ආණ්ඩුවට දෙන්නත් බැරි මෝල්වලට ගන්නෙත් නැති ගුල්ලන්ට සින්න වුණ පොලොන්නරුවේ වී අස්වැන්න…. ගොවීන් ළඟ සියයට හැටකට වඩා වී ඉතිරිවෙලා

161

අපේ රටේ ජනතාවගේ ප‍්‍රධාන ආහාරය වන බත නිපදවීමට අවශ්‍ය වී නිෂ්පාදනය හෙවත් වී ගොවිතැන සම්බන්‍ධයෙන් මේ වනවිට ගැටලූ රැසක් මතුවෙමින් තිබෙන බව නිතරම පාහේ අසන්නට ලැබේ. රජරට ඇතුළු වී නිෂ්පාදනය කරන දිස්ත‍්‍රික්කවල ගොවිබිම් වලින් නැෙඟන අතොරක් නැති දුක් මැසිවිලි ඊට කදිම නිදසුන්ය.

වගාවට අවශ්‍ය ජලය කලට වේලාවට ලබා ගැනීමේ පටන් තමන් මුහුණදෙන ප‍්‍රශ්න, ගැටලූ රාශියෙකැයි ගොවි ජනතාව කියති. බීජ වී, පොහොර, කෘෂිරසායන ආදිය කලට වේලාවට සපයාගැනීමට නොලැබීම, යන්ත‍්‍ර සූත‍්‍ර සඳහා ගෙවන කුලිය ඇතුළු සියලූම යෙදවුම්ල මිල ඉහළයෑම වී ගොවිතැනේදී මුහුණපෑමට සිදුවන මූලික කාරණා බව ගොවීහු පෙන්වා දෙති. ගුණාත්මක තත්ත්වයේ බීජ නොමැතිකමද බරපතළ ගැටලූවක් බව බොහෝ දෙනා නඟන මැසිවිලි අතර ඉදිරියෙනි. බිත්තර වී ලේබලයට මුවාවී හොර බිත්තර වී නිපදවන ජාවාරමුන්ගේ උගුල්වලට ගොවිජනතාව හසුවන අවස්ථා සුලබ බවයි. එම ගොවි ජනතාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ගොවීහු පෙන්වා දෙති. මෙවන් අර්බුද රැුසක් මැද නිපදවන වී ඇටයට අවසානයේ නිසි සාධාරණ මිලක් නොලැබී යෑම ගොවියා ගොවිතැනින් ඈත්කරවීමට මුල්වී ඇති බවටයි එම ගොවීන් ප‍්‍රකාශ කරන්නේ.

දිනෙන් දින ඉහළ යන නිෂ්පාදන වියදම හේතුවෙන් වී ගොවිතැන පාඩු නොවන්නට නම් වී කිලෝවක රජයේ සහතික මිල අනිවාර්යයෙන් ඉහළ දැමිය යුතුයැයි පොලොන්නරුවේ ගොවි ජනතාව පවසති. ඒ අනුව සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 75ක් සහ නාඩු වී කිලෝවක් සහ රුපියල් 65ක් වශයෙන් රජයේ සහතික මිලක් නියම කරන්නැයි ඔව්හු රජයට යෝජනා කරති.

වී සහ සහල් අර්බුදයේ පැන නැඟී තිබෙන නවමු තතු සොයා බලන්නට රටට බත සපයන ප‍්‍රධාන දිස්ත‍්‍රික්කයක් වන පොලොන්නරුවේ ගොවිබිම් කරා ගිය ගමනේදී ගොවීන් මෙන්ම සහල් නිෂ්පාදකයින්ද සිය අදහස් අප හමුවේ දිගහැරියේ මේ අන්දමටය.

ආණ්ඩුවට දෙන්නත් බැරි මෝල්වලට ගන්නෙත් නැති ගුල්ලන්ට සින්න වුණ පොලොන්නරුවේ වී අස්වැන්න....  ගොවීන් ළඟ සියයට හැටකට වඩා වී ඉතිරිවෙලා

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ලක්‍ෂඋයන ආර්. බී. 02 යායේ ගොවි මහතෙකු මෙන්ම ‘‘ගොවිබිමේ මිතුරෝ’’ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයාද වන ඒ. කේ. එම්. එම්. ඒ. තෙන්නකෝන් (56) මහතා

‘‘මේ වෙනකොට ගොවි ජනතාව බරපතළ අර්බුද රාශියක ඉන්නේ. සෑම අතින්ම ගොවියාට ප‍්‍රශ්න. ඒවාට විසඳුමක් පේනතෙක් මානයකවත් නෑ. බීජ වී කියන්නේ ගොවිතැනේදී වැදගත්ම සාධකයක්. ඒ බව අමුතුවෙන් කියන්න උවමනා නෑ. නමුත් අද රාජ්‍ය අංශයෙන්වත් පෞද්ගලික අංශයෙන්වත් වගකීමකින් බීජ වී ගන්න පුළුවන් කමක් නෑ. හොඳම උදාහරණයක් කියන්නම්. මම මේ යල කන්නයේ බී. ජී. 409 වී වර්ගය අක්කර 06ක් වගා කළා. අවශ්‍ය බීජ වී මිලදී ගත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව, කදුරුවෙල බීජ වී ගොවිපලෙන්. ඒ වගාවේ සියයට 30ක් විතර කරල් පීදුනේ කලින්. අනෙක් කොටස ඊට පස්සේ අවස්ථා දෙකකදී. එක තට්ටුවක් මාස දෙකකකදී පීදුනා. පීදිලා කිරි වදිමින් තිබෙද්දී අනෙක් තට්ටුව පීදෙන්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා. මේ පිළිබඳව දිස්ත‍්‍රික් ලේකම් තුමාට, කෘෂිකර්ම නිලධාරීන්ට පැමිණිලි කළා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගේ කුඹුර බලන්න ආවා. ඒ අය කුඹුර පරීක්‍ෂා කරලා බලලා මට කීවා කලින් පීදිලා තිබෙන ගොයම් කරල් කපලා ඉවත් කරන්න. අනෙක් ඒවා පීදුණාම අස්වැන්න බීජ වී වලට දෙපාර්තමේන්තුවට ගන්නම් කියලා. සීයට 30ක් විතර මේ කරල් කපලා අයින් කළාම මගේ කුඹුරේ ඉතිරි වෙන්න දෙයක් නෑ. ඒ අයට මම මේ තත්ත්වය පැහැදිලි කරලා දුන්නා. ඒ මහත්තුරු, නෝනලා ආපහු යන්න ගියා. දැන් අපිට තිබෙන ලොකුම ප‍්‍රශ්නය රසායනික පොහොර කෘමිනාශක. ඒවා යොදන්නේ නැතිව මේ ගන්න අස්වැන්න ගන්න පුළුවන්ද කියන එක. කෘෂි රසායන යොදන්නේ නැතිව වී වගාවේ වල් මර්දනය කරන්නේ කොහොමද කියන කාරණය. දැන්

ගොවීන් වැඩි මිලට රසායනික, පොහොර, කෘෂි රසායන මිලදී ගන්නවා. රුපියල් 1500 පොහොර මිටියක් දැන් රුපියල් 5000යි. රුපියල් 3000ට 3500ට තිබුණ වල් නාශක කුප්පිය 8000යි, 8500යි. මේ විදියට වැඩි ගණන්වලට මිලදී අරන් ගොවිතැන් කරලා ලාබයක් ගන්න බෑ.’’

පොලොන්නරුව විජයබාහුපුර බෙදුම්ඇළ ගොවි සංවිධානයේ සභාපති සරත් ජයසිංහ මහතා ‘‘දැන් මේ වෙනකොට යල් කන්නයේ වී අස්වැන්න නෙළලා අවසානයි. ගොවීන් ළඟ සියයට හැටකට වැඩි ප‍්‍රමාණයක් වී තවමත් තිබෙනවා. සහතික මිල වැඩිකරයි බලාපොරොත්තුවකින් ගොවීන් ඉන්නේ. නමුත් සොච්චම් මුදලක් වැඩි කරලා ගොවියට වැඩක් නෑ. අඩුම තරමින් වී කිලෝ එක රුපියල් 65ක් වෙන්න ඕන. නාමල් රාජපක්‍ෂ ඇමැතිතුමාට පසුගිය දවසක අපි ලිපියක් ඉදිරිපත් කළා. එහිදී අපි ඉල්ලා හිටියේ නාඩු කිලෝ එක රුපියල් 65ක් කරන්න කියන එක. කීරි සම්බා කිලෝවක රජයේ සහතික මිල රුපියල් 75ක් කරන්න කියලා. ඒ වගේ මිලක් නොලැබුණොත් මින් ඉදිරියට වී ගොවිතැන් කරලා වැඩක් නෑ. මේක දිගින් දිගටම පාඩු ලබන රැකියාවක් බවට පත්වෙලා තියෙන්නේ. පසුගිය දිනවල මෝල් හිමියන් නාඩු වී කිලෝ එක රුපියල් 60 ගානේ ගොවියන්ගෙන් මිලදී ගත්තා. නමුත් ආණ්ඩුව හාල් මෝල්වලට කඩා වැදිලා සහල් වැටලීම් කරන්න පටන් ගත්තට පස්සේ වී මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළා. දැන් ගොවියා අන්තිම අසරණ වෙලා ඉන්නේ.

වී ටික කිසියම් හෝ වැඩි මිලකට විකුණාගන්න තිබුණු අවස්ථාව නැති වුණා. අර්බුද රාශියක් මැද්දෙයි ගොවි ජනතාව වී ගොවිතැනේ නියැලිලා ඉන්නේ. ඒ වගේම රජය පැත්තෙන් ඒවාට කිසිම විසඳුමක් නැති එක ගැන ගොවීන් කලකිරීමකින් ඉන්නෙ. ඒ වගේම මේ ප‍්‍රශ්න ඉදිරියේ ගොවි ජනතාව ඉන්නේ හරිම අසරණ තත්ත්වයකට පත්වෙලා. බොහෝ ගොවීන් ඉන්නේ වී ගොවිතැනේ හෙට දවස ගැන දැඩි අවිනිශ්චිත භාවයකින්. ගොවියාට කිසිම සහනයක් ලැබෙන බවක් පේන්න නෑ. ඉදිරි කන්නය වෙනකොට අඳ ක‍්‍රමයට වී වගා කරන ගොවීන් බොහොමයක් ගොවිතැනින් ඈත් වෙන්න තීන්දු කරලා. කාබනික වගාවෙන් අඳ කොටස දෙන්න තරම් සාර්ථක අස්වැන්නක් ලැබේවිද කියලා ඒ අයට ලොකු සැකයක් තිබෙනවා. කාබනික පොහොර සම්බන්‍ධයෙන් අපේ විරුද්ධත්වයක් නෑ. නමුත් මේ විදියට එක පාරටම එතැනට යන්න ගොවියාට අමාරුයි. මැති ඇමැතිවරුන්ට නිලධාරීන්ට හදිසි තීරණ තීන්දු ගන්න පුළුවන්. නමුත් ක‍්‍රියාත්මක කිරීමේදී තමයි එහි දුෂ්කරතාවලට මුහුණ දෙන්න ගොවියා සිද්ධ වෙන්නේ.’’යැයිද ඒ මහතා කීය.

රටට බත සපයන ගොවි ජනතාව සිය එකම ජීවනෝපාය වන ගොවිතැනින් ලබන ආදායම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයට අයත් අලූත්වැව නැෙඟනහිර බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති පී. කේ. ඞී. විජේරත්න මහතා පෙන්වා දෙයි. ඒ සම්බන්‍ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවැසීය.

‘‘වී කිලෝවක් සඳහා දැනට නියම කරල තිබෙන රජයේ සහතික මිල කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ. එම නිසා වී කිලෝවේ මිල අනිවාර්යයෙන්ම මීට වඩා වැඩිවෙන්න ඕන. අපි අවස්ථා ගණනාවක්ම රජයේ වගකිවයුතු උදවියට මේ බව කියලා තිබෙනවා. අපි ඉල්ලන්නේ අඩුම තරමින් නාඩු වී කිලෝ එකක මිල රුපියල් 65ක් දක්වා වැඩිකරන්න කියන එක. සම්බා වී කිලෝ එක රුපියල් 75ක් හැටියට වැඩිවිය යුතුයි. රටට බත සපයන ගොවීන් හැටියට ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක් මේක. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ සම්බන්‍ධයෙන් විශේෂ අවධානයක් යොමුකරලා අපිට සාධාරණත්‍වයක් ඉෂ්ඨ කරාවි කියලා. ගොවි සංවිධාන නියෝජිතයන් විදියට කෘෂිකර්ම ඇමැතිතුමා සමඟත් මේ පිළිබඳව සාකච්ජා කරලා තිබෙනවා. ගොවියා බරපතළ අර්බුද රාශියක් මැද ගොවිතැනේ නියැලිලා ඉන්නේ. දැනට පවතින වියදම් අනුව කුඹුරු අක්කරයක් වගා කරන්න රුපියල් 65,000කට වැඩිය වියදම යනවා.

ගොවියාගේ ශ‍්‍රමය ගණන් බලන්නේ නැතිවයි ඒ මුදල. අක්කරයකින් වී කිලෝ බුසල් 100ක් තමයි දැනට ගන්න පුළුවන් උපරිම අස්වැන්න. දැන් පවතින මිලට අලෙවි කිරීමෙන් ලැබෙන්නේ ආදායම රුපියල් 115000 ක් පමණ. නිෂ්පාදන වියදම ගියාම ඉතිරිය රුපියල් 50,500ක විතර මුදලක්. ඒ මාස තුනක කාලයක් සඳහා ලැබෙන ආදායම. ඒක බෙදල බැලූවම එක මාසෙකට ලැබෙන මුදල රුපියල් 16,000ක් විතර. මේක තමයි ගොවියාගේ ආදායම. දවසේ කුලියට යන කම්කරුවෙකුගේ පඩිය බැලූවොත් මීට වඩා දෙගුණයක්. සහල් සහ වී සම්බන්‍ධයෙන් මේ දිනවල රජය කටයුතු කරන ආකාරය දෙස බලන විට හරිම හාස්‍යජනකයි. සෘජු තීරණයක් නෑ. ඒ වගේම නිසි වැඩ පිළිවෙලක් නෑ. කාබනික වගාවට යොමුවෙන්න කියලා රජයෙන් කිව්වට ඒ සම්බන්‍ධයෙන් පැහැදිලි වැඩපිළිවෙලක් නෑ. මෙහෙම ගියොත් රටේ වී නිෂ්පාදනය පහළ බැහැලා විශාල ආහාර හිඟයක් ඇතිවීම අනිවාර්යයෙන් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. දැන් ගොවි ජනතාවට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන මූලික ප‍්‍රශ්න මොනවද කියන එක නොවෙයි වගකිවයුතු උදවිය තේරුම් අරන් තියෙන්නේ. ඒ බව මේ පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මංතීරු හදන්න දරණ වෑයමෙන්ම පේනවා.’’

යම් හෙයකින් රටේ වී නිෂ්පාදනය අඩුවී සහල් හිඟයක් ඇතිවුවහොත් එමගින් ජාතික ආර්ථිකයට ඇති වන බලපෑම මෙන්ම ගොවි පවුල්වල ආර්ථිකය කඩා වැටීම සහ ඉන් ඇතිවන සමාජ අර්බුදයද බරපතළ කාරණයකි. දැන් පැන නැඟී ඇති රසායනික පොහොර සහ කෘෂි රසායන නොගෙන්වීමේ ප‍්‍රශ්නය හේතුවෙන් වී ගොවිතැනේ හෙට දවස කෙබඳුවේද? යන්න ගොවි ජනතාව බොහෝ දෙනා තුළ ඇත්තේ බලවත් සැකයෙකි. මන්ද කාබනික පොහොර යෙදීමෙන්ම පමණක් දැනට ලබන අස්වැන්න ලැබිය හැකිද යන්න ගොවි ජනතාව තුළ ඇතිවී තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය බවයි පැවසෙන්නේ.

මෙරට බහුතරයක් ජනතාවගේ මූලික ජීවනෝපායක් වන වී ගොවිතැන අඩාල වීම රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතකරවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. වී නිෂ්පාදනය පහළ වැටී එදිනෙදා පරිභෝජනය සඳහා අවශ්‍ය සහල් හිඟයක් ඇතිවීම අනිවාර්ය ප‍්‍රතිඵලයෙකි. එම නිසා රටට අවශ්‍ය සහල් විදේශ රටවලින් මෙරටට ආනයනය කිරීමටත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීමද නොවැළැක්විය හැකිවනු ඇත.

එපමණක් නොව වී ගොවිතැන මූලික ජීවනෝපාය කරගත් මේ රටේ දිස්ත‍්‍රික්ක රැසක ජනතාව ජීවත් වීමට ම`ගක් නොමැතිව අන්ත අසරණභාවයට පත්වී එම ගොවි පවුල්වල ආර්ථිකය කඩා වැටීම ඉන් ඇතිවන අහිතකර ප‍්‍රතිඵල අතර මූලික බව සිහිපත් කළ යුතුය. එමෙන්ම තවත් පැත්තකින් අපේ බත් පත වෙනුවෙන් පිටරට වලට අත පාන්නට සිදුවීමේ අමිහිරි අත්දැකීම්ද යළිත් අපට ලබන්නට සිදුවනු ඇත.

අවිධිමත් කෘෂි සැළසුම් සහ කෘෂි විද්‍යාඥයින්ගේ මතය පරයා පෙරට පැමිණ තිබෙන අහිතකර දේශපාලන තීරණ තීන්දු වී ගොවියාත් මෙරට වී ගොවිතැනත් වළපල්ලට ඇද දමා තිබෙන බව මෙරට අත්දැකීම් බහුල ගොවි නායකයෙකු වන කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා පවසයි.

කාබනික පොහොර හඳුන්වාදීම තුළින් පමණක් ගොවිතැනේ එම අර්බුද ජයගත නොහැකි බවද හෙතෙම පැවැසීය. වැඩි අස්වනු ලැබීමට ගොවිතැනට නිසි උපදෙස්ද අවැසි බව පෙන්වා දෙන ඒ මහතා මෙයට වසර 30 කට 40 කට පෙර මේ රටේ ක‍්‍රියාත්මක වූ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කෘෂි ව්‍යාප්ති සේවය යළි ආරම්භ කළ යුතු බවද කියා සිටී.

‘‘වී වගාව සඳහා කුඹුරට ජලය නිකුත් කිරීමේ ඉඳලා දැන් වැඩපිළිවෙල අවිධිමත්. මහ පොළොව බීජ එපා කියලා ප‍්‍රතික්ෂේප කරන අවස්ථාවේදියි අපට කුඹුරුවල වී වපුරන්න වෙලා තිබෙන්නේ. ඉස්සර අපි නියමිත කාලයට, කන්නයට වගා කළා. ඒ සඳහා නියමිත වෙලාවට ජලය නිකුත් කළා. මෑතක් වෙනතෙක්ම ගොවීන්, කෘෂිකර්ම නිලධාරීන්, වාරිමාර්ග නිලධාරීන් එකට එකතු වෙලා, දිසාපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කන්න රැස්වීමේදී වඩාත් නිවැරදි තීරණ තීන්දු ගත්තා. විශේෂයෙන්ම කල් යල් බලා වගා කිරීමට මුල් තැන දුන්නා. නමුත් දැන් තත්ත්වය ඊට වෙනස්. කොළඹින් තමයි තීරණය කරන්නේ අනුරාධපුරයේ, පොළොන්නරුවේ, මින්නේරියේ, මැදිරිගිරියේ, කවුඩුල්ලේ, කන්තලේ කුඹුරුවලට වතුර දෙන්නේ කවදද කියලා. වැව් තියෙන්නේ පොලොන්නරුවේ. නමුත් තීන්දු ගන්නේ කොළඹින්. මේවා කරන්නේ යල – මහ හරියට දන්නේ නැති නිලධාරීන්. ඉතින් ඒ අය කියන දිනවලට වතුර දෙනවා. අපි ණය තුරුස් වෙලා වගා කරනවා.

කෘමි හානි, වසංගත හැම රෝගයක්ම හැදෙනවා. වී අස්වැන්න අඩුවෙනවා. මේ ක‍්‍රම නොපමාව වෙනස් වියයුතුයි. මම දකින්නේ රජයේ කාබනික වගා පිළිවෙත හොඳයි. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. නමුත් අඩුපාඩු එමටයි. දැන් ගොවියාට කාබනික පොහොර සඳහා දෙන්න තීන්දු කරලා තියෙන හෙක්ටයාර් එකට රුපියල් 12,000 ප‍්‍රමාණවත් නෑ. එය අක්කරයකට රුපියල් 10,000ක්වත් වියයුතුයි. එය කන්න කිහිපයක් ගතවෙද්දී අඩුකළ හැකියි. වැඩි අස්වැන්නක් ලැබීමට මේ දෙමුහුන් බීජ වලින් අමාරුයි. ඒ සඳහා නැවත පැළවෙන බීජ අවශ්‍යයි. වල් මර්දනය සඳහා ඊට සුදුසු වගා ක‍්‍රමයකට යායුතු වෙනවා. එහිදී ගොවියාට පේළියට ඇට දාන බීජ වප්කර, සීඩර්, වල් මර්දනයට අවශ්‍ය කරන වීඩර් ආදිය පහසුවෙන් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් උවමනායි. පැරෂුට් ක‍්‍රමයට තවාන් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය තැටි හිඟයක් තිබෙනවා. ඒ වගේම මිලත් වැඩියි. ඒවා සහන මිලකට ලබා දෙන්න ඕන.

ගොවියාට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර, ගොවි උපකරණ තීරුබදු රහිතව ගෙන්වා ගැනීමට අවසර දිය යුතුයි. එහෙම කළොත් මේ කාබනික විප්ලවය ජයගැනීමට හැකිවේවි කියලා මම විශ්වාස කරනවා. අනෙක් කාරණය තමයි වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම වැඩියි. ඒ අනුව වී කිලෝවේ රජයේ සහතික මිල අනිවාර්යයෙන්ම වැඩිවිය යුතුයි. එයට සාපේක්‍ෂව සහල් කිලෝවේ මිලත් වැඩි වෙනවා. රුපියල් 110ත් 115ත් අතර මිලකට සහල් මිල පැවැතීම එතරම් ඉහළ මිලක් කියලා මම හිතන්නේ නෑ. එදිනෙදා පරිභෝජනය කරන අනෙක් සෑම භාණ්ඩයකම මිල ඉහළ ගිහිල්ලා තිබෙන්නේ.’’ යැයිද ජයතිස්ස මහතා කීවේය.

යම් හෙයකින් ඉදිරි අනාගතයේදී රටේ වී නිෂ්පාදන පහළ බැසීමක් සිදුවුවහොත් සහල් නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්‍ධව සිටින පිරිසටද සිය ජීවනෝපාය අහිමිවනු ඇති බවට සැක මතුවී තිබේ. අවශ්‍ය තරම් සහල් තොග තමන් සතුව නොමැතිකම හේතුවෙන් මේ වනවිටත් අඛණ්ඩව සහල් තොග වෙළඳපොළට සැපයීම අසීරුවී ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පවසති. එයට යම් පිළියමක් ලෙස රජය සතු වී තොග තමන්ට ලබාදෙන ලෙස එම මෝල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. එලෙස එම වී තොග ලබාදුනහොත් රජයේ පාලන මිලට යටත්ව සහල් තොග සැපයිය හැකි බවද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ කීහ.

ඒ සම්බන්‍ධයෙන් අප වෙත අදහස් දැක්වූ පොලොන්නරුවේ සහල් මෝල් හිමියෙකු වන ප‍්‍රසාද් හේමන්ත මහතා ‘‘මම දැනට නිෂ්පාදනය කරන්නේ කැකුළු හාල් විතරයි. රජයේ පාලන මිලට යටත්ව කැකුළු හාල් කිලෝවක තොග මිල රුපියල් 93 බැගින් අපි හාල් නිකුත් කරන්නේ. කැකුළු හාල් සිල්ලර මිල රුපියල් 95යි. වැඩි මිලට වී අරගෙන සහල් නිෂ්පාදනය කළොත් දැන් පවතින මිලට හාල් තොග දෙන්න බෑ. රජය නියම කරලා තියෙන සහතික මිලට ගොවින් වී දෙන්න සූදානම් නෑ. මේ වනවිට වී කිලෝවක මිල රුපියල් 60ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. රුපියල් 60ට වී ගත්තොත් හාල් කිලෝ එකක තොග මිල රුපියල් 110ක් පමණ වෙනවා. එම නිසා අපට තිබෙන මූලික ප‍්‍රශ්නයක් තමයි විශාල වී තොග අප සතුව නොමැතිකම. නමුත් වැඩි මිලට වී අරගෙන ගබඩා කරගන්න අපට අවශ්‍ය තරම් මුදල් නෑ. ප‍්‍රමාණවත් වී තොග නැතිකම නිසා ඊළඟ කන්නයේ වී අස්වනු වෙළඳපොළට එනතෙක් සහල් නිෂ්පාදනය කරන්න හැකියාවක් නෑ. අඛණ්ඩව සහල් නිෂ්පාදනය කිරීමට නම් ප‍්‍රමාණවත් වී තොග අප සතුව තිබිය යුතුයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා දැනට වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොග සහ පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය මගින් වැටලීම් කරලා රජයේ භාරයට ගනු ලැබූ වී තොග මෝල් හිමියන්ට නිකුත් කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් ප‍්‍රමුඛතාවයක් දෙන්න කියලා.’’

දිස්ත‍්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් මතුකරන කාරණය සම්බන්‍ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප‍්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතාගෙන් අප විමසූවිට ඔහු කියා සිටියේ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කිරීමේදී මීට පෙර අවස්ථාවලදීද අදාළ බැංකු ඇපකර මත ලියාපදිංචි සහල් මෝල් හිමියන්ට වී තොග නිකුත් කළ බවයි. මෙවරද එම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වන බව ඒ මහතා පැවැසුවේය.

දිනකට සහල් කිලෝ 10,000කට 15,000කට වැඩි ප‍්‍රමාණයක් නිපදවන සහල් මෝල් වලට මණ්ඩලය වී නිකුත් කරන බවද ඒ මහතා කීය. මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් 30,000ක් වැනි ප‍්‍රමාණයක් මිලදී ගැනීමේ ඉලක්කයක් පැවැතියද මිලදී ගැනීමට හැකිවූයේ වී කිලෝ ලක්‍ෂ 02ක් වැනි සුළු ප‍්‍රමාණයක් බවද කීය. ඊට අමතරව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවී වී තොග

රැුස්කර තිබූ පුද්ගලයන්ට අයත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගබඩාකර තිබූ වී කිලෝ ලක්‍ෂ 25ක් පමණ පාරිභෝගික අධිකාරිය මගින් ගබඩා මුද්‍රා තබා තිබෙන බවත් එම වී තොග වී අලෙවි මණ්ඩලය භාරයට ගනිමින් තිබෙන බවද ඒකනායක මහතා කීවේය.

රටට බත නිපදන බිමේ වෙසෙමින් දිවිය පුරා ගොවිතැනේ නියැලෙන ජනතාව මතුකරන බොහෝ කාරණා එහි යහපතට සහ සිය ජීවන වෘත්තියට බලපාන ඒවා බැව් ඉතා පැහැදිලිය. ඔවුන් ඒවා පෙන්වා දෙන්නේ එහි ඉදිරි පැවැත්මේ තිරසරභාවය සහ රටේ යහපත වෙනුවෙනි. එම නිසා ඒ ගැටලූ විසඳාලීමට කල්මැරීම එතරම් සුබදායක තත්ත්වයක් නොවනු ඇතිය යන්න අපගේද විශ්වාසයයි. බත පවතින්නේ කෙත සරුවූවොත් බවටද කිසිදු විවාදයක් නැත. එසේ නොමැතිව අප රටේ කෘෂිකර්මාන්තය පහළට ඇදවැටී ගොවියාත් ගොවිතැනත් වළපල්ලට ගියහොත් අපට අත්වන ඉරණම බත්පත වෙනුවෙන් රට සහලේ පිහිට පැතීම සඳහා යාදිනි කිරීම හැර වෙනත් විකල්පයක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එම නිසා වී ගොවියාත් වී ගොවිතැනත් ආරක්‍ෂා කර ගැනීමේ ප‍්‍රමුඛ වගකීමක් රටේ ප‍්‍රතිපත්ති හා සැළසුම් සම්පාදකයින් වෙත පැවැරෙන බව මෙහිදී සිහිපත් කළ යුතුය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment