‘ආදරණීය පළිගැනීමක්’ තුළින් හෙළිකරන සමාජ යථාව

190

ජයසිරි අලවත්ත

ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමයේ අසම්මත ලිංගික මනෝ විපරිත අශ්ලීල ෆැන්ටසි සහ සමරිසි පේ‍්‍රමයේ ආවෘත්ත මනෝ විපරිත ලිංගික ෆැන්ටසි තුළ ජීවත්වන පුද්ගලයින්ගේ අඳුරු මනෝ අගාධ තුළට සියුම් ආලෝක කදම්බ යවා හඳුනාගත් පුද්ගල මනෝභාව ඇසුරින් නූතන ජාතක කතාවක් බඳු ‘තිත් මල්’ නවකතාව ලියූ ජයසිරි අලවත්ත තිත් මල් සුවඳ පැතිරෙද්දිම ආදරණීය පළිගැනීමක් තුළින් නැවත පාඨක අප වෙත සම්මුඛ වී තිබීම සතුට දනවන කාරණාවකි. ආදරණීය පළිගැනීමක් යනු ඔහුගේ අලූත්ම නවකතාවයි. ගැඹුරු මානසික බැඳීමකින් හා වගකීමකින් තොර ලිංගික ඇසුරකට කුලය, පංතිය, ධනය, බලය, උගත්කම, ජාතිය, ආගම, ග‍්‍රාමීය හෝ නාගරික බව පයිසයකට නොතකන, එහෙත් විවාහයට එකී භේද ඉහමුදුනින් සලකන පිළුණු මානසික ව්‍යාධියෙන් ඔජ ගැනුණු පංතිය හා කේවල මිනිස් ප‍්‍රාණීන් නියෝජනය කරන තරුණයකු විසින් බලහත්කාර රමණයකට යට කරගන්නා ලද කුලහීන යුවතියක ගේ ආදරණීය පළිගැනීමට එකී තරුණයාම පසුව හසුවන අයුරු ‘ආදරණීය

පළිගැනීමක්’හි ඉතා අපූර්වත්වයෙන් යුතුව නිමවා ඇත. එහිදී ජයසිරි අලවත්ත විසින් සියුම්ව කපාගන්නා ලද සමාජ හරස්කඩහි අඳුරු තැන් විනිවිද චරිත, චර්යා හා පුද්ගල මනෝභාව සමාජයට නිරාවරණය කරන අයුරු ඉතා ප‍්‍රශංසනීයයි. එවැන්නක් කළ හැක්කේ සමාජ වගකීම මැනවින් හඳුනාගත්, විචාර බුද්ධියෙන් සුපෝෂිත ප‍්‍රතිභාපූර්ණ සූර කතාකරුවකුට පමණි. කතාව තුළ ඇති සාහිත්‍යමය හා තාක්ෂණික කාරණා ගැඹුරින් විචාරන්නට තරම් මා සූර විචාරකයකු නොවේ. එහෙත් නවකතාව කියැවූ පාඨකයකු ලෙස අවංක හැඟීමක් මා හට ඇත.

‘ආදරණීය පළිගැනීමක්’හි කේන්ද්‍රය චරිතය (Protagonist) වන්නේ පුෂ්පා නමැති හිරිමල් යුවතියයි. පාරම්පරිකව බෙර වාදනය කරන කුලයට අයත් ඇය පළිකාර නමැති වංශක්කාර තරුණයා ගේ නෙත ගැටෙන්නේ ඔවුන්ගේ ගම් පියසි වෙන් කෙරෙන ගෙඟ්දීය. පළිකාරගේ නිවස පිහිටා තිබෙන්නේ කඳු ඉහත්තාවේ වන අතර පුෂ්පා ගේ නිවස ගෙඟන් අනෙක් පස නූස් බිමහි පිහිටා ඇත. වංශවත් පළිකාරලාට කන්ද දී පුෂ්පලාට කඳු පහළ දීම වනාහි කතාවේ ප‍්‍රබල සංකේතයකි. ඔවුන්ගේ සමාජ පංති දෙක ගෙඟන් වෙන්කර ඇත. ගඟ දිගේ එන ජලයත්, පළිකාරලාගේ කඳු ඉහත්තාවේ සිට පහළට ගලා බසින ජලයත් හිරප්පට්ටු වන්නේ ගඟට ය. ගඟ පිටාර ගැලූවොත් ගලන්නේ පුෂ්පලාගේ පැත්තට ය. ඉන් දුක් පීඩා විඳින්නේ පුෂ්පලා ය. එපමණක් නොව තමනට එකී පීඩා දෙන ගංගාව හා කන්ද තරණය කොට පුෂ්පලා පළිකාරලාට සේවය කළයුතු වන්නේ ය. එය වූ කලී වැඩවසම් ක‍්‍රමයේ ජුගුප්සාවකි. මේ වන විට ඒ ශුද්ධ වැඩවසම් ක‍්‍රමයේ කැඩපත බිඳී කැබලි වී බොහෝ කල් ය. එහෙත් ඒ කැඩපතේ විසිරුණු කැබලි තුළින් මුහුණ බලන අය තවම මෙම සමාජය තුළ සිටින බව පළිකාර පවුල තුළින් ප‍්‍රතිනිර්මාණය වී තිබේ. නමුත් කතා සාරය අනුව ඔවුන්ට තිබෙන්නේ දිය වෙවී ශේෂ වූ පරම්පරාගත මාන්නය පමණි. ළිං මැඬිගත බවින් මිදුණු සාම්ප‍්‍රදායික පුෂ්පලා ද මේ වන විට ඔවුන් නියෝජනය කරන පංතියත් ආදායම, ධනය හා බලය පදනම් කරගත් පංතියට ඇතුළු වී නව කුල ක‍්‍රමයක් නිර්මාණය කොට තමුන් අභිබවමින් සිටින බව පළිකාරලා නොදන්නවා නොවේ. ඔවුන්ගේ සිත ඒවා පිළිගැනීමට මැලිකමක් දක්වයි. නූතන විපරිත පංති ක‍්‍රමයෙන් එළියට විසිවන පුෂ්පලා නොවන අයත් දිනෙන් දින පුෂ්පලාගේ පංතියට එකතුවෙයි. එය වූ කලී පාරම්පරික පුෂ්පලාට ලැබුණු මහානර්ඝ අවස්ථාවකි. ඔවුන්ට ද ඉහළ යැයි සම්මත ජන කොට්ඨාසය සමග සම්මිශ‍්‍රිතව, පංති සමත් වෙමින් ඉහළට ගමන් කිරීමේ අවස්ථාව ලැබී ඇත. ඊට හොඳම නිදසුන කතාවේ එන සෙව්වන්දි අරුණෝදිකා හේවාරාල ය. අරුණෝදිකා යනු ද පුෂ්පාමය. ඇය ගමට පුෂ්පා වුවද කොළඹට අරුණෝදිකා ය. පුෂ්පා යටින් හිඳ ලේ ධාතු ධාවනය කොට, පණ දී, ශක්තිය දුන්නාට ජීවිතය ජයගන්නේ අරුණෝදිකා ය. විවාහයට හෝ ආදරයටවත් පොරොන්දුවක් නොදී ‘මං උඹට ආසයි කෙල්ලේ’ යි කියමින් පළිකාර ඇගේ නිවසටම රිංගා බලහත්කාරයෙන් ඇය ගැහැනියක් කළ මොහොතේ පළිකාරට දුන් අතුල් පහර හා වචන තුළ තිබුණේ සියලූ සාම්ප‍්‍රදායික බැමි සුනු විසුනු කරමින් ඇය හා පංතිය නැගී සිටින සංකේතයකි. තම මව, ගමේ වෙනත් ගැහැනු හා කෙල්ලෝ මෙන් කුලවතුන්ගේ පාප කඳට යට වී කොටස් අඩුවුණ කය බියෙන් හා බලයෙන් මඩනා ලද පරම්පරාවේ පුරුෂයින්ට නොදී පළිකාරගේ අනුභවය පිණිසම තබනුවස් කරන ලද මානසික අරගලය කතාව තුළ අපූරුවට ගෙත්තම් කර ඇත.

'ආදරණීය පළිගැනීමක්' තුළින් හෙළිකරන සමාජ යථාව

ආදරණීය පළිගැනීමේ කූටප‍්‍රාප්තිය ආරම්භ වන්නේ අරුණෝදිකාගේ ආගමනයෙන් පසු ය. එනම් පුෂ්පා ඇඟලූම් කම්හලක රැුකියාවක් සඳහා කොළඹට ගොස් සෙව්වන්දි අරුණෝදිකා හේවාරාල නාමයෙන් භෞතීස්ම වූ පසුව ය. එහිදී ඇය පළිකාරට වඩා වේගයෙන් වෙනස් වෙයි. චතුර ලෙස ඉංග‍්‍රීසි කතාකරන, විලාසිතා අගයන නාගරික යුවතියක්ම වෙයි. දිනෙන් දින පුෂ්පාට ආසක්ත වන පළිකාර විවාහය පිණිස නොව අනියම් බිරිඳක ලෙස ඇයව තබා ගැනීමේ සිහිනය ඇතිව කුලී ගෙයක විසීමට ඇයට ආරාධනා කරයි. කොන්දේසි කිහිපයක් සමග ඇය ඔහුට එකඟ වෙයි. ඉන් ප‍්‍රධාන කොන්දේසිය වන්නේ අඹුසැමි ඇසුරකින් තොර වාසයයි. බිරිඳක ගේ අතින් සිදුවන ගෙදර දොර සියලූ කටයුතු ඇගේ අතින් මනාව සිදුවෙයි. බිරිඳ ලෙස ඇය කොළඹ සමාජය ඉදිරියේ ඔහු අසල සිටගනී. දුහුල් ඇඳුමින් සැරසී රාත‍්‍රියේ ඔහු සමඟ එක සයනයේ ද නිදාගනී. එහෙත් සයනයේදී ද අවසරය ලැබෙන්නේ සිප ගැනීමට පමණි. වසර කිහිපයකට ඉහත තමා අතින් ගැහැනියක වූ සුන්දර යුවතියගේ ඇෙඟ් ස්පර්ශ වෙවී සිප ගැනීමෙන් පමණක් සෑහීමකට පත්වී එක සයනයේ නිදාගන්නට සිදුවීම ඔහුට ඉහිලූම් නොදෙයි.

මා පෙර කීවාක් මෙන් ශුද්ධ වැඩවසම් ක‍්‍රමය නමැති බිඳී විසිරුණු කැඩපතේ කැබලි තුළින් මුහුණ බලන්නට උත්සහ කරන හාමුනාමධාරීන්ගේ අශ්ලීල ලිංගික මනෝභාව තෘප්ත කරනු වස් කුලහීන කාන්තාවන් හා ආර්ථික අගාධ පතුළේ කෙඳිරිගාන කාන්තාවන් බිල්ලට ගත් ක‍්‍රමවේදය සම්මිශ‍්‍රිත සමාජ ආර්ථික ප‍්‍රවාහය තුළ දිය වී අහෝසි වෙමින් පවතින බවත්, මහ සමාජයේ ම ගුහාගත ව පුෂ්පලා සමඟ කමින් බොමින් විනෝද වෙමින් එකට වාසය කිරීම දක්වා ඔවුන්ගේ මනෝභාව ලිහිල්ව ගිය ආකාරයත් , අවසන දරුමල්ලන් සමඟ ගුහාවලින් එළියට පැමිණීමට සිදුවන අයුරුත්, ඉක්බිතිව අභින්න වූ මානව වාසයේ සෞන්දර්යාත්මක කැඩපතින් මුහුණ බැලීම තරම් ආශ්වාදයක් තවත් නැතැයි පසක්කරලීම ‘ආදරණීය පළිගැනීමක්’ තුළ ඇති කේන්ද්‍රීය ගුණයයි. තව ද ප‍්‍රධාන ප‍්‍රවාහය සමග බැඳුණු විවිධ සමාජ ස්ථර තුළ පවත්නා ගඳ සුවඳ පාඨකයාට දැනෙන්නට සැලැස්වීම කතාව තුළ ඇති තවත් විශේෂ ගුණයකි. නිදසුනක් ලෙස පුෂ්පා වෙනත් පුරුෂයින් ලවා දූෂණය කරවීම සඳහා පළිකාර විසින් දියත් කළ සැලැස්ම පොලිසිය අතට පත්වීම, ඒ සඳහා වන ඔත්තුව ත‍්‍රීරෝද රථ රියදුරකු මාර්ගයෙන් ලැබීම වැනි කාරණා දෙකක් උපුටා දැක්විය හැකිය. ඒවා වනාහි මහ සමාජයේ නිරන්තර විවේචනයට බඳුන් වන උප සංස්කෘතීන් දෙකක සුවඳ හමන තැන් ය. එහෙත් මෙතරම් බරපතළ වැරැුද්දක් කළ පළිකාර නිදහස් වන්නේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය තුළින් නොවේ. ඊට පරිබාහිර අතුරු ක‍්‍රියාවලියකිනි. ඒ පුෂ්පා තම නිවස උකසට තබා ලබාගත් රුපියල් ලක්ෂ විස්සක් පොලිසියට අල්ලස් දීමෙනි. නමුත් සමාජයට නිරාවරණය වූයේ එම අල්ලස් ගැනීම නොව පුෂ්පා විපතින් ගලවා ගැනීමේ සිද්ධියයි. ඒ හරහා සිද්ධිය මෙහෙය වූ පොලිස් කාන්තාව සහකාර පොලිස් අධිකාරි නිලයට ද උසස්වීම් ලබයි. මෙවැනි සිද්ධි ඕනෑ තරම් අප අසා ඇත. ඒවා එම ආයතන තුළ තිබෙන ගඳ ගහන තැන් ය.

සමාජයේ මෙවැනි අඳුරු තැන් වලට සියුම් ආලෝක කදම්බ යවා විමර්ශනය කරන ප‍්‍රතිභාව අලවත්ත සතු බව ‘ආදරණීය පළිගැනීමක්’ තුළින් මනාව ඔප්පු වේ. ඔහු තුළ ඇති එකී ශක්තිය මුදාහැරීම සඳහා යොදාගත් කතා ආකෘතිය මා සිත් ගත් එකකි. ඒ ගැන ද යමක් කිව යුතුම ය. පළමුවෙන් කිවයුත්තේ සාම්ප‍්‍රදායික රාමුව කඩා කතාව වර්තමානය හා අතීතය වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා ඉක්බිතිව වර්තමානය හා අතීතය කොටස් කර ඉදිරිපත් කර තිබෙන බව ය. ඊට අමතරව කතාව තුළ සිදුවිය හැකි සිද්ධි සහ මගහැරුණු සිද්ධි කතා රසය භින්නනොකොට හෝ නිහීනකොට ප‍්‍රධාන ධාරාවට බද්ධ කර තිබීමය. ඒ සියලූ ප‍්‍රයෝග භාවිතයෙන් ඔහු පාඨකයා කතාවට ඇබ්බැහිකොට කතාවේ උච්චස්ථානය කරා කැටුව යයි. ඉක්බිතිව ඔහු හැංගෙයි. පාඨකයා සිහි එළවාගෙන සීරුමාරුවට කෘතිය නොබැස්ස හොත් ඔහුට අතරමං වීමට සිදුවේ. මන්ද වෙන නවකතාවල මෙන් නොව මෙම නවකතාවට අවසාන දෙකක්, එසේත් නැත්නම් නිමාවන් දෙකක් තිබෙන නිසා ය. ඉන් එක් නිමාවක් අවසන පටු අඩි පාරක් තිබේ. එය සොයාගතහොත් පමණක් අවසානයට ළඟාවී තැනිතලාවට ප‍්‍රවිශ්ඨ විය හැකිවන්නේ ය. මෙය වූ කලී අපේ පාඨකයාට අලූත් අත්දැකීමක් වනු නිසැක ය.

කතා රාමුවට අමතරව අලවත්තගේ භාෂා භාවිතය ගැන ද යමක් කිව යුතුම ය. වරෙක ඔහු ප‍්‍රථම පුරුෂ ලිඛිත ශෛලියෙන් ද, තවත් වරෙක ප‍්‍රථම පුරුෂ කටවහරගත ශෛලිය ද උචිත පරිදි භාවිතා කරයි. ඒ සඳහා ඔහු ඒ ඒ සමාජ ස්ථරයන්හි භාෂාව මැනවින් අධ්‍යනය කොට හඳුනාගෙන තිබීම ප‍්‍රශංසනීය වේ. අතීත හා වර්තමාන කතා කොටස් ආරම්භ වීමට ප‍්‍රථම සපයා ඇති සාරාංශගත සටහන් ඔහුගේ භාෂා නෛපුන්‍යතාවය මැනවින් විදහා දක්වයි. ඒවා විදග්ධ බවින් යුක්තය. ඒවා කතාව සමග බද්ධකොට ඇති අයුරු ද අපූරු ය. එමෙන්ම කතාවේ චරිත හා ඔවුන්ගේ කළු සුදු සොබා සියුම්ව උලූප්පාලමින් කර ඇති සමාජ කතිකාවත ප‍්‍රශංසනීය වේ.

‘ආදරණීය පළිගැනීමක්’ කෘතිය කියවා එහි ඇති අපූරු රසය විඳින්නට ඔබට ද ආරාධනා කරමි. එසේම ජයසිරි අලවත්තට ඉතසිතින් සුභාශිංසන එක් කරමි.

වීරවිජය ගුණසේකර

'ආදරණීය පළිගැනීමක්' තුළින් හෙළිකරන සමාජ යථාව
advertistmentadvertistment
advertistmentadvertistment