ආණ්ඩු පෙරළනකොට හාල් නැතුව පාණ්ඩුව හැදෙයි!

119

ඩඩ්ලිගේ කතාත් බොරු

පිටරටින් හාල් ගේන එක එකම විකල්පයද?

මහ මෝල්ලු නිසා කුඩා මෝල් හිමියෝ අමාරුවේ

අපේ රටේ සහල් ප්‍රශ්නය සහ ඉන්ධන අර්බුදය තවමත් පවතිනුයේ සුව නොවූ තුවාලයක් පරිද්දෙනි. එමෙන්ම මේ කාරණා දෙකම එකට වෙලී තිබෙනු වැනිය. වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ සහල් හිඟයක් පැවැතීම බව කියති. සහල් නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කවලින් ප්‍රමාණවත් තරම් සහල් තොග තවමත් කොළඹට නොලැබෙන බව පිටකොටුවේ තොග වෙළෙඳුන් ප්‍රකාශ කළහ. ඉකුත් සිකුරාදා (01) දිනය වනවිට පිටකොටුවේ තොග වෙළෙඳපොළට සම්බා සහල් ඉතා සුළු ප්‍රමාණයක් හැර වෙනත් දේශීය සහල් වර්ග තොග කිසිවක් පිට පළාත්වලින් නොලැබුණු බව එම වෙළෙඳුන් කීහ. එයට බලපා තිබෙන ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වාදෙන්නේ ඉන්ධන නොමැතිකමය. ලැබෙන සහල් තොගද අලෙවි වන්නේ ඉතා මඳ වශයෙන් බව ඔවුහු සඳහන් කරති. එයට හේතුව වී ඇත්තේද ඉන්ධන ප්‍රශ්නයයි. සහල් ගැනුම්කරුවන්ගේ පැමිණීමේ අඩුවට ප්‍රධාන වශයෙන් එය බලපා ඇතැයිද කීහ.

මේ අතර දේශීය සහල් වර්ග මේ වනවිට නිෂ්පාදනය වන්නේ සියයට පනහකට අඩු ප්‍රමාණයයක් බවද දැනගන්නට තිබේ. එසේ නිෂ්පාදනය වන සහල් ප්‍රමාණයද වෙළෙඳපොළට සැපයෙනුයේ සුළු ප්‍රමාණයක් බවද කියති. ඒ අනුව වෙළෙඳපොළේ දේශීය සහල් අවශ්‍යතාවයෙන් හරි අඩකටත් වඩා හිඟයක් දැනටමත් පවතින බව අමුතුවෙන් කිවයුතු නොවේ. එමෙන්ම වෙළෙඳපොළේ සහල්වල අධික මිලද පෙර පැවැති ලෙසින්ම බව දැනගන්නට ලැබිණි. බොහෝ වෙළෙඳසල්වල හාල් නැත්තේ ඒ මිල වැඩි ප්‍රශ්නය හේතුවෙන් බවද දැනගත හැකිවිය. ඇතැම් සිල්ලර වෙළෙඳුන් කියා සිටියේ සහල් තොගමිල රජයේ සිල්ලර පාලන මිලටත් වඩා වැඩි නිසා සහල් අලෙවිය දැනට තාවකාලිකව නවතා දමා ඇති බවකි.

සහල් සිල්ලර වෙළෙඳුන්ගේ මේ ප්‍රකාශ තුළින් පෙනීයන එක් කාරණයක් වන්නේ මේ රටේ හාල් මෝල් කාරයන්ට වලංගු නීතියක් නැති බවය. එක්කෝ පවතින නීතිය වල්වැදී තිබේ. සහල් මාෆියාවක් රටේ ක්‍රියාත්මක වන බව ඔවුන්ම පවා පිළිගන්නා කරුණෙකි. රජය පනවා තිබෙන සිල්ලර මිල ඉක්මවා තොග මිල තීන්දු කරන්නේ ඒ බල අධිකාරියේ මහිමයෙන් වන්නට පිළිවන.

එමෙන්ම පසුගිය කාලයේ වී තොග මිලදී ගත් මිලට අනුව රජයේ පාලන මිලට සහල් අලෙවි කළ හැකි බව මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මෙලෙස මහජනතාව හාමතේ වේලෙද්දී මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ නරි නාටක දැන් කරළියේ අඩුවක් නැතිව දකින්නට තිබේ. ඇතැම් රූපවාහිනී නාලිකාවල මහා පරිමාණ හාල් මෝල් කෙරුමෝ බාහුබලය පෙන්වමින් කාකොටා ගන්නට පවා සැරසෙති. කෙසේ නමුත් ඒ සංවාද තර්ක විතර්කවලින් කුසගින්නේ සිටින ජනයාගේ බඩපිරෙන්නේ නැතිබව අමුතුවෙන් කිවයුතු නැත. එම නිසා ඇති හැකි එකාට පමණක් නොව නැති බැරි මිනිහාටද මිලදී ගන්නට හැකි පරිදි සහල් මිල පැවැතිය යුතු බවට කිසිදු විවාදයක් නැත. එම නිසා මේ මෝල් කාරයන් දොඩන පුරසාරම් හෝ ආවේගශීලී කථා අසා සිටීමෙන් පමණක් බඩ, කට පිරෙන්නේ හෝ කුසගිනි නිවෙන්නේ නැති බව පාලකයන්ට යළිත් අවධාරණය කළ යුතුය.

මේ අතර රටේ සහල් නිෂ්පාදනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන මරඳගහමුල, සහල් නිෂ්පාදනයද මේවනවිට මුළුමනින්ම කඩාවැටී ඇතැයි එහි සහල් මෝල් හිමියෝ ප්‍රකාශ කළහ. වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට සහ සහල් මිල ඉහළ යෑමට එය විශාල වශයෙන් බලපා තිබෙන බවද දැනගන්නට ලැබිණි.

පොලොන්නරුව, අනුරාධපුර, අම්පාර, බදුල්ල, මොනරාගල වැනි රටේ සෙසු ප්‍රදේශවලද සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදනයටද අත්ව ඇත්තේ ඒ ඉරණමයි. ඒ දිස්ත්‍රික්කවල සහල් මෝල් විශාල ප්‍රමාණයක් වැසීයෑමෙන් සහල් නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට තිබෙන බව ඒ මෝල් හිමියෝ කියති.

මේ අතර දැනට වෙළෙඳපොළේ දේශීය සහල් හිඟයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන හේතුව ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම බව වෙළෙඳුන් මෙන්ම මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ද පෙන්වාදෙති. මේ හේතුවෙන් සහල් මිල ඉහළයෑම සහ මහජනතාවට අවශ්‍ය සහල් වර්ග වෙළෙඳපොළේ මිලදී ගැනීමට නොමැති කාරණය දිනෙන් දින අලුත්වෙමින් පවතින බව නොරහසකි. මෙහි බලපෑම වැඩිවශයෙන්ම දැනී ඇත්තේ නාගරිකව වෙසෙන ජනතාවටය. නගරයේ පමණක් නොව ගමේ ගොඩේ කඩවලත් දේශීය සහල්වර්ග කිසිවක් මිලදී ගන්නට නැත්තේ දැනට සති ගණනාවක පටන්ය. “හෙට අනිද්දා වෙනකොට අපිට කන්ඩ නැතුවයි මැරෙන්ඩ වෙන්නේ” මේ දිනවල ගම්වල ජනයාද එසේ කියනු බොහෝවිට අසන්නට ලැබී ඇත්තේ ඒ නිසාවෙනි. ඉදිරි කාලයේදී රටේ ඇතිවෙතැයි කියන ආහාර හිඟය දැනටමත් ගමට වඩාත් තදින් කාවැදී තිබෙන බවද එයින් පෙනී යයි. ගමේ නගරයේ ඕනෑම තැනෙක තේ කඩයෙකින් හෝටලයෙකින් කලෙකට පෙර බොහෝදෙනා අඩුවට කෑවේ පරිප්පු හොද්දක් සමඟ පාන්ය. එහෙත් දැන් පාන් සහ පරිප්පු දෙකෙහිම මිල සාමාන්‍ය ජනයාට නම් දැරිය නොහැකි ලෙස ඉහළ ගොසිනි. සහල්, අල, ලූනු, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සෑම එකකම පාහේ මිල දැන් ඉතා ඉහළය. පරිප්පු කිලෝවක් රුපියල් 640 කට පමණ මිලදී ගන්නට හැකි පිරිස් ගමේ නොව නගරයේ පවා ඇත්නම් ඒ අතලොස්සකි.

බත නිපදවන දිස්ත්‍රික්කවල පවා තුන්වේලටම බත්කෑ ජනයා දැන් දිනකට දෙවේලක් හෝ එක් වේලක් පමණක් බත් කා දවස ගෙවා දමති. මහජනතාවගේ අතමිට හිඟකමට එය කදිම නිදසුනකි. මෙකල රටේ සෑම තැනකම පාහේ සුලබව දකින්නට තිබෙනුයේ. වෙනත් කන්නවලදී වගාව සඳහා වැව්වලින් ජලය නිකුත් කළ පසු ගොවීන් යන්නේ උදලු, නඟුලු ගෙන කුඹුරටය. නමුත් මෙදා ඒ වෙනුවට බූලි භාජන රැගෙන ඩීසල් පෝලිම්වල තපින්නට සිදුව ඇතැයි ගොවි ජනතාව කියති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ වී ගොවිතැනට අදාළ අනෙකුත් ආයතනවල ගණන් හිලව්වලට අනුව මෙවර යල කන්නයේ මෙතෙක් මුළු රටේම කුඹුරුවල වගා කටයුතු ආරම්භ කර ඇත්තේ සියයට පනහක් වැනි ප්‍රමාණයකය. ඉතිරි කුඹුරු බිම් ප්‍රමාණය එහෙම පිටින්ම තවදුරටත් පුරන්ව පවතී. එම තත්ත්වයට ප්‍රධාන හේතුව අප ඉහතින් සඳහන් කළ පරිදි සී සෑම සඳහා භාවිත කරන ට්‍රැක්ටර්වලට අවශ්‍ය ඩීසල් සපයා ගැනීමට නොහැකිවීම බවයි ගොවීන් පෙන්වාදෙන්නේ.අපේ රටේ වී වගා කෙරෙන සමස්ත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 850,000ක් පමණ වන නමුදු එය යල කන්නයේ බෙහෙවින් අඩුවේ. බොහෝවිට එය හරි අඩක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් විය හැකි වුවද ඇතැම් දිස්ත්‍රික්කවල සියයට පනහක් පමණ මේවනවිටත් සීසාගැනීමට නොහැකිව පුරන්ව පවතී. එසේ නම් රටේ වී අස්වැන්න පසුගිය කන්නයටත් වඩා විශාල අඩුවීමක් සිදුවන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.

ශ්‍රමිකයන්ගේ උග්‍ර හිඟයක් පැවැතීමත් වැඩකටයුතු වඩාත් කාර්යක්‍ෂමව සහ කලට වේලාවට කරගැනීමටත් මෙරට ගොවි ජනතාව ගොවිතැනේදී යාන්ත්‍රික මෙවලම් භාවිත කිරීමට පුරුදුව ඇත්තේ කලක පටන්ය. එම නිසා එම යන්ත්‍රවලට යෙදීමට අවශ්‍ය ඉන්ධන හිඟවීම ගොවිතැනේ කටයුතුවලට සෘජුවම බලපාන්නකි. එම නිසා පොහොර, කෘමිනාශක, පලිබෝධනාශක, බීජ ආදී යෙදවුම් සම්බන්ධයෙන් පමණක් නොව යන්ත්‍ර සූත්‍ර සහ ඒවාට යොදන ඉන්ධන පිළිබඳව ඳ අවධානය යොමුකළයුතු මෙන්ම ඒවා මිලදී ගැනීමට හැකි ඉහළම ප්‍රමුඛතාව ලබාදිය යුතු බව කෘෂි විශේඥයන් පෙන්වාදෙති. එම නිසා ආහාර අර්බුදයේදී විශේෂයෙන්ම මෙරට සහල් නිෂ්පාදනය පහළ වැටීම මෙම පෙරකී සාධක සාර්ථක ලෙස සපුරා නොතිබීමෙන් සහ අවිධිමත් කෘෂි සැලසුම් නිසා ඇතිවූවක් බව විද්වත් මතයවී තිබේ. බොහෝ අවස්ථාවල ඔවුන් පෙන්වාදෙන පරිදි මෙරට වී ගොවිතැන පවා මෑත කාලයේ මෙතරම් පසුබෑමකට ලක්වූයේ රසායනික පොහොර, කෘෂි රසායන භාවිතයෙන් තොරව සියයට සියයක් කාබනික පමණක් යොදා සිදුකිරීමට යෑමෙන් බව බොහෝ දෙනා පිළිගන්නා සත්‍යයෙකි.

මේ හේතුවෙන් මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සපයා ගැනීමට අවශ්‍ය සහල් පවා පිටරටින් ගෙන්වීමේ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් අපට පීඩාවිඳින්නට සිදුවීම ඉතාමත් කනගාටුදායකය. මෑතක් වනතෙක්ම අප රටේ ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම් සහල් මේ රටේ නිපදවා ගත්බව අපි දනිමු. ඇතැම්විට සහල් අතිරික්තයක් පවා පසුගිය කාලයේ වාර්තාවී තිබිණි. එහෙත් ගෙවීගිය වගා කන්න දෙකතුනකදීම සාර්ථක වී අස්වැන්නක් නොලැබීම නිසා මේ වනවිට සහල් පිටරටින් ගෙන්වීමට සිදුව තිබේ.

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා වසරකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 24ක් බව පැවැසෙන නමුදු දැනට තිබෙන සහල් සංචිතය ඉතාමත් පහළ මට්ටමක බවද දැනගන්නට ඇත. එය ප්‍රමාණවත් වන්නේ මේ වසරේ සැප්තැම්බර් මාසය තෙක් පමණක් බව කියයි. එසේ නම් තවදුරටත් සහල් ආනයනය කිරීම වැඩිවැඩියෙන් කරන්නට රජයට සිදුවනු ඒකාන්තය.

සහල් පමණක් නොව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සෑම එකකම පාහේ මිල මෑතක සිට යළිත් ඉහළ ගොස් තිබේ. ඒ සුළුපටු ප්‍රමාණයෙකින් නොව දෙතුන් ගුණයෙකින් හෝ ඊටත් වඩා වැඩියෙනි. කෙසේ හෝ වේවා මේ කිසිවක මිල ජනතාවට
දරාගන්නට බැරිබවනම් අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම වෙළෙඳපොළේ මේ වනවිට ඇතැම් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වර්ගවල හිඟයක්ද පවතී. මේ සියල්ල රටේ වෙළෙඳපොළ යාන්ත්‍රණය කඩාවැටීම නිසා ඇතිවූ ප්‍රතිඵල බව පැහැදිලිය. ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළයෑමේ ප්‍රතිඵලය වී ඇත්තේද භාණ්ඩ මිල ඉහළ යෑමය. රට තුළ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශාල මුදලක් අයකරන බව පිටකොටුවේ තොග වෙළෙඳුන් පෙන්වාදෙති. එම නිසා පිටකොටුවේ තොග මිලට වඩා කොළඹින් බැහැර නගරවල සහ ගම්වල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑමට එය විශේෂයෙන් බලපා ඇතැයි ඔවුහු සඳහන් කළහ. ලෝක ආහාර අර්බුදයක් අතළඟ පැවැතීම තුළ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම එතරම් පහසු නොවනු ඇතිය යන්න විෂය දැනුමැතියන් පෙන්වාදෙන කරුණෙකි.

විදේශ සංචිත හිඟයද එයට ප්‍රධාන වශයෙන් එයට බලපානු ලබයි. එමෙන්ම ඉදිරියේදී ඇතිවන ආහාර හිඟය හේතුවෙන් එහි මිල ඉහළ යෑමද අනිවාර්යයෙන් සිදුවන්නකි. අනෙක් කාරණය ලෝකයේ ආහාර නිපදවන රටවල් ඒවා අපට සිතැඟි පරිදි ලබාදේද?. මෙවැනි ගැටලු රාශියකට ඉදිරි කාලයේදී මුහුණදෙන්නට සිදුවීම අනිවාර්ය වනු ඇතිය යන්න ඒ දැනුමැත්තන්ගේ මැදහත් මතය වී තිබේ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment