ආණ්ඩුව දිනුවෙත් නෑ අරගලය ඉවරත් නෑ

358

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ අකුරේගොඩ පිහිටි ඒකාබද්ධ ආරක්ෂක හමුදා මූලස්ථානයට නිල සංචාරයක් කළේය. ගාලු මුවදොර පිහිටි පැරණි යුද හමුදා මූලස්ථානය හෝටල් ව්‍යාපෘතියකට විකුණා අකුරේගොඩ මූලස්ථානය ගොඩනැගීමට අවශ්‍ය මුල්‍ය ශක්තිය ලබා දුන්නේ එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂයි. මෛත්‍රී-එජාප යහපාලන ආණ්ඩුව අකුරේගොඩ ව්‍යාපෘතිය කාලයක් නතර කළ බව ජනතාවට මතක නැත. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ස්ථානගත කර සිටින හමුදා කණ්ඩායම්වලට විරෝධතාකරුවන්ගෙන් මැති සබය ආරක්ෂා කර දීම සම්බන්ධයෙන් ද නව ජනාධිපතිවරයා ස්තූතිය පළ කළේය. නව සේනාධිනායකයා ලෙස (ආරක්ෂක අමාත්‍යවරයා කවුරු වුවත්) වික්‍රමසිංහ දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඕනෑම තත්ත්වයක් යටතේ කටයුතු කරනු ඇත.

බලයෙන් පහ කළ 73 හැවිරිදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුව විසින් වැඩි ඡන්දයෙන් පත් ගැනීම ‘අරගලය’ ලැබූ පරාජයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පළමුවරට 1977දී බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට පත්වූ වික්‍රමසිංහ ද 73 හැවිරිදි ය. ගෝඨාභය රාජපක්ෂට වඩා මාස කිහිපයක් වැඩිමහල් ය.

හිටපු ජනාධිපතිවරයාගේ පැඟිරිවත්ත, මිරිහානේ නිවාසය ඉදිරිපිට මාර්තු 31 දින රාත්‍රියේ පුපුරා ගිය ජනතා අරගලය දිගින් දිගටම ‘දේශපාලන’ ජයග්‍රහණ අත්පත් කර ගත්තේය. එම ජනතා ව්‍යාපාරය ලබා ගත් ආසන්නතම ජයග්‍රහණය වූයේ ලක්ෂ 70 ආසන්න ඡන්ද ලබා ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ එම මැතිනිය සමඟ රටින් පලායෑමයි. ඒ ජුලි 13 දාය. ඊට සතියකට පසුව පාර්ලිමේන්තුව ‘අරගලය’ එල්ල කළ අභියෝගය තීරණාත්මක ලෙස පරදවා ව්‍යවස්ථානුකූලව ජනාධිපති පුටුව වික්‍රමසිංහට ලබා දී ඇත. විධායකය ග්‍රහණය කර ගැනීම එජාපයේ මෙන්ම වික්‍රමසිංහගේ පෞද්ගලික ජයග්‍රහණයකි. පාර්ලිමේන්තුව විධායකය ගලවා ගත් බව පැවසුවත් එහි වරදක් නැත. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත පැමිණිලි කර පලක් නැත. ඒ ජනාධිපතිවරයා ලෙස එජාප නායකයා තෝරා පත් කර ගැනීම ව්‍යවස්ථානුකූලව කර ඇති බැවිනි.

එජාපයට පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වී ඇති අවස්ථාවක වලංගු ඡන්ද 219 න්, ඡන්ද 134 (වික්‍රමසිංහ + පක්ෂ , විපක්ෂ ජන්ද 134) ලබා ගැනීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයක් බවට යමෙකුට තර්ක කළ හැකිය. අවසන් මහ මැතිවරණයේදී (2020 අගෝස්තු) එජාපය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප විය. ජාතික ලැයිස්තුවට පිං සිදු වන්නට එක මන්ත්‍රී ධුරයක් හිමිවිය. වික්‍රමසිංහ එම ධුරයේ 2021 ජුනි 23 දිව්රුම් දුන්නේය. වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස වසරක් සම්පූර්ණ කර ඇති අවස්ථාවේ සමස්ත දේශපාලනයම උඩු යටිකුරු කරමින් අටවන විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා ලෙස ව්‍යවස්ථානුකූලව වික්‍රමසිංහට පලාගිය ජනාධිපතිවරයාගේ කාලය තමාගේ කර ගත හැක.

ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවීමත් සමඟම ශුන්‍ය වූ විධායකයට පාර්ලිමේන්තුව ඔක්සිජන් ලබා දී ඇත. අරගලයේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි (පොහොට්ටු පක්ෂය). තමන් පත් කරගත් ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩල දෙකක් ද ප්‍රතික්ෂේප වී ඇති තත්ත්වයක් තුළ තමන්ට අවශ්‍ය මන්ත්‍රීවරයකු නැවතත් ජනාධිපති ධුරයට පත් කර ගැනීම ප්‍රබල අභියෝගයකි. එම අභියෝගය පොහොට්ටු පක්ෂය ජයග්‍රහණය කර ඇත. පොහොට්ටු පක්ෂයෙන් වෙන්වූ කණ්ඩායමට, සමගි ජන බලවේගයට සහ පාර්ලිමේන්තුවෙන් පිටත ක්‍රියාත්මක ‘අරගලයට’ ජුලි 20 දින එල්ල වූයේ මල්ටි බැරල් රොකට් ප්‍රහාරයක් බව අවධාරණය කළ යුතුය. බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු නායකත්වය තම දේශපාලන බලය අවධාරණය කර ඇත. වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකුලව ගෝඨාභය රාජපක්ෂට ලැබුණු පස් වසරක ජනාධිපති ධුර කාලයෙන් ඉතිරි වී ඇති වසර දෙක සහ මාස 4 සම්පූර්ණ කළ හැකිය. වික්‍රමසිංහගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ ඩලස් අලහප්පෙරුමට වඩා වැඩි ඡන්ද 52 ක් එජාප නායකයට ලබා දී පාර්ලිමේන්තුව එම අවස්ථාව නැතහොත් බලය අටවන විධායක ජනාධිපතිවරයාට ලබාදී ඇත.

රටේ බලකණු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඇතුළතින් සහ පිටතින් එල්ල වන අභියෝග කෙලෙස කළමනාකරණය කර ගත යුතුද? විධායකය සහ ව්‍යවස්ථාදායකය පොහොට්ටුව අත්පත් කර ගෙන ඇත. වික්‍රමසිංහව ඉදිරියට දමා පොහොට්ටුව ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. ඒ පාර්ලිමේන්තුව තුළය.

ඇත්ත වශයෙන්ම එම ජයග්‍රහණය 2019 ජනාධිපතිවරණයේදී පොහොට්ටුව නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ එජාපය වෙනුවෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසව පරාජය කිරීමට වැඩ එහා තත්ත්වයකි. විනිවිද පදනම වෙනුවෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු වික්‍රමසිංහගේ ජාතික ලැයිස්තු අසුන රටේ ඉහළම අධිකරණයේදී අභියෝගයට ලක් කළේය. එම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූයේ වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක, සභානායක සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කර සමගි ජන බලවේගයේ මන්ත්‍රී සහ කැබිනට් අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ස්ථිර කිරීමෙන් සුළු වෙලාවකට පසුවය. පොහොට්ටුව සහ එවකට වැඩබලන ජනාධිපතිවරයා එම අභියෝගය ද ජය ගත්තේය.

‘අරගලය’ මෙන්ම හිටපු ජනාධිපතිවරයා එජාප නායකයාව අවතක්සේරු කළාද යන ප්‍රශ්නය විමසීමකින් තොරව බැහැර කළ නොහැක. අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් ඉදිරියේ එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී වික්‍රමසිංහ මැයි 12 දින දිව්රුම් දුන් අවස්ථාවේ (මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය අතහැර දින 3 කට පසුව) තමන්ට රට හැර යෑමට සිදු විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිහිනෙකින්වත් හිතන්නට නැත. වැඩ බලන ජනාධිපති ලෙස හෝ ජනාධිපති ලෙස වික්‍රමසිංහ පත්විය හැකි තත්ත්වයක් ගෝඨාභය රාජපක්ෂ කිසිසේත් දකින්නට නැත. නමුත් එජාප නායකයා අවස්ථානුකූලව පොහොට්ටු පක්ෂයේත් තමන්ගේත් අවශ්‍යතා ඉටුවන ආකාරයට තම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තුවේ තීන්දුව අවධාරණය කරයි.

පොහොට්ටු පක්ෂය සහ නව විධායක ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය අතිශය තීරණාත්මකය. දෙපාර්ශ්වයේම ඉරණම එම සම්බන්ධතාවය මත රඳා පවතිනු ඇත. ජනාධිපතිවරයා ලෙස රටේ කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තිය හදිසියේ වෙනස් කිරීම ඇතුළු අනුවණ තීන්දු තීරණ ගණනාවක් ඔහුගේ වැටීමට හේතු විය. නමුත් රට බංකොලොත් වන තුරු ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත් කල්ලිය නිරුපද්‍රිත ය. රටේ ඉහළම අධිකරණයට එම කණ්ඩායම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

පොහොට්ටු පක්ෂය නැවතත් පාර්ලිමේන්තුව තුළ තම බලය ශක්තිමත් කරගෙන ඇත. විධායකයත් පොහොට්ටුව අතේය. පොහොට්ටුවේ මතයට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී පැහැදිලි ස්ථාවරයක් ගත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ දේශපාලන අනාගතය අනතුරේ බව අවධාරණය කළ යුතුය. ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂක ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කළ යෝජනාව ස්ථිර කිරීම විදේශ ඇමැති පීරිස් කළ වරදක්ද? වික්‍රමසිංහගේ ජයග්‍රහණය නැවත නැවතත් අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අභිලාෂ සහ ජනතා අවශ්‍යතා අතර පැහැදිලි පරස්පරතාවයක් ඇති බවයි.

‘ගෝඨා-රනිල් අශුද්ධ සන්ධානය’කට එරෙහිව ‘අරගලය’ එල්ල කළ පීඩනය හමුවේ එවකට ජනාධිපතිවරයා රටින් පිටවී ඇත. අනෙක් පාර්ශ්වය ජනාධිපති ධුරයට පත්වී ඇත. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂය හරහා විධායකයට පත්වන ආකාරය අතර එක්තරා සමාන කමක් ඇත. පොහොට්ටු පක්ෂය ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙස නොවේ. රනිල් වික්‍රමසිංහ ද එසේමය. ජනාධිපතිවරයා ලෙස වික්‍රමසිංහව තේරීම් භාර නිලධාරී ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ මහා ලේකම් ධම්මික දසනායක නම් කිරීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මැති සබයෙන් පිටවී යන අවස්ථාවේ පොහොට්ටුව තරගයට ඉදිරිපත් කළේ ඩලස් අලහප්පෙරුම බව පැවසීම රටම විමතියට පත් කළේය. එසේ නම් සජිත් ප්‍රේමදාස සහ මහාචාර්ය පීරිස් මාතර මන්ත්‍රී ඩලස්ව යෝජනා කර ස්ථිර කර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතාවයටය. එසේ නම් එජාප නායකයාව විධායක ජනාධිපති ධුරයට පත් කර ගැනීමට අවශ්‍ය වූයේ කාටද? එසේත් නැතිනම් හිටපු අගමැතිවරයාට වැරදීමක් සිදු වූවාද?

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකිය. ‘අරගලයට’ අවශ්‍ය ලෙස පාර්ලිමේන්තුව හැසිර වීමට නොහැකි බව මැති සබය ජනතාවට අවධාරණය කර ඇත. නව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරය පිටතින් (අරගලයෙන්) සහ ඇතුළතින් (ඩලස් ගේ කණ්ඩායමෙන්) එල්ලවූ අභියෝගය පරාජය කර ඇත.

ගෑස්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීම සාපේක්ෂව හොඳින් කළමනාකරණය කර ගැනීම තුළ ජනතා අභියෝගය ජයගැනීම නව ආණ්ඩුවේ උපාය මාර්ගයයි. එය සාර්ථක වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ප්‍රබල ප්‍රතිරෝධයක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 දින ලබා ගත් ජනවරමේ ඉතිරි කාලය රට පාලනය කළ හැක. වික්‍රමසිංහ නිර්පාක්‍ෂික ජනාධිපතිවරයකු නොවේ. ඔහු ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් එජාපයේ නායකයා බව අවධාරණය කළ යුතුය. වික්‍රමසිංහ කිසිසේත් පක්ෂයේ නායකත්වය අත් හරින්නේ නැත. එසේ කිරීමට අවශ්‍යත් නැත.

වසර පහකට පත්වූ විධායක ජනාධිපති නීත්‍යානුකූල නොවන ආකාරයට ඉවත් කිරීම පාර්ලිමේන්තුව පිළිගෙන ඇත. හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන අසෝක ඩයස් සමඟ (සිරස පැතිකඩ, ජුලි 11) කළ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඉවත් වූ ආකාරය ව්‍යවස්ථානුකූල නොවූවත් භූමියේ තත්ත්වය දේශපාලන පක්ෂ වටහා ගත යුතු බවත් ඒ අනුව ක්‍රියා කිරීම අවශ්‍ය බවත් අවධාරණය කළේය. පාර්ලිමේන්තුව 2013 ජනවාරි මාසයේදී අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම, මෛත්‍රී -එජාප යහපාලනය 2015 ජනවාරි මාසයේදී ඇයගේ අනුප්‍රාප්තිකයා වන මොහාන් පීරිස් ඉවත් කිරීම, නැවත ශිරාණි බණ්ඩාරනායක පත් කිරීම සහ ඉවත් කිරීම සහ එම තනතුරට කේ. ශ්‍රී පවන් පත්කිරීම අධ්‍යනය කිරීම තුළ භූමියේ තත්ත්වය වටහා ගත හැකිය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පසෙකින් තැබිය හැක. ඩලස් අලහප්පෙරුම සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එජාප නායකයාගේ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුවේ කළ කථා පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය අවධාරණය කළේය.

ජවිපෙ නායකයා මෙසේ පැවසීය: මෙතන (පාර්ලිමේන්තුවේ) මහත් ආන්දෝලනයට තුඩුදෙන බොහෝ සිදුවීම් මේ සභා ගර්භය තුළ සිදු වෙලා තියෙනවා. මන්ත්‍රීවරු විකිණෙනවා හරියට ගම්වල තේක්ක ගහට වට අඩි ගාණ කියනවා වගේ. මම හිතනවා මේකත් එහෙමයි. කාට හරි ‘නැහැ’ කියන්න පුළුවන්. නැහැ කියන එකත් මම භාර ගන්නවා. (මන්ත්‍රීවරු විරුද්ධත්වය පළ කරති). මේක මගේ අදහස. මම දන්නවා. කලබල වෙන බවත් දන්නවා. කථානායකතුමෙනි මෙතන කියන්නේ නැත්තම් කොතනද කියන්නේ? ගමට ගිහිල්ලා, මංසන්දියට ගිහිල්ලා කියලා වැඩක් නැහැ. මේ අයගේ මූණටම මෙය කිව යුතුයි. ඒ අශිෂ්ටභාවය පිළිබිඹු වුණ මේ මැතිවරණයේදී එය (මහජන නියෝජිතයින් අල්ලසට ගොදුරු වීම) සිදු නොවුණා යැයි මම සිතන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව ජනතාවගේ සාධාරණ පිළිබිඹුවක් නොවේ. මේ පාර්ලිමේන්තුව තුළ ගොඩනැගෙන කවර වර්ගයේ ආණ්ඩුවකට සුජාතභාවයක් ලැබෙයි කියලා දීර්ඝ කාලයක් රට පාලනය කිරීමට. එනිසා නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී පැය 24 ක් යෑමට පෙර එජාප නායකයා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් විරෝධතාකරුවන් ඉවත් කළේය. පොලිසිය සමඟ ආරක්ෂක හමුදා ද එම මෙහෙයුමට සම්බන්ධ විය. තමන් විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය සහ රජයේ අනෙකුත් ගොඩනැගිලි බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීම නීති විරෝධී බව වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විරෝධතාකරුවන් වෙනුවෙන් මෙතුවක් කල් පෙනීසිටි සියලු සංවිධාන නව ජනාධිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් තම අදහස ජනතාව ඉදිරියේ තැබිය යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment