ආණ්ඩුවේ ඩොලර් හීන හා පොදුජන ප‍්‍රාර්ථනා

660

විදෙස් විනිමය ගන්න මහ බැංකු සමඟ කතා

ණය ගෙවීම් පමාකර ගන්න රජයන් සමඟ කතා

පසුගිය කාලයේ අප වැඩි වශයෙන්ම කතා කළ ප‍්‍රධාන මාතෘකාවක් වූයේ විදේශ විනිමය අර්බුදයයි. ඉතාම සරලව කියන්නේ නම් රටක් ලෙස අප මුහුණ දී සිටින ඩොලර් ප‍්‍රශ්නය ගැනයි. මේ ප‍්‍රශ්නය අපට වඩාත් බරපතල වී ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඩොලර් ආදායම් සීමිත වීම නිසාම නොව ඒ සමගම විශාල ණය වගකීම් පියවීමට ද සිදුව තිබීම නිසාය. කොරෝනා වසංගතයෙන් අපට වැඩිම බලපෑම් එල්ල වූයේ අපේ සංචාරක කර්මාන්තයටයි. ඒ නිසා ඩොලර් බිලියන 4 කට අධික සංචාරක ආදායම් ද අහිමි වී තිබෙන තත්ත්වය හමුවේ අපේ ඩොලර් ප‍්‍රශ්නය වඩාත් තීව‍්‍ර වී තිබේ. කොරෝනා වසංගතයෙන් සෑම රටක්ම අඩු වැඩි වශයෙන් බලපෑමට ලක් වුවත් අපට එම බලපෑමට වැඩියෙන් මුහුණ දීමට සිදුව ඇත්තේ කොරෝනාව නිසාම නොවේ. එම රටවල්වලට සාපේක්ෂව අපට ඇති විදේශ සංචිත තත්ත්වය ඉතා දුර්වල වීම නිසාය. බංගලාදේශය වැනි රටවල්වලට අපට විදේශ විනිමය සැපයීමට හැකි වී ඇත්තේ ද ඔවුන් විදේශ සංචිත ශක්තිමත් මට්ටමක පවත්වා ගැනීම නිසාය. අපට කොරෝනාවට පෙර සිටම විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබුණි. අපනයන කරන වටිනාකම මෙන් දෙගුණයක ආනයන වියදමක් පැවති නිසා ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක පමණ ඉහළ වෙළෙඳ හිඟයක් ද තිබුණි. පසුගිය යහපාලන රජය හෝ ඊට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය හෝ මේ තත්ත්වයන්ට නිසි පිළියම් යෙදුවේ නැත. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සිදුව ඇත්තේ තිබුණ සංචාරක ආදායමත් අහිමි වී ගිය තත්ත්වය හමුවේ අධික ණය වගකීම් ද පියවීමට සිදුව තිබීමෙන් අපගේ විදේශ විනිමය හිඟය උග‍්‍ර වීමයි.

මේ ඩොලර් ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ ගැන අප පසුගිය කාලය පුරා බොහෝ කතා සාකච්ජා කර ඇත. දැන් අවශ්‍ය වන්නේ මේ ප‍්‍රශ්නය විසඳා ගැනීමයි. අනෙකුත් ප‍්‍රශ්න කවර ලෙස කළමනාකරණය කරගත්ත ද විශේෂයෙන් අපගේ ණය වගකීම් නිසි කලට වේලාවට පියවීමට නොහැකි වුවහොත් සිදු විය හැකි රට බංකොළොත් වීමේ අවදානමක් ගැන ද බොහෝ ආර්ථික විද්වතුන් අනතුරු අඟවා තිබේ. මේ නිසාම බොහෝ ආර්ථික විද්වතුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට රජය යෝජනා කර තිබේ. එහෙත් මේ වෙන තෙක් රජය හෝ ශ‍්‍රී ලංකා මහ බැංකුව ඒ සඳහා යොමුව නැත. ඒ වෙනුවට විශේෂයෙන් මහ බැංකුව යොමුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා මේ ණය වගකීම් පියවීමේ අභියෝගය ජයගැනීමට සහ ඩොලර් ප‍්‍රශ්නයට මුහුණ දීමටය. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ශ‍්‍රී ලංකා මහ බැංකුවට අලූතින් පත් වූ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් විසින් සය මාසික ප‍්‍රතිපත්ති මාලාවක් ද රටට ඉදිරිපත් කළේය. එමගින් අනුගමනය කිරීමට අපේක්ෂා කරන මූලික ක‍්‍රියාමාර්ග ගණනාවක් ප‍්‍රකාශයට පත් කළ අතර එහි විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳා ගැනීමේ පියවර ගණනාවක් ද අන්තර්ගත විය. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළ එම මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම මගින්, ඒ අවස්ථාවේ වෙළෙඳපොළ පාර්ශවයන් තුළ පැවති අවිනිශ්චිත බව දුරු වී කිසියම් විශ්වාසයක් ගොඩ නැගීමට සමත් විය. දැන් මේ වන විට එම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක වී මසක පමණ කාලයක් ගතව තිබේ. එසේ නම් මේ වන විට අපට මේ ප‍්‍රශ්නය සමනය කර ගැනීමට හැකිව තිබේ ද යන්න සලකා බැලිය යුතුව තිබේ.

පසුගිය ඔක්තෝබර් මස මහ බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන් වූයේ ආර්ථිකයට විදේශ ආයෝජන ළඟා කර ගැනීම සහ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම තුළින් දක්වා ඇති පරිදි මහ බැංකුව විසින් කාලෝචිත පිළියම් යෙදීම මගින් දේශීය විදේශීය වෙළෙඳපොළ තුළ ඇති පීඩනය ක‍්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බවයි. සමස්ත තත්ත්වය ගැන මහ බැංකුව එසේ කීවත් වෙළෙඳපොළ පාර්ශ්වකරුවන් නම් පවසන්නේ විදේශ විනිමය පීඩනය එලෙසම පවතින බවයි. මහ බැංකුව මැදිහත් වී ඉන්ධන ආනයනයට සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට විදේශ විනිමය සපයා දුන්නත් තවමත් බැංකුවල ඩොලර් හිඟය එලෙසම තිබේ. ආනයනකරුවන්ට ණයවර ලිපි විවෘත කර ගැනීමට තවමත් අපහසුය. අපනයනවලට යෙදවුම් ලෙස යොදාගන්නා බොහෝ ආනයන තිබේ. ඒ අයට ද ණයවර ලිපි විවෘත කිරීමේ ප‍්‍රශ්නවලට එලෙසම මුහුණ දීමට සිදුවෙමින් තිබේ. ඒ තත්ත්වය අපනයනවලට ද බලපාන බව රහසක් නොවේ. කෙසේ වෙතත් මේ ගැන ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි සඳහන් වූයේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්මෙහි ප‍්‍රකාශයට පත් කළ පරිදි, විදේශ විනිමය ලැබීම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව සහ රජය ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුව පහත සඳහන් තොරතුරු ආයෝජකයින් සහ සාමාන්‍ය ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. එහි සඳහන් වන පරිදි ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් වෙනත් රජයන්, මහ බැංකු, මූල්‍ය ආයතන සහ ආයෝජකයින් සමඟ සෘජු සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. ඒ අන් කිසිවකටත් නොව රටේ උග‍්‍ර විදේශ විනිමය ප‍්‍රශ්නය සමනය කර ගැනීම සඳහා නොයෙකුත් ආකාරයෙන් රටට විදේශ විනිමය සපයා ගැනීමට සහ ණය පියවීම් පමා කර ගැනීමට විය යුතුය. මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගිය දා කටාරයට ගොස් කටාර් මහ බැංකුවේ අධිපති ශෙයික් අබ්දුල්ලා බින් සෞද් අල් තානි මහතා සමඟ සාකච්ඡා කළේ ය. දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහ කටාර් මහ බැංකුවේ සහයෝගීතාව සහ ආර්ථීකය කෙරෙහි කොවිඞ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවට මහ බැංකුව මේ හමුව ගැන නිල වශයෙන් කියා සිටියේය. එහෙත් අප දන්නා පරිදි මෙහිදී තවත් ස්වැප් එකක් එනම් විදේශ විනිමය හුවමාරු පහසුකමක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කළා විය හැකිය. 2021.10.26 දින මහ බැංකුව නිකුත් කළ එම මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් විය.

‘අසල්වැසි මහ බැංකු සමඟ විදේශ විනිමය හුවමාරු පහසුකම්වලට අදාළ ගිවිසුම් කඩිනම් කිරීම සඳහා ද සාකච්ඡා පැවැත්වේ. විශේෂයෙන්ම, ඉන්දියානු සංචිත බැංකුව, චීන මහජන බැංකුව සහ මැදපෙරදිග මහ බැංකු කිහිපයක් සමඟ සාකච්ඡා කරමින් පවතී.’

වෙනත් රටවල මහ බැංකුවලින් අපට සපයා ගත හැක්කේ ස්වැප් පහසුකම්ය. ඒ නිසා බොහෝ දුරට වෙනත් මහ බැංකු සමග මේ මොහොතේ අප සාකච්ඡා කරන්නේ මේ ස්වැප් පහසුකම් මගින් විදේශ විනිමය සපයා ගැනීමට විය හැකිය. මේවා වෙනත් වචනයකින් කියනවා නම් කෙටි කලකට විදේශ විනිමයෙන් ගන්නා අතමාරුවන්ය. ඒවා කෙටි කලකින්ම අප ලබාගත් අනුපාතයට වැඩි අනුපාතයකට නැවත එම රටට විදේශ විනිමයෙන්ම පියවීමට සිදු වේ. මේ මොහොතේ පවතින විනිමය පීඩනය තාවකාලිකව සමනය කර ගැනීමට මෙවැනි අතමාරු ඉවහල් වේ. උදාහරණයක් ලෙස අපට ණයක් ගෙවීමට අතේ මුදල් නැත්නම් හිතවතෙකුගෙන් අතමාරුවක් ගත හැකිය. එහෙත් ඒ අතමාරුව කෙටි කලකින්ම නැවත ඔහුට පියවීමට අපට සිදුවේ. ඒ සඳහා අපට ඉතා ඉක්මනින් මුදල් සොයාගැනීමට සිදුවන බව පැහැදිලිය. ස්වැප් පහසුකම් ද මෙවැන්නකි. මෙලෙස මේවා අපගේ ඩොලර් ප‍්‍රශ්නය කිසියම් දුරකට සමනය කර ගැනීමට හේතු වන බව සත්‍යයකි. එහෙත් මේවා අපගේ විදේශ විනිමය ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා හේතු නොවේ. ඒ සඳහා කළ යුත්තේ සංචාරක ආදායම්, අපනයන ආදායම් සහ විදේශ විනිමය පේ‍්‍රෂණ ආදායම් ඇතුළු අපගේ විදේශ විනිමය ඉපයුම් ඉහළ නංවා ගැනීමයි. මේ ප‍්‍රශ්නයට ඇති දිගුකාලීන තිරසාර විසඳුම එයයි. ඒ සමගම විදේශ ණය පියවා විදේශ ණය ප‍්‍රමාණය අඩු මට්ටමකට පත් කර ගැනීම ද අවශ්‍ය වේ. ඒ අනුව මෙවර (2022) අයවැයෙන් ලබන වසරේ අපගේ විදේශ ණය ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 95 ක අඩු කර ගැනීමට ඉලක්ක කර තිබේ.

ආණ්ඩුවේ ඩොලර් හීන හා පොදුජන ප‍්‍රාර්ථනා

මහ බැංකුව පවසන පරිදි ඌන උපයෝජිත සහ උපාය මාර්ගික නොවන වත්කම්වලින් මුදල් රැස් කිරීමේ කටයුතුවලට අදාළව සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹ ඇත. චාමර්ස් භූමිය හා වන් ගෝල් ෆේස් සංකීර්ණය පිටුපස ඇති දේපළ සම්බන්ධ එකඟතාවන්ට අදාළව පමණක් අපේක්ෂිත ලැබීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ වන අතර ඒ සඳහා අත්තිකාරම් ගෙවීමක් නුදුරේදී ම අපේක්ෂා කෙරේ. මීට අමතරව කොළඹ වරායේ බටහිර බහලූම් පර්යන්තය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 650ක ආයෝජනයක් සහ තවත් ප‍්‍රධාන විදේශීය ආයෝජනයක් වන ඇමෙරිකානු නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම විසින් වෙස්ට් කෝස්ට් විදුලි බලාගාරයේ කොටසක් වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජනයන්ට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ලැබීමක් සිදුවන බවත් මහ බැංකුව කියයි. එම ආයෝජනයේ පළමු වාරිකය මේ වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී ලැබෙනු ඇති බව අපේක්ෂා කෙරේ. මේ අතරම විදේශ රජයකට අනුබද්ධ ආයතනයකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක දිගුකාලීන ණය පිරිනැමීමකට අදාළ කටයුතු ද ශ‍්‍රී ලංකා රජය විසින් සිදු කරගෙන යනු ලබයි. එසේම රජය විසින් සිදු කරන ලද ඒකාබද්ධ ණය පහසුකම වෙනුවෙන් කළ යෝජනා කැඳවීම්වලට ප‍්‍රතිචාර වශයෙන් යෝජනා කිහිපයක් මේ වන විට ලැබී ඇත. ඒ පිළිබඳ කටයුතු දැනට සිදු කෙරෙමින් පවතින අතර, මැදපෙරදිග සහ අනෙකුත් කලාපීය ආර්ථිකයන් සමග ඛනිජ තෙල් සම්බන්ධ ණය පහසුකම පිළිබඳ සාකච්ඡා ද පැවැත්වේ. මේවාට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය පහසුකමක් සහ දැනට සාකච්ඡා වෙමින් පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6ක දිගුකාලීන ණය පහසුකමක් ඇතුළත්ය.

අපගේ අපනයන ආදායම් පසුගිය කාලයේ දී දිගින් දිගටම වර්ධනය වීම හොඳ තත්ත්වයකි. එනම් මේ වසරේ (2021) ජුනි, සැප්තැම්බර් සහ අගෝස්තු යන මාසවල අපනයන ඉපැයීම් මාසිකව ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා අඛණ්ඩව තුන්වන මාසයටත් ඉහළ ගොස් තිබේ. එහෙත් මහ බැංකුවෙන් අපට දැන ගැනීමට ඇත්තේ අපනයනකරුවන් දිගින් දිගටම සිය අපනයන වටිනාකම්වලට අදාළ විදේශ විනිමය ආදායම් රුපියල්වලට මාරු කිරීම නිසි පරිදි නොකරන බවයි. එහෙත් ඔවුන් අපනයනවලට අදාළ ආනයන සිදු කිරීම සඳහා බැංකුවලින් දිගටම ඩොලර් ලබා ගන්නා බවත් මහ බැංකුව කියයි. මේ තත්ත්වය විදේශ විනිමය පීඩනය ලිහිල් කිරීමට බාධාවක් වී ඇත. කෙසේ වෙතත් අපනයනකරුවන් සහ විදෙස් සංචාරකයන් වැනි රටට විදේශ විනිමය උපයාදෙන අය මේ වෙලාවේ අප විසින් දේවත්වයෙන් පිදිය යුතු කොටස්ය. ඒ නිසා ඔවුන්ට අනවශ්‍ය බලපෑම් හෝ පීඩාවන් නොකර මේ ප‍්‍රශ්නය සාකච්ඡා කර විසඳා ගත හැකි නම් වඩාත් හොඳ බව අපගේ අදහස වේ. කෙසේ වෙතත් මේ මාසය තුළ අපනයන ආදායම ආපසු මෙරටට ගෙන්වා ගැනීමේ හා ශ‍්‍රී ලංකා රුපියල්වලට හැරවීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ. එසේම විශේෂයෙන් මැදපෙරදිග ඇතුළු විදෙස් රටවල රැකියා සඳහා යන පිරිස් ඉහළ යෑම නිසා අනාගතයේ දී විදේශ විනිමය පේ‍්‍රෂණ ආදායම් වර්ධනය වනු ඇත. විදේශ විනිමය පේ‍්‍රෂණවල පසුගිය මාසවල වාර්තා වූයේ පසුබෑමකි. සංචාරක පැමිණීම්වල වර්ධනයත් සමඟ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීම ද සිදුව වෙමින් තිබේ. කොවිඞ් වසංගතය සමනය වීම සමග සංචාරක පැමිණීම්වල වර්ධනයක් සිදු වීම මහා අරුම පුදුමයක් ද නොවේ. සංචාරක මණ්ඩලය ඒ ගැන අනවශ්‍ය ලෙස තප්පුලන්නේ නැතුව අවශ්‍ය කරන්නේ අපගේ රටේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට තිබෙන ඉහළ විභවතාව හඳුනා ගනිමින් ඊට සරිලන සංචාරක ප‍්‍රවර්ධනයක් සිදු කිරීමයි. එසේම මාලදිවයින ඇතුළු වෙනත් රටවලට සාපේක්ෂව කොවිඞ්වලින් පසුව සංචාරකයන් අප රටට ගෙන්වා ගැනීමට බලවත් ලෙස අපගේ සංචාරක බලධාරීන් අසමත් වීම සම්බන්ධයෙන් ද තත්ත්වය තවත් නරක අතට හැරීමට පෙර වහාම පියවර ගත යුතුව තිබේ. මේ නිසා ඉදිරි කාලයේ සිදුවන සංචාරක පැමිණීම්වලදී අනවශ්‍ය ලෙස සතුටු වනවාට වඩා කළ යුතු වන්නේ අපගේ සංචාරක විභවතාව මැනවින් හඳුනාගෙන ඊට සමත් සංචාරක ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමයි. එවැන්නක් අපට පෙනෙන්නට නැත.

මේ අතර මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ (2021) මුල සිට අගෝස්තු මාසය දක්වා වූ විදේශ අංශයේ ක‍්‍රියාකාරිත්වයට අදාළ තොරතුරු ද පසුගිය ඔක්තෝබර් 19 වැනිදා ඉදිරිපත් කළේය. ඊට අදාළව ඉදිරිපත් කළ වාර්තාවේ ආරම්භයේම මෙසේ සඳහන් වේ. එනම් මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළෙඳ භාණ්ඩ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය බවයි. එහෙත් භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ යාම සිදුව තිබේ. මේ නිසා කෙතරම් ආනයන සීමා තිබුණත් පෙර වසරට වඩා සාපේක්ෂව පසුගිය මාස අටේ දී ඉන්ධන ආනයන වියදම් ඇතුළු ඇතැම් ආනයන වියදම් ඉහළ යාම නිසා වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ද සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මේ පසුබිම තුළ ඉදිරි විදේශ විනිමය ලැබීම් ගැන සුබවාදී අපේක්ෂා තිබුණත්, අප තවමත් විනිමය අර්බුදය සම්බන්ධයෙන් සිටින්නේ හොඳ තැනක නොවන බව කිව යුතුය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment