය විසින් ආසියා නොරීන් රිමාන්ඞ් කරවන ලදී. තමා කිසි ලෙසකත් අල්ලා දෙවියන්ට හෝ මහම්මත්තුමාට අපහාස නොකළ බව ඕ දිවුරා කියා සිටියාය. ඉන් දින කිහිපයකට පසු එනම් 2010 නොවැම්බර් මාසයේදී ඇගේ නඩුව පංජාබයේ උසාවියකදී අසන ලදී. ඇය මරණ දඬුවමට යටත් කළ යුතු බව තීන්දුව විය. ඊට අමතරව මිය යෑමට පළමුව ඇය ඩොලර් 1100 ක වන්දියක් ගෙවිය යුතු බවද නියම විය. මරණ දඬුවම ලබන මනුස්සයා මුදල් වන්දියක් ගෙවීමේ කතාව ශ‍්‍රී ලංකාවේදී නම් පිස්සු කතාවකි. මැරෙනවා නම් වන්දි මොකටද? එහෙත් පාකිස්තානයේ තත්ත්වය වෙනස්ය. ඇය වෙනුවෙන් වන්දි නොගෙව්වොත් ගෙදර මිනිස්සුන්ට සිදුවන්නේ හිරේ ලැගීමටය. පාකිස්තාන ඉතිහාසයේ දේව අපහාස සිද්ධියක් මත මරණ දඬුවම නියම වූ පළමුවන කාන්තාව ආසියා නොරීන් ය. මරණ දඬුවම ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු තම විඳවිල්ල ආසියා නොරීන් විසින් පසුකාලයේදී ලියා තබන ලදී. ඒ මෙසේය. ”මම ඔළුවේ අත් දෙක ගසාගෙන හොඳටම ඇඬුවා. දුප්පත් කම්කරු ගැහැනියක වූ මාව මරණයට දක්කාගෙන ගිය වෛරී මිනිසුන් තවදුරටත් දකින්නටවත් මා කැමති වුණේ නෑ. ඔවුන් මට බැනපු හැටි, ගහපු හැටි, පොලිසියට ඇදගෙන ගියපු හැටි, අල්ලාහු අක්බර් කියමින් මා මරා දමන ලෙස ඉල්ලූ හැටි මට තවමත් මතකයි. නඩුව අහන වෙලාවේ ඉස්ලාම් අන්තවාදීන් උසාවියේ ගේට්ටු කඩාගෙන ඇතුළට ඇවිත් මා මරන්නට උත්සාහ කළා. ඔවුන් හැමෝම කිව්වේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේ වෙනුවෙන් මගෙන් පළිගත යුතු බවයි. ඊට පස්සේ පොලිසිය මාව බන්ධනාගාර රථය ඇතුළට වීසි කළා. ඒ හැමෝම අමනුස්සයෝ.”

මරණ දණ්ඩනයට නියම වන අවස්ථාවේදී ආසියා නොරීන්ගේ වයස අවුරුදු 40 කි. තීන්දුවට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කරන බවත් ඒ වෙනුවෙන් සිඟමන් යැද හෝ මුදල් හොයන බවත් නොරීන්ගේ දුප්පත් සැමියා වූ ගඩොල් කපන්නා කීවේය. මේ සිද්ධියේදී පංජාබ් ප‍්‍රාන්තයේ ඉස්ලාමීය ආණ්ඩුකාරයා වූ සල්මාන් තසීර් ගත්තේ ආසියා ගේ පැත්තය. එවකට ජනාධිපති වූ අසීෆ් අලි සර්දාරි (බෙනාසීර් භූතෝ ගේ සැමියා) හමුවූ සල්මාන් තසීර් ඇයට සමාව දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. සර්දාරි එයට කැමති විය. එහෙත් ඒ සමගම ආසියාට ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීම තහනම් කරමින් පංජාබ් ඉහළ උසාවිය වාරණ නියෝගයක් නිකුත් කළේය. මෙහිදී තවත් විහිළුවක් සිදුවී තිබිණ. ආසියා නොරීන්ට විරුද්ධව පැවති නඩු විභාගයේ චෝදනා පත‍්‍රය ඉදිරිපත් කරන විට ඇය දෙවියන්ට කෙසේ අපහාස කළේද යන්න කීමෙන් උසාවිය වැළකී සිටියේය. එම කතා කීමට ගියොත් තමන්ද දේව අපහාසයකට ලක් වනු ඇතැයි විනිසුරෝ බිය වූහ. ඉන් ස්වල්ප දිනකට පසු ආසියා වෙනුවෙන් ජනාධිපතිට කරුණු ඉදිරිපත් කළ පංජාබ් ආණ්ඩුකාර සල්මාන් තසීර් අවිගත් අන්තවාදී තරුණයකු විසින් මරා දමන ලදී. ඉන්පසු ලාහෝර් බන්ධනාගාරයේ ජනෙල් කිසිවක් නැති අඩි 8ං10 ප‍්‍රමාණයේ අඳුරු කාමරයක ආසියා සිර කරන ලදී. මේ කාමරයේ විදුලි පහන් නැත. එහි ජනෙල් නැති නිසා ආසියා මුළු දවසම අඳුරේ අත පත ගාමින් සිටියාය. හිර ගෙදර තුළදී ඇය මරා දැමීමේ තර්ජනයක් තිබූ බැවින් ඇයට විශේෂ ආරක්ෂාවක් දීමට බන්ධනාගාර නිලධාරීන්ට සිදුවිය. ඒ වනවිට ආසියා ගේ සිද්ධිය දෙස මුළු ලෝකයම බලා සිටියේය. යම් හෙයකින් ආසියා ඝාතනය කරන ලද්දේ නම් ජාත්‍යන්තරය ඉදිරියේ පාකිස්තානය අනාථ වීමට ඉඩ තිබිණ. ප‍්‍රියන්ත දියවඩන ඝාතනය නිමිති කරගෙන පාකිස්තානයට ඨීඡ සහනය දීම දැනටමත් අත්හිටුවා තිබේ. එය ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වන පාකිස්තානය විශාල අමාරුවක වැටීමකි. වෙඩි කා මිය යෑමට පෙර පංජාබ් ආණ්ඩුකාරයා සිය බිරිඳ සහ දියණියන් සමග අවස්ථා කිහිපයකදීම ආසියා බැලීමට හිර ගෙදරට ගියේය. ඔහුට වෙඩි තබා තිබුණේද ඇය බැලීමට හුදකලාව ගොස් ආපසු එමින් සිටියදීය. මේ අතර ආසියා බේරා ගැනීම සඳහා හියුමන් රයිට්ස් වොච් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රැසක් ක‍්‍රියාත්මක වී තිබිණ. ඇය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇපෑල විභාගයට ගැනීම අවුරුදු තුනක පමණ කාලයක් වුවමනාවෙන් පමා කරන ලදී. එසේ පමා කෙරුණු වාර ගණන පහකි.

ආසියා නොරීන් ගේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානයේ ඉස්ලාමීය ජන කොටස් අතර ඒ වන විටත් විශාල වශයෙන් මතභේද ගොඩනැගී තිබිණ. එරට හියුමන් රයිට්ස් වොච් කොමිසමේ පර්යේෂකයකු වූ අලි දයාන් හසන් කියූ පරිදි දේව අපහාස නීතිය ඉස්ලාමීය අන්තවාදීන් විසින් යොදාගෙන තිබුණේ එහි සැබෑ අරමුණ වෙනුවෙන් නොව මිනිසුන්ගෙන් පළි ගැනීමට සහ ඔවුන්ට හිරිහැර කරනු පිණිසය. ආසියා නොරීන්ට සහයෝගය පළ කර මැරුම් කෑ පංජාබ් ආණ්ඩුකාරයා වූ සල්මාන් තසීර් වැනිම තවත් චරිතයක් පාකිස්තානයේ විය. ඒ වූකලී එරට සුළු ජාතික කටයුතු පිළිබඳ ඇමැතිවරිය වූ ෂබාස් භට්ති ය. ජනාධිපතිවරයාට ලිපියක් ලියූ ඇය ආසියා නොරීන් බේරා ගැනීම සඳහා සෑම උසාවියකටම යන බවත් ඇය ආරක්ෂා කිරීමට තමා බැඳී සිටින බවත් කියා තිබිණ. ඒ අතර පාකිස්තානයේ ජනප‍්‍රිය දේශපාලන විද්වතකු වූ රසුල් බක්ෂ් රයිස් ද සැම්සන් දිලාවර් නමැති කතෝලික පූජකයෙක්ද ඇමැතිවරිය වෙනුවෙන් පෙනී සිටියහ. ඉන් ස්වල්ප දිනකට පසු ඇමැතිවරියට වෙඩි තබා මරණ ලදී. ඒ අතර ආසියා නොරීන්ට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා ලිබරල් ඉස්ලාමීයයෝ පෙරට පැමිණියහ. මෙයට සමාන්තරව මේ සිද්ධියට එරෙහි ජාත්‍යන්තර විරෝධයක් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබිණ. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඇමරිකාව, කැනඩාව, නෙදර්ලන්තය, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක අගමැතිවරුද බෙනඩික් පාප් වහන්සේ ද හමුවූහ. ආසියා නොරීන් නිදහස් කරන්නේ නම් ඇයටත් ඇගේ පවුලේ සියලූ දෙනාටත් දේශපාලන රැකවරණ සැපයීමට මේ රාජ්‍ය නායකයෝ පොරොන්දු වූහ. ජාත්‍යන්තර කතෝලික ලෝකය තුළ ආසියා නොරීන් ක‍්‍රමයෙන් වීරවරියක බවට පත්වෙමින් සිටියාය. ඇමරිකාවේ AMARICAN CENTER FOR LOW AND JUSTICE සංවිධානය ඇය නිදහස් කරන ලෙස ඉල්ලා ඒ වනවිට අගමැති පදවියට පත්ව සිටි ඉම්රාන් ඛාන් වෙත අත්සන් දෙලක්ෂයකින් සමන්විත පෙත්සමක් යොමු කළේය. ඇය නිදහස් නොකරන්නේ නම් ඇමරිකාව විසින් පාකිස්තානයට ලබා දීමට සූදානමින් සිටි ඩොලර් බිලියන අටක සහනාධාර තොගයක් අත්හිටුවන ලෙසද එම සංවිධානය ඇමරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය.

2018 ඔක්තෝබර් 8 වැනිදා ආසියා නොරීන්ගේ ඇපෑල විභාග කිරීම තීන්දු කරන ලදී. 2018 ඔක්තෝබර් 30 දා නඩු තීන්දුව නිකුත් විය. එමගින් ඇය දේව අපහාස චෝදනාවෙන් නිදහස් කරන ලදී. ඇයට කැමති තැනක යෑමට නිදහස දියයුතු බව නඩු තීන්දුවෙන් කියවුණු අතර තීන්දුවේ තවදුරටත් මෙසේ සඳහන් විය. චූදිත කාන්තාව කිසියම් දේව අපහාසයක් කර ඇත්නම් ඇය එසේ කිරීම සඳහා පොලඹවා ඇත්තේ ඇය සමග එකම ගොවිපළේ සේවය කළ කම්කරු කාන්තාවන් විසිනි. චූදිත කාන්තාව විශ්වාස කළ එකම ආගමික නායකයා ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේය. සෙසු කම්කරු කාන්තාවෝ චූදිත කාන්තාවගේ ආගමට අපහාස කරමින් ඇය ප‍්‍රති ප‍්‍රහාරයකට යොමුකර ඇත. ශුද්ධ වූ කුරානයට අනුව කෙනකු තුළ ඉස්ලාමීය ආගම තහවුරු වීම සඳහා කරුණු කිහිපයක් සම්පූර්ණ විය යුතුය. ඒ වූකලී සර්ව බලධාරී අල්ලා දෙවියන් වහන්සේගේ ශුභාරංචිය පතුරවන්නන් වූ ජේසුස් ක‍්‍රිස්තුස් ද ශුද්ධ වූ බයිබලය ඇතුළු සෙසු ශුද්ධ වූ ග‍්‍රන්ථද මේ සඳහා පිළිගත යුතුය. චූදිත කාන්තාව සමග ආරවුලකට ගිය සෙසු කාන්තාවන් විසින් ක‍්‍රිස්තියානි දහමට අපහාස කොට ඇත. ඒ අනුව ඔවුන් ශුද්ධ වූ කුරානයේ නියමයන්ට පටහැනි වෙමින් දේව අපහාසයක් කර ඇත. එසේම කිතුනුවන්ට තම ආගම ඇදහීමට ඉඩදෙන ලෙසත් පල්ලි සැදීමට ඉඩදෙන ලෙසත් කිතුනු කාන්තාවකට සිය කැමැත්තෙන් පමණක් ඉස්ලාමීයයකු සමග විවාහ බන්ධනයකට යා හැකි බවත් එසේ වූහයි කියා එම කාන්තාව ඉස්ලාමය වැළඳගතයුතු නැති බවත් සඳහන් වන ගිවිසුමක් මහම්මත්තුමා විසින් උන්වහන්සේගේ ජීවිත කාලය තුළදී අත්සන් කොට තිබේ. ගිවිසුමේ මුල් පිටපත නැතත් සත්‍ය පිටපත් ඇත. එබැවින් චූදිත කාන්තාව නිදහස් කිරීම සාධාරණය.

මේ නඩු තීන්දුවත් සමගම ඉස්ලාමීය අන්තවාදීහු පාකිස්තානය තුළ විශාල පෙරළියක් ඇති කිරීමට පටන් ගත්හ. එහි පෙරමුණ ගත්තේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රියන්ත දියවඩන ඝාතනය කළ සංවිධානයයි. ඒ වනවිට එම සංවිධානය ඉම්රාන් ඛාන්ගේ පාලක පක්ෂය සමග එකඟත්වයකට පැමිණ සිටි අතර දිගු කලක් තිස්සේ කරන ලද ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ද අත්හිටුවා තිබිණ. නඩු තීන්දුවට විරුද්ධ වූ එක් ඉස්ලාමීය අන්තවාදී ප‍්‍රධානියෙක් කියා සිටියේ ආසියා නොරීන් මරා හිස ගෙනෙන කෙනකුට පාකිස්තාන් රුපියල් පන් ලක්ෂයක් දෙන බවය. ඒ අතර දවසක ආසියා නොරීන් නිදහස් කරන බවට කට කතාවක් පැතිර ගියේය. එවිට ඇය ලන්ඩනයට ගෙන්වා ගැනීම සඳහා බි‍්‍රතාන්‍ය අගමැතිනිය වූ තෙරේසා මේ පාකිස්තානය බලා ගුවන් යානයක් එව්වාය. ලාහෝර් ගුවන් තොටුපළේ දින කිහිපයක් නවතා තිබූ ගුවන් යානයට හිස් අතින් ආපහු යෑමට සිදුවුණේ නඩු තීන්දුවද අභිභවා යමින් ආසියා නොරීන් නිදහස් නොකිරීමට ආණ්ඩුව කටයුතු කළ බැවිනි. 2018 නත්තල් දවසේද ඇය සිටියේ සිර ගෙදරය. ඉන් සති කිහිපයකට පසු කාටවත් නොදන්වා ආණ්ඩුව විසින් ඇය නිදහස් කරන ලද අතර කැනඩාවෙන් පැමිණි ගුවන් යානයක් ඇය එරටට රැගෙන ගියේය. ඒ වනවිටත් ඇගේ පවුලේ සෙසු සාමාජිකයෝ දේශපාලන රැකවරණ සහිතව කැනඩාවට පැමිණ සිටියහ.

ඉස්ලාමීය දේව අපහාස නීතිය දරුණු ලෙස ක‍්‍රියාත්මක කරන රටවල් 20 ට වඩා ලෝකයේ තිබේ. ඒ හැම රටකම ආසියා නොරීන් හෝ ප‍්‍රියන්ත දියවඩන වැනි අය පිළිබඳ කතා තිබෙන්නට පුළුවන. සමහරවිට එම කතන්දර ගිනි ජලාවලින් වැසීගොස් අළු පමණක් ඉතිරි වන අතර අන්තවාදයේ සුළඟට ගසාගෙන යෑම නිසා එම අළුද ඉතිරි නොවී හිස් බිමක් පමණක් දැක ගැනීමට ලැබෙනවා ඇත.

අනුර සොලමන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment