ආණ්ඩුව ඇතුළේ සටන්කාමී පක්ෂ නායකයන්ට ජනපතිගෙන් රතු එළියක්

1991

කොවිඞ් අනතුර ටිකෙන් ටික සමාජය මත සුවපත් වන ලකුණු පෙන්නුම් කළ පසුගිය සතිය දේශපාලනමය වශයෙන් නම් තරමක් කලබලකාරී සතියක් විය. එසේ සමාජය උණුසුම් වන්නට හේතු කිහිපයක්ම තිබිණි.

එක් හේතුවක් වූයේ තවමත් විසඳුමක් නැති රසායනික – කාබනික පොහොර අලකලංචියයි. මේ පොහොර අර්බුදය අද වනවිට රජයට බරපතළ ගැටලූ රාශියක් ගෙන දුන් විසඳුමක් නැති ගැටළුවක් වූවා පමණක් නොව උපක‍්‍රමයෙක් රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රශ්නයක් බවටද පරිවර්තනය වන ලකුණු පෙන්නුම් කළේය.

එක් පැත්තකින් වගා කරන්නට පොහොර ඉල්ලමින් ගොවියෝ පාරට බැස උද්ඝෝෂණ හා උපවාස කරන්නට පටන්ගෙන සිටිති. අවස්ථාවාදී දේශපාලන පක්ෂ ඔවුන් උසිගන්වමින් ගොවියන්ට නායකත්වය දෙමින් ගොවි උද්ඝෝෂණ තව තවත් වැඩි කරන්නට පහසුකම් සළසමින් සිටිති. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ දේශපාලනඥයෝ පොහොර හා කෘෂිකර්ම විෂයන්වලට අදාළ උගත් විශේෂඥ මට්ටමේ නිලධාරීන් යුධ වදින යුධ පිටියක් බවටද මේ පොහොර අර්බුදය පත්වී අවසන්ය.

මේ වනවිට පොහොර අර්බුදය අපේ රටේ ආණ්ඩුවේ ප‍්‍රශ්නයක් පමණක් නොව ඉන්දියාව – චීනය ආදී මහා බලවතුන් පවා මැදිහත් වුණ රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදයක් බවට පරිවර්තනය වී අවසන්ය. කොටින්ම කිවහොත් චීනයේ පොහොර ගන්නවාට ඉන්දියාව අකමැතිය. ඉන්දියාව සතුටුකර දීමට හෝ චීන පොහොර ඔය කියන අර්බුද සහිත නිසා බාර නොගෙන ඉන්නවාට චීනය අකමැතිය.

අවසානයේ චීන පොහොර නැව එපා කියන්නට ආණ්ඩුවට සිදුවිය. ඒ නැව ලංකාවට ගෙන්වීම වෙනුවෙන් මුදල් ගෙවන්නට ඉදිරිපත්වූ අපේ රාජ්‍ය බැංකුව බ්ලැක් ලිස්ට් කරන්නට චීනයට සිදුවිය.

මෙබඳු සිද්ධියකට වරක් මෛත‍්‍රිපාල ජනාධිපතිවරයාද මුහුණ පාන්නට වූවා අපට මතකය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන රුසියාවෙන් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ගෙන්වීම නතර කරන්නට තීන්දු කළේය. රුසියාව ලංකාවෙන් තේ මිලදී ගැනීම නතර කරන්නට තීන්දු කළේය. අවසානයේ එදා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට තම ඇස්බැස්ටෝස් තහනම හකුලා ගන්නට සිදුවිය.

දැන් අපේ ආණ්ඩුවට පොහොර නැව නිසා සිදුවී තිබෙන්නේද එබඳු අලකලංචියකි. උණු නිසා බොන්නත් බැරිය, කිරි නිසා බිම හලන්නත් බැරිය.

මේ තත්ත්වය මෙලෙස තිබියදී යුගදනවි බලාගාරයේ සිද්ධියද ආණ්ඩුව ඇතුළේ තදින් සාකච්ඡාවට බඳුන්වූ කාරණාවක් විය. යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමකට පවරාදීම හා තවත් ගිවිසුම් දෙකක් ඔවුන් සමඟ අත්සන් කරමින් විනිවිද නොපෙනන ගනුදෙනුවකට මුළපිරීම සම්බන්ධයෙන් රජයට මුලින්ම විරෝධය පාන්නේ රජය ඇතුළෙන්මය.

මෙම පවරාදීමට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතින නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, කොමියුනිස්ට් පක්ෂය, සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ 11ක නියෝජිතයින් විරෝධය පළකරමින් ආණ්ඩුව ඇතුළෙන්ම ගොඩනැගූ විරෝධතාවය පසුගිය සතියක පුපුරා පිටට පැමිණියේය.

මුලින්ම ඔවුන් විශ්වාස කළේ මෙම ප‍්‍රශ්නය සාකච්ඡාවෙන් සම්මුතියෙන් රජය ඇතුළේ කතාබස් කර විසඳා ගත යුතු ප‍්‍රශ්නයක් කියාය. ඒ සඳහා පක්ෂ 11 ක නායකයෝ ජනාධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා සිටියහ. එහෙත් ඒ සඳහා සතුටුදායක ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත.

ජනාධිපතිවරයාගේ මතය වුණේ එබඳු ප‍්‍රශ්න ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමේදී සාකච්ඡා කර විසඳා ගත හැකි බැවින් වෙනම සාකච්ඡා අනවශ්‍ය බවයි.

එහෙත් එම යෝජනාවට පක්ෂ 11 ක නියෝජිතයෝ සතුටු වූයේ නැත. පක්ෂ නායකයන් විසින් කතාබහ කර විසඳාගත යුතු ප‍්‍රශ්නයක් මන්ත‍්‍රීවරු 150 ක් ඉදිරියේ කතා කරන්නට යෑම අනවශ්‍ය සංවාදයකට මුළපිරීමක් බවය. එබඳු තැනකදී රටට බලපාන ප‍්‍රශ්නයක් පිළිබඳ කතා කිරීමට යෑම තුළ කිසිදු දෙයක හරයක් නොදකින කලබලකාර මන්ත‍්‍රී පිරිසකට අනවශ්‍ය වේදිකාවක් තනාදීම තේරුමක් නැති ක‍්‍රියාවක් බවය.

ඒ අනුව පසුගිය ඉරිදා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනපති ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමට යුගදනවි බලාගාරයේ පිරිසට විරෝධය පෑ පක්ෂ නායකයෝ ගණනාවක්ම සහභාගි වන්නට ගියේ නැත.

යුගදනවි ගැන වෙනම සාකච්ඡා කර විසඳුමකට පැමිණීම පක්ෂ 11 ක නායකයින්ගේ සන්ධානයේ බලවත් ඉල්ලීම විය.

නමුත් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂද සිටියේ දැඩි ස්ථාවරයකය.

  • තුන්වන එන්නතකටත්
    ජනපති අවසර දෙයි…

පසුගිය සති අන්තයේ ජනාධිපති ගෝඨාභය කොවිඞ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකායේ රැස්වීම පැවැත්වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ය.

”කොහොමද දැන් වැක්සීන් දෙන එකේ අලූත් ම තත්ත්වය…” ජනාධිපතිවරයා ආරම්භ කළේ ප‍්‍රශ්නයකිනි.

ඒ අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් එන්නත්කරණය පිළිබඳව වර්තමාන තත්ත්වය සවිස්තරව පැහැදිලි කරන්නට වූයේය.

”තව සුමාන දෙකක් ඇතුළත එන්නත් කළ යුතු සියලූම දෙනා එන්නත් කරලා ඉවර කරන්න අපට පුළුවන් වෙනවා.” සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එසේ කීවේ දැඩි විශ්වාසයකිනි.

”එහෙම වුණොත් අපිට තුන්වෙනි මාත‍්‍රාව ලබා දෙන එක පටන් ගන්න පුළුවන්…”

”තවමත් දිනකට ආසාදිතයෝ පන්සියයක් විතර මුණගැහෙනවා. කොවිඞ් මරණත් දිනකට විස්සට අඩුයි. තිබෙන තත්ත්වය හොඳයි. නමුත් අපි මේක තව තවත් පාලනය කරගත යුතුයි.

මහාචාර්ය චන්න ජයසුමන විස්තර කළේය.

”ඔව්… ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. වැඩිපුර ලෙඞ්ඩු හමුවෙන තැන් හඳුනගෙන ඒකට හේතුව මොකක්ද කියලා බලන්න. ඒවාට පිළියම් යොදන්න. ඒ වගේම යම් තැනක මරණ සංඛ්‍යාවේ වැඩියක් තියෙනවා නම් ඒවාට පිළියම් යොදන්න…” ජනාධිපති උපදෙස් දුන්නේය.

ඉන්පසුව සභාවේ අවධානය යොමු වූයේ සංචාරක ව්‍යාපාරයේ තිබෙන අභියෝග ජය ගැනීම ගැනය.

”ප‍්‍රසන්න ඇමැතිතුමාට මේ ගැන හඳුන්වාදීමක් කරන්න ඕනලූ… අපි එතුමාගේ කතාව අහමු… ජනාධිපති කීවේය.

”ලෝකයේ දැන් සංචාරකයො ඇවිදින්න කැමති රටවල් ඔක්කොම ඇරලා තියෙන්නේ. නමුත් ලෝකය හිතා ඉන්නෙ අපේ රට තාම ලොක්ඩවුන් කරලා කියලා. අපි ඒ දුර්මත නැති කරන්න ඕන. ලොව පුරා සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් පටන් ගන්න ඕන.”

”ඒ විතරක් නෙවෙයි. සංචරණ සීමා දැන් ටික ටික ලිහිල් කරලා මඟුල් ගෙවල්, ප‍්‍රිය සම්භාෂණවලට සහභාගි වන පිරිස 200 සීමාවටවත් වැඩි කරන්න වෙයි.”

”ඔව් ඉතින්… වැක්සින් දෙකම ගහලා තියෙනව නම් ඒ වගේ සීමා ලිහිල් උනාට කමක් නෑ. වැක්සින් දෙකම ගහපු සංචාරකයන්ටත් බාධාවකින් තොරව රටට එන්න පුළුවන් නිදහස් වාතාවරණය ඇති කරන්න ඕන…” ජනාධිපති කීවේය.

”සංචාරකයින්ට සීමාවන් ඉවත් කරලා රටට එන්ඩ දෙන එක ඉක්මන් කළ යුතුමයි… අපි ඒ ගැන ඉක්මන් පියවර ගන්නවා…” බැසිල් රාජපක්ෂ කීවේය.

රට විවෘත කළාට පසු දුම්රිය හා බස් රථ ගමනාගමනය වේගවත් කිරීම ගැන පවිත‍්‍රා වන්නිආරච්චි යෝජනාවන් කිහිපයක් ගෙන ආවාය.

”දුම්රිය ගමනාගමනය පටන් ගන්න. මුලින්ම පළාත් ඇතුලේ දුම්රිය ධාවනය පටන් ගන්න. දුම්රිය මැදිරි ප‍්‍රමාණය වැඩි කරල සෙනඟ එක පොදියට ඒකරාශී වීම අවම කරන්න පුළුවන්.

”මොනව කරත් මිනිසුන්ට හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන එක අත්හරින්න දෙන්න හොඳ නෑ… නිරතුරුවම ඒවට මිනිස්සු හුරු කරන්න උපදෙස් දෙන්න. හැම වෙලාවෙම මාධ්‍යවල සහයෝගයත් අරගෙන සෞඛ්‍ය පුරුදුවලට ජනතාව පොළඹවන්න…” ජනාධිපති කීවේය.

මේ කතා බහට අනුව ලබන 25 වැනිදා සිට පළාත් අභ්‍යන්තරයේ දුම්රිය සේවා ආරම්භ කිරීමටත් නොවැම්බර් 01 වෙනිදා සිට පළාත් අතර දුම්රිය සේවා ආරම්භ කිරීමටත් තීන්දුවක් ගත්හ. ඉන් අනතුරුව කතා කළේ ප‍්‍රසන්න ගුණසේන වෛද්‍ය තුමාය.

”දැන් අපි ඉතාම සාර්ථකව පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම කරගෙන යනවා. 25 වැනිදා ලක්ෂ තුනක් එනවා. ඉන්පසුව නොවැම්බර් මාසේ ලක්ෂ 21 ලැබීමට නියමිතව තියෙනවා. එතන ඉඳන් අපට තුන්වන මාත‍්‍රාව බූස්ට් කිරීම පටන් ගන්න පුළුවන් වේවි.”

”ඉතින් අපි නොවැම්බර් මාසේ මුල ඉඳන් බූස්ට් එක ලබා දෙන්න පටන් ගමු.”

මේ අතරතුර මන්ත‍්‍රීවරු දෙදෙනකු කමිටුවෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියහ.

”යම් යම් සීමාවන්ට යටත්ව හරි උපකාරක පන්ති පටන් ගන්න ඉඩ දුන්නොත් තමයි හොඳ… පන්ති නැතිඑක ළමයින්ට විශාල පාඩුවක්… ගුණපාල රත්නසේකර මන්ත‍්‍රීවරයා එසේ කියද්දී වසන්ත යාපා බණ්ඩාර පෙන්වා දුන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගත් ළඟ ළඟ එන නිසා උපකාරක පන්ති පටන් ගැනීම කාලෝචිත බවකි.

”ඉස්සෙල්ලා අපි පාසල් ටික පටන් අරගෙන ඉමු… ඊට පස්සේ පුළුවන් උපකාරක පන්ති ගැන බලන්න…” සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කීවේය.

”ඔය මන්ත‍්‍රීතුමාල දෙන්නත් උපකාරක පන්ති සම්බන්ධයෙන් රටේ ප‍්‍රසිද්ධම දෙන්නෙක් නේ. ඒකයි ඔය උනන්දුව,” කියමින් බැසිල් රාජපක්ෂ විහිළුවක් කළේ ය.

මේ අතරතුර ජනාධිපතිවරයා හරි අපූරු කතාවක් කීවේය.

”අපි දැන් ඔය අනුරාධපුරය පොලොන්නරුව පැත්තේ එක එක වැඩවලට යනවා නේ. ඒ ගියාම මිනිස්සු හම්බ වෙලා කතාබහ කරනවා. තියෙන අඩුපාඩු මොනවද කියලා ඇහුවම ඒ මිනිස්සු ඉල්ලනවා බීමට ගන්නා ජලයේ වසවිස තියෙන නිසා ඒවා පෙරා ගන්න පුළුවන් ආර්. ඕ. ජලපෙරනයන්. ඒ කියන්නේ මිනිස්සු හොඳටම දන්නවා භූගත පානීය ජලයේ වස විස තියෙනවා කියලා. මට පුදුම ඒ මිනිස්සුම රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරනවා කියන එකයි. බොන වතුරේ වහ තියෙනවා කියලා ජල පෙරණයක් ඉල්ලන මිනිස්සුම කොහොමද ජලයට වස විස එකතු වෙන රසායනික පොහොර ඉල්ලන්නේ. ඒකෙන් ඔප්පු වෙන දේ තමයි මේ උද්ඝෝෂණය කරන මිනිස්සු ඒ ගම්වල ඉන්න හැබෑ ගොවි ජනතාව නෙවෙයි කියන එක…”

මේ අනුව පැයක පමණ කාලයක් තිස්සේ ඇදී ගිය එම සාකච්ඡාව දහවල් 12.10 ට පමණ අවසන් වූයේ කොවිඞ් මර්දනයෙන් පසු රට නගා සිටුවීම සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගණනාවක්ම ගැනීමෙන් අනතුරුවය.

  • ප‍්‍රසන්න සමග නාමල්
    බය හිතෙන ගමනක
ආණ්ඩුව ඇතුළේ සටන්කාමී පක්ෂ නායකයන්ට ජනපතිගෙන් රතු එළියක්

පසුගිය බදාදා නාමල් රාජපක්ෂ සහ ප‍්‍රසන්න රණතුංග කොළඹ පෝර්ට්සිටි භූමි භාගයේ ඉදිකළ ධාවන පථයක් විවෘත කරන්නට සහභාගි වූහ. වැලිකඳු මත පැදිය හැකි රෝද හතරක් සහිත බයිසිකලයක් බඳු විශේෂ වාහනයක් වූ ඒ.ටී.වී වාහන සඳහා මෙම ධාවන පථය වෙන්ව තිබිණි. ඊට අමතරව පවිත‍්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම් සහ රේණුක පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

සෞඛ්‍යාරක්ෂිත නව මුහුණුවරකින් සංචාරක කර්මාන්තය යළි නැගී සිටින මේ අවස්ථාවේ සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා මෙවැනි පෞද්ගලික ආයෝජන රටේ ඉදිරි ගමන සඳහා වැදගත් සාධක වේ. මෙම වැලි කඳු ධාවන පථය මාර්ග තුනකින් යුක්තව ඉදිකර තිබේ.

ධාවන පථය විවෘත කරමින් ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පළමුව වාහනයක නැගී ධාවන පථයේ ගමන් කළේය. කිලෝමීටර් දෙකක් පමණ දුර වාහනය ධාවනය කළ අමාත්‍යවරයා පැමිණ සිටිය ආරාධිත අමුත්තන් සිටි ස්ථානය ආසන්නයේ වාහනය නතර කර

”ඇමැතිතුමා යමු මාත් එක්ක රවුමක්” යැයි නාමල් ඇමැතිවරයා ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ට පැවසීය.

”අම්මෝ මට බෑ” ප‍්‍රසන්න කීවේය.

”මම එක්කනෙ යන්නේ බයවෙන්න එපා” නාමල් පෙරැත්ත කළේය.

”එක දවසක් මට මාර වැඩක් උනා. ඒ නිසා මම පරිස්සම් වෙනවා” ප‍්‍රසන්න කීවේය.

”ඒ මොකද්ද” ඇසුවේ සාගර කාරියවසම් මන්ත‍්‍රීවරයායි.

”වැවකට මාළු පැටව් මුදාහරින වැඩකට ගියාම එතන බෝට්ටු තිබුණ නිසා මම කිව්ව ටිකක් වැව මැදට ගිහින් මාළු වැවට දාමු කියලා. ටිකක් වැව පැත්තට යනකොට බෝට්ටුව පෙරලූනා. එදා ඉඳල මම පරිස්සම් වෙනවා” ප‍්‍රසන්න කීවේය.

”සර්, අද බය වෙන්න ඕනේ නැහැ. නාමල් ඇමැතිතුමානේ කතා කරන්නේ.” සාගර කාරියවසම් මන්ත‍්‍රීවරයා කීය.

”ඔව් ඔව් ඒක ඇත්ත. ක‍්‍රීඩා ඇමැතිතුමා නේ. බයවෙන්න ඕනේ නෑ” පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය ද කීවාය.

එතැන සිටි බොහෝ අයගේ පෙරැත්ත කිරීම මත රණතුංග ඇමැතිවරයා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ රථයට ගොඩ වුණේය.

”අපේ සංචාරක ඇමැතිතුමා මෙම යන ගමන සංචාරක ව්‍යාපාරයටත් හොඳයි.” එතැන සිටි කවුදෝ කියනවා ඇසිණි.

”බයවෙන්න එපා ඇමැතිතුමා. මම ඉන්නවනේ. ඇමැතිතුමාව පරිස්සමට අරන් එනවා.” කියමින් නාමල් රාජපක්ෂ ඇමැතිවරයා වැලි පර මතින් රථය ධාවනය කරන්නට විය.

පළමු වර නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ගිය මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් ඔහු මෙවර තෝරාගෙන තිබිණි. ඔවුන් පිටිපස්සෙන් සාගර කාරියවසම් මන්ත‍්‍රීවරයා ද තවත් වාහනය නැගී ආවේය. එතැන සිටි කිසිදු කාන්තාවක් මෙම වාහන ධාවනයට ඉදිරිපත් නොවීම නිසා කේ‍්‍රට් ඇඞ්වෙන්චර්ස් ආයතනයේ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන හිටපු ක‍්‍රීඩා උපදේශිකාවක වන පද්මලතා අබේසිංහ මහත්මිය එම අවස්ථාව ලබාගත්තාය. ඇයද නාමල් ඇමැතිවරයා හා අනෙකුත් අය සමඟ වැලි පර මතින් වාහනය ධාවනය කළ ආකාරය සැමගේ සිත් ගත්තේය.

”ඇමැතිතුමා, ඉස්සෙල්ලා ගිය පාරට වඩා මේ පාර බාධක වැඩියි” නාමල් ප‍්‍රසන්නට කීවේ අතරමග පිහිටි වළක් මතින් වාහනය ධාවනය කරන අතරේයි.

”එහෙමද. මම ආවේ නාමල් ඇමැතිතුමා හින්දමයි.”

”අයියා බය නැතුව අල්ලා ගන්නකෝ” කී නාමල් රාජපක්ෂ ඇමැතිවරයා වැලි පර බාධක මතින් ප‍්‍රවේශමට රථය ධාවනය කළේය.

කිලෝමීටර් දෙකක පමණ ධාවන පථය වටා ගිය නාමල් ඇමැතිවරයා ආරාධිත අමුත්තන් සිටි ස්ථානයේ වාහනය නතර කරන විට එහි සිටි සියලූ දෙනා අත්පොළසන් දුන්නේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා මෙවැනි ත‍්‍රාසජනක ක‍්‍රීඩා ඇතුළත් සංචාරක ස්ථාන (adventure tourism) කිහිපයක් ඉදි කෙරෙන බව සඳහන්ව තිබේ.

”ටුවරිසම්වලින් ගොඩ එන මේ වෙලාවේ මේක හොඳ ආයෝජනයක්” වාහනයෙන් බසින අතරේ නාමල් පැවැසීය.

”මේක මරු. සංචාරක ව්‍යාපාරයට ඕන කරන්නේ මේ වගේ දේවල් තමයි. මිනිස්සු වෙනසක් හොයාගෙන එනකොට මේ වගේ දේවල් තියෙන්න ඕනේ.” කී ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ”හැබැයි තව ටිකකින් අපි වාහනයේ ගිය සිද්ධිය තමයි සමාජ මාධ්‍යවල ලොකුම සිද්ධිය වෙන්නේ” යැයි කිවේය.

”එහෙම උනාට නම් කමක් නැහැ. මේකේ හොඳ පැත්ත කතා කරනවා වෙනුවට නැති නරකත් හදලා කියයිද දන්නෑ” නාමල් ඇමැතිවරයා කීවේය.

”ඒකනම් ඇත්ත. සමහරු හැම දේකම වැරදි පැත්තකමයි දකින්නේ.” ප‍්‍රසන්න රණතුංග කීවේය.

”රටේ මේ තරම් ප‍්‍රශ්න තියෙන කොට මේගොල්ලෝ බයික් පැදලා විනෝද වෙනවා කියයි. ටික දෙනෙක් ඔය වගේ කතා හදලා ප‍්‍රමෝට් කරනවා. ඒ අය දන්නවා මේ වගේ අලූත් දේවල් රටට ඕනේ. රටේ ආදායම් වැඩි වෙන්නේ එතකොටයි කියලා. ඒවා දැන දැනත් නෙගටිව් අදහස් ජනතාව අතරට යවන්නේ හිතාමතාමයි.” සාගර කාරියවසම් මන්ත‍්‍රීවරයා ද පිළිතුරු දුන්නේය. ”මේක පෞද්ගලික ආයෝජනයක්. ආණ්ඩුව මේකට මුදල් යොදවලා නැහැ. ආණ්ඩුව මේ වෙලාවේ මුදල් වියදම් කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන එකට. ඒ ඇත්ත ජනතාවට කියන්න ඕන. විවෘත කිරීමේ අවස්ථාවට ඇවිත් අපි ආයෝජකයා දිරිමත් කරන එකයි කරන්නේ” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා කියනවාත් සමගම නාමල් රාජපක්ෂ ඇමැතිවරයා සිනහමුසුව ”අයියා බයේ නේද ගියේ” යි ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයාගෙන් ඇසීය.

”පටන් ගත්තෙ බයෙන්. පස්සේ බය නැති වුණා” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා ද සිනහමුසුව ඊට පිළිතුරු දුන්නේය.

  • කාබනික බය දුරු කරන්න
    ජනාධිපති ගොවිපොළකට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිරතුරුවම යම් යම් දේවල් නිරීක්ෂණය කර හදාරන්නට කැමති අයෙකි. රසායනික පොහොර භාවිතය අත්හැර කාබනික පොහොර පමණක් භාවිතයෙන් සරුසාර සාර්ථක අස්වැන්නක් ලබාගත නොහැකි යැයි ඇතැමුන් නගන මැසිවිලි ජනාධිපතිවරයා එකපාර විශ්වාස කළේ නැත. එහෙත් ඒවා එකවරම බැහැර කරන්නට ද ඉක්මන් වූයේ නැත.

”මට ඕක ගැන හොඳට හදාරන්න ඕන… රජය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පළාත්බද ව කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කරන ගොවිපළවල් ආදර්ශ ගොවිපළවල් විදිහට පටන් ගන්න ඕන…”

”දැනටමත් ඒ වගේ ගොවිපොළවල් අප සතුව තියෙනව සර්…” නිලධාරීන් පෙන්වා දුන්හ.

”මට එහෙම එකක් බලන්න ඕනේ…”

ඒ අනුව පසුගිය සෙනසුරාදා උදේ වරුවේ දුම්මලසූරිය ප‍්‍රදේශයේ උඩුබද්දාව බුන්නැහැපොල

ගම්මානයේ පිහිටි කාබනික පෝර ගොවිපළක් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට හසු විය.

තරමක් වැහිබර කාලගුණික තත්ත්වයක් යටතේ වුවද ජනාධිපතිවරයාගේ එම නිරීක්ෂණ චාරිකාවට බාධාවක් වූයේ නැත. ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය පහත් කරනු ලැබුවේ දුම්මලසූරිය ජේ. ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලීය ක‍්‍රීඩාංගණයට ය. ජනාධිපතිවරයා පිළිගන්නට එතැනට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමැතිවරු පිරිසක් පැමිණ සිටියහ.

”හොඳ වෙලාවට ඇද වැස්ස නෑ…” මහින්දානන්ද කීවේය.

”හොඳ වැඩක් කරනකොට කොහොමත් වැස්සෙන් කරදරයක් නෑ…” ජනාධිපති කීවේය.

”මම මේ ඉස්කෝලෙට කලින් ඇවිල්ල තියෙනව වගේ මතකයි. මේ ඉස්කෝලේ කවුරුවත් නැද්ද මෙතන…” ජනාධිපතිවරයා එසේ වටපිට බලද්දී ජොන්ස්ටන් ඇමැති යමෙකුට සංඥාවක් කර ළඟට කැඳවා ගත්තේය.

”මේ තමයි මේ ස්කෝලෙ විදුහල්පතිතුමා…”

”කොහොමද දැන් මේ ඉස්කෝලේ. මොනවද දැන් තියෙන අඩුපාඩු එහෙම මෙතනට…”

ඔබතුමා මීට කලින් ආපු වෙලාවේ ඔය ප‍්‍රශ්නය අහද්දී අපි කිව්වා, ක‍්‍රීඩාංගණයක් හදලා දෙන්න කියලා. වැඩි දවසක් යන්න කලින් අපට මේ ක‍්‍රීඩාංගනය ලැබුණා.

”මට මතකයි මං අහන්නේ දැන් මොනවද අඩුපාඩු කියලා…”

”මේ පිට්ටනියෙ තණකොළ කපන්න තණකොළ කපන මැෂින් එකක් ලැබුණොත් නං ලොකු දෙයක්…” විදුහල්පති කිව්වේ ය.

”හොඳයි එහෙනම්… ඒකත් ළඟදිම ලැබේවි” ජනාධිපති ගෝඨාභය විශ්වාසයෙන් යුතුව කීවේය.

මේ අතර ගම්මානයේ ගම්වැසියන් පිරිසක් ද එතන වූ බැවින් ජනාධිපතිවරයා ඔවුන් සමගද වචන කිහිපයක් කථා බහ කරන්නට අමතක නො කළේ ය.

”මොනවද ඕගොල්ලන්ට දැන් තියෙන ප‍්‍රශ්න” සුපුරුදු පරිදි ජනාධිපතිවරයා එම ප‍්‍රශ්නය අසන විට එතන හුන් කාන්තාවක් කීවේ… ”අපෙ බුදු සර්ගෙ මූණ දකිනකොට අපේ තියන ප‍්‍රශ්න ඔක්කොම අමතක වෙනවා” කියාය.

”ඔබතුමා එක වතාවක් යුද්ධයෙන් රට බේරගත්තා. දැන් ඔබතුමා මේ වසංගත රෝගයෙන් අපි ඔක්කොම බේරගන්න කරන කැපකිරීම අපට පේනවා…” තවත් අයෙක් කීවේය.

ජනතාව අතරින් නැගුණු ප‍්‍රශංසා සිනහ මුවින් භාරගත් ජනාධිපතිවරයා විසින් පසුව ලෙස්ලි agro products පුද්ගලික සමාගමේ අක්කර 13ක ගොවිබිම බලන්නට ගියේය. එහි මූලිකවම තිබුණේ පොල් වගාවකි. ඒ හැරුණු විට කාබනික පොහොර යොදා වගා කරන ලද එළවළු සහ පලතුරු වර්ග රාශියක් එම ගොවිපළේ ක‍්‍රමානුකූලව සරුසාරව වගා කර ඇති ආකාරය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට හසුවිය.

ජනාධිපති වගාවන් අතරින් යමින් ඒවායේ විස්තර විමසා සිටියේ එම එක එක ඒකක බාරව වැඩ කළ සේවකයන් ගෙනි. මෙම ගොවිපළ සතුව විශේෂ කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක් ද විය. විශේෂත්වය වූයේ එම කාබනික පොහොර නිෂ්පාදනය ගැඩවිලි පණුවන් වර්ගයක් භාවිතයෙන් සිදු කිරීමය. ජනාධිපති ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තේ ක‍්‍රමානුකූලව එම නිෂ්පාදනාගාරයේ වැඩකටයුතු ගැන සේවකයන්ගෙන් විස්තර විමසන අතරතුරය.

ඊටත් පසුව ජනාධිපතිවරයා ගියේ ගෙවත්ත මැද සේවකයන්ගේ වෙහෙස නිවීම සඳහා තනා තිබූ අලංකාර පැල් කොටයක් වෙතය. එළිමහනේ වාඩිවී ජනාධිපතිවරයා මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් ද කළේය.

”කාබනික ගොවිතැන කරන්න බැරි දෙයක් නෙවෙයි. හැබැයි අමාරු දෙයක්. ඒකට කැපවෙලා වැඩ කළොත් අමාරු නෑ. අන්න ඒක තමයි මේ ගෙවත්ත දිහා බලනකොට අපට පෙනෙන කාරණාව.

අපි මේක කළ යුතුයි. රටේ ජනතාවට වසවිසෙන් තොර ආහාර සපයමින් ජනතාව නිරෝගී අනාගත පරපුරක් බවට පත් කරන්න නම් අපට අමාරුවෙන් හරි රසායනික පොහොර අත්හැරලා කාබනික පොහොර වගාව වැලඳ

ගන්න සිද්ධ වෙනවා. ඒ අස්සෙ කවුරු හරි බල කරනවා නම් අපට රසායනික පොහොර ම ඕන කියලා, රසායනික පොහොරත් එක්ක වකුගඩුවකුත් ඉල්ලන්නයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.”

ඉන් අනතුරුව ජනාධිපතිවරයා කාබනික පොහොර යොදා වගා කරන ලද එළවළු සහ පලතුරු මහජනතාවට අලෙවි කිරිම පිණිස තබා ඇති කුටියකට ගොඩවී එළවළු හා පලතුරු මිලදී ගත්තේය.

එම ගොවිපළේ ජනාධිපතිවරයා ගත කළ කාලය පැය දෙකකට අධිකය.

”ඇත්තටම මම අද මෙතෙන්ට ආවේ කාබනික වගාව ගැන නිරීක්ෂණයක් කරල යන්න. හැබැයි මට අද ඊට එහාට ගිය ලොකු අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන් වුණා. ඒක ලබා දෙන්න උදව් කිරීම ගැන ඔයාලට ස්තුතිවන්ත වෙනවා.” කියමින් ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ආපසු පැමිණියේය.

හෙලිකොප්ටරයට නගින්නට ජේ. ආර්. ජයවර්ධන විද්‍යාලයට පැමිණෙද්දී ජනාධිපතිවරයාට දැක ගැනීමට හැකි වූයේ ගමේ ජනතාව විශාල ප‍්‍රමාණයක් පිට්ටනියට රැස්වී සිටින ආකාරයයි. හෙලිකොප්ටරයට නගින්නට පෙර එම ජනතාව අතරට ගොස් ඔවුන්ට ආචාර කර පැමිණෙන්නට ද ජනාධිපති අමතක කළේ නැත.

  • ආණ්ඩු පක්ෂයේ – මන්ත‍්‍රීවරු හමුවෙති
ආණ්ඩුව ඇතුළේ සටන්කාමී පක්ෂ නායකයන්ට ජනපතිගෙන් රතු එළියක්

පසුගිය සති කිහිපය තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම ඇතුළාන්තයේ ද යම් යම් මතභේද හා ගැටුම් තිබුණු බවට දේශපාලන කතිකාව තුළ කතාබහක් ඇති විය.

ඊට හේතු වූයේ ආණ්ඩු පක්ෂයේ සිටින පක්ෂ 11කින් සමන්විත මන්ත‍්‍රීවරු කණ්ඩායමක්, අද රට මුහුණ පා සිටින අර්බුදය පිළිබඳ වෙනම සාකච්ඡා කරන්නට පටන් ගැනීමයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළාන්තයේ ද විවිධ මත පළ වූ බව රහසක් නොවේ.

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති ගෝඨාභය ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් පවත්වන්නට තීරණය කළේය.

එම කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ පසුගිය 24 වැනි ඉරිදා රාත‍්‍රියේ ජනාධිපති මන්දිරයේය. ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු 6. 30 ට පමණ සාකච්ඡාව සඳහා අසුන් ගෙන සිටියත් ජනාධිපති අගමැති හා මුදල් ඇමැති පැමිණෙන විට හයයි හතලිස් පහත් පමණ වී තිබිණි.

”මුලින් කතාබහ ආරම්භ කරමින් කතා කළේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාය. නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තු කටයුතු සිදු විය යුතු ආකාරය ගැන ඔහු දිගින් දිගටම ලොකු විස්තරයක් කළේය.

”පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂය දැන් එකතුවෙලා ඉන්නේ. ඒගොල්ලෝ දේශපාලන වාසි ලබාගන්න විවිධ චෝදනා ආණ්ඩුවට නගමින් කථා කරනවා. විවිධ තර්ක වාද විවාද මතුකරනවා. දේශපාලන වාසි ලබාගන්න කරන මේ තර්ක වලට අපි ශාස්ත‍්‍රීය උත්තර දීලා හරියන්නේ නෑ. අපි මේගොල්ලන්ට උත්තර දෙනව නම් දෙන්නත් ඕන දේශපාලන උත්තරවලින්ම විතරයි. ගැලරියට කතා කරනකොට ගැලරියටම උත්තර දෙන්න වෙනවා…” ජොනී කීවේය.

කම්කරු ඇමැති, ඉඩම් ඇමැති, කෘෂිකර්ම ඇමැති ඇතුළු ඇමැතිවරු ගණනාවක්ම ඉන් පසුව ඉදිරිපත් වී තම තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් ගැන අනෙකුත් මන්ත‍්‍රීවරු දැනුවත් කළහ. ඒ අතරතුර වාසුදේව නානායක්කාර ඇමැතිවරයා කතා කළේය.

”මම අවුරුදු පනහක් දේශපාලනය කරපු පාර්ලිමේන්තු දේශපාලනය ගැන හොඳ අවබෝධයක් තියෙන මන්ත‍්‍රීවරයෙක්. ආණ්ඩුවක කටයුතු කරන හැටි ගැනත් විපක්ෂයක ඉඳිද්දි කටයුතු කළ යුතු ආකාරය ගැනත් මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අතරේ ආණ්ඩුවේ ම සමහරු මට ඇහුණ කියනවා අපි ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවා කියලා.

නමුත් අපි මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. ආණ්ඩුව ඇතුළේ අපි එකතුවෙලා ඉන්නේ විවිධ දේශපාලන මතිමතාන්තර තියෙන, දේශපාලන විවිධතා රාශියක් ඇති කණ්ඩායම් කීපයක්. එතෙන්දි අපි අපේ ප‍්‍රතිපත්ති ගැන කතා කරනකොට සමහර වෙලාවට ආණ්ඩුවට විරුද්ධයි වගේ දැනෙනවා ඇති. අපේ ප‍්‍රතිපත්තිවලට අනුව අපේ හෘදය සාක්ෂියට අනුව අපි කතා කරනවා. අපි විවේචනය කරන්නේ, සමහර වැරදි පෙන්නල දෙන්නෙ ආණ්ඩුව රැක ගන්න මිසක් ආණ්ඩුව කඩලා බිඳලා දාන්නං නෙමෙයි.”

වාසුදේව තම කතාවේදී මහින්ද රාජපක්ෂ නම් කෘතහස්ත දේශපාලනඥයා සමග තමන් ද අවුරුදු පනහකට අධික කාලයක් මේ රටේ දේශපාලනය කළ ආකාරය ද මතක් කළේය.

මේ අවස්ථාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ ද වාසුදේවගේ කතාව ගැන ඇගයීමක් කළේය. ඉන් අනතුරුව කතා කළේ රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයාය.

”අපි තුනෙන් දෙකක බලයක් සහිතව ආණ්ඩුව භාරගත්ත ශක්තිමත් කණ්ඩායමක්. රට භාර ගත්ත ගමන් කොවිඞ් වසංගතය වගේ නොහිතපු අභියෝගවලට අපිට මුහුණ දෙන්න සිදුවුණා. එහෙම තියෙද්දිත් අපි සාර්ථකව මුහුණ දෙමින් රට ගොඩනගන කාර්යභාරයට ජනාධිපතිතුමාට උර දෙනවා. විපක්ෂය අපිට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරනවා. එහෙම වෙලාවක අපි තුනෙන් දෙකක බලයක් තියෙන ආණ්ඩුවක් හැටියට විපක්ෂයට විරුද්ධ නොවී අපි අපිම විවේචනය කර ගන්නකොට තමයි ආණ්ඩුවේ ශක්තිය පිරිහිලාය කියලා පිටට වැරදි ආරංචියක් යන්නේ.

අපි ඇතුළෙදි අපේ ප‍්‍රශ්න කතා කරලා විසඳගමු. රණ්ඩු වෙමු, බැණගමු. පිටදී ආණ්ඩු පක්ෂයක් විදියට එකට ඉඳගෙන අපිත් දේශපාලන හතුරන් පරාජය කරන සටනට එකතු වෙමු. උදාහරණයක් වශයෙන් පොහොර ප‍්‍රශ්නෙදි මහින්දානන්ද ඇමැතිතුමාව තනි නොකර අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කතා කරමු.”

”විපක්ෂයේ අපිට ගහනකොට අපේ අයත් එකතුවෙලා අපිටම ගහනවා… ඒකයි මේ වෙලා තියෙන්නේ…” තිස්ස කුට්ටිආරච්චි කීවේය.

ඉන් අනතුරුව සුරේන් රාඝවන් හරි අමුතුම කතාවක් කීවේය..

”මම පහුගිය දවස්වල උතුරේ ගොවි ජනතාව හොඳින් වගා කරන පළාත් ගණනාවක සංචාරය කළා. ඒ මිනිස්සු දකුණට ගිහින් කියන්න කියලා හොඳ පණිවිඩයක් කිව්වා… ”අපට කලට වෙලාවට වතුර ටික දෙන්න. අපිට රසායනික පෝර බේත් කිසිවක් එපා. අපි ඉල්ලන්නේ වතුර විතරයි. ඒ වෙනුවට රටටම අවශ්‍ය හාල්, එළවළු, පලතුරු, අල ලූනු ටික අපි දෙන්නම්…” අන්න ඒ මිනිස්සු මේ ප‍්‍රශ්නය දිහා බලන විදිය.

ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතා කළේය.

”විපක්ෂය මේ කොවිඞ් අර්බුදය පොහොර ප‍්‍රශ්නය වගේ ජාතික ගැටලූවලට විසඳුම් හොයන්නේත් දේශපාලනයෙන්. කොවිඞ් අර්බුදය වගේම මේ පොහොර ප‍්‍රශ්නයත් ජාතික වශයෙන් විසඳුම් හොයා ගන්න ඕන ප‍්‍රශ්න දෙකක්. පටු අරමුණු තියාගෙන මේවාවලට විසඳුම් කියන්න බැහැ. නමුත් විපක්ෂයේ හැසිරීම කනගාටුදායකයි.

දැන් පොහොර ප‍්‍රශ්නය ගත්තාම ඒක අපි හදිසියේ ගත්ත තීන්දුවක් නෙවෙයිනේ. මහ කන්නයට වගාවට රසායනික පොහොර ගේන් නෑ කියලා අපි ගොඩක් කලින් කිව්වේ. අපිට විසඳුම් හොයා ගන්න කාලය ඕන තරම් තිබුණා. නිලධාරීන් පවා මේ ප‍්‍රශ්නයෙන් කර ඇරියා මිසක් විසඳුම් හෙව්වේ නෑ.”

එසේ කියමින් ජනාධිපතිවරයා ඊළඟට වාසුදේව නානායක්කාරගේ කතාව අගය කළේය. වාසුදේවලාගේ හා මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය අලූත් පරපුර පාඩම් ඉගෙන ගත යුතු අන්දම ගෝඨා විස්තර කර කීවේය. ජය හා පරාජය හමුවේ සටන්කාමිත්වය අත නොහැර දිගින් දිගටම පැමිණි ගමනක හැඩ ගැන ඔහු අගනා විස්තරයක් කළේය.

”අනිත් එක නවක මන්ත‍්‍රීවරු පුළුවන් තරම් ජනතාව අතරට යන්න. ජනතාව අපිට සමීප වෙන්න අපිත් එක්ක කතාබහ කරන්න හරි කැමතියි. ඡුන්දෙට විතරක් ජනතාව ළඟට ගිහිල්ලා ඊට පස්සේ ජනතාව දකිනකොට දුවන්න පටන් ගන්න එපා. මම ඊයේ කියා කුලියාපිටිය දුම්මලසූරිය පළාතේ ගමක ගොවිපොළක් බලන්න. එතන විශාල වශයෙන් අහිංසක ගැමි ජනතාව රැස් රැස් වෙලා අපිව වටකරගත්තා. ඔයාලගේ තියෙන ප‍්‍රශ්න මට කියන්න කිව්වම ඒ ගමේ අම්මලා කිව්වා අනේ මහත්තයෝ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා ඕගොල්ලන්ව දැක්කම අපිට ඒ ප‍්‍රශ්නත් අමතක වෙලා යනවා කියලා. ඔන්න ඕක තමයි ඇත්ත. මහින්ද රාජපක්ෂල වාසුදේවල වගේ අය ජනතාව අතරේ රැඳී හිටියේ ළඟට ගිහිල්ලා ජනතාවගේ දුක අහපු නිසයි.”

බොහෝ මන්ත‍්‍රීවරුන් මෙහිදී තම තමන්ගේ අදහස් දක්වන්නට වූහ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඔවුන්ගේ අදහස් ගරු කරමින් අසා සිටියහ. ඇතැම් අදහස්වලට උත්තර දුන්හ.

”ආණ්ඩුවේ නිලධාරි මහත්තුරු හරියට ප‍්‍රශ්න තේරුම් ගන්නේ නැතුව එක එක උත්තර දෙනවා. මට පේන්නෙ නෑ කෘෂිකර්ම ලේකම්තුමා වුණත් එක මතයක ඉන්නවා කියලා…” අගමැති මහින්ද කීවේය.

මේ අයුරින් බොහෝ වේලාවක් මන්ත‍්‍රීවරු තම තමන්ගේ අදහස් දක්වන්නට වූහ. අවසානයේ රාත‍්‍රී අටයි තිහට පමණ අග‍්‍රාමාත්‍යවරයා සියලූම දෙනාට රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සඳහා ආරාධනා කර සිටියේය.

පොහොර අර්බුද හේතුවෙන් කලක් තිස්සේ එකිනෙකා හමුවී සුහදව කතාබහ නොකළ මන්ත‍්‍රීවරු රැසක් මෙහිදී කුළුපඟ ලෙස එකිනෙකා සමග කථාබහ කරන ආකාරය දැක ගත හැකි විය.

  • පක්ෂ සම්මේලනයට
    පොහොට්ටුවේ සූදානම

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන පක්ෂ සංවත්සරය එළඹෙන නොවැම්බර් දෙවැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගම්පහ දිස්ත‍්‍රික්කයේ දේශපාලන නායකයෝ පසුගිය ඉරිදා මිනුවන්ගොඩ කාර්යාලයට රැස්විය. මේ අවස්ථාවට, මිලාන් ජයතිලක, සහන් ප‍්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වූහ.

”සෞඛ්‍ය උපදේශ අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සම්මේලනය සූදානම් කරනවා. දෙරණ නාළිකාවෙන් සංවත්සරය ලයිව් පෙන්වන්නත් සූදානම් කරනවා. මේ ගැන අපේ පාක්ෂිකයන් දැනුවත් කරන්න. සමහරු මොන සෞඛ්‍ය ප‍්‍රශ්න තිබුණත් සංවත්සරයට එන්න ලැහැස්තියි. ඒ වුණාට මේ පාර වෙනදා වගේ ජනතාව සහභාගි කරවන්න පුළුවන් කමක් නැහැ.” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා එහි පැමිණ සිටි මහජන නියෝජිතයින් සමඟ පැවසීය.

”පක්ෂයේ මාධ්‍ය ඒකකය මන්ත‍්‍රීවරුන්ගේ පේජ්වලින් සම්මේලනය ලයිව් පෙන්නන්නත් සූදානම්. ”

”ඔව්. මීඩියා එකේ නයන අපේ කට්ටියට කතා කරලා ඒ ගැන දැනුවත් කරලා තියෙනවා.” සහන් ප‍්‍රදීප් මන්ත‍්‍රීවරයා ද කීවේය.

”පක්ෂ සංවත්සරය ලයිව් බලන්න කියලා අපේ ජනතාවට පණිවිඩය දෙන්න ඕන” කෝකිලා හර්ෂණී මන්ත‍්‍රීවරිය පැවැසුවාය.

”ඊට අමතරව හැම ටවුන් එකක්ම සරසන්න. ගම් මට්ටමින් දැනුවත් කිරීම් කරන්න” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තව තවත් උපදෙස් දුන්නේය.

මේ කතාබහින් පසුව වත්මන් දේශපාලන කරුණු ද සාකච්ඡාවට ගැනිනි.

”දැන් ජනතා විමුක්ති පෙරමුණ ගමෙන් පටන් ගන්නවලූනේ” මිලාන් ජයතිලක මන්ත‍්‍රීවරයා කීවේය.

”ඒක නම් මමත් දැක්කා. කෙලින්ම බැසිල් ඇමැතිතුමා ව කොපි කරන එකයි කරන්නේ. බැසිල් ඇමැතිතුමා අපේ පක්ෂය හැදුවේ ගම එක්ක සාකච්ඡා කරලා. ගම සමග පිළිසඳරක් කරලා. අපි අය වැය වුණත් හදන්නේ ගමත් එක්ක කතා කරලා. ඒ අය වචන වෙනස් කරලා ඒකම කරන්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඒ අය තේරුම් අරගෙන තියෙනවා බත්තරමුල්ල කාර්යාලයේ ඉඳගෙන මිනිස්සුන්ව උද්ඝෝෂණවලට පොලඹවලා විතරක් ආණ්ඩු පෙරළන්න බෑ කියන එක.” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා සඳහන් කළේය.

”ඔව් ඒ අයට ගමෙන් පටන් ගන්න ඕනේ කියලා දැනුයි මතක් වෙලා තියෙන්නෙ. ඒ වුණාට අපි නම් හැමදාම හිටියේ ගමත් එක්ක.” කෝකිලා හර්ෂණී කීවාය.

”ඒ අයට මෙච්චර කල් ගමට එන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ගමට ඇවිත් ගමේ මිනිස්සුන්ගෙන් අයිඩෙන්ටි අරන් ගියා, තරුණ තරුණියෝ ටික අරන් ගිහින් හන්දි හන්දි ගාණේ මරලා දැම්මා, ගමේ මිනිස්සුන්ගෙ බඩු තිබුණු සමුපකාර කඩල ඒ බඩු අරන්

ගියා, දණට උඩින් මිනියක් උස්සන්ඩ දුන්නේ නැහැ. ඒ කාලේ මතකේ තියන පරම්පරාව නැති වෙලා යනකල් ඒ අයටත් ගමට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඇත්තම කතාව ඒක. දැන් ඒ මතකය තියන අය බොහොම පොඩි ප‍්‍රමාණයයි ජීවතුන් අතර ඉන්නේ. අද තරුණ අය ජේවීපී කියන අයගේ ඇත්ත මුහුණුවර දන්නෙ නැහැ. අපිටත් අපේ වැඩිහිටියෝ තමයි මේ ඇත්ත කියල දීලා තියෙන්නේ.” සහන් ප‍්‍රදීප් මන්ත‍්‍රීවරයා කීවේය.

”ලෝක වසංගතයක් තියෙන වෙලාවක අයිතිවාසිකම් දිනාගන්න මිනිස්සු මෙහෙයවන්නෙ ආණ්ඩුවකට ඉල්ලීම් දෙන්න බැහැ කියන එක දන්න නිසයි. ඒ වුණත් මේ හැම ප‍්‍රශ්නයක්ම තව ටික කාලයකින් විසඳෙනවා. ගොවීන්ගේ ප‍්‍රශ්න, ගුරුවරුන්ගෙ ප‍්‍රශ්න, සේවකයින්ගේ ප‍්‍රශ්න හැම දේකටම විසඳුම් දෙනවා කියලා සෞභාග්‍ය දැක්මෙන් පොරොන්දු වෙලා තියෙනවා. වසංගතය ආවෙ නැත්නම් මේ වෙනකොටත් සෑහෙන ප‍්‍රශ්න ප‍්‍රමාණයක් විසඳිලා. පංච මහා බලවේගය කියන වචනෙ අයිතිය වෙන තැනක තිබුණට පංච මහා බලවේගය ඉන්නේ බැසිල් ඇමැතිතුමා එක්ක” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා නැවතත් කීවේය.

”ජේවීපී එක ලකුණු වෙනස් කරනවා, පාට වෙනස් කරනවා, වචන වෙනස් කරනවා. කන්නාඩි වෙනස් කර කර මිනිස්සු ඉස්සරහට ආවට ඇත්ත රූපේ හංගන්න බැහැ” කෝකිලා හර්ෂණී ගුණවර්ධන පැවසුවාය.

  • සජිත් තනිකර
    මන්ත‍්‍රීවරු පැනයයි !

පසුගිය සතිය සමගි ජන බලවේගයට ද එතරම් සුබපලදායක සතියක් නොවීය. රටේ සංවර්ධන කටයුතුවලට හා රට වෙනුවෙන් රජය කරන හොඳ වැඩ කටයුතුවලට සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ සමගි ජන බලවේගය කිසිදු සහයෝගයක් නැතැයි යන චෝදනාව හැම පැත්තකින්ම නැගෙන්නට විය.

ඒ හැරුණ විට රට පුරා ගොවියන්ව නොමඟ යවමින් ගොවි උද්ඝෝෂණ පවත්වන්නටත් ගුරුවරුන්ව මෙහෙයවමින් අසාධාරණ ලෙස දරුවන් ප‍්‍රාණ ඇපයට තබා ගෙන ගුරුවරු සංවිධානය කරන්නටත් නායකත්වය දෙන්නේ ස ජ බ ය යන චෝදනාව ද විය.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කීප වතාවක්ම සජබයට ඇඟිල්ල දිගු කරමින් චෝදනා කළ අයුරු ද අපට මතකය.

මේ අතර ජනාධිපතිවරයාට සමහර දේශපාලන හිතවතුන් කෙලින්ම කීවේ මේ උද්ඝෝෂණ හා අරගල හමුවේ දැඩි පියවර අනුගමනය කරන්නට යැයි කියාය.

”ඔබතුමා ඔබතුමාගේ සුපුරුදු දැඩි පිළිවෙතට එන්න… ආයෙත් අර සූරවීර රණවිරුවාගේ ඇඳුම ගසා බසා දාලා අරගන්න…

ජනාධිපති සම්බන්ධයෙන් එසේ අදහස් පළ කරන අය සමාජයේ ද සිටියහ. ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේ බොහෝ කල්පනාකාරී ව ය.

ඒ කෙසේ වෙතත් සමගි ජනබලවේගය සම්බන්ධයෙන් පසුගිය සතියේ රට තුළ තවත් අලූත් ආරංචියක් පැතිර යන්නට පටන් ගත්තේය. ඒ වූ කලී සජිත් සමග ගැටුම් ඇති කර ගත් තවත් දෙදෙනෙක් දැන් සමගි ජනබලවේගයෙන් ඉවත්ව යන්නට සූදානම් වෙමින් සිටින බව ය. මන්ත‍්‍රීවරුන් දෙදෙනා හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ය.

කෙසේ වෙතත් ඒ දෙදෙනා නම් එම ආරංචිය ලත් සැනින් ම ප‍්‍රතික්ෂේප කර හැරියේය. කිසිදු දෙයක් හරියට කරගන්න බැරි ආණ්ඩුව දැන් අපි ගැන බොරු කතා පතුරවා හරිනව යයි මන්ත‍්‍රීවරු දෙදෙනාම රජයට චෝදනා කරන්නට වූහ.

  • මවගේ උපන් දිනයට
    සජිත් කාසල්වීදියට ගිහින්

සජිත් පේ‍්‍රමදාසගේ මෑණියන් වන හේමා පේ‍්‍රමදාස මහත්මියගේ 87 වන උපන් දිනය පසුගිය සතියේදී යෙදී තිබුණි. මවගේ උපන්දිනය වෙනුවෙන් සජිත් ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහනේ විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළේ කාසල් වීදියේ කාන්තා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරමින්ය.

ඉන් පසුව ගතවූ දින කිහිපයේදීම සජිත් නැවත වරක් ගොවීන් හමුවීමට ගියේය. හසලකට ගිය සජිත් ඉදිරි ආණ්ඩුවේදී ගෙන එන ලබනු ව්‍යවස්ථාවට ගොවීන්ගේ අයිතීන් ඇතුළත් කරන බවට සහතිකයක් දුන්නේය. තමන් ගෙන එනු ලබන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලදී ගොවියා සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම සඳහා ඔහුගේ අවධානය යොමුව තිබුණි.

මාතලේ විල්ගමුව ප‍්‍රදේශයේ ගොවීන් හමුවූ සජිත් කීවේ ආණ්ඩුව වියතුන් එලවා දමා වන්දිභට්ටයින්ට තැනදී ඇති බවය. රෝහිණී කවිරත්න මන්ත‍්‍රීවරිය සහ වසන්ත අලූවිහාරේ හිටපු මන්ත‍්‍රීවරයා සමග තොටගමුව වෙල් යායේදී ගොවීන් හමු වූ සජිත් හැටනව ලක්ෂය ගොවීන්ට කෙලෙහිගුණ සලකන ආකාරය ගැන විමසා සිටියේය. මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පසුගිය සතියේදි හිනිදුම ප‍්‍රදේශයේ තේ වගාකරුවන්ගේ ගැටලූ ගැන සොයා බැලීම සඳහා ගියේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පි‍්‍රයන්ත ජයතිලක සමගය. තවලම ප‍්‍රදේශයේ ස්ථාන අටකදී විරෝධතා සංවිධානය කර තිබූ අතර මුල් විරෝධතා තුනටම යතුරු පැදිවලින් පිරිසක් පැමිණ සිටියහ.

ඔවුන් විරෝධතාවයේ දර්ශන ජංගම දුරකතනයෙන් ලබා ගනිමින් තිබූ අතර ඔවුන් ගැන සොයා බලන විට මන්ත‍්‍රීවරයාට දැන ගැනීමට ලැබුණේ බුද්ධි අංශයේ පිරිසක් තමන් පසුපස එන බවය.

විරෝධතාවයක් සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන විට තමන්ගේ රැස්වීමට පැමිණ එයට බාධා කරන අය ගැන ඔහු අනාවරණය කළේය. ටික වේලාවකින් මේ ගැන විශාල ආන්දෝලනයක් ඇතිවූ අතර සජිත් වහාම මනුෂට කතා කළේය.

”මොකක් හරි ප‍්‍රශ්නයක්ද? මම ඔයාලාගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්නවා’’ සජිත් සහතිකයක් දුන්නේය.

  • ජනපති සමග සාකච්ඡා
    විසඳුම් නැතිව අවසන්

යුගදනවි බලාගාරයේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍ය බව කියමින් යම් දේශපාලන තරවටුවක යෙදී සිටී ආණ්ඩුවේ පක්ෂ එකොළහේ නායකයින්ට පසුගිය බ‍්‍රහස්පතින්දා හවස ජනාධිපතිවරයා අවස්ථාවක් ලබා දුන්නේය. එම සාකච්ඡාව ජනාධිපතිත් අගමැතිත් මුදල් ඇමැතිවරයාත් සහභාගී වන වටමේස සාකච්ඡාවකින් ආරම්භ කරන්නට සියල්ල සංවිධානය විය.

සාකච්ඡා පැවතියේ අරලියගහ මන්දිරයේ ය. හවස 6:00 ට පමණ සාකච්ඡාව ආරම්භ විය. යුගදනවි බලාගාරයේ අනාගත වැඩකටයුතු ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා දක්වන විරෝධතාවය ගැන කරුණු දක්වන්නට පක්ෂ එකොළහේ සාමාජිකයන්ට අවස්ථාව ලැබී තිබිණි. රජය නියෝජනය කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ තරයේ පවසා සිටියේ මෙම අවස්ථාවේ එම විසඳුම රටට අත්‍යවශ්‍යම විසඳුමක් බව ය.

පළමුව 40% ක කොටස් සමාගම වෙත පවරා දෙවනුව තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීම තුළින් මෙම ගනුදෙනුව හමාර කිරීමට සියල්ල සූදානම් බව නිලධාරීන් පවසා සිටියහ. එහෙත් ඒ සම්බන්ධයෙන් විවිධ යෝජනා හා චෝදනා පක්ෂ එකොළහේ නියෝජිතයන් විසින් නගන්නට වූහ.

”හරි ඕගොල්ලෝ දැන් මේ සම්බන්ධයෙන් කරන යෝජනා මොනවාද… මේ ගොල්ලන්ගෙ නිර්දේශත් මේ ගිවිසුමට ඇතුළත් කර ගත්තහම ප‍්‍රශ්නය සමථයකට පත් කරගන්න පුළුවන්… අගමැති මහින්ද රාජපක්ෂ අතරමැද තැනකට එන්නට උත්සාහ කළේය.

එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටියේ තරමක් දැඩි ස්ථාවරයක ය.

නැවත වතාවක් මේ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් කරමින් සාකච්ඡා කරන්නට සියල්ලෝම එකඟත්වය පළ කර සිටියහ. අවසන් විසඳුමක් නොමැතිව සාකච්ඡාව අවසන් වන විට හොඳටම රෑ බෝ වී තිබිණි.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment