ආණ්ඩුව තීරණ ගන්නේ රට වෙනුවෙන් මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

80

වැඩවසම් යුගයකට යන්න ජනතාව කැමැති නැහැ

වත්මන් බදු ප්‍රතිපත්තිය නිසා දිගුකාලීනව ජනතාව මත පැටවෙන බදු බර අඩුවෙනව

චෝදනාවලින් නිදහස් වෙන්න සහයෝගය ලබාදීම අපෙත් වගකීමක්

ගෙවී ගිය සතියේ ද මෙරට දේශපාලනය උණුසුම් කරන මාතෘකාව නම් පළාත් පාලන මැතිවරණයයි. ඡන්දය කල් දාල නෑ, කල්දාන්න ඡන්දයකුත් නෑ යැයි පැවැසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදීය. මේ ‘ප්‍රකාශය පිළිබඳ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් දැඩි දෝෂාරෝපණයන් එල්ල කරමින් සිටියි. එමෙන්ම උපයන විට අයකරන බද්දට විරුද්ධව වෘත්තිකයන් තව දුරටත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවටද ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ. මෙකී කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය විමසීමට ‘ඉරිදා දිවයින සංග්‍රහය’ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ව සාකච්ඡාක් සඳහා එක් කර ගත්තෙමු.පහතින් පෙළ ගැසෙන්නේ’මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා. සමඟ කළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඡන්දය කල් දාල නෑ, කල්දාන්න ඡන්දයකුත් නෑ කියල සඳහන් කළා. රටේ ප්‍රධාන පුරවැසියා මහජනයාගේ ප්‍රධාන අයිතිවාසිකමක් වුණු ඡන්ද අයිතිය ගැන කළ ඒ ප්‍රකාශය ගැන විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනා විවේචනයට ලක් කරනවා. ඔබතුමන්ලා පත්කරපු ජනාධිපතිවරයා මෙහෙම කියද්දී මොනවද හිතෙන්නේ…?

පිළිතුර – පළමුව කියන්න ඕන ඡන්දයක් පැවැත්වුවොත් දේශපාලන පක්ෂයක් විදිහට පොදුජන පෙරමුණ ඊට තරග කරන්න සූදානම්. රජය විදිහට අපට මැතිවරණ කල් දාන්නත් බෑ. මැතිවරණ ප්‍රකාශයට පත්කරන්නත් බෑ. මේ වෙලාවෙදි මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියකුත් යනව. තැපැල් ඡන්දය තියනව කිව්වෙත් කොමිසමයි, නෑ කියල කියන්නෙත් කොමිසමමයි. ඒ නිසා මැතිවරණ කොමිසමට තමයි මැතිවරණය සම්බන්ධයෙන් වගකීම තියෙන්නෙ. පසුගියදා විපක්ෂය යෝජනා කළා මැතිවරණ කොමිසම අහෝසි කරල අලුතින් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කරන්න. ඉදිරියේදි ඒවා ගැනත් අවධානය යොමුවේවි.

ප්‍රශ්නය – දැන් එතකොට ඔක්කොම කුණු බේරෙ වැවට කියන්න වගේ මැතිවරණය නොපැවැත්වීමේ වරදත් පැටවෙන්නෙ කොමිසමට ද?

පිළිතුර – මම මෙහෙම කියන්නම්කො. රජය වරදක් කරන්නෙ නෑ. මැතිවරණ පැවැත්වීමේ බලය තියෙන්නෙ රජයට නෙමෙයි, කොමිසමට.

ප්‍රශ්නය – මැතිවරණ පැවැත්වීම කොමිසමේ වගකීමක් වුණත්, ඒ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුදල් සැපයීම රජයේ වගකීමක්. ඒක පැහැර හරින්නත් ඔබතුමන්ලට බැහැ. ඇයි මේ මැතිවරණයට මුදල් දෙන්න බැරි….?

පිළිතුර – ජනාධිපතිතුමා මුලදී උත්සාහයක් ගත්ත මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන්න. හැබැයි මැතිවරණ කොමිසම ඊට පරිබාහිරව ගිහින් සාලිය පීරිස් මැතිතුමා ඔවුන්ගේ නීතිඥයා විදිහට අරගෙන ඒ වැඩකටයුතු කළා. ඉතින් දැන් අපෙන් අහන්නෙ ඇයි මැතිවරණ තියන්න පහසුකම් සපයන්න බැරිද කියල. මැතිවරණය ප්‍රකාශ කළෙත් අපි නෙමෙයි, දින නියම කළෙත් අපි නෙමෙයි. ඒ නිසා රජයකට තියෙන්නෙ ඔවුන් කරන සාකච්ඡා අනුව කරන්න පුළුවන් දේ බැරි දේ මොනවද කියල දැනුවත් කිරීම මිසක් මැතිවරණ ක්‍රියාවලිය අපේ වගකීමක් නෙමෙයි. අපි මේ වෙලාවෙ අපේ ප්‍රමුඛ වගකීම මේ රටේ අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්න ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම. ඒකට මේ ආර්ථිකය යථාවත් කිරීම සිදුනොකෙරුවොත් එතනදි අන්න ඒක රජයේ වගකීම පැහැර පැරීමක් වෙනව. ඒ නිසා අපි මේ ආර්ථිකය යථාවත් කිරීම වෙනුවෙන් පූර්ණ කැපකිරීමක් කරමින් කටයුතු කරනව. ඒක මිනිස්සුන්ට දැන් තේරෙනව. මීට මාස හතකට අටකට පෙර තිබුණු තත්ත්වය නෙමෙයිනෙ දැන් තියෙන්නෙ. හැබැයි ඒකෙන් අදහස් කරන්න නෑ ආර්ථිකය සම්පූර්ණ ස්ථාවරත්වයට ඇවිල්ල කියල. මේ තියෙන්නෙ අවම ස්ථාවරත්වයක්. මේ ස්ථාවරභාවය 2024 වෙද්දි ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑම තමයි රජයේ අරමුණ.

ප්‍රශ්නය – ඔබ කියන ඔය ආර්ථික වර්ධනයට ඡන්දයකින් සිදුවන බලපෑම මොකක් ද?

පිළිතුර- මම ඔබට ආයෙත් කියෙන්නෙ මේ ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වකරුවෙක් බවට පත්කර ගැනීම සුදුසු නෑ. ඒ අදාළ ආයතන හා බලධාරීන් විසින් කළ යුත්තක්. ඇත්තම කතාව විපක්ෂයටත් මේ වෙලාවෙ මැතිවරණයක් අවශ්‍ය නෑ. මිනිස්සුන්ට කොහොමටත් අවශ්‍ය නෑ. මිනිස්සුන්ට ඕන තමන්ගෙ දරු පවුලත් එක්ක කාලබීල ජීවත්වෙන්න. ජනතාව හිටපු ජනාධිපතිතුමාට වෛර කළේ ඇයි? තමන්ගෙ මූලික අවශ්‍යතා ටික නොලැබීම නිසා. මිනිස්සුන්ට සල්ලි තිබ්බත් ගන්න බඩු තිබුණෙ නෑ.

කොහොම වෙතත් රටේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් අපි අරන් තියෙන්නෙ අසීරු තීන්දු. ඒව මේ කරන්න වැඩක් නැති නිසා ගත්ත තීන්දු නෙමෙයි. කෙටිකාලීනව මේ තීරණ වේදනාත්මක වුණාට දිගුකාලීනව සුවපත්භාවයක් නැතිනම් යහපත් ප්‍රතිලාභ ලැබෙන තීන්දු. ඒක අනිවාර්යයෙන් සිදුවෙනව.

ප්‍රශ්නය – ඔබ කිව්ව විපක්ෂයටත් ඡන්දයක් ඕන නෑ කියල. හැබැයි සමාජයේ ගොඩනැඟිල ඇති මතයක් තමයි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට බයේ තමයි රජය මැතිවරණ සිතියම හකුළා ගන්න හදන්නෙ කියල..

පිළිතුර – කොහොමද එහෙම බයවෙලා කියන්නේ… හරි අපි උපකල්පනය කරමුකො රජය ඡන්දය කල්දානව කියල. මොකක්ද තියෙන සහතිකය කල්දැම්මට පස්සෙ රජයට වාසිවෙයි කියල. එහෙම කාටවත් සහතික දෙන්න බැහැ. අපිත් ඔය තත්ත්වයෙ 2018 දී හිටිය. අපි විපක්ෂයේ ඉඳල මැතිවරණයට තරග කළාම විශ්වාස කළේ හැම පළාත් පාලන මැතිවරණයක්ම ජයග්‍රහණය කරයි කියල.

මතක තියාගන්න නැවත වැඩවසම් යුගයකට යන්න අපේ රටේ ජනතාව සූදානම් නැහැ. රටේ හැම දෙනාම බලාපොරොත්තු වෙන්නෙ යහපත් රටක්. එහෙම නැතිව වැඩවසම් යුගයකට ගිහින් පාලකය කියන දේ කරන්නයි, බෙල්ලට තොණ්ඩුව දාගන්න ජනතාව කැමැති නෑ. පේනවනෙ ජවිපෙ ප්‍රචාරක රැළිවල කතාවල තියෙන තර්ජනාත්මක බලහත්කාරකම. ඔවුන් ඒවායින් පෙන්වන්නෙ ගෙවල් ගිනි තියල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කරල, දේශපාලනඥයන්ගේ දේපළ අහිමි කරපු ඒ අඳුරු අතීතය තමයි පෙන්වන්නෙ.

අපි කාටවත් බය නෑ. අපි බයවෙන්න ඕන අපේ වගකීම ඉටු කළේ නැත්නම් විතරයි. අපි දන්නවා අපේ පෙර තිබුණු රජයෙ අඩුපාඩුකම් තිබුණ. හැබැයි ඒ රජය දැන් වෙනස් වෙලා. අලුත් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, රජයක් පත්වෙලා තියෙනව. ඉතින් දැන් අපි මේ රට ගොඩනඟන්න කටයුතු කරනව. ඒ නිසා අපි කාටවත් බයේ හැංගෙන්න සූදානම් නෑ කියල පැහැදිලිව කියන්න ඕන.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා නිතරම කියන කතාවක් තමයි අංක එක ආර්ථිකය කියල. ඇත්තටම අද රටේ ජනතාව හැම අතින්ම පීඩාගෙන දෙන පරිසරයක් තමයි තියෙන්නෙ. ආර්ථිකය එකවුණා නම් ජනතාවට මේ විදිහට දුක්විඳින්න වෙයිද?

පිළිතුර – ආර්ථිකය එක නිසා කටයුතු කරන හින්ද තමයි මේ තරම් අතිශයින්ම ජනතා අප්‍රසාදයට පත්වෙන තීන්දු ගන්නෙ. අතිශයින්ම ජනතා අප්‍රසාදයට පත්වුණු ආණ්ඩුවක් වෙලා තියෙන්නෙ. මීට මාස හතකට අටකට පෙර තිබුණු තත්ත්වයේ යම් වෙනසක් ඇතිකරල තියෙද්දි ජනතාව බණින්නෙ අපි ආර්ථිකය අංක එක කරල තියෙන නිසා තමයි. ඕනෑම කෙනෙක් තේරුම්ගන්න ඕන දේ තමයි මේ වගේ තීරණ ගන්නෙ ප්‍රමුඛතාව හා අවශ්‍යතාව මත කියල.

ප්‍රශ්නය – ඔබතුමා කියන්නෙ ජනතාවට වේදනාවන් ගෙන දෙන තීන්දු ගන්නෙ ආර්ථිකය නඟාසිටුවන්න කියල. මේ ආර්ථිකය වට්ටපු, මහා පරිමාණ මූල්‍ය වංචා කරපු, කොමිස් ගත්ත, බදු වංචා කරපු දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් බොහොම ප්‍රසිද්ධ නාමාවලියක් තියෙනව. මේ ආර්ථික ඝාතකයන් ගැන ඇයි ආර්ථිකය අංක එකට තියාගෙන කටයුතු කරන මොහොතක තීන්දු තීරණ නොගන්නේ…?

පිළිතුර – ඒ කියන්නෙ ජවිපෙ, සජිත් ප්‍රේමදාස මහත්තය දේශපාලන වේදිකාවල කියනව වගේ හොරු අල්ලන එක අංක එක කරන්න කියලනෙ. වංචා, දූෂණ, අක්‍රමිතකා සිදුවෙලා තියෙන තැන් විමර්ශනය කළ යුතුයි. අපිට තව ටික කාලයකින් ඒ විමර්ශන කටයුතු සඳහා දොර විවර වෙයි. මොකද අපි ආර්ථිකය යම් ස්ථාවරත්වයට ගෙනාවට පස්සෙ අනෙක් කාරණ ගැන අවධානය යොමුකිරීමේ හැකියාවක් තියෙනව. අපි දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන්නෙ නැතිව, වංචා දූෂණ කරපු අය ගැන කතා දේශපාලන වේදිකාවට සීමා නොවුණු පරීක්ෂණ සහ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. එහි ඇතැම් කටයුතු දැන් අධිකරණය දක්වා ගමන් කරල තියෙනව. අපිට අයිඑම්එෆ් ලැබිල ස්ථාවරත්වයට ගොඩනැඟුණට පස්සෙ රජයට පුළුවන් පැය 24 සියයට සීයක් ආර්ථිකය වෙනුවෙන් කරපු කැපකිරීම අනෙක් කටයුතුවලටත් යොදවන්න. එය සිදුවෙයි.

ප්‍රශ්නය – මූල්‍ය වංචා ගැන කතාකරද්දි මේ ඉන්න ජනාධිපතිවරයාටත් බැඳුම්කර වංචාව ගැන කෙලින් ඇඟිල්ල දික්වෙනව. එවැනි චෝදනාවක් එල්ලවෙන ජනාධිපතිවරයෙක් යටතේ වංචා දූෂණ කළ අයට දඬුවම් ලැබෙයි කියල ජනතාව විශ්වාස කරයි ද?

පිළිතුර – විනිවිධභාවය, චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීම වගේ දේවල් ගැන ජනතාව ඉල්ලනව. එතනදි අරය හොරා මෙයා හොරා කියල විරුද්ධ පක්ෂය කියනව. ඒක සැබැවින්ම හොරකමක්ද නැද්ද කියල අපිට තීන්දු කරන්න බැහැ. ඒවට නිසි පරීක්ෂණ වෙන්න ඕන. ඒකට ජනාධිපතිතුමා නිසි අයුරින් කටයුතු කරාවි. ඒ වගේම රජයක් හැටියට අපිටත් වගකීමක් තියෙනව, මොකද ඔය සම්බන්ධයෙන් අපේ කඳවුරට තමයි චෝදනා බොහොමයක් තියෙන්නෙ. ඒ චෝදනාවලින් නිදහස් වෙන්න විමර්ශන වැඩපිළිවෙළ වෙනුවෙන් සහයෝගය ලබාදීම අපෙත් වගකීමක්.

ප්‍රශ්නය – අයිඑම්එෆ් දිහා බලාගෙන ජනතාව පීඩාවට පත්කළා ඇති කියල හිතෙන්නෙ නැද්ද? මොකද අද වෙද්දි ක්‍රියාත්මක බොහෝ පීඩාකාරී තීන්දු තීරණ අයිඑම්එෆ් එක දිහා බලාගෙන ගන්න ඒව නේද? ඒත් ඒකත් තාම ලැබෙන බවට නිශ්චිත නැහැ…

පිළිතුර – අයිඑම්එෆ් එක කොන්දේසි පැනවීමක් නෙමෙයි කරල තියෙන්නෙ. රටක ආර්ථික අර්බුදයක් ඇවිත් තියෙන මොහොතක ගමන් කළ යුත්තේ කොහොමද කියල ඒ අයට අපට මාර්ග සිතියමක් ලබාදීල තියෙනව. අපේ රජයේ ආදායම පහළ මට්ටමක තියෙන්නෙ. දෙවැනි කාරණය අපේ ණය තිරසාරභාවයක් නෑ. අපිට කවුරුවත් ණය දෙන්නෙ නෑ. බංගලාදේශයට අයිඑම්එෆ් විස්තීරණ ණය අනුමත වුණේ ඒ අයට ණය ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණෙ නෑ. ඒ නිසා අපේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරල තියෙනව. ඒ මගින් රාජ්‍ය ආදායම ඉහළ යනව. ණය හිමියන් අපෙන් විමසන දේ තමයි අපි රටක් විදිහට කොයි තරම් දුරට කැප වෙලා ඉන්නවද නැවත එවැනි තත්ත්වයක් ඇතිනොවන්න අපේ මූල්‍ය තත්ත්වය වර්ධනය කරගන්න. ඒ තත්ත්වය අපි ඇතිකර ගන්න ඕන. එතනදි තමයි බදු පැනවීම, බදු ප්‍රතිශතය ඉහළ දැමීම වැනි දේ සිදුකර තියෙන්නෙ. අපේ 2019 තිබුණු මිලියන 1.7 බදු ෆයිල්, 2020 වෙද්දි බදු අඩු කිරීම තුළ ලක්ෂ 5ට බහිනව. බදු ෆයිල් ප්‍රමාණය අපේ රටේ ජනගහණයෙන් 2.2%ක් තමයි වෙන්නෙ.

ඒ වගේම අපි ඉන්ධන පිරිවැය ආවරණය කරගන්න මිල සූත්‍රය ගෙනල්ල තියෙනව. විදුලිය පිරිවැය ආවරණය කරගන්න බිල ඉහළ නංවලා තියෙනව. මේ පිරිවැය ආවරණය නොවීමෙන් වෙන්නෙ අවසාන වශයෙන් නැවත ඒ බර එන්නෙ ජනතාවටමයි. ඒ බදු වශයෙන්.

ප්‍රශ්නය – ඔබතුමා ජනතාව ගෙවන බදු ගැන කියනව. ආණ්ඩුව දැන් පනවා ඇති බදු ප්‍රතිශතයන් ජනතාවට දරාගන්න බෑ කියල චෝදනා නැඟෙනව. විශේෂයෙන් උපයන අදායම මත පැනවූ බද්දට අදාළ බදු ප්‍රතිශත. මේ නිසා වෘත්තිකයන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යන බවට අනතුරු අඟවල තියෙනව. මේ නිසා වෘත්තිකයන් රට හැරදා යන තත්ත්වයට ඇවිත් තියෙනව. ඇත්තටම යම් අවධානයක් යොමුවෙලා තියෙනවද මේ පනවපු බදු ප්‍රතිශතවලට යම් ලිහිල්භාවයක් ලබාදීමට…?

පිළිතුර – මේ බදු ප්‍රතිපත්තිය සැලසුමක් නැතිව, ආදායම් ඉහළ යන මට්ටම් සලකා බලන්නෙ නැතිව, රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නෙ නැතිව වෙනස් කළොත් රටේ කඩා වැටීම මීට වඩා බරපතළ වෙනව. ඊළඟට මේ පවතින ආර්ථික රටාව අනුව බදු ප්‍රතිශතය අඩු කළත් තමන්ගෙ ආදායම සුරක්ෂිත කරගන්න පිටරට යන ප්‍රමාණයේ අඩුවීමක් වෙන්නෙ නෑ. ඊට හේතුව අනාගතය පේන්නෙ බදු අය කිරීම හෝ නොකිරීම මත නෙමෙයි. රටේ ආර්ථික ස්ථාවරභාවය මත. විශේෂයෙන්ම තරුණ කණ්ඩායම්වලට උත්තේජනයක් ලැබෙන්නෙ ඒ මගින්. එහෙම තත්ත්වයක් නැතිවෙලා උද්ධමනය ඉහළ මට්ටමක තිබුණොත්, පොලී අනුපාත ඉහළ මට්ටමක තිබුණොත් රට හැර යන ප්‍රමාණය බදු අඩුකිරීමෙන් නවත්වන්න බැහැ. ඒ නිසා හැම දේම කළමනාකරණයක් විය යුතුමයි.

බදු නෙගෙවන තීරු පවා දැන් රුපියල් ලක්ෂයට වඩා වැඩි අය බදු ගෙවන්න ඕනනෙ. අද අපි දකින්නෙ උද්ඝෝෂණවල ඉහළම වැටුප් ලබන කණ්ඩායම් ඉන්න වගේම අඩුම ගාණෙ ලක්ෂයට වඩා අඩු අයත් බදු ප්‍රතිපත්තිය ගැන කතා කරනව. හැබැයි මේ අය කතා කිරීම තුළ වෙන්නෙ භාණ්ඩ හා සේවා මත පනවන සෘජු නොවන බදු වැඩි කරන්න, සෘජු බදු අඩුකරන්න කියල. සෘජු බදු අඩු කළොත් මොකද වෙන්නේ…? ආදායම් බදු වගේ දේවල් අඩු කළොත් වක්‍ර බදු මගින් ආදායම් ගන්න වෙනව. වක්‍ර බදු වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නෙ මේ රටේ පහළ ආදායම් ලබන මට්ටමේ ඉන්න අයට, මැදි ආදායම් මට්ටම්වල ඉන්න අයට ගෙවන බදු ප්‍රමාණය සමාන වෙනව. අපි මේ ගෙනයන බදු ප්‍රතිපත්තිය නිසා දිගුකාලීනව ජනතාව මත පැටවෙන බදු බර අඩුවෙනව.

ප්‍රශ්නය – ඔබතුමා කියනව වගේ පෝලිම් නම් අඩුයි. හැබැයි අපි දැන් ණය ගෙවන්නෙ නෑ. ණයවලින් 53%ක් වගේ තියෙන්නෙ චීනෙට. අයිඑම්එෆ් ගන්නත් ප්‍රධාන බාධාවක් වෙලා තියෙන්නෙ චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තිබුණු මැලිකම. කොහොම හරි චීනය කිව්වොත් ඔවුන්ගෙ ණය අපි ආපසු ඉතා ඉක්මනින් ගෙවිය යුතුයි කියල, කකුළුවා දිය හැළිය රත්වෙනකම් නැටුව වගේ දෙයක් නේද අපි කරල තියෙන්නේ…?

පිළිතුර – ජවිපෙ වගේ හැමදේම අසුභවාදීව දකින්න අපි කැමැති නෑ. ජවිපෙට තමයි පෝලිම් නැතිවුන එක වදයක් වෙලා තියෙන්නෙ. අපි මේ වෙද්දි ද්විපාර්ශ්වික ණය ගෙවීම නතර කරල තියෙනව, බහු පාර්ශ්වික ණය ගෙවනව. අපි මේ වෙද්දි අයිඑම්අෆ් අනුමැතිය ලබාගන්න අවශ්‍ය ප්‍රධාන මූල්‍ය සහතිකයක් ලැබිල තියෙනව. චීනය අපිට මූලික සහතිකයක් දීල තියෙනව. අපි ඔවුන් එක්ක තවදුරටත් සාකච්ඡා කරමින් ඉන්නව. අපිට අයිඑම්එෆ්වලදි ඕනෙ අපේ ණය හිමියන් අපි ගැන මූල්‍ය අරමුදලට ලබාදෙන සහතිකය. ඊට පස්සෙ තමයි ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කරන්නෙ. අපිට ඕන අපි ණය ගෙවන්න සමත් රාජ්‍යයක් බවට පෙන්වීමට.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment