ආණ්ඩුව යෝජනාවලියක් ඉදිරිපත් කරලයි අපිට සාකච්ඡාවට කතා කළ යුත්තේ

110

ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභික නලීන් හේවගේ

ආණ්ඩුව යෝජනාවලියක් ඉදිරිපත් කරලයි අපිට සාකච්ඡාවට කතා කළ යුත්තේ

“ලෝක බැංකුවේ ප්‍රකාශ අනුව අපේ දුප්පත්කම සියයට දහතුනේ ඉඳල සියයට විසිපහ දක්වා වැඩි වෙලා තියනවා. අයි. එම්. එෆ්. එක කියන මේ සියලු කොන්දේසි කළත් ලෝක බැංකුවට අනුව 2028 දී අපේ ආර්ථිකය යන්නෙ ඩොලර් බිලියන 88 ක ආර්ථිකයකට. ඉතින් අපි 2021 දීත් හිටියේ බිලියන 88 ක ආර්ථිකයක. ඇත්තටම වසර දහයකින් ආපස්සට කඩාවැටීමක් තමයි 2028 වෙද්දි මේ වෙන්නෙ යැයි ‘ඉරිදා දිවයින’ සමග පැවති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභික නලීන් හේවගේ මහතා සඳහන් කළේය. මේ ඔහු සමග කළ සම්පූර්ණ සාකච්ඡාවයි.

ජනාධිපතිවරයා උතුරු නැඟෙනහිර ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට සාකච්ඡා සඳහා ආරාධනා කර තිබෙනවා. මේ තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ දකින්නෙ කොහොමද?

නිතරම මේ පාලකයෝ දෙගොල්ලම උතුරේ සහ කඳුකරයේ ජනතාව තමන්ගේ බල ව්‍යාපෘති සඳහා පාවඩයක් බවට තමයි පත් කරගත්තෙ. ඔය කියන උනන්දුව රනිල් වික්‍රමසිංහට තිබුණා නම් විශේෂයෙන් එයාලට බලය තිබ්බ 2015 සහ 2019 කාලේ ඒ පීඩාවට පත්වෙච්ච ජනතාවට සහනයක් දෙන්න ක්‍රියා කරන්න තිබුණා. එයාලට බලය තිබුණ වෙලාවේ ඒ ගැන කිසිම සාකච්ඡාවක් නැතිව මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මේ උත්සහ කරන්නෙ සිංහාසනය තවදුරටත් තියාගැනීමේ උවමනාව මත උතුරේ ජනතාව රැවටීමක්. හැබැයි අපි විශ්වාස කරන්නෙ නෑ වසර හැත්තෑ ගාණක් රැවටුණ උතුරේ සහ කඳුකරයේ ජනතාව මේ කූට දුර්දාන්ත පාලනය යළි විශ්වාස කරයි කියල. උතුරේ දේශපාලන පක්ෂවලට කප්පම් දෙන ගමන් ජනතාවගේ ඡන්ද කුට්ටිය ලබා ගැනීමයි රනිල් වික්‍රමසිංහගේ පරමාර්ථය. මේකට ආයෙත් උතුරේ හෝ කඳුකරයේ ජනතාව රැවටෙන්නෙ නෑ.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති බලය ලැබී තිබෙන්නෙ මේ වතාවේ. පෙර එහෙම බලයක් තිබුණෙ නෑනෙ?

ඉතිහාසය ගත්තොත් 2001 ඉඳන් 2004 වෙනකන් රනිල් වික්‍රමසිංහට ආණ්ඩු බලය තිබ්බා. ඊට පස්සෙ 2015 නැවතත් ආණ්ඩු බලය ලැබුණා. දැන් වුණත් එයා ජනාධිපති වෙලා වසරකට ආසන්න කාලයකට ළඟයි. ඉතින් උතුරේ ප්‍රශ්නය පෙර මෙන්ම සාකච්ඡාවලට සීමා කළා මිසක් ප්‍රායෝගික තලයේ විසඳුමකට මේ පාරත් යන්නෙ නෑ. අපිට දැන් දැනෙන කාරණාව තමයි රනිල් වික්‍රමසිංහට දැන් ජනාධිපතිවරණයකට ගිහින් යළි බලය ස්ථාපිත කරගැනීමේ ඕනකමක් මතුවෙලා තියෙනවා. ඒ සඳහා ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ එයා දැන් ව්‍යාපෘතියක් කරගෙන යනවා. ටී. එන්. ඒ. සාකච්ඡාත් ඒකෙ කොටසක්. ඉතින් මේක සාර්ථක වෙන්නෙ නෑ. කොහොමත් මෙයාල මේ උතුරට දෙන බෙහෙත දකුණට දිරවන්නෙ නෑ. එහෙම දිර නොවීමේ හේතුව තමයි එයාල සද්භාවයෙන් අවංකව නෙවෙයි මේක ගේන්නෙ.

ජනතා විමුක්ති පෙරමුණට මේ සාකච්ඡා මේසයට ආරාධනා කළොත් මේ සාකච්ඡා මේසයේ වාඩි වෙන්නෙ නැද්ද?

නෑ. අපි ඒක ඒ වෙලාවට කල්පනා කරල බලනවා. විශේෂයෙන් ආණ්ඩුව පැත්තෙන් යෝජනාවලියක් දීල තමයි අපිට කතා කළ යුත්තෙ. අපි විපක්ෂයේ ඉන්න දේශපාලන ව්‍යාපාරයක්. උතුරේ ඒ ජනතාවගේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න ඕන ආණ්ඩුව. ආණ්ඩුව දෙන උත්තරයත් එක්ක තමයි අපි සාකච්ඡාවලට යනවද නැද්ද කියල තීරණය වෙන්නෙ. උත්තරයක් හැදීමේ වගකීම පාලක පන්තියේ කාර්යභාරයක්.

මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කරන නව බැංකු පනත ගැන ජනතා විමුක්ති පෙරමුණට ඇත්තෙ මොනවගේ මතයක්ද?

අපි දකින විදියට මේ අධිරාජ්‍යවාදීන්ගෙ වැඩපිළිවෙළ දීර්ඝ කාලයක සිටයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවේ කාල වකවානු දාල යෝජනා හතළිස් පහක් දාල තියෙනවා වහාම කළ යුතු. එයින් පහළොවක් ඉෂ්ට කළාට පස්සෙ තමයි එයාල ආධාර මුදලක් ලබා දෙන්නෙ කියල තීන්දු වුණා. තව යෝජනා තිහක් තියනවා ඉෂ්ට කරන්න. ඒ යෝජනා ඇතුලේ තමයි තියෙන්නෙ මහ බැංකුව ස්වාධීන කිරීමේ යෝජනාව. ඇත්තටම ඒකෙන් පාර්ලිමේන්තුවේ බලපෑමෙන් තොර ප්‍රබල ගණයේ මහ බැංකුවක් නිර්මාණය වෙනවා. මූල්‍ය පාලන බලය එන්නෙ එතෙන්ට. එතකොට එතන වාඩි කරගන්න පුද්ගලයොත් එක්ක මේ රට තවදුරටත් ගෙනියන්නෙ කොයි ආකාරයෙන්ද කියන එක තීරණය කිරීමේ බලයත් ඒ ජාත්‍යන්තරයට නිර්මාණය වෙනවා. අපි විශ්වාස කරනවා අපේ වගේ රටක පාර්ලිමේන්තුවට මහ බැංකුවත් එක්ක ලින්ක් එකක් තිබිය යුතුයි කියල. ඒ නිසා මේ හදන්න හදන ස්වාධීනත්වය කියන්නෙ බටහිර රටවලට ඕන ආකාරයෙන් කටයුතු කරන්න හැදෙන ව්‍යවස්ථාවක් කියලයි අපිට පේන්නෙ. ඒ නිසා මේ අයි. එම්. එෆ්. ගමන ඇතුලෙ අපේ රට කඩඉමකට ඇවිත් තිබෙනවා. විශේෂයේ දැනටමත් “ පේයි ටැක්ස්” එකත් එක්ක අපේ රටේ උගතුන් බුද්ධිමතුන් රට දාල යෑම ආරම්භ කරල තියෙන්නෙ. ඒකමයි බටහිර රටවල අභිප්‍රාය වුණේ. මොකද ඒ රටවල වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් හදන්න ලොකු වියදමක් යනවා.

මහ බැංකුව ස්වාධීන වීම හොඳයි කියන කතාවත් ඔබේ පිළිතුර ඇතුලෙ තියෙනවා. ඉතින් ස්වාධීන කරනව නම් කොහොමද වෙන්න ඕන?

මේ වගේ මොහොතක රටේ ආර්ථිකය ගෙන යෑමේදී විශාල කාර්යභාරයක් මහ බැංකුවට වගේම පාර්ලිමේන්තුවටත් තියෙනවා. මේ දෙක අන්ත දෙකක ඉඳල කටයුතු කිරීම නෙමෙයි මේ දෙකම එක අභිප්‍රායකින් කටයුතු කිරීමයි සිදුවිය යුත්තෙ. අන්න ඒ එක අරමුණකින් රට ගොඩනැඟීම සඳහා වෙච්ච මණ්ඩලයකට අපි එකඟයි. පාර්ලිමේන්තුවත් නියෝජනය වෙන මහ බැංකුවෙත් පිරිසක් නියෝජනය වෙන ව්‍යුහයකට යන්න ඕන. හැබැයි ඉතින් මේ කියන ස්වාධීනත්වය ඇතුලේ එහෙම එකක් වෙන්නෙ නෑ. මහ බැංකු අධිපතිවරයාත් කලින් අයි. එම්. එෆ්. එකේ වැඩ කළ නිලධාරියෙක්. ඉතින් මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුලේ මෙහෙම ස්වාධීනත්වයක් කියන්නෙ රටට බරපතල හානියක් විදියටයි අපි දකින්නෙ.

ඔබ සඳහන් කළා අයි. එම්. එෆ්. යෝජනාවල තව තිහක් ඉෂ්ට කරන්න තියනවා කියල. මේ යෝජනාවල රටට හානි විය හැකි දරුණුම යෝජනා ලෙස ඔබ දකින්නෙ?

රටේ ආර්ථිකය හැකිලීමේ දිශානතියට තමයි මේ සියලු යෝජනා තියෙන්නෙ. උදාහරණයක් ලෙස 2022 රටේ මුළු ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන එකොළහකින් කඩාගෙන වැටිල තියෙනවා. ඩොලර් බිලියන 89 තිබිච්ච 2021 ආර්ථිකය 2022 වෙද්දි ඩොලර් බිලියන 77 දක්වා වැටිල තියෙනවා. එතකොට අයි. එම්. එෆ්. එකෙන් වසර හතරටම අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන්නෙ බිලියන 2.9 යි. ඉතින් බිලියන 2.9 දෙද්දි වසරකට බිලියන දොළහක් ආර්ථිකයට අහිමි වෙලා තිබෙනවා. ඒක බරපතලයි. එහෙම තියෙද්දි ඔවුන්ගෙ මේ ක්‍රියාවලිය ඇතුලේ රටේ නිෂ්පාදනය නංවන කිසිදු යෝජනාවක් නෑ. ඒ නිසා එයාල බලන්නෙ ගණන් ටිකක් එහාට මෙහාට කරගැනීම ඇතුලේ බැලනස් ඔෆ් පේමන්ට් එක සම්පූර්ණ කරගන්න. ඒකෙදි රටේ ජනතාව දැවැන්ත විපතකට පත්වෙනවා. ලෝක බැංකුව ප්‍රකාශ කරල තියෙන්නෙ අපේ දුප්පත්කම සියයට දහතුනේ ඉඳල සියයට විස පහ දක්වා වැඩි වෙලා තියනවා කියලයි. අයි. එම්. එෆ්. එක කියන මේ සියලු කොන්දේසි කළත් ලෝක බැංකුවට අනුව 2028 දී අපේ ආර්ථිකය යන්නෙ ඩොලර් බිලියන 88 ක ආර්ථිකයකට. ඉතින් අපි 2021 දිත් හිටියේ බිලියන 88 ක ආර්ථිකයක. ඇත්තටම වසර දහයකින් ආපස්සට කඩාවැටීමක් තමයි 2028 වෙද්දි මේ වෙන්නෙ. ඒ නිසා අපි විශ්වාස කරන්නෙ ලංකාවට ආවේනික ලංකාව හදාගත්ත රට ගොඩනැගීමේ ක්‍රියාවලියක් ඇතුළත අයි. එම්. එෆ්. එකේ උදව් ගත්තට ප්‍රශ්නයක් නෑ කියන තැන. හැබැයි අයි.එම්.එෆ්. එකේ සම්පූර්ණ වැඩසටහනකට ප්ලග් වීම රටට දැවැන්ත අනර්ථයක්.

ජනතා විමුක්ති පෙරමුණ නිතරම කියනවා දැන් ජනතා බලය තිබෙන්නෙ අපිට කියල. ඉතින් ජනතා බලය තිබිලත් තාම ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයක් දිනා ගැනීමට බැරිවුණා නේද?

ආණ්ඩුවෙ සමහර අය කියනවා රනිල් මහ වැඩකාරයෙක් රට ස්ථාවර වුණාය කියල. නමුත් ස්ථාවර වෙලා තියෙන්නෙ රට තවත් අස්ථාවර වෙමින්. අපි දන්නවා ආණ්ඩුවකට ස්ථාවර වෙන්න නම් පළමු කාරණාව වෙන්නෙ ජනතාවගේ කැමැත්ත සහ ජනතාවගේ සහභාගීත්වය. ඒ වගේම ආයතන ශක්තිමත් වෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණවලට පයින් ගහල ඉන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට, ජාත්‍යන්තරයට වගේම රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට පයින් ගහල. එහෙම ගමනක් යන එක ස්ථාවර නෑ. මේ ගමන කෙටියි කියන එක රනිල් වික්‍රමසිංහට අපි මතක් කරන්න කැමතියි.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ධුරයේ වෙනසක් වෙනවා කියන කතාව ඇත්තද?

නෑ. පැහැදිලිවම එහෙම දෙයක් නෑ. අපේ නිලධාරී මණ්ඩලය ලේකම් ධුරයට තෝරගෙන තියෙන්නෙ දක්ෂ ලේකම් සහෝදරයෙක්. අපේ තියෙන්නෙ සාමුහික ප්‍රයත්නයක්. ඒ සාමුහික ප්‍රයත්නය ඇතුලේ ඉතා වේගයෙන් ජනතාව පක්ෂයට අවශෝෂණය කරගනිමින් ඉන්නෙ. ඉතින් අපිට ලේකම් ධුරයේ වෙනසක් කරන්න කිසිම හේතුවක් නෑ. අපිට ජයග්‍රහණ එනකොට හතුරා විසින් නිර්මාණය කරන කතා තමයි ඕවා.

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය අතර තිබෙන වෙනස මොකක්ද? ජාතික ජන බලවේගය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණට වඩා ලිබරල් අදහස් සහිත දේශපාලන ව්‍යාපාරයක්ද?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනස්කම් නෑ. අපේ මූලික හරයාත්මක පද්ධතීන් ආරක්ෂා කරගනිමින් එකතු වෙච්ච අලුත් ජන බලවේගයත් එක්ක කතා කරල ජාතික ජන බලවේගයේ හදාගත්ත වැඩ පිළිවෙළක් තියෙනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙළින් ව්‍යුත්පන්න වෙල හදපු එකක් නෙවෙයි. ඒ මුල්ගල් මත පිහිටල තමයි ඒ හදපු වැඩපිළිවෙළත් එක්ක ජාතික ජන බලවේගය ක්‍රියාත්මක වෙන්නෙ. අපි විශ්වාස කරනවා ඒ වැඩ පිළිවෙළ තමයි දවසක මේ රට ලෝකයේ අභිමානවත් තැනකට ඔසවා තබන්නෙ.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment