ආත්මයන් නැවත කඳවීම හෙවත් ජපානයේ බොන් උත්සවය

235

ජපානයේ බොන් සැමරීම බොහෝ විට බුද්ධාගම හඳුන්වා දීමට පෙරාතුව සිට සිදුවී ති බේග ඕ-බොන් යන වචනයෙ හි තේරුම ”උඩු යටිකුරු කර’’ යන්නයි. යමෙකු උඩු යටිකුරු කළ විට, ශාරීරිකව හෝ අධ්‍යාත්මිකව දැනෙන දරුණු දුක් වේදනා එයින් ගම්‍යමාන වේ. බුදු දහම හා බැදී පවතින චාරිත‍්‍ර මරණය සමඟ සම්බන්ධ වී තිබීම ජපානයටත් ශ‍්‍රී ලංකාවටත් පොදු වේ. ඒ අනුව, ජපානයට බුදු දහම හඳුන්වා දී, ක‍්‍රමයෙන් එය ජපානයේ මුල් බැස ගත් පසු කමකුරා යුගයේදී (1185-1333) අවමංගල්‍ය කටයුතු බෞද්ධානුකූලව සිදු කිරීමදී පටන් ගැනිණි. එය ෂින්ටෝ ආගම සහ බෞද්ධ චින්තනයේ මරණය පිළිබඳ සංජානනයේ තවත් කවුළුවක් විවෘත කරනු ලැබී ය. ජපානයේ බොන් චාරිත‍්‍රයේ මූලාරම්භය සිදු වූයේ බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයකු වූ මොකුරෙන්ගේ කතාව පිළිබද පවසන අවලම්බ සූත‍්‍රය ඇසුරෙන් විය හැකිය. එහිදී, මියගිය තම මව කුසගින්නෙන් පෙළෙන ආත්මයන්ගේ් නිරයට වැටී සිටි හෙයින් ඇයට උදව් කිරීමට මොකුරෙන්දී අවැසි විය. බුදුරජාණන් වහන්සේ ඔහුට උපදෙස් දුන්නේ යමෙක් දානය දීම තුළින් මෙන්ම බුද්ධාගමේ නිධානයන් තුනට (බුදුන්, ධර්මය හා පූජක තන්ත‍්‍රයට) ගරු කළහොත්, පෙර පරම්පරා හත තුළ නිරයේ සිටින අයවලූන්ගේ මුතුන් මිත්තන්ගේ දුක් වේදනා සමනය කළ හැකි බවයි.

එබැවින් මෙම උපදෙස්වලට අනුකූලව අගෝස්තු මස මැද භාගයේදී (පැරණි චන්ද්‍ර දින දර්ශනයේ ජූලි) මියගිය අයට ගෞරව කරනු වස් දිනයක් නියම කරන ලදී. සාමාන්‍යයෙන් ජපානයේ ඕ-බොන් සේවා ජූලි 13 සිට දින හතරක් දක්වා පැවැත්වේ. මේ සඳහා බෞද්ධ නිවාසවල විශේෂ පූජාසනයක් සකසනු ලබන අතර පූජකයකු පැමිණ එහි ඉදිරිපිට පූජා පවත්වනු ලබයි. මෙම සමය තුළදී මුතුන් මිත්තන්ගේ ආත්මයන් නිවසට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අනුව, බොන් යනු බෞද්ධ විශ්වාසයන්ට අනුව, මළවුන්ගේ ආත්මයන් නැවත නිවසට පැමිණෙන කාලය ලෙස හැ`දින්විය හැක.

ආත්මයන් නැවත කඳවීම හෙවත් ජපානයේ බොන් උත්සවය

බොන් සැමරීම උදෙසා ජපන් බෞද්ධ පවුල් තම නිවාස පිරිසිදු කරන අතර අගෝස්තු 13 වැනි දින ඒ සඳහා පවුලේ සොහොන් වෙත යනු ලබයි. එහිදී ඔවුන් සොහොන් ගල්මතට වතුර වත් කොට සුවඳවත් සුවඳ දුම් සහ පහන් දල්වා එහි මල් තබා යති. මේ අනුව, ඕ-බොන් හි පළමු දිනය මුකේ-බොන් හෙවත් පිළිගැනීමේ දිනය ලෙසත්, අවසාන දිනය ඔකුරි-බොන් හෙවත් සමුගැනීමේ දිනය ලෙසත් හැඳින්වේ. මුකේ-බොන් දින මිනිසුන් පහන් රැගෙන සොහොන් පිටියට ගොස් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්ම නැවත සිය නිවසට පිළිගනු ලබයි. එනම්, මෙහිදී සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්මයන් පවුලේ පූජාසනය වෙත රැගෙන එනු ලැබීම වේ. මෙදින නිවසේ කේක්, නැවුම් පලතුරු සහ එළවළු ආදිය පිළියෙල කොට තබන අතර විශේෂ මංගල්‍යයක් පැවැත්වීම තුළින් මිනිසුන් ආත්මයන් සමඟ නැවත එක්වීම සිදු කරනු ලබන බව සැළකේග ඕ-බොන් හි අවසාන දිනයේදී, සියලූ වර්ගවල ආහාරවලින් පුරවා සකස් කරන ලද හෝ ආලෝකමත් පහන් කූඩුවකින් සකස් කරන ලද කුඩා බෝට්ටුව ක් මගින් ආත්මයන් නැවත යවන බව කියවේ. අනතුරුව, බෝට්ටුව සාගරය තරණය කර අනෙක් වෙරළට ආරක්ෂිතව ළඟා වේ. මෙසේ කිරීම මගින් ඊළඟ ඕ-බොන් වන තෙක් ආත්මයන්ට කිසි විටෙකත් බඩගින්න හෝ තනිකමක් නොදැනෙන බව විශ්වාස කෙරේ.

ආත්මයන් නැවත කඳවීම හෙවත් ජපානයේ බොන් උත්සවය

චීනයෙන් ජපානයට උරුම මරණය හා අවමංගල්‍යය චාරිත‍්‍ර සමග සබැදි බෞද්ධාගමික චාරිත‍්‍ර වාරිත‍්‍ර ජපානය තුළ තවදුරටත් පවත්වාගෙන යෑමට බලපෑ ප‍්‍රධාන හේතුවක් වන්නේ, මෙවැනි මුතුන්මිත්තන් හට ගෞරව කිරීමේ චාරිත‍්‍ර මිනිසුන් පිළිපැදීමට හුරු වීමත් සමගය. මෙම බෞද්ධ ආගමික උත්සවයට සමගාමී සංස්කෘතික අංග පිළිබද අවධානය යොමු කිරීමද මෙහිදී වැදගත් වේ. සෑම නගරයකම බොන්හි සුවිශේෂී අංගයක් වන්නේ බොන් ඔඩෝරි හෝ බොන් නර්තනයයි. නූතන ජපානයේ බොන් ඔඩෝරි නැටුම විනෝදාස්වාදයේ ස්වරූපයක් බවට පත්ව ඇති ආකාරයක් ද දැකගත හැක. ජපන් ජාතිකයන් දින තුනක් රාත‍්‍රියෙහි අලංකාර පහන කූඩුවලින් සරසා ඇති ලී වේදිකාවක් වටා රවුමට ගී ගයමින් නැටීම සැබවින්ම සුන්දර හා සිත්ගන්නාසුළු දර්ශනයකි. අපූර්ව වෛවර්ණ ජපන් පහන් කූඩු ආලෝකයෙන් වේදිකාව ඒකාලෝක වේ. වේදිකාවේ මධ්‍යයේ ජපන් ජන සංගීතය පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ පිරිසක් ජපන් ජන ගීත පේ‍්‍රක්ෂකයන් සමඟ ගායනා කරති. වේදිකාවේ සිටින පිරිස් සාම්ප‍්‍රදායික බෙර හා නළා රැගෙන මියුරු සංගීතය වා තලයට මුසු කර හරිනවිට ගායකයන් විසින් දේශීය ජන ගී ගායනා කරනු ලබති. ගිම්හාන යුකතා ඇඳුමින් හෙවත් කපු කිමෝනෝවෙන් සැරසී සිටින ජපන් ජාතිකයන් සාම්ප‍්‍රදායික සංගීතයට තාලයට රවුමක් ආකාරයෙන් සැරසී නටනු මෙදින දැකගත හැකි ආකර්ශනීය දසුනකි.

ආත්මයන් නැවත කඳවීම හෙවත් ජපානයේ බොන් උත්සවය

එකම පියවර මාරුවෙන් මරුවට නර්තනය තුළ නැවත නැවතත් දැකගත හැකි වුවද නර්තන ශිල්පීන් දෑත් ඔසවා අත්පුඩි ගසමින් රිද්මයානුකූල ආකාරයෙන් ප‍්‍රබෝධමත්ව නර්තනයෙහි යෙදෙන බැවින්, එම දර්ශනය නීරස නො වී තවත් එක් මනහර වූත් දර්ශනීය වූත් රාත‍්‍රියක් මවාපෑමට සමත් වේ. පිරිමි පාර්ශ්වය සුදු සහ නාවික නිල් පැහැති යුකතාවෙන් සැරසි සිටින අතර කාන්තාවන් සහ ගැහැණු ළමුන් එදින රාත‍්‍රියෙහි අලංකාර විචිත‍්‍ර වර්ණයෙන් යුත් යුකතාවෙන් හැඩ වී සිටී. සෙල්ලම් බඩු, වෙස් මුහුණු, ගිනිකෙළි, රසකැවිළි, ස්නැක් සහ බීම අලෙවි කරන කුටි ද මෙම උත්සවය පැවැත්වෙන ස්ථානය අසළ තිබීම දැකගත හැක. බොන් නර් තනය මෙන්ම අලංකාරවත් යුකතා ඇඳුමින් සැරසී සිටින ජපන් කතුන් සහ විචිත‍්‍ර පහන් කූඩු නැරඹීමට ලැබෙන විදේශිකයන්ට මෙදින සැබෑ ජපානය නිරූපණය වන අවස්ථාවක් ලෙස හැෙඟනු නොඅනුමානය.

බොන් උත්සවය ජපානයේ බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර අතර වඩාත් සිත්ගන්නාසුළු සංස්කෘතික අංගයකි. මෙහි තවත් සුවිශේෂිත අංගයක් වන්නේ, විදේශිකයන්ට ද යුකතා ඇඳුමෙන් සැරසී උත්සවයට සහභාගි වීම සඳහා අවස්ථාව හිමි වීමය. ඒ සඳහා වේදිකාව ආසන්නයේ වෙනම ස්ථානයක් හෝ කුටියක් සකස් කර ඇති අතර එහි ගොස් සුළු මුදලක් ගෙවා ඒ සඳහා ඔවුන්ට සූදානම් විය හැක. ඒ අනුව, විදෙස් ජාතිකයන්ටද ජපන් ජාතිකයන් සමගින් වේදිකාව වටා නටමින්, ගයමින් හා අත්පුඩි ගසමින් නර්තනයේ යෙදීමට අවස්ථාව හිමි වේ. නර්තනය සරල පියවර කිහිපයකින් සමන්විත වන හෙයින් එය ඕනෑම කෙනකුට විගසින් පුරුදු වී නර්තනයේ යෙදී විනෝද වීමට හැකියාව උදාවේ. එමෙන්ම, වයස් භේදයකින් තොරව සෑම දෙනාටම නර්තනයට සම්බන්ධ විය හැකි අතර ඔවුන්ගේ මියගිය මුතුන් මිත්තන් මෙම දිනයේ බොන් උත්සවයට සහභාගි වී ඔවුන් සමඟ නටමින් විනෝද වන බවට ජපන් ජාතිකයන් විශ්වාස කරති. මෙහිදී ජපන් ජාතිකයන් විශ්වාස කරන්නේ මියගිය පිරිස් දුක්විඳීමට ඉඩ හැරීම නුසුදුසු බවත් මියගිය අය සතුටින් තබා ගැනීම දෙපාර්ශ්වයටම යහපත් වන බවත්ය. මෙය බුදුන් වහන්සේට අනුව මුතුන්මිත්තන්ට පින් ලබා දීම ලෙස ද සැලකිය හැකිය. බුදුදහම තුළින් මිනිසුන් හට මළවුන්ට සැලකීම උදෙසා විශාල බලපෑමක් සිදු කර ඇති බව පෙනේ. ඒ අනුවල මුතුන් මිත්තන් හට පින් පැමිණ වීමටත් එහි ගැඹුරු මූලාරම්භයත් අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය. මේ හා සමාන චාරිත‍්‍ර වාරිත‍්‍ර ශ‍්‍රී ලංකාවේ ද දැකිය හැකිය. බුදුදහම සෑමවිටම මෙළොවදී මෙන්ම පරලොවදීත් සුඛිතවත් අයුරින් ජීවත් වීමට ලෝ වැසියන්ට මාර්ගදර්ශන ලබා දෙන්නා වූ ආගමක් බැව් බොන් උත්සවය සැමරීමේ සැබෑ අරුථ අධ්‍යයනය කිරීම තුළින් පෙනී යයි. ඒ අනුවල බෞද්ධ බලපෑම හේතුවෙන් ජපානයට එකතු වූ තවත් වැදගත් සුවිශේෂිත සංස්කෘතික අංගයක් ලෙස බොන් උත්සවය හැඳින්විය හැකිය.

ඉෂිණි සමාධි දිසානායක
ඉතිහාස අධ්‍යයනාංශය
පේරාදේණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment