ආණ්ඩුව ආර්ථිකය හකුලන එක දේශපාලන උප්පරවැට්ටියක්

372

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අනිල් ජයන්ත

ඉදිරි අවුරුදු දෙක තුන තුළවත් නිෂ්පාදනය වැඩි කරලා ජාතික ආදායම වැඩි කිරීමේ සැලසුමක් නෑ

“දැන් මේ රටේ වැරදි දේශපාලන සහ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නිසා හිරවෙන තැනකට ගෙනැත්නෙ තියෙන්නෙ. මේ හිර වුණ එකට වගඋත්තරකරුවො හොයන්න ඕන, හිරවුණේ කොහොමද කියල හොයන්න ඕන. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් මේක අස්සෙ තියෙනවා. ඒ ප්‍රශ්න එකක්වත් කතා කරන්න බැරි වෙනවා ආර්ථිකය හකුලනකොට. හකුලන ආර්ථිකයක් කියන්නෙ පාලකයට හරි වාසියි. ඒක දේශපාලන උප්පරවැට්ටියක්.” පවතින ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවේ සැළසුම් ගැන සඳහන් කරමින් එසේ විග්‍රහයක් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අනිල් ජයන්ත මහතාය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආණ්ඩුවේ ඉදිරි ආර්ථික සැළැස්මේ පලවිපාක පිළිබඳ අප යොමු කළ ප්‍රශ්න හමුවේ ඔහුගේ පැහැදිලි කිරීමය මේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය එක්ක විශාල ආන්දෝලනයක් ගියා බැංකු වහල එම ක්‍රියාවලිය කරන්නෙ මූල්‍ය වෙළෙඳපොළට එයින් විශාල බලපෑමක් වන නිසාය කියලා. සමහරු කිව්වෙ බැංකු කඩා වැටෙයි වැහෙයි කියල. නමුත් එහෙම කිසි දෙයක් සිදු වුණේ නෑ. හදිස්සියේම බැංකු වැහුවෙ ඇයි කියන එකටත් තවම පිළිගත හැකි හේතුවක් නෑ. ඇත්තටම මේ සිදුවුණේ මොකක්ද?

බැංකු වහනවා කියන එකම නැත්නම් මේ හේතුවෙන් බැංකු කඩා වැටෙනවා කියන එකම උපක්‍රමයක් විදියට ආණ්ඩුවම ඇතිකරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ඉන් පස්සෙ බැංකු කඩා වැටෙන්නෙ නැති වුණාම ඔවුන්ට කියන්න පුළුවන් මේ බොරු බිල්ලෙක් මැව්වා කෝ කඩා වැටුණේ නෑ කියලා. එතකොට ආණ්ඩුවට පුළුවන් වෙනවා ඇත්ත ප්‍රශ්නය මේකෙන් මග හරින්න. මිනිස්සුන්ගෙ අවධානය යොමු වෙන්නෙ බැංකු කඩා වැටෙනවා කියන එකට වුණාම ඇත්ත ප්‍රශ්නය මග හැරෙනවා. ඉතින් මම කියන්නෙ ප්‍රශ්නය තියෙන්නෙ එතන නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නෙ දූෂිත කණ්ඩායමක් තමන්ට එල්ලවෙන චෝදනාවෙන් ගැළවිලා ඒ ණයවල වගකීම විදේශීය පාර්ශ්වය එක්ක හරි ඊට අදා ළ පාර්ශ්ව එක්ක කතා කරල යම් එකඟතාවයකට එනවට වඩා මේ බර සාමාන්‍ය ජනතාවට දාපු එක සදාචාර විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්නෙ. සමාජය ඒක ප්‍රශ්න කරන එක වළක්වන්න තමයි වෙළෙඳපොළ කඩා වැටෙනවා බැංකු වැහෙනවා කියල මාතෘකාවක් හැදෙන විදියේ වැඩක් ආණ්ඩුව කළේ. මේකට දේශපාලන විද්‍යාවෙදි කියන්නෙ “පැරාකිලිසම්” කියල. ඒ කියන්නෙ ප්‍රධාන ප්‍රශ්නය තියෙද්දි අපිව පුංචි පුංචි කාරණාවලට අවධානය යොමු කරනවා. හැබැයි බැංකු ක්ෂේත්‍රයේ පොලී අනුපාතිකය හරි එහෙ මෙහෙ වුණානම් මිනිස්සු මුදල් ආපසු ගත්තනම් ඒ චෝදනාවත් විරුද්ධ පාර්ශ්වයන් අතට පත් කරල අද සාකච්ඡාව බවට පත් කරන්නෙ ඔන්න ඕක. ඇත්ත ප්‍රශ්නය නෙවෙයි. ඒ නිසා කොහොම වෙතත් විශාල බළපෑමක් මේ ක්‍රියාවලිය තුළ ජනතාවට තියෙනවා.

මේ ක්‍රියාවලියෙන් ජනතාවට සිදුවන ඒ විශාල බළපෑම මොකක්ද ?

සෘජුව සම්බන්ධ නැති පාර්ශ්වයකට තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වගකීම දරන්න වෙන්නෙ. සාමාන්‍යයෙන් ගනුදෙනුවක් සිදු වුණාම ඊට සම්බන්ධ වුණ පාර්ශ්ව එක්කනෙ ඒක බේරුමක් කරන්නෙ. එතකොට මේ ණය ගත්තෙ ආණ්ඩුව. ඒ තුළත් දූෂිත ගනුදෙනු ගණනාවක් තියෙනවා. විවිධ ආයතන, රාජ්‍යයන් සහ මූල්‍ය වෙළෙඳපොළින් ණය ගත්තෙ. හැබැයි මහ ජනතාව හිටියෙ පැත්තක. ඒ ණය අවභාවිතයක් වුණා නම් ඒකට වගකියන්න ඕන ආණ්ඩුව. ආණ්ඩුව කරවන පුද්ගලයො. දැන් වෙලා තියෙන්නෙ මේ බර පැත්තක ඉන්න පිරිසක් මත පටවනවා. එතනදිත් ඊ. පී. එෆ්. කියන්නෙ තමුන්ගෙ සේවා කාලය තුළ උපයාගත්තු මිනිස්සුන්ගෙ ධනයනෙ. ඒ වගේ පැත්තක ඉන්න පිරිසක් තුළ තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරණයේදී ආණ්ඩුව බර පටවන්නෙ.

හැබැයි ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. එක ගැන ආණ්ඩුව ඇති කළේ අනියත බියක් කියලයි ආණ්ඩුව දැන් කියන්නෙ?

ආයතනයක් විදියට ඊ. පී. එෆ්. එකේ සාමාජිකයන්ගෙ වත්කම්වල දැන් වටිනාකම රුපියල් ට්‍රිලියන තුනයි දශම පහයි. ඔය මුළු මුදලම ආණ්ඩුව හෙට ගත්තත් ඊ.පී.එෆ්. කියන ආයතනය කඩා වැටෙන්නෙ නෑ. හරියට තේරුම් ගන්න ඕන ඒක. කඩා වැටෙනවා කිව්වාම සමාජයට මතකයක් ගෙනියනවා මේකෙ මුදල් ටික ආණ්ඩුවට ගන්නවා, මිනිස්සුන්ට දෙන්නෙ නෑ ආයතනය වැහෙනවා කියල. ඒ හැදුවෙ මිත්‍යාවක්. මොකද ඊ.පී.එෆ්. එක කියන්නෙ අතීතයේ වැඩ කරපු මිනිස්සුන්ගෙ ධනය තැන්පත් කරල තියෙන, ඒ අය අනාගතයේදී විශ්‍රාම යනකොට ගන්න තියෙන ධනයක්. එතකොට අද අලුතෙන් මේ අරමුදලට දායක වෙන විශ්‍රාමයන් නැති කෙනෙක් අද මේ මුදල් ගෙදර අරන් යන්නෙ නෑ. මේක සාමුහික අරමුදලක්. චූටි කොටසක් ගෙදර යද්දි තව පිරිසක් මේ අරමුදලට දායක වෙනවා. මේක දාමයක්. ඒ නිසා සෑම අවුරුද්දකම මේ අරමුදලට රුපියල් බිලියන දෙසීයකට ආසන්න මුදලක් බැර වෙනවා. ඔය අරමුදලින් මේ සාමාජිකයන්ට ගෙවන්න තියෙන්නෙ බිලියන එකසිය හැත්තෑවක් වගේ මුදලක්. තව බිලියන තිහක් විතර ඉතුරුත් වෙනවා. ඒක නිසා ප්‍රශ්නය තියෙන්නෙ එතන නෙවෙයි. හැබැයි ඊ. පී. එෆ්. එකට මේකෙන් ප්‍රශ්නයක් වෙනවා. මිනිස්සු තමන්ගෙ ලේ දහඩිය කඳුළුවලින් හම්බකරල ඊ.පී.එෆ්. එකට දාපු මුදල් වලට නැත්නම් ඒ ගිණුමට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ අරගෙන ආණ්ඩුවේ හිඟය වහගන්න එක. ඔතනයි ප්‍රශ්නය තියෙන්නෙ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය නැත්නම් ණය ප්‍රශස්තකරණය නැමති ලස්සන නමක් යොදාගෙන ආණ්ඩුව මේ කරපු ක්‍රියාවෙන් ඇත්තටම සිදුවෙලා තියෙන්නෙ මොකක්ද ?

මිනිස්සුන්ට ව්‍යාකූල නම් භාවිතා කරාට සරලව කිව්වොත් ආණ්ඩුව කළේ අරන් තිබ්බ ණය යම් ආකාරයට කපා ගත්ත එක. එතනදිත් ඒක මිනිස්සුන්ට එක පාරට තෙරුණේ නැත්තෙ මේකෙ ඇතුලෙ තිබ්බේ ගිණුම්කරණ උපක්‍රම ගණනාවක්. උදාහරණයකින් ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. ආණ්ඩුව ඊ.පී.එෆ්. එක හරහා මහජනතාවගෙන් රුපියල් දාහක ණයක් අරන් තිබුණා බැඳුම්කර තියල. බැඳුම්කර හරහා ඒ ගත්ත ණයට ආණ්ඩුව පොලියක් ගෙවන්න ඕන. ආණ්ඩුව ණය ගනිද්දි එකඟ වෙලා තිබුණා සියයට විසිපහක පොලියක් ඒ ණය සඳහා ඊ.පී.එෆ්. එකට ගෙවන්නම් කියල. හැබැයි දැන් කියනවා ආණ්ඩුව ඒ ණය සඳහා සියයට විසිපහක පොලියක් දෙන්න බෑ දෙන්නෙ සියයට නවයයි කියල. අන්න ඒ තත්ත්වය තීරණය වෙනකොට වෙළෙඳපොළ තුළ දැනටමත් බැඳුම්කර තියාගෙන ඉන්න වෙනත් අයට පොලිය සියයට විස්ස විසිපහ ලැබෙනවා. හැබැයි ඊ.පී.එෆ්. එකට ලැබෙන්නේ සියයට නවයයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ තිබෙන ඔය යෝජනාව ක්‍රියාත්මක කළොත් වෙන්නෙ ඒක. අන්න ඒ අවාසිය තමයි ඊ.පී.එෆ්. ගිණුමට වෙන්නෙ. එතනදි ආණ්ඩුවට දුන්න සමස්ත ණය අඩුවීමක් වෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙන් ගත්ත ණයට ගෙවපු ප්‍රතිලාභය අඩු කිරීමක් වෙන්නෙ.

ආණ්ඩුවේ ණය බර ඒකෙන් අඩු වෙනවද ?

ආණ්ඩුවේ ණය බර ඒකෙන් එකවර අඩුවීමක් වෙන්නෙ නෑ. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. ආණ්ඩුව ණයවලට ගෙවන පොලියයි ණය වාරිකයටයි කියන්නෙ ණය සේවාකරණ අනුපාතිකය කියල. මෙන්න මේ ණය සේවාකරණ අනුපාතිකය පහළට ගේන්න ඕන කියලයි අයි. එම්. එෆ්. එකේ කොන්දේසිය තියෙන්නෙ. අන්න ඒක කළාම අලුතින් ණය ගැනීමේ අවශ්‍යතාව අඩු කරනවා. පොලිය කැපුවාම වෙන්නෙ ඉදිරි අවුරුදු දහයෙදි ණය ගැනීමේ අවශ්‍යතාව එම අගයෙන් අඩු වෙන එක. ඊපීඑෆ් එකෙන් ආණ්ඩුව බැඳුම්කර හරහා රුපියල් දාහක ණයක් ගත්තා යැයි හිතමු. ආණ්ඩුවේ උපක්‍රමය වෙන්නේ අන්න ඒ ගත්ත රුපියල් දාහ වසර දෙකකින් දෙන්න පොරොන්දු වෙලා ගත්තත් දැන් කියනවා, හරි අපි ඒකෙන් රුපියල් දෙසීයක් වසර දෙකකින් දෙන්නම්, තුන්වෙනි අවුරුද්දෙ තවත් සීයක් දෙන්නම් කියල, තව වසර ගාණකට කොටසින් කොටස ගෙවන්න ණය ගෙවීම ඉස්සරහට ගෙනියනවා. එතනදි නාමිකව මුදල් නෝට්ටු වශයෙන් ගත්තොත් අර රුපියල් දාහ අපිට කවදා හරි හම්බවෙනවා. හැබැයි එතන නෙවෙයි ප්‍රශ්නය තියෙන්නෙ. මේ බැඳුම්කර නිකුතුව කරද්දි ඒකෙ කාල පරිච්ඡේදය ඇතුලේ ඒ බැඳුම්කර වාර්තා කරන්නෙ ආණ්ඩුවේ ණයක් විදියට ඒකෙ සාධාරණ අගයට. ඇත්තටම මේ රුපියල් දාහ මට වෙළෙඳපොළේ වෙනත් සුරැකුම්වල දාල අද තියන තත්ත්වයේදී මීට වඩා වැඩි පොලියකට ලැබෙනව නම් ඒකට අපි කියනවා අපේක්ෂිත ප්‍රතිලාභය කියල. එතකොට වැලිවේෂන් එකේදී කිසිම වෙනසක් වෙන්නෙ නෑ අර දෙන කූපොන් රේට් එකයි වෙළෙඳපොළේ අපේක්ෂිත ආදායමයි අතර වෙනසක් නැත්නම්. අපේක්‍ෂිත ප්‍රතිලාභ අනුපාතිකය නවය නම් ඊපීඑෆ් එකට හම්බෙන්නෙත් නවය නම් ඒ වටිනාකම දාහම තමා. ප්‍රශ්නය තියෙන්නෙ වෙළෙඳපොළේ ඊපීඑෆ් එකට සාපේක්ෂව පසුගිය බර තැබූ ප්‍රතිලාභ අරන් ගත්තාම අවම වශයෙන් ඊපීඑෆ් එකට මේ වෙනකොට අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය සියයට 13.5 ක් යැයි ගණන් බලා තිබෙනවා. එහෙම අපේක්ෂාවක් තියෙද්දි නවයක කූපොන් අනුපාතිකයක් (ස්ථාවර පොලී අනුපාතිකය) දෙනකොට මේක අපි වට්ටම් කරන්නෙ 13.5 අනුපාතිකයකට. එතකොට දීර්ඝ කාලයකදි දෙකට තුනට කඩලා අපිට දෙන රුපියල් දාහේ ඒකෙ අද අගය හත්සීයයි කියමු. මුහුණත අගය දාහයි. එතකොට ආණ්ඩුව එක වරම තමන්ගෙ පොත්පත්වලින් අර තුන්සීය කපල කියනවා සාධාරණ අගයට අනුව ඊපීඑෆ් එකට ණය හත්සීයයි. ඊපීඑෆ් එකත් ඒක රෙකෝඩ් කරන්නෙ ඕන දැන් හත්සීයයි කියල. ඔන්න ඕක තමයි සාමාන්‍ය ජනතාවට පේන්නෙත් නැත්තෙ තේරෙන්නෙත් නැත්තෙ. අන්න ඒ කපා හරින එක පාඩුවක්. පොලිය ඉදිරියේදි කපා හරින එක පාඩුවක්. මේ පාඩු දෙකෙන් ආණ්ඩුවේ ණය බර අඩු වෙනවා. ඒ බර කොහොම හෝ මිනිසුන් අතට තල්ලු කරනවා.

දීර්ඝකාලීනව හෝ මේ ක්‍රමයෙන් රටේ ආර්ථිකය නිවැරදි දිශාවට ගමන් කරයිද ?

ආණ්ඩුව උත්සහයක නිරතවෙනවා අයි.එම්.එෆ්. එකෙන් ණයක් ගත්තමයි මෙහෙම කරාමයි ආර්ථිකය නිවරදි දශාවට යයි කියල. හැබැයි සාධාරණ අවබෝධයක් තියෙන කෙනකුට තේරෙනවා මේ ගොල්ලො ගිණුම්කරණ ඇතුලෙ ඉදිරි අවුරුදු දහයට බදු ගන්න හැටි අපූරුවට පුරෝකථනය කරල තියෙනවනෙ. ඒත් ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළෙවත් කොහොමද රටේ නිෂ්පාදනය වැඩි කරලා ජාතික ආදායම වැඩි කරන්නෙ කියල පෙන්වලා නෑ. නිෂ්පාදන සැළැස්මක් නැතිව එහෙම ගොඩ ගිය කිසිම රටක් නෑ. දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරනවා වෙනුවට ඉදිරි අවුරුදු දෙක තුනෙත් තියෙන්නෙ ආර්ථිකය හකුලන සැළසුමක්. මේකත් දේශපාලන උප්පරවැට්ටියක්.

ඇයි මේක දේශපාලන උප්පරවැට්ටියක් කියල කියන්නෙ ?

දැන් මේ රටේ වැරදි දේශපාලන සහ වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නිසා හිරවෙන තැනකට ගෙනත්නෙ තියෙන්නෙ. මේ හිර වුණ එකට වගඋත්තරකරුවො හොයන්න ඕන, හිරවුණේ කොහොමද කියල හොයන්න ඕන. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් මේක අස්සෙ තියෙනවා. ඒ ප්‍රශ්න එකක්වත් කතා කරන්න බැරි වෙනවා ආර්ථිකය හකුළනකොට. හකුළන ආර්ථිකයක් කියන්නෙ පාලකයට හරි වාසියි. ඇත්ත ප්‍රශ්නය කතාකරනවා වෙනුවට හිරවෙච්ච ආර්ථිකය දැන් ගොඩ ගන්න ඉඩදෙන්න කියන එකනෙ දැන් ඒ ගොල්ලන් ගේන තර්කය. ඒ නිසා කලබල කරන්න එපා වැඩි පඩි ඉල්ලන්න එපා. උද්ඝෝෂණ එපා. දූෂණ හොයන්න එපා. එහෙමනෙ කියන්නෙ. මොකද ඕන තරම් වංචා දූෂණ නඩු තීන්දු ඔප්පු වෙලා තියෙනවා. ඒවා වලින් අයකර ගන්න පුළුවන්. හිතවත් අයට ටෙන්ඩර් දෙනවා. බදු කපා හරිනවා. අර විදියට කියන ගමන් තවදුරටත් එහෙමමනෙ සිද්ධ වෙන්නෙත්. ඉතින් හකුළපු ආර්ථිකයක් පාලකයට වාසියි. ඒක දේශපාලන උප්පරවැට්ටියක්.

ඊපීඑෆ් සහ ඊටීඑෆ් එකේ තියෙන්නෙ ජනතාවගේ මුදල් වුණාට 1958 සේවක අර්ථසාධක පනතට අනුව ඒ මුදල්වලට මොනවද කරන්න ඕන කියන අයිතිය ජනතාවට දීලා නෑ. ඒ බලය තියෙන්නෙ මුදල් මණ්ඩලයට කියල දැන් තර්කයක් ගෙනත් තිබෙනවා ?

මහජනතාව නොමඟ යැවීම සඳහා කරන වැරදි අර්ථකථනයක් ඒක. ඊපීඑෆ් එකේ තියෙන මුදල්වල අයිතිය මහජනතාවට තමා තියෙන්නෙ. ඔබගෙ වැටුපෙන් රුපියල් පන්දහසක් කපල මේ අරමුදලට යවනවා. එහෙම රටේම වැඩ කරන ජනතාවගෙන් කපල අරමුදල කෝටි ගාණක මුදලක් යනවා. ඒ මුදල කළමනාකරණය කිරීමේ වගකීම තියෙන්නෙත් ජනතාවට තමා. නමුත් මේකෙ සාමාජිකයන් පිරිස වැඩි නිසා ප්‍රායෝගිකව ඒ මුදලට මොකක්ද කරන්නෙ කොහෙද කොහොම ආයෝජනය කරනවද කියල ජනතාවටම කරන්න බැරි නිසා මුදල් මණ්ඩලයක් පත් කරනවා. ඒ ගොල්ලන් ජනතාවට වැඩි ප්‍රතිලාභ එන විදියට මේ මුදල් පාවිච්චි කිරීමේ තීන්දු තීරණ තමයි ගන්න ඕන. මේ අරමුදල පාලනය කිරීම මහජනතාව වෙනුවෙන් මිසක් ඒ ගොල්ලන්ට ඕන ඕන විදියට කරන්න පුළුවන් කියල කොහෙවත් නීතියක් නෑ.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment