ආණ්ඩුව වහලා

102

මගේ බිරිඳට මේ දවස්වල සුළු ප‍්‍රශ්නයකටත් කේන්තියක් එයි. ගෙදරට අවශ්‍ය කළමනා ගන්නට සුනිල්ගේ හෝ ජගත්ගේ කඬේට ගිය අවස්ථාවලදී ඇගේ කේන්තිය නිම්හිම් නැති වන්නීය….

බිරිඳගේ කේන්තිය මට මහත් ප‍්‍රශ්නයක් විය. ඇයට මේ තරම් කේන්ති යන්නේ් මන්දැයි පවුලේ වෛද්‍යවරිය වන කිරිබත්ගොඩ ශිලා මහත්මියගෙන් මම විමසා සිටියෙමි.

වෛද්‍යවරිය මගේ ප‍්‍රශ්නය අසා අතින් කට තද කරගෙන හිනා වෙන්නට වූ තැන මටද අසූහාරදාහට කේන්තිය නැග්ගේය.

‘‘කෙනෙක් ලෙඩකට බේත් ගන්න ආවම හිනා වෙනවද….’’ මම ඇසුවෙමි.

‘‘නෝමන් මම ඔයාගෙන් ප‍්‍රශ්නයක් අහන්නම්. මේ දවස්වල කේන්ති යන්නේ නැති ගෘහණියක් හරි මිනිහෙක් හරි පුළුවන් නම් කියන්න……’’

ඇය ඇසූ හතරබූත ප‍්‍රශ්නයට උත්තර සිතාගනු නොහැකිව මම නිහඬ වුණෙමි.

‘‘දෙයියනේ කඩවල්වල බඩු මිල ඇහුවාම කේනිති යනවා විතරක් නෙමේ, කලන්තයත් හැදෙනවා. ඊයේ පෙරේදා කලන්තය හැදුණු ලෙඞ්ඩු විස්සක විතර වැටිලා ඔලූ පලාගෙන අත පය කඩාගෙන මා ළඟට ආවා’’ යැයි ඇය කීවාය.

බිරිඳගේ කේනිතියට බෙහෙත් නැතැයි මම කල්පනා කළෙමි.

වෛද්‍ය උපදෙස්වලට සහ දොස්තර නෝනා දුන් ජීවනී බේත් කඩු පැකට්ටුවට රුපියල් තුන්දාහක් අය කළාය.

මට ද තද කේන්තියක් ඇති විය. එය මම ඉවසා සිටියෙමි. ජීවනී නරක දෙයක් යැ.

ගෙදර ගිය පසු බිරිඳගේ එෆ් එම් රේඩියෝව කි‍්‍රයාත්මක විය.

රූපවාහිනිවල වැඩසටහන් නිවේදනය කරද්දී සමහරු නිවේදිකාවට පිටුපස සිට කැමරාවට පෙනෙන්නට කඩදාසි කෑල්ලක් අරගෙන එහාට මෙහාට කලබලයෙන් දුවන ආකාරයට මගේ බිරිඳට පිටුපසින් රොයිටර් අක්කා මිදුලේ එහාට මෙහාට ඇවිදින්නට පටන් ගත්තේ බිරිඳගේ කතාවට සවන් දීමටය.

‘‘කෙහෙල්මල් තාත්තලා පුතාලා උදේ ඉඳලා ? වනතුරු ෆෑන් ටික දාගෙන ඉඳලා ලයිට් බිල නහුතෙට නගිනවා’’ ඕ බර බර ගෑවාය.

‘‘ලොකුගේ ඇමැතිතුමා කිව්වා ලයිට් බිල වැඩි කරන්නේ නැහැ’’ කියලා මම නිදහසට කරුණු කීවෙමි.

කෙහෙල්මල, ඉස්සර අපි කාලගුණ දෙපාර්තමේන්තුවට බණිනවා.

‘‘ඒගොල්ලො වහිනවා කිව්වොත් එදාට පායනවා. පායනවා කිව්වොත් එදාට වහිනවා ඒ වගේ තමයි ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ කියනවා. අර ගොරක ලෙල්ලක් වගේ මුහුණ තියෙන කෙනා පුනපුනා කිව්වා ඉන්ධන මිල වැඩි කරන් නෑ කියලා. වැඩි කළේ නැද්ද? ඔය කතා විශ්වාස කරන්න එපා.’’

‘‘අපි අපරාදේ මේ කොන්කි‍්‍රට් වනාන්තරයට පදිංචියට ආවේ. හුලං පොදක් තියෙනවාද? මේ ගෙදර පෝරණුවක් වගෙයි……’’ තවමත් ගෝරනාඩුව ඉවර නැහැ.

‘‘අර වන්නිලා ඇත්තන්ට කියලා පර්චස් විසිපහක් තිහක් සල්ලිවලට මහා කැලෙන් ඉඩම් කැල්ලක් ගත්තා නම් කැලෙන් දර ටිකක් කඩාගෙන උයාගෙන වැවෙන් නාගෙන හුළං වැදි වැදී අපූරුවට අපිටත් ඉන්න තිබුණා.’’ ඒ විතරක්ද ඔය ඉංගී‍්‍රසි, දෙමළ, සිංහල ඉගෙන ගන්නවා වගේම ආදිවාසින්ගේ භාෂාවත් අපිට ඉගෙන ගන්න තිබුණා. එහෙනම් ඔයත් පාර්ලිමේන්තුවේ…..’’ (මම අන්දමන්ද වුණෙමි) බිරිඳගේ අදහස පංකාදුය. ‘‘එහෙනම්’’ ආදිවාසීන්ගේ භාෂාව පොඞ්ඩක් ඉගෙනගෙන අපිට ඒ භාෂාවට ටියුෂන්් පංතියකුත් දාගන්න තිබුණා. එහෙනම් හොඳ සල්ලි…..’’

‘‘ඔහොම කෑගහන්න එපා. අහල පහල මිනිස්සු හිතයි ඔයාලා සුපර් ස්ටාර් රියැලිටි තරගයක් විනිශ්චය කරනවා කියලා. අර එක විනිශ්චය කරන නෝනා කෙනෙක් ගායකයා සින්දු කියද්දී උඩ පැන පැන හූ හූ කියන්නේ හරියට ඒ වගෙයි’’

මැදිහත් ජාතීන් මෙන්ම සින්ති උම්මා මගේ බිරිඳ සන්සුන් කළාය.

මට දැන් ඔළුව හැරුණ අතේ යන්න පුළුවන්. බිරිඳ කීවාය. නැකතක් බලල නැගෙනහිර පැත්තට යන්න පුළුවන්. බණ්ඩාර මහත්මයා හරි අර මංජුල මහත්මයා හරි ෂෝක්. ඒගොල්ලො අනාවැකි ඹස්තාර්ලා.

ඇය යළිත් වේගවත් පහරක් මේසයට එල්ල කළාය. වනිදු හසරංගගේ වේගපන්දුවකට දැවී ගියා සේ මේසය මත තිබූ මම වතුර බොන එකම වීදුරුව සලාං ගා බිම වැටී කෑලි කෑලිවලට කැඞී විසිරී ගියේය.

‘‘අපරාදෙ අපූරු වීදුරුව. බොන වීදුරුත් ගණන් ගිහින්. ඒකත් මගේ පඩියට තමයි තට්ටු වෙන්නේ’’ මම කීවෙමි.

‘‘පඩිය.. තමුසෙ මාව කේන්ති අවුස්සගන්න එපා.

පසුගිය කාලෙ බාර් වහල තිබුණු හින්දා පඩිය කන්න බොන්න ඉතුරු කර ගත්තා. බාර්කාරයෝ ආයෙත් බාර් ඇරලා.’’

‘‘එහෙම කියන්න එපා…. බාර්වලින් තමයි ආණ්ඩුවට ජනතාවගේ බදු මුදල් ටිකක් වැඩියෙන් හම්බ වෙන්නේ. නැත්නම් ආණ්ඩුව වහන්න වෙයි.’’ මම කීවෙමි.

‘‘කෙහෙල්මල ඕක අලූතින් වහන්න ඕනෑ නැහැ. කොහොමත් ආණ්ඩුව වහලා වගේ තමයි.’’

‘‘අපිට ‘කොළේ වහලා’ බඩු මිල ඉහළ දාන්නේ. දෙයියනේ කොහොමහරි ජේ. පී. මහත්වරු බලේට එන්න ඕනෑ.’’ බිරිඳ ආයෙත් එෆ්. එම්. ශබ්දය තරංග මාලා ඔස්සේ වැඩි කළාය. ගෙවල්වල ගැහැනුන්ට කේන්ති යන අවස්ථාවලදී පිරිමින් වැඩිදෙනකු යන්නේ ගෙවල් ළඟ සිටින බාබර් මහත්වරුන් ළඟටය. අද බාබර්ලා කලින් වෙන්කර ගත යුතුය. ගැහැනුන්ට නැති කරුණාව දයාව මෛතී‍්‍රය ඇත්තේ බාබර්ලා ළඟය.

ඔවුන් රැවුල කොණ්ඩය කැපීමට එන පිරිමින්ගේ හිස පිරිමදියි. කන් පිරිමදියි. බෙල්ල අල්ලයි. දැන් බාබර්ලාගේ තැන අත්පත් කරගෙන සිටින වැඩි දෙනෙක් ගැහැනුන්ය. ඒ විතරක් නොවෙයි කොණ්ඩය කැපීමට මුහුණ අච්චාරු කර ගැනීමට දැන් යන වැඩිදෙනෙක් කාන්තාවෝය. හැට පැන්න ලිලි අක්කාත් දැන් 18 තරුණියක්ය. ගෙවල්වල

ගැහැනු කෑගසන හැටියට අපට දැන් බාබර්ලා ළඟටත් යන්නට බැරිය. ඝෝෂාව මැද්දේ අපි ගෙදර ජීවත් වෙන්නේ රේල් පාර අයිනේ ජීවත්වන මිනිස්සු විදිහටය.

පිරිමි අපටත් ඔළුව හැරුණු අතේ යන්නට හිතෙයි. හතර දිසාවෙන්ම ණයකාරයෝය, ගිනි පොලීකාරයෝ ය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment