ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් එහා යන පොලිස් ආඥා පනත?

331

පොලිස් ආඥා පනත සහ එහි බලතල සම්බන්ධව මේ දිනවල වෙනත් කවර වකවානුවකටත් වඩා මහජනතාව අතර මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අතර ද කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. වර්තමාන රජයේ දරදඬු මර්දනකාරී පිළිවෙතට එරෙහිව මහජනතාව සිය විරෝධය පළකිරීම සඳහා වීදි බසින බොහෝ අවස්ථාවල පොලිස් නිලධාරීන් එම විරෝධතා මර්දනය කිරීම සඳහා පොලිස් ආඥා පනතේ සඳහන් සමහර වගන්ති පුන පුනා පවසමින් එම නීතිය ක්‍රියාත්මක කර මහජනතාව මර්දනය කිරීමට තැත් කිරීමේ තත්ත්වයක් බොහෝ අවස්ථාවල නිරීක්ෂණය වේ.

“ජනතා අරගලය” ආරම්භ වූ පසුගිය අප්‍රේල් සහ මැයි මාසයන් තුළ පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගය අසල විරෝධතා දැක්වූ පිරිස් මර්දනය සඳහා ක්‍රියාකළ සුප්‍රකට “water melon” සිද්ධියට මුල් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විරෝධතාකරුවන් අභිමුඛව පොලිස් ආඥා පනතේ මහජන සාමය පවත්වාගෙන යෑමට අදාළව ඇති යම් යම් නෛතික ප්‍රතිපාදනයන් සම්බන්ධව පවසන අවස්ථාවන් රූපවාහිනිය මගින් නිරීක්ෂණය කළ මේ ලියුම්කරු මෙරට උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති “භාෂණයේ, සහ සාමකාමීව රැස්වීමේ නිදහස” යල්පැන ගිය නීතියක් ලෙස සැලකෙන පොලිස් ආඥා පනත භාවිතා කර වළලා දැමිය නොහැකි බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාට මතක් කිරීමේ සටහනක් ලියුම්කරුගේ මුහුණු පොතට එක් කරන ලදී. එම අවස්ථාවට මාස පහක් ගත වීමෙන් පසුව එම ස්ථාවරයේම පිහිටමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් පසුගිය දා පොලිස්පතිවරයා අමතා නිකුත් කළ නිවේදනයක් මගින් පොලිස් ආඥා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යා නොහැකි බව තහවුරු කර තිබීම ඉතා සාධනීය තත්ත්වයක් බව අප විසින් වඩාත් සැලකිල්ලට ගතයුතු කරුණක් ලෙස සැලකිය යුතුය.

සංවිධානාත්මක පොලිස් සේවාවක් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරට ස්ථාපිත කර ඇත්තේ 1866 සැප්තැම්බර් 03 වන දිනය. එම පොලිස් බළකාය පිහිටුවීම සඳහා ඔවුන් පදනම් කරගනු ලැබූ නෛතික ප්‍රතිපාදනය වී ඇත්තේ 1865 අංක 16 දරන මෙම පොලිස් ආඥා පනතයි. 1866 ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවන ලද මෙම පොලිස් ආඥා පනත මේ වන විට 36 වතාවක් සංශෝධනය වී ඇති අතර අවසන් සංශෝධනය සිදු කර ඇත්තේ මීට වසර 38 ක ට පෙර 1987 අංක 42 දරන සංශෝධනය මගිනි. බ්‍රිතාන්‍ය පාලන සමය තුළ පනත විසි නම වතාවක් සංශෝධනය වී ඇති අතර පශ්චාත් නිදහස් යුගය තුළ එය සංශෝධනය විය යුත්තේ 7 වතාවක් පමණි. මෙම තත්ත්වය තුළ මෙම පනත බ්‍රිතාන්‍යයන් ස්වදේශිකයන් පාලනය කිරීම සඳහා කෙතෙක් දුරට භාවිත කර ඇද්ද යන්න වටහා ගැනීම බ්‍රිතාන්‍ය පාලන සමය තුළ පනතට එක් කර ඇති සංශෝධන විශාල සංඛ්‍යාව හේතුවෙන් අපහසු නොවන කරුණකි.වගන්ති 104 කින් සමන්විත පොලිස් ආඥා පනතේ බහුතරයක් නෛතික ප්‍රතිපාදනයන් වෙන්වී ඇත්තේ පොලිස් සේවාවේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා ය.

ප්‍රධාන පරිච්ඡේද හතරකින් සමන්විත පොලිස් ආඥා පනතේ මුල් වගන්ති 28 ම පොලිස් පරිපාලනයට අදාළ සකස් කර ඇති අතර වගන්ති 29 සිට 54 දක්වා සඳහන් කර ඇත්තේ පොලිසියේ මූල්‍ය කටයුතු මෙන්ම යටත්විජිත පාලකයන් සතුව පැවති බදු එකතු කිරීමට අවශ්‍ය පොලිස් සහාය ලබාගැනීමට සම්බන්ධව නෛතික වගන්තිවලිනි.

වගන්ති 55 මගින් අවශ්‍ය අවස්ථාවල පොලිස් නිලධාරීන් සඳහා නියෝග පැනවීමේ බලය පොලිස්පතිවරයා වෙත හිමිකර දී ඇති අතර වගන්ති පනස් හයේ සිට 88 දක්වා පොලිස් නිලධාරීන්ගේ “යුතුකම් සහ වගකීම්” ගැන සඳහන් වේ. ජනතාවගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවන් සඳහා ඉවහල් වන කරුණුවලට අදාළව අනුගමනය කළ යුතු නීති කීපයක් ද මේ පරිච්ඡේදය තුළ සඳහන්ව ඇති අතර එම වගන්ති වල නෛතික ස්වභාවය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ ඒවා බොහෝමයක් යටත්විජිත පාලනය පහසු කිරීම සඳහා භාවිත කරන නෛතික ප්‍රතිපාදනයන් බවය. මෙම නීති අතර එකල බ්‍රිතාන්‍ය පාලකයන් පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කරන ලද අශ්වයින් පිට යෑම සම්බන්ධව සලකා බැලීමේදී අසුන් කුලප්පු වන ආකාරයට මහා මාර්ගයන් අසල සිදුවන කටයුතු පාලනයට අදාළ නීති බහුතරයක් මෙම කොටසට ඇතුළත්ව තිබීම සැලකිල්ලට ගත හැක. මෙම පරිච්ඡේද වගන්ති හැත්තෑ හතේ සිට 81 වගන්තිය දක්වා ඇතුළත් නීති බ්‍රිතාන්‍යයන්ට එරෙහිව පැන නැගෙන ස්වදේශික විරෝධතා මර්දනය කිරීම සඳහා භාවිත කරන ලද නීති ලෙස නිරීක්ෂණය වන අතර අද වන විට බහුතරයක් පොලිස් නිලධාරීන් රජයට එරෙහිව ගොඩනැගෙන මහජන විරෝධතා පාලනය කිරීම සඳහා භාවිත කරමින් සිටින්නේ වසර එකසිය පනස් හයක් පැරණි මෙම නීතීන් බවද අප විසින් සැලකිල්ලට ගත යුතුය.

පොලිස් ආඥා පොදු බිහිවුණු 1866 වර්ෂයේ මෙරට පැවැති ඇත්තේ අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කළ යටත්විජිත තත්ත්වයකි. එවැනි වටපිටාවක් තුළ මෙවැනි මර්දනකාරී නීති කිසිදු අභියෝගයකින් තොරව පැනවීමේ හැකියාව පාලකයන් සතුව පැවතී ඇත. එහෙත් 1947 බිහිවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය මෙන්ම 1966 බිහිවූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ නීතිය (International covenant of civil & political rights) සහ ආර්ථික සාමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් සුරැකීමේ නීතිය (economic social & cultural rights) අනුව මෙරට මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ තත්ත්වය අප විසින් සලකා බැලිය යුතුව ඇත. පොලිස් ආඥා පනත බිහි වී ඇත්තේ මෙම උත්තරීතර මානව හිමිකම් සුරැකීමේ ජාත්‍යන්තර නීතීන් බිහිවීමට වසර 81 කට ප්‍රථම හුදෙකලා වූ නීතියක් ලෙසය. එහෙත් එවැනි නීති තමන්ගේ පහසුව සඳහා ක්‍රියාත්මක කිරීමට ප්‍රථම වර්තමාන සමාජය සතු මෙරට උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අයිතිවාසිකම් සම්බන්ධව පොලිස් නිලධාරීන් සැලකිල්ලක් නොදැක්වීම කනගාටුවට කරුණකි. පසුගියදා මානව හිමිකම් කොමිසම මගින් පොලිස්පතිවරයා අමතමින් නිකුත් කරන ලද නිවේදනය මගින් තහවුරු කර ඇත්තේ මෙම නෛතික තත්ත්වයයි.

ප්‍රියන්ත ජයකොඩි
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති –
කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment