ආගමයි – රාජ්‍ය පාලනයයි දෙකක්..! ඒ දෙක වෙන් කරන්න ඕන – ඩයනා ගමගේ

491

අපට මේ රටේ නිදහසේ හිතන්නවත් නිදහසක් නෑ….
Nightlife කිව්වම සමහරුන්ට මතක් වෙන්නෙ ගණිකා වෘත්තිය…
සජිත් පක්ෂයේ හැමෝටම බයයි…
පාර්ලිමේන්තුවේ ඉන්නේ මූණට එකක් කියලා මයික් එකට තව එකක් කියන අය…

සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මේ දිනවල අපේ දේශපාලන කරළියේ විවාදිත චරිතයකි. උණුසුම් දේශපාලන සංවාදවලට මුහුණ දෙමින් ඕ ප්‍රකාශ කරන අදහස් බොහෝවිට ජනමාධ්‍ය ඔස්සේ උණුසුම් පුවත් මවයි. එසේම දේශපාලන වාද විවාද වලට ද මුල පුරයි. උණුසුම් අදහස් උණුසුමින් කතා කරන ඩයනා ගමගේ සමග දිවයින පවත්වන ලද සංවාදයකි මේ…

ප්‍රශ්නය – ඔබ අපේ රටේ සංචාරක විෂයභාර රාජ්‍ය ඇමැතිනිය. නමුත් පහුගිය කාලේ ඔබ වඩාත් කතාබහ කළේ ත්‍රෛලෝක විජයපත්‍ර ප්‍රවර්ධන කටයුතු ගැන. කවුරුහරි ඇහුවොත් ඔබෙන්, ඔබ ඒකෙන්ද සංචාරක ව්‍යාපාරය නඟාසිටුවන්න බලාපොරොත්තු වන්නේ කියලා…?

පිළිතුර – වැරදියි… ත්‍රෛලෝක විජය පත්‍ර තුළින් මම යෝජනා කළේ මේ රටේ ආර්ථිකය නගා සිටුවන්න, විදේශ ආදායම් ලබන්න පහසු ක්‍රමෝපායන් ගැන. ඒක සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය පැත්තට දාලා තක්සේරු කරන්න එපා. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා අපි කරපු ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම වගේම විශේෂ යෝජනා ගොඩක් තියෙනවා.

ප්‍රශ්නය – හරි… අපි ඒ මොනවද කියලා කතා කරමු..?

පිළිතුර – අපි projects හඳුන්වා දීලා තියෙනවා සංචාරක කර්මාන්තය සඳහා. එකක් අපි සංචාරකයන්ට පහසුකම් වැඩි කිරීම සඳහා ආයෝජන වැඩි කරන්න ඕන. ඒ වගේම ඔවුන්ට විනෝදාස්වාදය ලබාදෙන පහසුකම් වැඩි කරන්න ඕන… ඒ වගේම තමයි අපේ රටේ තියනවා වෙන කාටවත් නැති සංස්කෘතික වටිනාකම්. දේශගුණික, පාරිසරික, පුරාවිද්‍යාත්මක හා භූගෝලීය වටිනාකම් ලෝකයට පෙන්නන්න. ඒ වගේම සංචාරකයන්ට විනෝදාස්වාදය සඳහා වූ බාධාවන් අවම කරන්න අපි ව්‍යාපෘති හඳුනාගෙන රජයට යෝජනා බාර දීලා තියෙනවා. අපි ලබන වසරේ සිට ඒවා ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය – සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බැරි බාධාවන් එහෙම නැත්නම් අභියෝගයන් තියෙනවා කියලා ඔබතුමියගෙන් කියවුණා. මොනවද ඒ..?

පිළිතුර – මං දකින විදිහට පළමුවැනි බාධාව තමයි අපේ ළිං මැඩි ගෝත්‍රික මානසිකත්වය. අන්න ඒ ළිංමැඩි ගෝත්‍රික මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕන.

ප්‍රශ්නය – පැහැදිලි මදි… ඔබ ඔය ළිංමැඩි ගෝත්‍රික මානසිකත්වය කියලා හඳුන්වන්නේ අපේ ආගම දහම හා සංස්කෘතියද..?

පිළිතුර – නෑ නෑ නෑ… පටලවාගන්න එපා. ආගම සංස්කෘතිය නෙවෙයි. උදාහරණයක් කියන්නම්කෝ. දැන් මං පහුගිය දවස් වල කිව්වනේ මේ රටේ “නයිට් ලයිෆ් කල්චර්” එකක් ඇති කරන්න ඕනේ කියලා. ඒක කිව්වම මිනිස්සු මොකක්ද ගත්තෙ. මිනිස්සු ගත්තෙ නයිට්ලයිෆ් කියන්නේ ගණිකා වෘත්තිය කියලා. අන්න ඒකට තමයි ළිංමැඩි ගෝත්‍රික මානසිකත්වය කියන්නේ. ගණිකා වෘත්තිය කියන්නේ කාලයක් වෙලාවක් තැනක් නැති දෙයක්. නමුත් nightlife කියන්නේ ඊට වඩා පුළුල්. සමහරු කියන දේ අල්ල ගන්නේ වලිගෙන්. ඊට පස්සේ වටේ දුවනවා.

ලෝකෙ මිනිස්සු nightlife කියන්නේ නයිට් ඉකොනොමි එකකට. රාත්‍රි ආර්ථිකය කියමු. ලෝකෙ දියුණු වෙච්ච රටවල් ශීඝ්‍රයෙන් දියුණුව කරා යන්නේ රාත්‍රී ආර්ථිකයෙන්. ඒ රටවල් ඉන් 70%ක ආදායමක් ලබනවා. ඒ රටවල් ඩේ ඉකොනොමි එකෙන් 30%යි ආදායම් ලබන්නේ. ළිං මැඩියෝ මේවත් දන්නේ නෑ.

අනිත් එක තමයි දැන්වත් අපි මේ “රෙඩ් ටේප්ස්” අයින් කරන්න ඕන. බැරියර්ස් barriers අයින් කරන්න ඕන. එහෙම නැතුව සංචාරක කර්මාන්තය වගේ දෙයකින් ඉදිරියට යන්න බෑ…

ප්‍රශ්නය – කවුද ඔබ කියන මේ රතු පටි (red tapes), මේ මාර්ග බාධක (barriers) දාන්නේ..?

පිළිතුර – ඇත්තටම මිනිස්සු හිතන පතන විදිය විතරක් නෙවෙයි. අපේ රටේ තියෙන අණපනත් වෙනස් වෙන්න ඕන. මේවා ඉස්සර 18 වෙනි සියවbarriersසේ රට පාලනය කළ සුද්දො හදලා හදල තියෙන්නෙ මිනිස්සු යටත් කරගෙන ඉස්සරහට යන්න නොදී පාගාගෙන ඉන්න.

ලබන අවුරුද්දේ සමරන්න ඉන්නවනෙ අවුරුදු 75 ක නිදහස කියලා එකක්. හිතන්න අපි ඇත්තට නිදහස්ද කියලා. කොටින්ම අපිට නිදහසේ හිතන්නවත් නිදහස නෑ…

ප්‍රශ්නය – කොටින්ම අපට කියන්නකො ගණිකා වෘත්තිය පිළිබඳව ඔබතුමීගෙ පෞද්ගලික මතය. එක නීතිගත කළ යුතුද..?

පිළිතුර – ඒක නීතිගත විය යුතුයි. මතක තියාගන්න අපේ මේ රට විතරක් නෙවෙයි රට. අපිට එහා ගිය ආගමික සංස්කෘතික හර පද්ධති තියෙන රටවල් ලෝකෙ තියනවා. තායිලන්තයේ තියෙන්නෙ ථෙරවාදය තමයි. ගණිකා වෘත්තිය නීතිගතයි. ආගම නැති වෙලාද. සංස්කෘතිය නැති වෙලාද. රටේ අනෙකුත් වෘත්තීන් පවතිනවා වගේ ඒකත් ඔහේ තියෙනවා.

අනිත් පැත්ත ගන්නකෝ. දැන් ඕක අපේ රටේ තහනම් නේ. ගණිකා වෘත්තිය නතර වෙලාද. නෑ. ඒක ඔහේ යස අගේට කෙරීගෙන යනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒවාට යොමු වුණු කාන්තාවන් ලෙඩ රෝග වලට ගොදුරු වීම. ඒ වගේම එම සේවාලාභීන් ලෙඩ රෝග වලට ගොදුරු වීම හා ඔවුන්ගෙන් වෙනත් අයට පැතිරීම. මේවා බරපතළ සමාජ ප්‍රශ්න. අද පුංචි දරුවන්ට පවා ලෙඩ රෝග පැතිරෙනවා.

මේකට හේතුව තමයි එම වෘත්තියේ නියැළෙන අයට වෛද්‍ය සේවාවන් ලබා ගන්න යන්න බැරි කම. වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා චෙකප් එකක් කරගන්න බැරිකම.

මේක වෘත්තියක් සේවාවක් හැටියට නීතිගත වුණොත් යම්කිසි නියාමනයක් සිදු වෙනවා. වෛද්‍යවරු ළඟට යනවා නිතරම පරීක්ෂණ කරනවා. එතකොට ඔවුන්ගේ වගේම සේවාලාභීන්ගේත් සෞඛ්‍යාරක්ෂාව සැලසෙනවා.

ප්‍රශ්නය – medical checkup එකකට යන අයගෙ රහස්‍යභාවය සුරැකෙන්නෙ නෑ කියලා ද යෝජනා කරන්නෙ..?

පිළිතුර – එහෙම සුරැකෙන රටක් නම් මගේ අයිඩින්ටි කාර්ඩ් එකයි පාස්පෝට් එකයි වෙබ් සයිට් වල පළ වෙන්නේ නෑනේ. සෞඛ්‍ය සේවයෙ නොවෙයි. කිසිම දේක රහසේ භාවයක් ආරක්ෂා වෙන්නේ නෑ. කවුරු හරි කෙනෙක් මෙඩිකල් චෙකප් එකකට ගියාම එතනම ඉන්න අය තමයි මෙයාත් අරකට ආවා කියලා ප්‍රසිද්ධ කරන්නේ. මම කියන්නේ ඔය වගේ නීතිගත තත්ත්වයක් තියෙන රටක ඔය දේවල් වෙන්නෙ නෑ. මනුස්සයෙක් ලෙඩකට පරීක්ෂණයක්, චෙකප් එකක් කරනවා කියන එක මැජික් එකක් නෙවෙයි.

ඕව නිසා තමයි sex කියන අකුරු තුන අන්තර්ජාලයේ හොයන ලෝකෙ පළමු රට ලංකාව වෙලා තියෙන්නේ. ඔක්කොටම කලින් system change එකක් වෙන්න ඕන.

ප්‍රශ්නය – ඔබ තුමිය ඉන්නේ විපක්ෂයේ නෙවෙයි. ආණ්ඩුවේ ඇමැතිවරියක්. මේ රටේ නිදහසක් නෑ කියනවා. system change වෙන්න ඕන කියනවා. ගෝත්‍රික මානසිකත්වයෙන් මිදෙන්න ඕන කියනවා… ඉතින් මේවා කරන්න පුළුවන් හොඳම තැන නේ ඉන්නේ ඔබතුමිය..?

පිළිතුර – ඔව් ඉතින්…ඒ ගැන තමා මං මේ ආණ්ඩුව ඇතුළේ හුදෙකලා සටනක් කරන්නේ. මට හිතෙන්නෙ ජනාධිපතිතුමා ඒ මතයේ ඉන්නවා. එතුමා වටේ ඉන්න ගොඩක් අයත් ඉන්නවා. මන්ත්‍රීවරු ත් සමහර අය මගේ මුහුණට හමුවුණාම ඔය ගැන කියනවා.

හිතන්නකෝ දැන් සල්ලි අරගෙන ආයෝජකයෙක් අපේ රටට එන්නේ නැත්තේ ඇයි කියලා. ඒ මිනිහෙක් ඇවිල්ල ව්‍යාපාරයක් පටන් ගන්න ගියාම කොච්චර බාධක තියෙනවද. අපි හිතන්න පුරුදුවෙලා ඉන්නේම අනිත් පැත්තට. මුන් එන්නේ අපිව කන්න. අපේ සම්පත් වලින් බාගයක් අරන් යන්න. එහෙම හිතලා බැරියර් රෙඩ්ටේප් දැම්මාම ඒ මිනිස්සු සල්ලි අරගෙන වෙන රටකට යන් නැද්ද.

ප්‍රශ්නය – කොතනද මේ වරද තියෙන්නේ. මිනිස්සු හිතන පතන විදියේද… එහෙම නැත්තං ආණ්ඩුව ක්‍රියාත්මක කරන අණපනත්වලද..?

පිළිතුර – දෙපැත්තෙම… මේ දෙපැත්තම හැදෙන්න ඕන. විශේෂයෙන්ම පාලක පැලැන්තිය. එතන ඉන්නේ දේශපාලනඥයෝයි නිලධාරියෝයි නේ. මේ දෙගොල්ලන් අතරත් හොඳ අයත් ඉන්නවා නරක අයත් ඉන්නවා. මොන දේ කරන්න ගියත් බාල්දි පෙරලනවා.

ප්‍රශ්නය – ඔබතුමිය එක් තැනකදි කියාගෙන ආවා ආගම හා රාජ්‍යය අතර කියන විසංවාදය ගැන..?

පිළිතුර – මං කියන්නේ මේකයි. ආගම කියන එක කොයි වෙලාවකවත් රටේ සංවර්ධනය හා සිවිල් පරිපාලනයත් එක්ක පැටලෙන්න ඕනෙ නෑ. ඒක ලෝකෝත්තර කාරයභාරයක් නෙවෙයි. ආගමික නායකයෝ ලෝකෝත්තර කටයුතු බලා ගත්තම හොඳටම ඇති.

රටක සංවර්ධනය දියුණුව පරිපාලනය වගේ ලෞකික කටයුතු ගැන බලාගන්න පරිපාලන ක්ෂේත්‍රයක් ඉන්නවා. ආගමික නායකයෝ පරිපාලකයන්ට බලපෑම් කරන්න එනවනම් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී සුපිරි රටක් වන ඇමරිකාව බිල් Bill එකක් ගෙනාවා 1800 ගණන්වල රාජ්‍ය හා ආගම වෙන් කරන්න කියලා. මොකද මේ දෙක පැටලුණු තැන්වල ආණ්ඩුව කරන්න බෑ.

ප්‍රශ්නය – හැබැයි අපේ රට ඊට වෙනස්. අපේ රට මුල ඉඳලම රාජ්‍ය පරිපාලනයට ආගමේ ආශිර්වාදය හා අනුශාසකත්වය ගත්තා..?

පිළිතුර – ඒකනෙ… දැන් ඉතින් රට හරිද. මොකද වෙලා තියෙන්නෙ රටට. දැන් රට බංකොලොත්. දැන් රටේ ඩොලර් නෑ. මිනිස්සු අතේ සල්ලිත් නෑ. ඒ වුණාට මිනිස්සුන්ට අහස උසට බිල් ගෙවන්න වෙලා. ආහාර හිඟය, බදු, මේ වගේ ප්‍රශ්න එකක්ද… එහෙම නම් නිසි අනුශාසකත්ව ලැබිලද…

මතක තියාගන්න මේ රට තිස් අවුරුදු යුද්ධයකින් බැට කාපු රට ක්. ඒ අවුරුදු තිහ ඇතුළත අපි ඩොලර් බිලියන 200ක් යුද්දෙ නිසා පුච්චල දැම්මා. රට ඉදිරියට ගියාද…

ප්‍රශ්නය – නමුත් එක්තරා තැනකදි යුද්ධය නතර වුණානේ… ඊට පස්සේ රට ඉදිරියට ගියාද..?

පිළිතුර – කොහොමද යන්නෙ… ඩොලර් බිලියන පනස් දෙකක් අද රට ලෝකෙට ණයයි. ඒ ණයෙන් වැඩි කොටසක් අපි වියදම් කරල තියෙන්නෙ ඉදිකිරීම් වලට. හම්බන්තොට වරායට, mattala airport එකට, අධිවේගී මාර්ග වලට නෙලුම් කුලුනට, හම්බන්තොට පාරවල් වලට, වරාය නගරයට.

හැබැයි එව්වා ඉදිකරලා නිකං තියාගෙන හිටියට ණය ගෙවන්න ඩොලර් ලැබෙන්නේ නෑ. අපි ඒවා ආයෝජන සඳහා විවෘත කරන්න ඕන. ආයෝජකයෝ ගෙනල්ලා ව්‍යාපාර ආරම්භ කරලා මුදල් හොයන්න ඕන. නමුත් ඉදිකිරීම් උනා මිසක් ආයෝජන කරන්න ඉඩක් ලැබුණේ නෑනේ…

ප්‍රශ්නය – ඔබතුමිය හරියට කියන්නේ ඒ වැරදි අපි කළා වගේ. ඒ වැරදි වල වගඋත්තරකරුවො ඔබලගෙ ආණ්ඩුව පිටිපස්සේ ඉන්නවා. එයාලා ගැන කතා කතා කරන්න බයද…?

පිළිතුර – මම මොකටද බය වෙන්නේ… මම කියන දේ කොහොමත් කියනවා. අදාළ අය තොප්පිය හරිනම් දාගන්න. මගෙ ළඟ කාටවත් විශේෂයක් නෑ. මම කියන්නේ වැරදි කරලා තියනවනම් කාට වුණත් දඬුවම් කරන්න ඕන. දේශපාලනඥයන්ට වුණත් නිලධාරීන්ට වුණත් ඒක වලංගු යි.

ප්‍රශ්නය – මේ පාර්ලිමේන්තුව ඇතුළෙ අපට ඕක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද..?

පිළිතුර – බැරි කමක් නෑ… සුබවාදීව හිතන අය තමයි පාර්ලිමේන්තුවේ ගොඩක් ඉන්නේ. සමහර අය මං දෙයක් කිව්වම ඇවිත් සුබ පතනවා “ඔයා තමයි ඒක හරියටම කිව්වේ… අපට බෑනේ ඕව කියන්න. අපි ඡන්දේ ඉල්ලන්න මහජනතාව ඉස්සරහට යන අය නේ..” කියලා.

ඒක ඇත්ත… හුඟක් අය ජනතාව ඉස්සරහ එකක් කියනවා. කාමරේ සාකච්ඡාව ඇතුළත් ඇවිල්ලා තව එකක් කියනවා. ඔන්න ඔය වගේ හුඟක් අය ඊළඟ ඡන්දෙ බලාගෙන වේදිකාවේ වීරයෝ හා සුදනෝ…

ප්‍රශ්නය – ඔය කියන්නේ ජාතික ජන බලවේගයට ද..?

පිළිතුර – මම නම් කියන්නේ නෑනේ… එයාලා වුණත් කමක් නෑ තොප්පිය හරි නම් දාගන්න. මම කියන්නේ ඊළඟ ඡන්දෙ බලාගෙන ජනතාව ඉදිරියෙහි රඟපාන එක වෙනස් වෙන්න ඕන. ඒ වෙනුවට අපි ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න ඕන. මේ රටේ ආර්ථිකය හදන්න, මේ රට සංවර්ධනය කරන්න, මේ රටේ පරිපාලනය දියුණු කරන්න, මේ රටේ අධ්‍යාපනය හදන්න, හැමෝටම පිළිගන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තියක් ඕන.

නැත්තං වෙන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ වෙච්ච දේ තමයි ඉදිරියටත්. ජනතාවගේ හැමදාම වුවමනාව තිබුණ ආණ්ඩුව පෙරළන එක. ඒක ගෙනල්ලා තව අවුරුදු පහකින් එකත් පෙරළනවා.

මෙහෙම පෙරල පෙරල හිටියම වැඩක් කෙරෙයිද. අහල තියෙනවද පෙරළෙන ගලේ පාසි නොබැඳේ කියලා කතාවක්. අවුරුදු හැත්තෑ පහක් ම ගල පෙරලුවා. මම කියන්නේ එහෙම ආණ්ඩු පෙරළලා බෑ. ආණ්ඩුවකට වැඩක් කරන්න කාලයක් අවශ්‍යයි. ඒ සඳහා කාටත් පිළිගත හැකි වැඩපිළිවෙළක් තමයි ඕන. වැඩපිළිවෙළක් තිබුනහම කවුරු කළත් කමක්. කරන්න බැරි අය අයින් කරනවා. පුළුවන් අය දිගටම කරනවා.

ප්‍රශ්නය – ඔය හැම දෙයක්ම කරන්න නිවැරදි දේශපාලන නායකත්වයක් ඕන නේද. දැන් තියන නායකත්වය ඊට සුදුසුද..?

පිළිතුර – නිසැකවම… එතුමා හොඳ දැක්මක් සහිත නායකයෙක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් අන්න ඒ වගේ දැක්මක් සහිත හොඳ නායකයෙක්. යුද්ධයක් නිමා කළා. සංවර්ධන ව්‍යාපෘති ගොඩක් කළා. mattala airport එක හැදුවේ එතුමාටත් ප්ලේන් පදින්න නෙවෙයි. හම්බන්තොට වරාය හැදුවේ එතුමාට නැව් නගින්න නෙවෙයි.

ප්‍රශ්නය – අපි පොඩ්ඩක් කංසා ගැන කතා කරමු. ත්‍රෛලෝක විජය පත්‍ර වගේ දෙයක් මේ ලංකාව ඇතුළේ නීතිගත කිරීම සුදුසුයි කියලා ඔබ හිතනවද…?

පිළිතුර – මොකක්ද මේකෙ තියෙන බරපතළකම. මට නම් මේකේ ලොකු බරපතළකමක් පේන්න නෑ. අර අයිස් හෙරොයින් කොකේන් වගේ දේවල් මීට වඩා බරපතළයි. අරක්කු කොච්චර බරපතළද. සිගරට් කොච්චර බරපතළද. ඔන්න ඕක තමයි වැරදි තැනින් අල්ලා ගැනීම කියලා කියන්නේ… මම කිව්වේ මේ එක දෙයක් ගැනවත් නෙවෙයි.

මම කිසිම තැනක කියල නැහැ මේක මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරන්න හදන්න ඕන කියලා. මම කියලා තියෙන්නේ මේක වගා කරලා ඖෂධීය අවශ්‍යතා සඳහා පිටරට යවලා මුදල් උපයන්න කියලා පමණයි. ඒක කර්මාන්තයක්. මේවා මේ හැමෝටම කරන්න බෑ. මහා පරිමාණ වශයෙන් වගා කරලා පිටරට යැව්වොත් තමයි අපිට විදේශ විනිමය ලබන්න පුළුවන්. ඒක කිව්වම මෙහෙ ඉන්න අය මත්ද්‍රව්‍ය නීතිගත කරන්න කිවුවා කියලා මැරෙන්න හදනවා…

ප්‍රශ්නය – යහපත් චේතනාවෙන් කරන ගොඩක් දේවල් අනිත් පැත්ත ගැහෙන එකනේ අපේ රටේ වෙලා තියෙන්නෙ. සහතිකයක් වෙන්න පුළුවන්ද කංසාවලට අවසර දුන්නොත් මත්ද්‍රව්‍ය සඳහා නොගැනේවි කියලා..?

පිළිතුර – මං කොහොමද සහතික දෙන්න. අනික මං කවුද. මේකට වෙනම නීති පද්ධතියක් අවශ්‍යයි. නියාමනයක් අවශ්‍යයි. වල් වැදිලා වගේ තැනින් තැන වගා කරන්න කියනවා නෙවෙයි. වෙන රටවල් වල මේවා කරන හැටි බලන්න.

ප්‍රශ්නය – ඔබතුමියට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඔබට පාස්පෝට් දෙකක් තියෙනවා, ලංකාවෙ පුරවැසි භාවයත් නෑ, කියන චෝදනා නේ. මොනවද ඒ ගැන කියන්නේ..?

පිළිතුර – පාස්පෝට් එකක් ඉවර වුණාම තව එකක් දෙනවනේ. ඉතින් මට තුනක් තියෙනවා මහත්තයට හතක් තියෙනවා…

ප්‍රශ්නය – අපි මේ කියන්නේ වලංගු ගමන් බලපත්‍ර ගැන..?

පිළිතුර – වලංගු ගමන් බලපත්‍ර එකයි තියෙන්නෙ. මගේ පුරවැසිකම ගැනවත් ගමන් බලපත්‍ර ගැනවත් මම මේ වෙලාවේ කතා කරන එක සුදුසු නෑ. ඒ මොකද ඒවා සම්බන්ධයෙන් මට එල්ලවන චෝදනා වෙනුවට මේ වෙලාවේ නඩු පවරලා තියෙනවා. දිසා අධිකරණයේ කොළඹ නඩුවක් විභාග වෙනවා. කූට ලේඛන දීලා පාස්පෝට් ගත්තා කියලනෙ කියන්නෙ. අපි කූට ලේඛන දුන්න නම් ඒව ගන්න අය ඒ ගැන බලාගන්න ඕන. අඩුම ගණනේ දෙවැනි පාස්පෝට් එක ගන්නකොට වත් ඒ ගැන බලන්න ඕන. එනිසා මම කියන්නේ වරදක් වෙලා තියෙනවා නම් ඒක අධිකරණය බලාගනී. අපි නීතියට ඉඩ දීලා නිහඬ වෙමු.

ප්‍රශ්නය – ඊළඟ ප්‍රශ්නේ සමගි ජන බලවේගය ගැන. දැන් මොකද්ද ඒ ප්‍රශ්නය අලුත් තත්ත්වය..?

පිළිතුර – මේ රටේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශපාලන පක්ෂවල නිලධාරි මණ්ඩලය ඉන්නවා. ඒගොල්ලන්ට තමයි ඒ පක්ෂය පිළිබඳ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ. ඊට පරිබාහිරව කවුරු මොන මොන නිලධාරියෝ පත් පත්කර ගත්තත් වැඩක් නෑ.

දැන් ඔය නායකයා හැමෝටම තනතුරු දීලා ඉවරයි. මොන වගේ නායකයෙක්ද මේ. මට කියන්නකො ඔය පක්ෂ ඉන්න එක්කෙනෙක්වත් තනතුරක් නැති… හැමෝටම මොකක් හරි තනතුරක් තියනවා. එහෙම තනතුරු වලින් වැඩක් තියෙනවද.

මොකද මේ නායකයා හැමෝටම බයයි. යයි කියලා සැකේට හැමෝටම තනතුරු දීලා රඳවගෙන ඉන්නවා.

ප්‍රශ්නය – පුරවැසිභාවය පිළිබඳ ඔබේ ගැටලුව විසඳුනාට පස්සේ සමගි ජන බලවේගය කියන පක්ෂය ඒගොල්ලන්ටම දෙනවාද නැත්තං ඔබ ප්‍රතිසංවිධානය කරනවද…?

පිළිතුර – මේ පක්ෂය මගේ පක්ෂය. නම අපේ ජාතික පෙරමුණ. මම ඉස්සර වෙලා හිතාගෙන හිටිය ඒ පක්ෂය ඔවුන්ට දෙන්න. දැන්නම් මොනම හේතුවක් නිසාවත් ඒ අයිතිය ඔවුන්ට දෙන්න මගේ සූදානමක් නෑ. මම ඒ පක්ෂය භාරගෙන අවශ්‍ය කටයුතු ඉදිරියට කරගෙන යනවා.

divaina online චැනලයට කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළේ
බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment