ආණ්ඩුව කියවිය යුතු ත්‍රිපෝෂ පිළිබඳ කතාව

724

මවුවරුන් සඳහා නොමිලේ ලබාදෙන පෝෂ්‍ය පදාර්ථ සහිත ධාන්‍ය සහ විටමින් සහිත ආහාරයක් වූ ත්‍රිපෝෂ නිපදවන කර්මාන්ත ශාලාව වසා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ. ආණ්ඩුව බලයට පැමිණ තවමත් මාසයකි. මේ හදිසියේ ත්‍රිපෝෂ කොම්පැණිය වැසීමට ඔවුන්ට වුවමනාවක් තිබූ බවක් නොපෙනේ. ත්‍රිපෝෂ කොම්පැණිය වැසීමේ කතන්දරය යහපාලන ආණ්ඩුවට පෙර පැවැති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ මුල් යුගයේ සිට සාකච්ඡාවට ලක් විය. එහෙත් වගකිව යුතු දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සහ බුද්ධිමත් නිලධාරීන් රැසකගේ ඕනෑකම මත එම තීරණය ගැනීමට ආණ්ඩුවට බැරි විය. ත්‍රිපෝෂ කොම්පැණිය වැසීම එවකට පැවැති ආණ්ඩුවල වුවමනාව පමණක් නොවන බව අපි දනිමු. මේ කියන කාලයේ දී විවිධ ‘පෝෂ’ වර්ග විවිධ නම් යටතේ පුද්ගලික අංශය මගින් වෙළෙඳපොළට මුදාහරින ලදී. මේ නිසා ත්‍රිපෝෂ යට ගියේය. සමහර විට ත්‍රිපෝෂ කොම්පැණිය වසා දමා තමන් නිපදවන පෝෂ වර්ගවලට ත්‍රිපෝෂ පිළිබඳ වෙළෙඳ ඒකාධිකාරිය ලබාගැනීම පෙර කී පෝෂ මුදලාලිලාගෙන් එකකුගේ හෝ වැඩි පිරිසකගේ වුවමනාව වන්නටත් ඇති. එබැවින් හෝ වෙනත් කාරණයක් නිසා ත්‍රිපෝෂ කොම්පැණිය වසා දැමීම අත්හැර දැමීමට සිදුවිය. අනුර දිසානායකගේ ආණ්ඩුව මගින් ත්‍රිපෝෂ කොම්පැණිය වසන බවට විරුද්ධ පක්‍ෂය කතන්දර කියන්නට පටන් ගැනීමත් සමගම ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් විපක්‍ෂයේ එම කතාව සම්පූර්ණ බොරුවක් බව කීවේය. අපගේ ප්‍රාර්ථනය එය සදාකාලික බොරුවක්ම විය යුතුය යන්නය. ත්‍රිපෝෂ කොම්පැණිය කවදාවත් නොවැසේවා. එය නොවැසිය යුත්තේ ඇයි ද යන්න මේ කතු වැකියේ ඉතුරු ටික කියැවීමෙන් තේරුම් ගැනීමට ඔබට හැකි වෙනවා ඇත.

1945 අගෝස්තු මාසයේ දී දෙවැනි ලෝක යුද්ධය අවසන් විය. මේ වන විට ජපානය බිමට ෆ්ලැට් වී තිබූ අතර කාර්මික රටවල් බොහොමයක් නන්නත්තාර වී තිබිණ. යාන්තම් ආර්ථිකය සමග හැප්පෙමින් ඉදිරියට යෑමට හැකිව තිබුණේ ඇමෙරිකාවට පමණි. ආසියාවේ බොහෝ රටවල් සම්පූර්ණ හිඟමනයට පත්ව තිබූ අතර මන්දපෝෂණය ලෝකය පුරාම පැතිරෙමින් තිබිණ. 1945 දී ශ්‍රී ලංකාවේ නාගරිකය යනු ඉතාම අඳුරු ගැමි කලාපයකි. එසේම එම කාලයේ දී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශය යනු අවුරුදු 12 – 15 ළමයින් පවා හෙළුවැල්ලෙන් සිටි කාලයකි. මේ අවදියේ දී ලංකාවේ ගම්මානවල දවසේ වැඩකටයුතු හවස පහට අවසන් විය. පන්සලේ සහ ගම්මුලාදෑනියාගේ ගෙදර හැර අන් කිසිදු ගැමි නිවසක ලාම්පු පත්තු නොකරන ලදී. ලාම්පු පත්තු කිරීමට අවශ්‍ය තෙල් වර්ග හෝ රාත්‍රී කාලයේ දී ආලෝකයේ අවශ්‍යතාව පිළිබඳ අදහසක් මේ රටේ ග්‍රාමීය අංශයට එකල තිබුණේ ද නැත. ඒ නිසා බොහෝ වේලපහින් තිබෙන අල ගෙඩියක් ගිල දැමූ නිවැසියෝ කබල් මැටි පැල්කොටවලට වැදී වර්ගයා බෝ කිරීමේ කටයුත්තට වේලාසනින්ම දායක වූහ. ඉන්දියාවේ තත්ත්වයත් මෙයම විය. අප්‍රිකාවේ තත්ත්වයත් මෙයම විය. හැබැයි එසේ වර්ගයා බෝ කළා කියා ලෝක ජනගහනය විශාල වශයෙන් වැඩි වුණේ නැත. එයට හේතුව අවුරුදු පතා මෙළොවට එන දරුවන් මන්දපෝෂණයෙන් ද, පණු අමාරුවෙන් ද මියයෑමය. ඇතැම් අම්මලාට දරුවන් වදනවා තියා කෙලින් සිටින්නටවත් බැරි විය. ඔවුන්ගේ සෞඛ්‍ය එපමණම දුර්වල විය. ඒ නිසා දරු උපතේ දී බොහෝ විට අම්මාත්, දරුවාත් යන දෙදෙනාම මියගියහ. එකල පියා අලුතෙන් ගැහැණියක් ගෙදර ගෙනවුත් ස්වකීය විනෝද ක්‍රීඩා කර්තව්‍යය පවත්වාගෙන ගියේය. මෙය ලංකාවේ තත්ත්වයම පමණක් නොවූ බව නැවත අවධාරණය කරමු. යුරෝපයේ දියුණු රටවල් කිහිපයක හැර සෙසු සියලු රටවල් රැසක තත්ත්වය මෙය විය. 1945 අගෝස්තු මාසයෙන් පසු ඇමෙරිකාවේ තිබූ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සල්ලි එකතු කර දුප්පත් රටවල මවුවරුන්ට පෝෂ්‍ය පදාර්ථ සැපැයීමේ සංවිධානයක් ආරම්භ කළහ. මෙය Care සංවිධානය ලෙස හඳුන්වන ලදී. මේ Care සංවිධානය ‘ඇදීහැස’ යනුවෙන් මෙරටට පැමිණ ලංකාවේ පාසල් දරුවන්ට නොමිලයේ බිස්කට් බෙදීම ආරම්භ කරන ලදී. ‘ඇදීහැස’ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? මෙහි තේරුම ‘ඇමෙරිකන් දීමනා හැමට සමසේ’ යන්නය. බිස්කට් වැඩේ ආරම්භයක් පමණි. 1970 වන විට Care සංවිධානය ලංකාව තුළ ත්‍රිපෝෂ කම්හල පටන් ගත්තේය. ත්‍රිපෝෂ සාදනු ලබන්නේ බඩඉරිඟු, සෝයා බෝංචි, කිරි පිටි, විටමින් වර්ග සහ ඛනිජ ලවන මිශ්‍ර කිරීමෙනි. මෙය කලින් පිසින ලද ආහාරයකි. යන්ත්‍රානුසාරයෙන් මේ ධාන්‍ය වර්ග කෙටීමේ දී කිසියම් උෂ්ණත්වයක් යන්ත්‍ර තුළට සපයා ඒ කලින් පිසීම සිදු කෙරිණ. විටමින් සහ ඛනිජ ලවන මිශ්‍ර වන්නේ ඉන් පසුවය. කලින් පිසූ නිසා මෙයට උණු වතුර හෝ ඇල් වතුර ස්වල්පයක් දමා ගුලි කර අනුභව කිරීමට හැකි විය. සාමාන්‍යයෙන් ත්‍රිපෝෂ ගුලි තුනක් බත් වේලකට සමානය. මේ නිසා මේ රටේ දුර්භාග්‍ය සම්පන්න දුගී මව්වරු යම් ප්‍රමාණයක පෝෂ්‍ය පදාර්ථ මූලයකට හිමිකම් කියන්නට පටන් ගත්හ. ත්‍රිපෝෂ බෙදන ලද්දේ සම්පූර්ණයෙන්ම නොමිලයේය. එහෙත් ඇතැම් දුප්පත් වින්නමු අම්මලා ත්‍රිපෝෂ පැකට්ටුව ශත 50 ගණනේ කළු කඩේට විකුණා ශත 35 කට පාන් රාත්තලක් ද, ශත 5 කට පොල් ගෙඩියක් ද ගෙදර ගෙන ගොස් පොල් සම්බෝල හදාගෙන පාන් සමග අනුභව කළහ. කෙසේ වුවද ත්‍රිපෝෂ කෑමෙන් මවුවරුන්ගේ සෞඛ්‍ය ඉහළ ගියේය. මේ නිසා මන්දපෝෂණය සහිත දරු උපත් සහ මළ දරු උපත් ප්‍රමාණය සීමා විය. එකළ දුප්පත්, පොහොසත් බේද නොසලකා සියලුම මව්වරුන්ට ත්‍රිපෝෂ බෙදා දෙන ලදී. හිටපු ගමන් ත්‍රිපෝෂවල හිඟයක් ඇති විය. ත්‍රිපෝෂ වට්ටෝරුව හඳුනා ගත් පෞද්ගලික සමාගම් ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට එළැඹෙන්නේ මේ සමගය. සමාගම් නිපදවූ ත්‍රිපෝෂ වඩා රසවත් විය. ඒවායේ තිබූ කිරිපිටි ප්‍රමාණය වැඩි විය. නොමිලේ දුන් ත්‍රිපෝෂ වෙනුවට සමාගම්වලින් නිපදවූ ත්‍රිපෝෂවලට මිලක් නියම විය. මේ නිසා මව්වරු පුද්ගලික ත්‍රිපෝෂ අනුභව කිරීමටත් ඒවා දරුවන්ට ලබා දීමටත් ප්‍රිය කළහ. සාමාන්‍යයෙන් Care සංවිධානය ත්‍රිපෝෂ නිෂ්පාදනය කළේ මව්වරුන් ඉලක්ක කරගෙනය. එහෙත් පුද්ගලික අංශය අලුත් ත්‍රිපෝෂ නිපදවූයේ මුළු පවුලම ඉලක්ක කරගෙනය.

2010 දී ලංකාවේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට සහයෝගය දීමට රජය මැදිහත් විය. තව ටික කාලයක් යන විට Care සංවිධානයේ ත්‍රිපෝෂ කොම්පැණිය තනිකරම ආණ්ඩුව අතට පත් විය. මෙය පෞද්ගලික අංශයේ ජයග්‍රහණයක් ලෙස අපි දකිමු. ඒ නිසා ත්‍රිපෝෂ කොම්පැණිය වසා දැමීමට අවශ්‍ය සියලු සපෝට් එක මතවාදයක් හැටියට රට පුරා පැතිර ගියේය. අද ත්‍රිපෝෂ කොම්පැණිය වැහුවොත් එහි පාඩුව හට ගන්නේ දුප්පත් මව්වරුන්ට පමණි. සල්ලි තියෙන අම්මලා කඩේ තිබෙන ප්‍රයිවට් පෝෂ මිලට ගන්නවා ඇත. මේ තමයි ත්‍රිපෝෂ පිළිබඳ කතන්දරය. ආණ්ඩුවේ කවරකු හෝ මෙය කියැවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment