ආණ්ඩුවට පෙර විපක්‍ෂය…

638

වෙනදා මෙන් නොව මෙවර විපක්‍ෂය ඉක්මන් විය. රුසියානු යුක්රේන යුද්ධයට මැදිවී සිටින ශ්‍රී ලාංකීය සොල්දාදුවන් ගැන සෙවීම සඳහා සමගි ජන සන්ධානයේ ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර පසුගියදා රුසියාවේ මොස්කව් නුවර කි.මී. 800ක් ඈතින් පිහිටි ශාස්ත පීටර්ස්බර්ග් නුවර හමුදා රෝහලකට ගොස් යුද්ධයෙන් තුවාල වූ ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කළහ. රුසියන් යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව කළ සොයා බැලීමේදී ලාංකික සොල්දාදුවන් 5ක් අතුරුදන් වී හෝ මියගොස් ඇති බවත් 70කට ආසන්න පිරිසක් නිවෙස් සමග සම්බන්ධතා නොපවත්වන බවත් මන්ත්‍රී කණ්ඩායමට දැනගැනීමට ලැබිණ. දැනට තිබෙන කටකථාවලට අනුව විවිධ කයිවාරුකාරයන් කියන්නේ ලාංකික සොල්දාදුවන් 20ක් හෝ 30ක් මියගොස් ඇති බවය. මේ නිසා රුසියාවට ගිය දහසක් පමණ වූ ලාංකික සොල්දාදුවන්ගේ පවුල් විශාල වශයෙන් දුකට පත්වූහ. එහෙත් මියගිය පිරිස 5ක් පමණකැයි දැනගැනීමට ලැබීමෙන් කයිවාරුකාරයන්ගේ කටකතාවල විභවය නැති විය. සාමාන්‍යයෙන් දැන ගැනීමට ඇති පරිදි රුසියන් යුක්රේන් යුද්ධයට මෙරටින් ගිය සොල්දාදුවන් සියලුම දෙනාගේ දුරකථන ඔවුන් සිටින යුද කඳවුරුවල ප්‍රධානීන් විසින් අත්පත් කරගෙන තිබේ. එයට අනුමාන වශයෙන් ගත හැකි හේතු දෙකක් ඇත. ඉන් පළමුවැන්න නම් සතුරු ප්‍රදේශයේ ජංගම දුරකථනයක් ක්‍රියාත්මක වූ සැණින් එය හඳුනාගෙන අදාළ දුරකථනය තිබෙන තැනට ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීමය. දෙවැනි කාරණය වන්නේ දුරකථන ක්‍රියාත්මක කර කඳවුරුවල අඩුපාඩු ලංකාවට දැන්වීමට සොල්දාදුවන් කටයුතු කිරීම ය. සාමාන්‍යයෙන් දැනගැනීමට ඇති පරිදි රුසියානු යුද පෙරමුණ මෙලෝ අපායකි. ඒ අපාය රුසියානුවන්ට පුරුදු ය. දවසකට සුප් එකක් පමණක් බී කිසිදු ආහාරයක් නොගෙන සටන් කිරීමට ඔවුනට පුළුවන. එමතු ද නොව -25 හෝ -30 වැනි ඉතාම අඩු අංශකයක උෂ්ණත්වයක් යටතේ සටන් කිරීමට ද ඔවුන්ට පුළුවන. ශරීර ප්‍රමාණය අතින් ගත් කල ඔව්හු අපේ සොල්දාදුවන් මෙන් දෙගුණයක් විශාල වෙති. ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල සම ශීතෝෂ්ණ දේශගුණය යටතේ සටන් කළ ප්‍රභාකරන් සමග යුද්ධ කළ අපේ සොල්දාදුවන්ට රුසියාවේදී යුද්ධ කරන්නට වීම දුෂ්කර ක්‍රියාවකි. අනෙක, රුසියාව සහ යුක්රේනය අතර කෙරෙන යුද්ධය තනිකරම අධිතාක්‍ෂණික යුද්ධයකි. මේ යුද්ධයේදී කාලතුවක්කු සහ සාමාන්‍ය තුවක්කු භාවිතය ඉතාම අඩුය. ඒ වෙනුවට අධිබලැති කුඩා ප්‍රමාණයේ මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය සවිකරන ලද ඩ්‍රෝන මේ යුද්ධයට යොදාගනු ලැබේ. අපේ අයට මේ ආයුධ වර්ග දෙකම පුරුදු නැත. ඒ නිසා ලැබෙන පළමුවන අවස්ථාවේදීම තමන් සිටින අපායේ තත්ත්වය ගෙවල්වලට දන්වා තමන් බේරා ගන්නා ලෙස හඬාවැටීමට රුසියාවේ සිටින යාන්ත්‍රික සොල්දාදුවන්ට සිදුව තිබේ.

රුසියන් යුක්රේන් යුද්ධයට ලාංකිකයන් ගෙන යන ලද්දේ කුලී සොල්දාදුවන් ලෙසය. මේ යුද්ධයට සහභාගි වන අයට මාසයකට රුපියල් හත් ලක්‍ෂයක පඩි ගෙවන බවත්, පුරවැසිකම දෙන බවත්, සොල්දාදුවාගේ බිරිඳ සහ දරුවන් රුසියාවට ගෙන්වාගෙන ඔවුන්ට මුලින් නේවාසික වීසා බලපත්‍රත් පසුව පුරවැසිභාවයත් දෙන බව ඒජන්සිකාරයෝ ලංකාව පුරා ප්‍රචාරය කළහ. ලංකාවෙන් ගිය කුලී හේවායන් කිසිවකු රුසියන් හමුදාවට කෙළින්ම බඳවා නොගනී. ඒ වෙනුවට ඔවුන් භාරදෙන ලද්දේ මෑන්පවර් කොම්පැණියකටය. රුසියන් ආණ්ඩුව සහ මෑන්පවර් කොම්පැණිය අතර තිබෙන ගිවිසුමට අනුව ලාංකික සොල්දාදුවන්ගේ පඩිය සම්පූර්ණයෙන්ම යන්නේ මෑන්පවර් කොම්පැණියටය. එම කොම්පැණිය එම වැටුප්වලින් ගාණක් කපාගෙන ඉතිරිය ලාංකික සොල්දාදුවාට දීමට නියමිතය. එහෙත් මෙවැනි යුදධයකදී කුලී සොල්දාදුවන් බහුල වශයෙන් මියයන බැවින් මෑන්පවර් කොම්පැණිය ලාංකික සොල්දාදුවන්ට පඩි ගෙවීමෙන් වැළකී එම මුදල් තමන් සන්තකයෙහි තබාගෙන ඇත. යුක්රේන යුද පෙරමුණේ තත්ත්වය මීට වඩා වෙනස්ය. එම පෙරමුණේ සිටින සෙබළුන්ට රිසි පරිදි වැටුප් සහ වෙනත් පහසුකම් ලැබේ. ලෝකයේ කිසිදු රටක යුද පෙරමුණකදී කුලී සොල්දාදුවකු මළ විට ඔහුගේ දේහය ආපසු කඳවුරට ගෙන එනු නොලැබේ. එය එතැනම දමා ඒම සිරිතය. ඉන්දියාවේ කුලී සොල්දාදුවන් රැසක් ද රුසියන් යුක්රේන් යුද්ධයට සම්බන්ධ වූහ. එහෙත් අගමැති නරේන්ද්‍ර මෝදි ගුවන් යානා කිහිපයක් යවා ඒ සියලුම දෙනා ආපසු කැඳවා ගත්හ. රුසියන් හමුදාව යටතේ සිටින කුලී සොල්දාදුවන් අඩුම වශයෙන් අවුරුද්දක්වත් සේවය කළ යුතු බවත් ඔවුන් මුදාහරින්නේ ඉන් පසුව බවත් කියනු ලැබේ. එය සැබෑවක් නම් ඉන්දියාවට ද එම නීතිය අදාළ විය යුතුය. නිසි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කළොත් දැනට රුසියාවේ සිටින අපේ සොල්දාදුවන් සියලුම දෙනා ආපසු ගෙන්වා ගැනීමට හැකි බව අපගේ විශ්වාසය වේ. මේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කිරීමට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට බලයක් නැත. එය ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කළ යුත්තකි. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා රුසියාවට ගිය ගමන අවදානම් ගමනකි. ඔවුන් සටන් බිමක සංචාරය කළේ නම් වෙනම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් හටගැනීමට ඉඩ තිබුණි. මේ සටන් බිමට රතුකුරුස සංවිධානයෙන් ගියත් යුක්රේන හෝ රුසියන් හමුදා දෙකෙන් එකක වෙඩි පහරට ලක්වනවා ඇත. ඉන්පසු රුසියාව කියනු ඇත්තේ යුක්රේන හමුදා මන්ත්‍රීවරුන්ට වෙඩි තබන ලද බවය. තමන් එසේ නොකළ බවත් රුසියන් හමුදා එම වෙඩි තැබීම කළ බවත් යුක්රේන හමුදා එවිට කියනු ඇත. රුසියාවේ යුද්ධය මේ තරමටම පැටලිලි සහගත ස්වරූපයක් ගනිද්දීත් සජබ මන්ත්‍රීවරු රුසියාවට යෑම අප අවතක්සේරු නොකළ යුතුය. ආණ්ඩුවට පෙර විපක්‍ෂය ක්‍රියාත්මක වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment