ආණ්ඩුවෙන් ඉවත් කෙරූ ඇමැතිවරු සහ හවුල්කාර පක්ෂ රැසක් සමගින් අලුත් බලවේගයක් එයි

362

ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයන්ගෙන් ඉවත් කරන ලද විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක සහ සංවිධාන රැසකගේ එකමුතුවෙන් නව දේශපේ‍්‍රමී දේශපාලන බලවේගයක් ගොඩනැගීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි.

රජය විවේචනය කිරීමේ චෝදනාව මත ආණ්ඩුවේ බලපෑමට ලක් වූ හවුල්කාර පක්ෂයන්හි නායකයන් මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡුා කරමින් ඇති බවත් ඒ සඳහා දැනටමත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් සඳහන් වෙයි.

මෙම නව දේශපාලන බලවේගය සඳහා ඉහත කී හවුල්කාර පක්ෂ 11ට අමතරව ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් කිහිපදෙනකුගේ සහ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුගේ සහය හිමිවීමට නියමිත බව කියැවෙයි.

මේ පිළිබඳව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගෙන රට නිවැරදි දිශානතිය වෙත ගෙන යෑම සඳහා නව බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කිරීමට සූදානම් බවත් ය.

එවැනි බලවේගයක් ගොඩ නැඟුවහොත් ආණ්ඩුවේ සිටින දේශීය සම්පත් විකිණීමට එරෙහි, වැරදි ආර්ථික කළමනාකරණයට එරෙහි සහ මහජනතාව පීඩාවට පත් කිරීමට එරෙහි බොහෝ පිරිසකගේ සහාය හිමි වනු ඇති බවත් හෙතෙම කීවේය.

ආණ්ඩුවේ බලපෑමට නතුව සිටින මන්ත‍්‍රීවරුන් ගණනාවක් නව සන්ධානයක් වටා එකතු වීමේ අවශ්‍යතාව මතු කර ඇතැයි හවුල්කාර දේශපාලන පක්ෂයක ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ද දිවයින ඉරිදා සංග‍්‍රහයට කීවේය.

මෙම බලවේගය සමග හවුල්කාර පක්ෂ ඇතුළු දේශපාලන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, දේශපේ‍්‍රමී සංවිධාන ඇතුළු සෑම අංශයක් නියෝජනය කරමින් සංවිධාන සහ පිරිස් එකතු වනු ඇති බවත් ඉහත ප‍්‍රකාශකයා පැවසීය.

නව බලවේගය පිළිබඳ විශේෂ කරුණු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment