ආණ්ඩුවේ පනත් කෙටුම්පත් දෙකක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය මැති සබයට දන්වයි

2527

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබූ පනත් කෙටුම්පත් දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (23දා) නිවේදනය කළේය.

නව ආගමන පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ඒවා සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් (විශේෂ බහුතරයක්) අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායකවරයා පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව පනත් කෙටුම්පත සංශෝධනය කරන්නේ නම් එම අනනුකූලතාවන් මගහැරී යන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි හෙතෙම පැවසීය.

ඊට අමතරව විශේෂ නඩු තීන්දු අන්‍යොන්‍යතාව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන අනුව කටයුතු කරන්නේ නම් එය සම්මත කිරීමට විශේෂ බහුතර බලයක් අවශ්‍ය නොවන බව ද සඳහන් කර තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment