ආණ්ඩුව යයි නොදැන එල්ලේ ආර්ථිකය තවම හෙල්ලේ ජනතා දුක් පිරේ මල්ලේ!

67

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලින් නිසි ප්‍රතිඵල ලැබීමට නම් පුළුල් දේශපාලන සම්මුතියකින් කටයුතු කරන ස්ථාවර රජයක් තිබිය යුතු වේ. අප මුහුණ දී සිටින්නේ බලවත් විදේශ විනිමය අර්බුදයකට බව අමතක කළ යුතු නැත. අපට විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන අතර ඒවා ගෙවීමට අපට විදේශ මුදල් නොමැති නිසා අප විසින් 2022 අප්‍රේල් 12 දින සිට විදේශ ණය ගෙවීම අත්හිටුවා තිබේ. එහෙත් අපට එම විදේශ ණය තනි අභිමතයට නොගෙවා සිටිය නොහැකිය. එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත්තේ ඒ නිසාය. මෙසේ විදේශ ණය ගෙවීමට අමතරව අපට අත්‍යවශ්‍ය ආනයන කිරීමට පවා විදේශ විනිමය ප්‍රමාණවත් පරිදි නැත. ඉන්ධන, ගෑස් සහ බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් රටේ තිබෙන්නේ මේ නිසාය. ඛනිජ තෙල් හිඟය නිසා රටේම ආර්ථික කටයුතු සැලකිය යුතු දුරකට අකර්මණ්‍ය වී ඇත. තෙල් පෝලිම්වල මේ දිනවල ජනයා විඳින දුක ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. එය මේ වන විට සියලු දෙනාම පාහේ දන්නා බොහෝ දෙනෙක් අත්විඳින දෙයකි. පෞද්ගලික වාහනවලට පමණක් නොව පොදු ප්‍රවාහන බස් රථවලට පවා ප්‍රමාණවත් ලෙස ඩීසල් ලැබෙන්නේ නැති නිසා මහජනයාට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමත් ඉතාම දුෂ්කර වී ඇත. මේ සියලු ප්‍රශ්න උග්‍ර වීමට සහ තරමක් දුරට හෝ ලිහිල් කරගෙන හොඳ පැත්තටම ගමන් කිරීමට අපහසු වී ඇත්තේ දිගින් දිගටම අස්ථාවර දේශපාලන වාතාවරණයක් නිර්මාණය වී ඇති නිසාය.

මෙය අපට ජාත්‍යන්තරයෙන් සහය අවශ්‍ය මොහොතකි. විදේශ මුදල් අවශ්‍ය කර ඇති මොහොතකි. එසේ නම් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන අරගලය නිසා රටින් පැන ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වී ඇමැති මණ්ඩලයක් පත් කරගත් පමණින් රටේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් ඇති වූ බවට අපට හැඳින්විය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා විශාල ජනවරමක් සහිතව මහජන ඡන්දයෙන් බලයට පත් වුවත් ඔහුගේ නායකත්වය යටතේ රාජ්‍ය පාලනය මෙන්ම ආර්ථික කළමනාකරණය ද අසාර්ථක විය. මේ නිසා ජනතාවට දිනෙන් දිනම පෙර නොවූ විරූ විශාල ආර්ථික පීඩනයකට මුහුණ දීමට සිදු විය. කොවිඩ් වසංගත තත්ත්වයෙන් ප්‍රශ්න උග්‍ර වීමට විශාල බලපෑමක් තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය නිසි වෙලාවට නිසි තීන්දු තීරණ නොගත් නිසා මෙන්ම ඇතැම් වැරදි තීරණ ගැනීම නිසාත් කොවිඩ් වසංගතයේ බලපෑමට අමතරව තවදුරටත් අප මුහුණ දී සිටි විනිමය අර්බුදය රජය විසින්ම උග්‍ර තත්ත්වයට පත්කර ගත් බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මේ සියලු දේ නිසා ජනයා දිනෙන් දිනම පීඩාවට පත්ව මේ වන විට තම ජීවනෝපාය කර ගැනීමට මෙන්ම ජීවත් වීමට පවා අපහසු තත්ත්වයට පත්ව ඇත. ජනයාගේ ආදායම් මට්ටම් සහ වැටුප් එතනම තිබිය දී බඩු මිල ගණන් දෙතුන් ගුණයකින් වැඩි වී ඇත. මේ සියල්ලම අප දන්නා දේවල්ය. එහෙත් මේ තත්ත්වයෙන් මිදීමට අපට සැලකිය යුතු කාලයක් ගත වන නමුත් කෙටිකාලයේ දී අපට කිසියම් දුරකට ප්‍රශ්න සමනය කර ගැනීමට හැකියාව තිබේ. ඒ සඳහා කළ හැකි දේවල් තිබේ. එහෙත් අප නම් සිතන්නේ ඒ කළ හැකි දේවල් පවා මේ රජය කඩිනමින් නොකළ බවය.

උදාහරණයක් ලෙස ජනයා තවමත් විශාල ලෙස පීඩා විඳින ඉන්ධන බෙදා හැරීම විධිමත් කිරීමට රජය බොහෝ ප්‍රමාද වීම සඳහන් කළ හැකිය. බොහෝ ප්‍රමාද වී හෝ ඉන්ධන බෙදීම සඳහා කිව්ආර් කේත ක්‍රමයක් සහ කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. එය අපි අගය කරමු. එහි අඩුපාඩු

ගැන නිරන්තර පසුවිපරම් කර එය ද තවත් විධිමත් කරමින් ඉදිරියට පවත්වාගෙන යන ලෙස අපි ඉල්ලමු. එසේම මේ ක්‍රමයෙන් පිට ඉන්ධන පිරවුම්හල්වලට හිතුමතේට තමන්ට අවශ්‍ය අයට තෙල් ලබාදීම සහ තෙල් පොම්පකරුට මුදල් දී තෙල් ‘ෆුල් ටෑන්ක්’ කර ගැනීම සහ පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ බලය පෙන්වා ඔවුන්ට අවශ්‍ය අවශ්‍ය පරිදි වාහනවලට තෙල් ගසා ගැනීමේ ඉඩකඩ වහාම වැළැක්වීමට ද පියවර ගත යුතුය. කෝඩ් එකෙන් මහජනයා තෙල් ගසා ගන්නා අතරේ මෙවැනි අක්‍රමිකතා සිදුවුවහොත් කිව්ආර් කේත ක්‍රමය ද ප්‍රතිපලදායී නොවීමට ඉඩ තිබේ. එහෙත් කිව්ආර් ක්‍රමය අකුරටම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් තෙල් බෙදීමේ ක්‍රියාවලිය බොහෝ විධිමත් වී, ඉන්ධන කළුකඩය මර්දනය වී, පෝලිම් අඩු වී රටේ ඉන්ධන පරිභෝජනය ද අඩු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ තුළ රටක් ලෙස අපගේ ඩොලර් ප්‍රශ්නය හමුවේ අපගේ ඉන්ධන වියදම් සීමා කරගැනීමට ද හැකිවනු ඇත. මේවා මීට බොහෝ පෙරම සිදු කළේ නම් මෙතරම් ඉන්ධන කළු කඩයක් බිහිවන්නේ නැත. මෙලෙස දිගුකාලීනව ආර්ථික අර්බුදය සමනය කර ගන්නා අතරම කෙටිකාලීනව මහජන පීඩාවන් අවම කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රමවේද පවා රජය අනුගමනය නොකිරීම සහ ඒ සඳහා ප්‍රමාද වීම නිසා මහජනයා දැඩි ලෙස පීඩාවට පත්වීමට අමතරව රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට ද විශාල හානියක් විය.

මේ අතර ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් පසුව මහ බැංකුවෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා බවක් අපට පෙනිණි. එහෙත් මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම මහ බැංකුවට පමණක් එනම් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලින් පමණක් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා රජයේ අයවැය ප්‍රතිපත්තිය පැත්තෙන් ද ඊට අනුකූලව අප්‍රමාදව ක්‍රියාත්මක විය යුතුව ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රමාදයන් සිදු වෙමින් තිබේ. ඒ සඳහා දේශපාලන අස්ථාවර තත්ත්වය ද හේතුවකි. එනම් රජයට එරෙහි විරෝධතා ක්‍රියාමාර්ග නිසා රජයන් වෙනස් වී ඇමැතිවරු මාරු වුවත් පුළුල් දේශපාලන සම්මුතියකින් රටේ ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීම සඳහා වන සර්ව පාක්ෂික රජයක් ඇති වූයේ නැත. මුලින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වූ පසුව ද ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා කළේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කර එහෙන් මෙහෙන් ඇමැතිවරු පිරිසක් පත් කරගෙන ඉදිරියට යෑමට උත්සාහ කිරීමයි. එය අසාර්ථක වී රටේ ප්‍රශ්න වඩාත් උග්‍ර වී ඔහුට ද ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදු වූයේ ජනතා විරෝධය වර්ධනය වූ නිසයි. මෙවර රනිල් වික්‍රමසිංහ මහතා ද ජනපති වී ඇත්තේ මහජන වරමකින් නොව ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ ඡන්දයකිනි. ඉතාම සරලව කියන්නේ නම් පොහොට්ටු මන්ත්‍රීවරුන් බහුතරයේ සහායෙනි.

ඉක්මනින් මැතිවරණයක් පවත්වන තෙක් මෙය ඉතාම තාවකාලික භාරකාරත්වයක් පමණක් ලෙස කල්පනා කරමින් සර්ව පාක්ෂික රජයක් ඇතිකරගෙන පුළුල් දේශපාලන සම්මුතියකින් සියලු දෙනා සමග එක්ව නව ජනපතිවරයා කටයුතු කළහොත් එය අප නම් සිතන්නේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ඉක්මන් කර ගැනීමට මෙන්ම මහජනයා විඳින පීඩාවන් අවම කර ගැනීමට හේතුවනු ඇති බවයි. එවැනි තත්ත්වයක් ඇතිකර ගැනීමටද හැකි වේවායි අපි නව ජනපතිවරයාට මෙන්ම නව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට ද සුබපතමු. එහෙත් ආර්ථික අගාධයෙන් රට ගොඩ ගැනීමේ උත්සාහය මෙතෙක් නොයෙක් ලෙස ප්‍රමාද වෙමින් තිබෙන්නේ අන් කිසිවක් නිසා නොව අස්ථාවර දේශපාලන තත්ත්වය නිසාය. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම මෙන්ම එම මුදල් ලැබෙන තෙක් අපට වෙනත් රටවලින් සහාය ලබාගෙන අන්තර්කාලීන මූල්‍ය පහසුකම් ලබා ගැනීම ද ප්‍රමාද වී ඇත. ඒ නිසා අපට ලැබෙන අපනයන ආදායම් සහ විදේශ විනිමය ප්‍රේෂණවලින් ලැබෙන මුදල් යනාදියෙන් විදේශ විනිමය වියදම් කළමනාකරණය කර ගැනීමට අපට සිදුව ඇත. මේ නිසා අපට තෙල් ආනයනය කිරීමට සිදුවනුයේ සීමිතවය.

මේ තුළ අප සියලු දෙනාටම අපගේ පෞද්ගලික වාහන පරිහරණය සහ තෙල් භාවිතය අඩුකර ගනිමින් ගමන් බිමන් සීමා කර ගැනීමට හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට සිදුවනු ඇත. ඒ නිසා රජය මේ මොහොතේ කළ යුතු අත්‍යවශ්‍යම දෙයක් වන්නේ ඉන්ධන බෙදීම අවභාවිත වීම වළක්වා ඉන්ධන බෙදීමේ ක්‍රියාවලිය විධිමත් කර පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමයි. මේ වන විට ඉන්ධන බෙදීම විධිමත් කිරීමට පියවර ගෙන තිබුණත් පොදු ප්‍රවාහනය ගැන නම් කතා කර වැඩක් නැත. මේ දිනවල බස්රියේ හෝ දුම්රියේ ගමන් කරන ජනයා විඳින දුක ගැන අපි සියලු දෙනාම හොඳටම දනිමු. ඊට අමතරව බස් ගාස්තුව ද අහස උසට නැග ඇත. ඒ නිසා ඉන්ධන අර්බුදය හමුවේ ජනයා වැඩිවැඩියෙන් පෞද්ගලික වාහන පරිහරණය වෙනුවට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන තත්ත්වයට පත් කිරීමට නම් පොදු ප්‍රවාහනය ශක්තිමත් කර එහි පහසුකම් වැඩිකර එසේම සහනදායි ගාස්තු ක්‍රමයක් ඇති කිරීම කළ යුතුය. එහෙත් හැම විටම සිදුවනු පෙනෙන්නේ ගාස්තු වැඩි වීම පමණි.

ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනාම එක් වී පුළුල් දේශපාලන සම්මුතියකින් කටයුතු කළ යුතුව තිබුණත් තවමත් මේ දේශපාලනඥයන් ඉතා බලලෝභීව තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව නම් ඉතා කනගාටුවෙන් වුවත් කිව යුතුය. අරගලය තුළ විවිධ කණ්ඩායම් රැසක් සිටින බව අපි දනිමු. රට හමුවේ තිබෙන ආර්ථික පීඩාවට අපි සියලු දෙනාම පක්ෂ පාට භේදයෙන් තොරව එක ලෙසම මුහුණ දෙමින් සිටිමු. මේ නිසා අරගලකරුවන් අතර විවිධ දේශපාලන කණ්ඩායම් සිටියත් ඔවුන්ගේ දේශපාලන අරමුණු කුමක් වුවත් අරගලයට නිර්පාක්ෂිකව ඇතැම් විට පොහොට්ටුවට ඡන්දය දුන් ජනයා පවා විශාල වශයෙන් එකතු විය. විශේෂයෙන් උග්‍ර ආර්ථික පීඩාව හමුවේ විශාල ජනපදනමක් සහිත පොදුජන අරගලයක් නිර්මාණය වූයේ මේ නිසාය. ජනතා ඡන්දයෙන් පත් වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පැන ගොස් ඉල්ලා අස්වීමට සිදු වූයේ මේ නිසාය. එහෙත් ජුලි 09 දින පොදුජන අරගලයෙන් පසු රටේ නිර්මාණය වී ඇත්තේ ඒ ජනඅරගලයට පැමිණි ජනයාගේ අපේක්ෂා ද යන්න ප්‍රශ්නයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඕන කෙනා පාර්ලිමේන්තුවේ දී පොහොට්ටුවේ සහායෙන් ජනපති කර පොදුජන අරගලයේ මහජන අපේක්ෂාවන්ට පටහැනිව කුමන හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් අටවාගෙන මේ ආර්ථික ප්‍රශ්න විසඳිය නොහැකිය. මේ බව අප දිගින් දිගටම පවසා ඇත. ඒ තුළින් වනු ඇත්තේ ජනයා ආර්ථික පීඩාවෙන් විඳවන කාලය මෙන්ම රට ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ගතවන කාලය දීර්ඝ වීමයි. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන පොදුජන අරගලයට පක්ෂපාට භේදයෙන් තොරව එක් වූ ඒ පොදු ජනයා ඔය අරගලකරුවන් කියන ඇතැම් පිරිස් කරන සියලු දේට එකඟ නොවන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ. උදාහරණයක් ලෙස පොදු හා පෞද්ගලික දේපොළ විනාශ කිරීම, ඒවා ගිනි තැබීම, එසේම ජනාධිපති ලේකම් කාර්යාලය, ජනපති නිල නිවස, අරලියගහ මන්දිරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය වැනි රාජ්‍ය දේපොළ අල්ලාගෙන ඒවාට අලාභ හානි කිරීම මෙන්ම ඒවායේ බඩු සොරකම් කිරීම සහ ඇතැම් මාධ්‍ය ආයතනවලට බලෙන් කඩා පැනීම, බලෙන් වැඩසටහන් ලබාගෙන අදහස් දැක්වීම වැනි ක්‍රියා බොහොමයක් සඳහන් කළ හැකිය. මේ නිසා ආර්ථික පීඩාව හමුවේ රජයට එරෙහි අරගල ක්‍රියාමාර්ගවලට විශාල ජනපදනමක් ලැබිණි. ඒවාට නිර්පාක්ෂිකව ජනයා විශාල වශයෙන් එක් වූ බව ද ඇත්තය. ඒ තුළ සියලු දේශපාලන පක්ෂවලට අයත් කණ්ඩායම් සිටි බව රහසක් නොවේ. එනම් පසුගිය ජුලි 09 දින පැවති මහජන අරගලයට පක්ෂ පාට භේදයෙන් තොරව විශාල පිරිසක් නිර්පාක්ෂිකව එක් විය.

ගෝඨාභය ජනපතිවරයා ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අරගලයට එක්වූ පොදු මහජන අපේක්ෂා ඉටුව තිබේ ද යන්න නම් ප්‍රශ්නයකි. මහජන අපේක්ෂා ඉටු වීමට නම් මෙවැනි අවස්ථාවක හොඳම දේ අලුත් ජනවරමක් සහිත පාලනයක් ඇති කර ගැනීමයි. එහෙත් මෙය වහාම මැතිවරණයකට යෑමට හැකි මොහොතක් ද නොවන නිසා කිසියම් අන්තර්කාලීන පාලනයක් රටට අවශ්‍ය බව ද අපට පිළිගැනීමට සිදුවේ. එහිදී මූලික වශයෙන්ම අවශ්‍ය කරන්නේ ඇමැතිකම් සහ වෙනත් තනතුරු හිතවතුන්ට බෙදා ගන්නා කුමන හෝ අන්තර්කාලීන රජයක් නොව පුළුල් දේශපාලන සම්මුතියකින් රටේ ආර්ථික අර්බුදය විසඳීමට ක්‍රියාමාර්ග ගත හැකි රජයකි. ඒ සඳහා නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සූදානම් ද යන්න අපි ප්‍රශ්න කර සිටිමු.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment