ආණ්ඩුවේ කාබනික පොහොර මෙහෙයුම ජනතා අධිකරණයට

138

වසවිස නැති පොහොර

යෙදූ වගාවේ ප‍්‍රායෝගික නිදර්ශණ

කාබනික පොහොර යොදන්න බෑ කියන්නේ බොරුවක්

පරිසර හිතකාමී ගොවිතැනට ජනතාව හුරුකරවීමේ වැඩපිළිවෙළකට රජය යොමුව තිබීම නිසා අප රටේ කෘෂිකර්මාන්තයට එල්ලවී ඇති තර්ජන බොහෝ යැයි නැඟෙන උස් මැසිවිලි ගොවි බිම්වලින් මෑත කාලයේ නොඅඩුව ඇසේ. විශේෂයෙන්ම වී සහ එළවළු බෝග ආදිය රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයෙන් තොරව වගාකර සාර්ථක ඉහළ අස්වැන්නක් ලැබිය නොහැකි බවට ඇසෙන විලාපය එහිදී මූලිකය. රසායනික පොහොර නැතිනම් තමන් ගොවිතැන් අත්හැර දමන බවට ගොවීහු කියති. එම ප‍්‍රකාශය පසුගිය කාලයේ රටේ තැන තැන පැවැති ඇතැම් ගොවි උද්ඝෝෂණවල ප‍්‍රබල සටන් පාඨයක් ලෙස කියනු අසන්නට ලැබුණු බව බොහෝ දෙනාගේ මතකයේ තිබෙනු නිසැකය. පොලොන්නරුව, අනුරාධපුර ඇතුළු රජරට පළාතේ මෙන්ම සෙසු ප‍්‍රදේශවලද වී වගාකරන ගොවීහු මෙවර මාස් කන්නයේ තම කුඹුරුවලින් ලැබෙන අස්වැන්න හරි අඩකින් එනම් සියයට පණහකින් පමණ අඩුවනු ඇතැයිද මේ වන විට අනුමාන කර තිබේ. මේ අන්දමට රටේ සෑම ප‍්‍රදේශයකම පාහේ ගොවීන් කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර ඉල්ලා රජයට කෙරෙන බලපෑම් තුළ පෙනීයන ප‍්‍රධාන කාරණයක් වනුයේ වසවිස නැති ගොවිතැනට අප රටේ ජනතාව තවමත් එතරම් නැඹුරුවක් නොමැති බවය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගොවීන් තුළ කිසියම් උනන්දුවක් තිබෙන බවක් පෙනෙන්ට නැත. එසේ වුවද රසායනික පොහොර, කෘෂි රසායන ආදියෙන් තොරව කාබනික ගොවිතැනට යොමුව, නිහඬව එහි අගය විඳින පිරිස්ද රට තුළ නැතුවා නොවේ.

අපගේ මෙම සටහනෙහි කථා නායකවරුන් වන සිරිල් කුරේ සහ බර්ටි හුලංගමුව යන ගොවි මහත්වරුන් සියවස් තුන්කාලකට වඩා පැරණි පොලොන්නරුවේ මහ ගොවි ජනපද ව්‍යාපාර නියෝජනය කරන දෙවන පරම්පරාවට අයත් ගොවීහු වෙති. වී ගොවිතැන සිය මූලික ජීවනෝපාය කරගත් ඔවුහු මේ වනවිට සිය ගොවි බිම්වල මහපොළොව සමඟ ගැටෙමින් ගතසවි දියකරමින් සිටිනුයේ දිගු කලෙක පටන් බව කීහ. මෑතක සිට රජය මූලිකවී හඳුන්වාදෙන කාබනික පොහොර භාවිත ගොවිතැන තමන්ට ආගන්තුක නමුදු එය මේ මහපොළොවේ පණගැන්විය නොහැකි අරුම පුදුම වගා ක‍්‍රමවේදයක් නොවේ යැයි ඔවුහු පවසති. දෑස් අබිමුව එය තහවුරුවනුයේ කාබනික පොහොරින් පෝෂණය ලැබ සරුවට වැඞී තිබෙන කරල් බර කෙත් යායයි.

ජන සමාජය තුළ කාබනික ගොවිතැනට වඩා කාබනික නොවන රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතය කෙරෙහි වැඩි නැඹුරුවක් මෙන්ම ඉල්ලූමක් වර්තමානයේ පවතින බව නොරහසකි. එහෙත් වසවිස නැති කාබනික ගොවිතැන තුළින්ද විපුල ඵල ලැබිය හැකි බවට කෙරෙන කතා බහටද කිසියම් ඉඩක් වෙන්කර දෙන්නට අපි අදහස් කළේ එය ගොවීන් දෙදෙනකුට සීමාවන කතාවක් පමණක් නොව සමස්ත සමාජය වෙත දිගහැරෙන ප‍්‍රබල පණිවුඩයක් නිසාවෙනි.

ආණ්ඩුවේ කාබනික පොහොර මෙහෙයුම ජනතා අධිකරණයට

ගිරිතලේ මහ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් ජයන්තිපුර කුඹුරු යායේදී අපට මුණගැසුණු සිරිල් කුරේ මහතා දශක හතරකට වැඩි කාලයක් වී වගාවේ නිරතව සිටින අත්දැකීම් බහුල ගොවි නායකයෙකි. සිය පියාට රජයෙන් ලැබුණු කුඹුරු ඉඩමේ අක්කර 03ක් පමණ වන ප‍්‍රමාණයෙක යල මහ දෙකන්නයේ වී වගාකටයුතු කරන බව අප සමඟ පැවැසීය. මූලික අදායම් මාර්ගය වන එම වී ගොවිතැනට අමතරව කිරි දෙනුන් 06 දෙනකුගෙන් පමණ යුත් ගොවිපළෙන් තමන් අමතරව ආදායමක් උපයන බවද සිරිල් මහතා කීවේය.

මෙතෙක් කාලයක් වී ගොවිතැන සඳහා භාවිත කළේ තමන්ට හුරුපුරුදු රසායනික පොහොර සහ කෘෂි රසායන බව පවසන ඒ මහතා ප‍්‍රථම වතාවට මෙවර මාස් කන්නයේ තම වගාබිමෙන් හරි අඩක් එනම් අක්කර එක හමාරක ප‍්‍රමාණයෙක සම්පූර්ණයෙන්ම කාබනික පොහොර පමණක් යොදා වී වගාකළ බව කීය. ඉතිරි අක්කර එකහමාරේ වී වගාවට කාබනික පොහොර මෙන්ම රසායනික පොහොරද යෙදූ බව හෙතෙම පැවැසීය. රසායනික පොහොරද මුසුකර කළ වගාව පරයා දැන් කාබනික පොහොර යෙදූ ගොයම සරුවට වැඞී තිබෙන අයුරු අපට පෙන්වීය. පෙර කන්නවලදී මෙන් නොව අඩු වියදමක් දරා මෙවර තමන් ගොවිබිම ජයගත් අන්දම සිරිල් ගොවි මහතා පවසන්නේ ඉමහත් සතුටිනි.

‘‘අපිට අපේ දෙමව්පියන්ගෙන් උරුම වුණු දායාදය තමයි මේ ගොවිතැන. පොඩි කාලේ ඉඳලම කැත්ත, උදැල්ල, නඟුල අපේ දෑතට හොඳට හුරුයි. ඒ අයට පිං සිද්ධ වෙන්න කිසිම කෙනකුට අත නොපා තුන්වේල බත්කාලා නිදහසේ ඉන්නවා. ගේ දොර හදාගෙන දරු මල්ලෝ පෝෂණය කළේ මේ කුඹුරු ගොවිතැන් කරලා ඒ ලැබුණු ආදායමෙන්. මම මගේ තාත්තට රජයෙන් ලැබුණු කුඹුරු ඉඩම තමයි වගා කරන්නේ. දැනට අවුරුදු 40කට වැඩි කාලයක් මම මේ යායේ ගොවියෙක්. අවුරුදු දහයකට ආසන්න කාලයක් මම මේ කොටසේ ගොවි සංවිධානයේ සභාපතිවරයා හැටියටත් කටයුතු කළා. දැන් ඒ වගකීම්වලින් නිදහස් වෙලා ඉන්නේ. මේ කන්නේ කුඹුරෙන් භාගයක් වී වගා කළේ කාබනික පොහොර විතරක් යොදලා. ඉතිරි භාගය කාබනික පොහොර සහ රසායනික පොහොර දෙවර්ගයම යෙදුවා. මීට කලින් මම කවදාවත් රසායනික පොහොර හැර වෙනත් පොහොර යොදලා වී වගා කරලා නෑ. නමුත් රජයෙන් කියලා තිබුණා මින් ඉදිරියට රසායනික පොහොර ගෙන්වන්නේ නෑ කියලා. එහෙම වුණා කියලා වී ගොවිතැන අත් හරින්න බැහැනේ. ඒ නිසා මම තීරණය කළා කාබනික පොහොර යොදලා ගොවිතැන කරනවා කියලා. හැබැයි මම ආණ්ඩුවෙන් දීපු දියර පොහොර යෙදුවේ නෑ. පොටෑෂ් විතරක් යෙදුවේ. ඒකත් මගේ කාබනික පොහොරවලට කලවම් කරලා. ඒ හැර වෙනත් කිසිම පොහොරක් භාවිතා කළේ නෑ. මම නිෂ්පාදනය කරපු කාබනික පොහොර විතරමයි යෙදුවේ. හැබැයි එකම එක වතාවක් වල් නාශක යෙදුවා. වී වපුරලා ඉවර වෙලා වල් ඇට පැළවීම වළක්වන්න කුඹුරට යොදන වල් නාශක ගැහුවා. එච්චරමයි. ඊට පස්සේ මුර දෙකක් කාබනික පොහොර ගැහුවා. ඒවා මම කලින් කීවා වගේ මම නිෂ්පාදනය කළ කාබනික පොහොර තමා මම කුඹුරට යෙදුවේ. ඒ පොහොර නිපදවා ගැනීම සඳහා වුවමනා අමුද්‍රව්‍ය සෑම එකක්ම මගේ ළඟ තිබෙනවා. මගේ ළඟ දැනට කිරි එළදෙනුන් හය දෙනෙක් ඉන්නවා. ඒ සතුන් ඇතිකරන ගවගාල ඉදිකරලා තිබෙන්නේ මගේ කුඹුරෙමයි. ඒ ගවයින්ගෙන් ලැබෙන ගොම, ගව මූත‍්‍රා සියල්ලක්ම මම එකතුකර ගන්නවා. ගිනිසීරියා අතු, පිදුරු ඒ ආදිය මට මගේ කුඹුර අවට පරිසරයේ අවශ්‍ය තරම් තියෙනවා. ඒ නිසා ඉතාම පහසුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව මට තිබෙනවා. මේ කන්නයේ මගේ වගාවට යොදල අතිරික්ත ප‍්‍රමාණයකුත් දැනට මා සතුව තියෙනවා. ඊට අමතරව මම තවදුරත් කාබනික පොහොර නිපදවමින් ඉන්නවා. ඒ මොකද මගේ බලාපොරොත්තුව ඉදිරි කන්නයේ මුළු කුඹුරම කාබනික පොහොර පමණක් යොදලා වගා කරන්න. මම කලින් කිව්වා මගේ කුඹුරෙන් භාගයක් පමණයි මම කාබනික පොහොර යොදලා වගා කළේ කියලා. මොකද මට මුලදී පොඩි බයක් ඇති වුණා වගාව අසාර්ථක වෙයිද කියලා. නමුත් දැන් ඒ බය නැතුව ගියා මට ඉතාම වගකීමකින් කියන්න පුළුවන් කාබනික පොහොර විතරක් යොදල කරපු වගාව ඉතාම සාර්ථකයි කියලා. ගොඩක් දෙනෙක් තුළ තියෙන්නේ මේ ගැන විශාල සැකයක් බයක්. ඒ වගේම ඒක සාධාරණයි. මොකද මේ අපේ ප‍්‍රධාන ආදායම් මාර්ගය, ජීවනෝපාය. මේ තුළ තමයි අපේ සියල්ලම රඳාපවතින්නේ. සෑම දෙයක්ම රැකිලා තියන්නේ. ඉතින් මේ වතාවේ මගේ කුඹුර සීයට සීයක්ම සාර්ථකයි කියලා කිව්වොත් නිවැරදියි. මට ලොකු විශ්වාසයක් තිබෙනවා පසුගිය කන්නයේ මම ගත්තු වී අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් මේ වතාවේ මට ලැබේවි කියලා. මොකද දැන් මගේ වගාවේ ගොයම් කරල් පීදිලා ඉවරයි. කිරට නැමෙමින් තියෙන්නේ. ඒ වී කරල් වෙනදාට වඩා බරයි. ඒ නිසයි මම එහෙම කියන්නේ. සමහරු මට කීවා කාබනික වගාව නිසා කුඹුර පාලූයි කියලා මාධ්‍යවලට කිව්වොත් රජයෙන් දෙන වන්දි මුදල් එහෙම ඉදිරි කාලයේදී ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මගේ හෘද සාක්‍ෂියට එකඟව මට බොරු කියන්න බෑ. අත්දැකීම් තියෙන ගොවියෙක් විදියට මට කියන්න තියෙන්නේ මේ කන්නේ වී වගාව ඉතාම සාර්ථකයි. කාබනික පොහොර යෙදුවා කියලා මගේ වගාවේ කිසිම අසාර්ථක බවක් පේන්න නෑ. මේ වතාවේ මේ කුඹුරු යායේ ගොවීන් වැඩි දෙනෙක් තමන්ගේ කුඹුරු කලට වේලාවට වගා කළේ නෑ. මේ පොහොර ප‍්‍රශ්නය හේතුවෙන්. සමහර අය වැවෙන් වතුර නිකුත් කරලා මාසෙකට වැඩිය හිටියා කුඹුරු වැඩ පටන් ගන්නේ නැතිව. නමුත් මම කලට වෙලාවට වගා කළා. මේ වතාවේ කෘමිහානි ආදියත් අඩුයි. ඒ වගේම වී වගාවේ වල් මර්දනයත් සිදු වෙලා තියෙනවා. අපි වෙනදා වී වපුරන්න කලින් කුඹුරට මූලික පොහොර ඒ කියන්නේ මඩට පොහොර යොදනවා. ඒක වල් පැළෑටි බෝවෙන්න ලොකු රුකුලක් කියලයි මට හිතෙන්නේ. මේ වතාවේ මඩ පොහොර යෙදුවේ නැති නිසා වල් පැළෑටි බෝවීම අඩුවෙන්න ඇති කියලා හිතනවා. අනෙක් කාරණය තමයි මේ කාබනික පොහොර භාවිතයට ගොවීන් වැඩි දෙනෙක් උනන්දු නොවෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලූව. අනෙක මේ සම්බන්‍ධයෙන් කැපවීමක් කරන්න තියෙන මැලිකම. විශේෂයෙන්ම කියන්න ඕන දැන් ඉන්න පරම්පරාවේ තරුණ පිරිස ගොවිතැන වෙනුවෙන් අපි කරන කැප කිරීම කරන්නේ නෑ. අඩුම තරමින් කුඹුරේ වැඩි කාලයක් ගත කරන්නවත් කැමති නෑ. ඒ තරම් කම්මැලියි. කම්මැලිකම අත්හැරලා වැඩි කැපවීමක් කළොත් මේ කටයුත්ත කිරීම ඒ තරම් අපහසු නෑ කියන එකයි මගේ විශ්වාසය. අනෙක් කාරණය කිරි හරක් දෙතුන් දෙනෙක් ගෙදරක ඉන්නවා නම් මෙය ඉතාම පහසුයි. එයින් අමතර ආදායමක් ලැබෙනවා වගේම කාබනික පොහොර ටික හදාගන්න අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වැඩි කොටසක් ලැබෙනවා. කිසිම වියදමක් නැතුව.’’

ආණ්ඩුවේ කාබනික පොහොර මෙහෙයුම ජනතා අධිකරණයට

තමන් මෙවර වී වගාව ආරම්භයේ සිට මේ දක්වා පොහාර යෙදීම කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් යැයි සිරිල් මහතා අප සමඟ කීය.

‘‘මම කවදාවත් මගේ කුඹුරේ අස්වැන්න නෙළලා ඉවර වෙලා පිදුරු ගිනි තියන්නේ නෑ. ඒවා කුඹුරේ පොහොර වෙන්න අරිනවා. ඒ නිසා එමගිනුත් පසට පොහොර ප‍්‍රමාණයක් ලැබෙනවා. මේ වතාවේ වී වපුරලා දවස් විස්සකින් පස්සේ තමයි මුලින්ම කාබනික පොහොර යෙදීම කළේ. මුල් අවස්ථාවේ අක්කරයකට පොහොර කිලෝ 1000ක් ඒ කියන්නේ කිලෝ 50 මිටි 20ක් යෙදුවා. දෙවෙනි වතාවේ පොහොර යෙදුවේ දවස් 45කට පස්සේ. දෙවෙනි මුරෙත් එහෙම කලින් වතාවේ වගේම කිලෝ 50 මිටි 20ක් විතර යෙදුවා. දැන් ගොයම පීදිලා අවසානයි. කිරට නැමෙන නිසා පොහොර අවශ්‍ය නෑ.’’

පොලොන්නරුව මහ ගොවිජනපදයට අයත් විජයබාහුපුර ප‍්‍රදේශයේදී අපට මුණගැසුණු බර්ටි

හුලංගමුව මහතාද වසවිස නැති ගොවිතැනට සුවිශේෂී උනන්දුවක් දක්වන අයෙකි.

පරාක‍්‍රම සමුද්‍රයේ දියවරින් පණ ලබන විසල් යායේ පිහිටි අක්කර 03ක වපසරියෙකින් යුත් ඔහුගේ මෙම කුඹුරු ඉඩම අදින් වසර 70කට පමණ පෙර සිය පියාට රජයෙන් ලැබුණු ජනපද ඉඩම බව හුලංගමුව මහතා අප සමඟ කීය.

සිය ගොවි බිමේ වගාවන් රසායනික පොහාර සහ කෘෂි රසායන භාවිතයෙන් තොරව කිරීම සම්බන්‍ධයෙන් හුලංගමුව මහතා අපට පැහැදිලි කළේ මෙසේයි.

‘‘මම මේ අවුරුදු විස්සක පමණ කාලයක ඉඳලා මේ වගා කටයුතු කරන්නේ. ඒ කාල සීමාව තුළ කිසිම වගාවකට කෘමිනාශක යොදලා නෑ. රජය මගින් රසායනික පොහොර ගොවීන්ට නිකුත් කිරීම නතර කරන්න කලිනුත් මම මගේ කුඹුරට රසායනික පොහොර භාවිතා කරලා තියෙන්නේත් ඉතාම අඩුවෙන්. මේ වතාවේ රජයෙන් දුන්නු කාබනික පොහොර භාවිතා කළා. ඊට අමතරව පසුගිය කන්නයේ ඉතිරිවෙලා තිබුණු යූරියා කිලෝ 10ක් 15ක් විතර කුඹුරට යෙදුවා. එපමණයි රසායනික පොහොර දැම්මේ. වී වගාවෙදී ගොඩක් දෙනෙක් මුහුණදෙන ප‍්‍රශ්නයක් තමයි ගොයම සමඟ වැඩෙන වල් පැළෑටි මර්දනය කරන එක. ඒ වගේම කෘමි උවදුරු පාලනය කිරීම. ඒක ලොකු අභියෝගයක්. ඒ සඳහා වල් නාශක, කෘමිනාශක ආදිය යොදන්න ගොවීන් පුරුදුවෙලා ඉන්නවා. මේක තමයි හැම දෙනාම වාගේ කරන්නේ. ආර්ථික බෝගයක් හැටියට වී වගාව කරද්දී එහෙම නොකර බැරි තත්ත්වයක් ඇතිවෙනවා. නැතිනම් වගාවෙන් ලාභයක් ගන්න බැරිවෙනවා. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ මේ රසායනික යෙදීමේ ක‍්‍රියාවලිය හේතුවෙන් පස දූෂණය වෙලා පරිසරයේ වෙසෙන හිතකර කෘමීන් විනාශ වෙලා යනවා. ඒකට හොඳම උදාහරණය තමයි පොලොවේ ගැඩවිලෙක් තරමවත් ඇත්තේ නෑ. පරිසරයේ මී මැස්සෙක්වත් දකින්න නෑ. නමුත් මම ගොවිතැන් කරන්න පටන් ගත්තදා ඉඳලා කවදාවත් වගාවට කෘමිනාශක යොදලා නෑ. ඒ කියන්නේ අවුරුදු 20ක විතර කාලයක පටන්. නමුත් අස්වැන්නේ අඩුවීමක් නෑ. මම අක්කරයකට වී බුසල් 100 ඉක්මවලා අස්වැන්නක් ගන්නවා. ඒ කියන්නේ වී බුසලකින් වී බුසල් 50කට වැඩි ප‍්‍රමාණයක් මම ගන්නවා. මේ වතාවේ කාබනික පොහොර යෙදුවා කියලා වෙනසක් නෑ. ගොයම සරුයි. මම විශ්වාස කරනවා වෙනදා වගේම සාර්ථක අස්වැන්නක් ලැබේවි කියලා. ඒ වගේම මේ වතාවේ වගාවේ වල් පැළෑටි දකින්නට තිබෙන්නේ ඉතාම අඩුවෙන්. කාබනික පොහොර භාවිතයේදී දකින්නට තිබෙන සුවිශේෂී තත්ත්වයක් ඒක. වෙනදා ගොයම් ගසේ පෝෂණයට අවශ්‍ය පොහොර වල් පැළෑටි විසින් උරාගෙන තිබෙන බවයි එයින් පෙන්නුම් කරන්නේ.

තමන් වී වගාවේ අනුගමනය කරනුයේ ගොයම් පැළ විසිරවීම හෙවත් පැරෂුට් ක‍්‍රමය නිසා ගොවීන් විසින් වී වපුරා සිදුකරන ඇට තෙල් වැනි වල් නාශක යෙදීමේ කිසිදු අවශ්‍යතාවක් නොවන බවද හුලංගමුව මහතා අප සමඟ පැවැසීය.

‘‘වී වැපිරීමට වඩා ගොයම් පැළ සිටුවීම මගින් වී වගාවේ වල් මර්දනය ඉතා පහසු වෙනවා. එහිදී ගොයම් පැළ පේළියට සිටුවීමේ ක‍්‍රමය අනුගමනය කළොත් එය වඩාත් පහසුයි. වීඩරයක් මාර්ගයෙන් පේළි අතර වල්පැළ ඉවත් කිරීමට හැකියාව ලැබෙනවා. එසේ නැතත් පැළ සිටුවන වගාවක වල් පැළ ඉතාම අඩුවෙන් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ තිබෙන සීමිත වල් ප‍්‍රමාණය අතින් උදුරා හෝ ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. ගොයම් පැළ සිටුවීමේදී මම දැනට අනුගමනය කරන ක‍්‍රමය තමයි පැරෂුට් වගාව. එය කරන්නේ මුලින්ම ප්ලාස්ටික් බඳුන්වල බීජ වී තවාන්කර දින 10 – 12ක පමණ කාලයකදී ගලවා එම පැළ සිටුවීම. එහෙම නැතිනම් ගොයම් පැළ අතර කිසියම් පරතරයක් තිබෙන ආකාරයට විසුරුවා හැරීම. මෙය දැනට ගොවීන් අතර ඉතාමත් ජනප‍්‍රිය මෙන්ම සාර්ථක වගා ක‍්‍රමයක්. එමගින් ගොවියාට ලැබෙන විශේෂ වාසියක් තමයි වල් මර්දනය පහසුවීම. අනෙක් කාරණය බීජ වී ඉතාමත් අඩු ප‍්‍රමාණයක් යෙදීමෙන් තවාන සකසා ගැනීමට හැකිවීම. සාමාන්‍ය ක‍්‍රමයට වී වැපිරීමේදී වී බුසලක් වගා කරන වපසරියක වැපිරීම සඳහා බීජ වී බුසලක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් පැරෂුට් ක‍්‍රමයේ තවානක් පිළියෙළ කර ගැනීමේදී අවශ්‍ය වන්නේ බීජ වී කිලෝ 8ක් 10ක් වැනි ප‍්‍රමාණයක්. එම නිසා බීජ වී මිලදී ගැනීමට වැයවන මුදල් ප‍්‍රමාණය සෑහෙන්න අඩුකර
ගැනීමට මෙමගින් හැකිවෙනවා. අස්වැන්න නෙළා අවසන් වීමෙන් පසු ඉතිරිවන පිදුරු මම කිසිම දවසක ගිනි තියන්නේ නෑ. ඒවා ඊළඟ කන්නය වනතෙක් කුඹුරේ දිරාපත් වෙන්න ඉඩ හරිනවා. ඊට අමතරව කොළ පෝර වර්ග සහ දහයියා අඟුරු හෙවත් කරදහයියා ආදිය කුඹුරට යොදනවා.’’

එමෙන් වී වගාවේ අස්වනු නෙළීමට ආසන්නයේ කරනු ලබන ඉපනැල්ලේ මුං ඇට වගාවද අමතර ආදායමක් මෙන්ම පසටද විශාල වාසියක් ලැබෙන බව හුලංගමුව මහතා කීය. වී වගාවේ අස්වනු නෙළීමට දින දෙකකට හෝ තුනකට පෙර මුං ඇට බීජ වැපිරීම.

නෙළාගැනීමට හැකියාව ලැබෙන බවත් ඉපනැල්ලේ මුං ඇට වගාව මගින් අමතර ආදායමක් මෙන්ම පසට සුවිශේෂී පෝෂණ ගුණයක් ලැබෙන බවද පෙන්වාදුන් ඒ මහතා ඒ පිළිබඳව අපට පැහැදිලි කළේ මෙසේයි.

ආණ්ඩුවේ කාබනික පොහොර මෙහෙයුම ජනතා අධිකරණයට

‘‘මුං ඇට රනිල කුලේ බෝගයක් නිසා අස්වැන්න නෙළා ගැනීමෙන් පසුව ඉතිරිවන ශාක කොටස් මගින් පසට නයිට‍්‍රජන් විශාල ප‍්‍රමාණයක් එකතුවෙනවා. එය පසට සිදුවන නිහඬ සේවයක්. මම ඉපනැල්ලේ මුං ඇට වගාව මගින් ලැබෙන අදායමට අමතරව බලාපොරොත්තු වන තවත් එක් දෙයක් ඒක. අද අපේ රටේ සෑම දෙයක්ම වගා කරන විට කෘෂි රසායන භාවිත කරනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමටත් සිදුවෙනවා. මේ දිනවල අපට අසන්නට ලැබෙන දෙයක් තමයි රසායනික පොහොර සහ කෘෂි රසායන ගෙන්වීම නතර කිරීම නිසා රටේ ඇතැම් ප‍්‍රදේශවල ගොවි ජනතාවගෙන් මතුවන විරෝධය සහ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය.මේ වනවිට බොහෝ ප‍්‍රදේශවල ගොවීන් උද්ඝෝෂණ පවා කරමින් ඉන්නේ. මට කියන්න තිබෙන්නේ දැන් රජය ප‍්‍රතිපත්තියක් විදියට ඒ යෙදවුම් නොගෙන්වන්න තීරණය කරලා තිබෙනවා. නමුත් මම ඊට කලින් ඒවා ප‍්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. මම ඒවායින් ඉවත්වෙලා දැන් ගොඩක් කල්. වසවිස නැතිව මහ පොළොව සුවපත් කරමින් මේ ගොවිතැන කරන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. යම් අපහසුතා ඇති වුණත් ක‍්‍රමානුකූලව හෝ එතැනට යෑමට ඉදිරි කාලයේදී අපේ රටේ ගොවි ජනතාවට සිදුවේවි.’’

රසායනික පොහොර සහ කෘෂි රසායන වර්ග නොයොදා වී ගොවිතැන ජයගත නොහැකි බවට අප රටේ ගොවි ජනතාව වෙතින් ප‍්‍රබල හඬක් නැඟෙමින් තිබෙන බව නොරහසකි. එසේ වුවද කාබනික පොහොර යොදා කරන වගාවන් මගින් සාර්ථක ප‍්‍රතිඵල අත්විඳිය හැකිය යන්න මේ ගොවීන් දෙපළ කදිමට ඔප්පුකර තිබේ. එය පුලතිසි බිමෙන් රටටම සැපයෙන අගනා පණිවුඩයක් වනු නොඅනුමානය.

අප රටේ බොහෝ ගොවීන්ට ගුණාත්මක බවින් යුත් කාබනික පොහොර අවශ්‍ය තරම් නිෂ්පාදනය කර ගැනීමට හෝ සපයා ගැනීමට ඇති ඉඩකඩ සීමිත බව අපටද පසක්වූ කාරණයෙකි. එමෙන්ම කාබනික පොහොර භාවිතය සඳහා ගොවීන් නැඹුරු කර ගැනීමට තිබෙන ප‍්‍රධාන බාධකයක් ලෙසට එය හැඳින්වීමද නිවැරදිය. එම නිසා ඒ ගැටලූ මැනැවින් හඳුනාගෙන ඊට නිසි පිළියම් යෙදීම තුළ අභියෝග ජයගැනීම එතරම් අසීරු නොවනු ඇතිය යන්න අපගේද අදහසය. එමෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ වසවිස යෙදීම නිසා මේ වනවිට අපේ මහපොළොවට අත්ව තිබෙන ඉරණම කිසිසේත්ම යහපත් මට්ටමක නොවන බව පෙන්වාදෙන මෙම සටහනෙහි කථා නායකයන් දෙපළ ඊට පිලියම් යෙදීමේ සුවිශාල වගකීමක් සමාජය හමුවේ තිබෙන බවටද ගෙනහැර දක්වති. අද වනවිට රසායනික පොහොර මත පමණක්ම අප රටේ ගොවිබිම යැපෙන මට්ටම පත්ව තිබීම නිසා මරණ මංචකයට ළංව නැවත ජීවය ඉල්ලා හඬන එම පස නැවත සුවපත් කිරීමේ කාරියද අප වෙතම පැවැරී තිබෙන බවට ඔවුහු අවධාරණය කරන කාරණය කිසිවකුට වුවද නොසළකා හැරිය නොහැකි බව විවාදයකින් තොරය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment