ඒත් එන්නත් මදිවෙයි… තත්ත්වය පාලනයට හමුදාව හා සෞඛ්‍ය අංශ මැදිහත් වෙයි…
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයේ කොරෝනා එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් ගුටිබැට හුවමාරුවක් බවට වර්ධනය වී පාසලේ පිවිසුම් ගේට්ටුවෙන් ඇතුල්වීමට උත්සාහ කරන අවස්ථාවේ ඇතිවූ තෙරපීම හේතුවෙන් කීප දෙනකු තැලීම් ආබාධවලට ලක්ව තිබේ.



පෙරේදා (25 දා* එම විද්‍යාලයට 5000 කට ආසන්න පිරිසක් එන්නත ලබා ගැනීමට පැමිණ ඇති අතර එහිදී ප‍්‍රමාණවත් පරිදි එන්නත් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. මෙහිදී එන්නත් ලබා දෙමින් සිටියදී එන්නත් ප‍්‍රමාණය ඇත්තේ සුළු සංඛ්‍යාවක් බව සෞඛ්‍ය අංශ මගින් පිරිස දැනුවත් කර ඇත.

ආණමඩුව කන්නන්ගර විද්‍යාලය අසලට ඒ වනවිටත් එන්නත ලබා ගැනීමට විශාල පිරිසක් රැස්වී සිටි අතර එහිදී ඇතිවූ බහින් බස් වීමක් පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත. එම අවස්ථාවේ ඇතිවූ ගුටිබැට හුවමාරුව පාලනය කිරීමට එම ස්ථානයේ රඳවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාටද නොහැකි විය. එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිස පාසල් ගේට්ටුවෙන් පිටතට යෑමට උත්සාහ කරන අවස්ථාවේ කීපදෙනකු තෙරපී බිම ඇද වැටී ආබාධවලට ලක්විය. එහිදී එන්නත් ලබාදීමට හා අනිකුත් රාජකාරිවලට එක්ව සිටි යුද හමුදා සාමාජිකයන් පිරිස සිද්ධිය පාලනය කිරීමට උත්සාහ කළද විශාල පිරිසක් රැස්ව සිටීම නිසා එය ව්‍යර්ථ විය.
අමරනන්ද විජේසේකර – මහවැව