ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

586

සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ

කේසර සිංහයකු වූ තෙවරප්පෙරුම සැබෑ දේශපාලක භූමිකාව ඉටුකළා – යටදොලවත්තේ චන්ද්‍රසිරි හිමි

ගංවතුරෙන් බැටකෑ ජනතාවට උදව් කළේ කූඩැල්ලෝ කාගෙන – සේනමුල්ලේ කල්‍යානවංශ නාහිමි

අනුන් වෙනුවෙන් කැපවුණු දැවැන්ත චරිතයක් – රත්දෝවේ සුමන නාහිමි

තෙවරප්පෙරුම බැලුවේ පවුල දිහා නොවෙයි ජනතාව දිහායි – පාලිත රංගෙ බණ්ඩාර

තනතුරුවලින් බැබළෙන්න හැදුවේ නෑ – ගයන්ත කරුණාතිලක

දේශපාලකයන් ජීවත් විය යුතු විදිය තෙවරප්පෙරුම කියා දුන්නා – රන්ජන් රාමනායක

තෙවරප්පෙරුම නැති පාඩුව කළුතරට දරාගන්න බෑ – වජිර අබේවර්ධන

පරාර්ථය වෙනුවෙන් කැපවුණු මිනිසෙක් – සංජීව එදිරිමාන්න

ප්‍රබන්ධ මිනිස්සු ගොඩක් ඉන්න ලෝකයක ඔහු ඇත්ත මිනිසෙක්
පාලිත කවදාවත් දේශපාලනයට ජාතිවාදය එකතුකර ගත්තේ නෑ – වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුගං තොටේ ජනතාවාදී දඩබ්බරයාගේ නික්ම යෑම

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

කේසර සිංහයකු මෙන් වැඩ කළ පාලිත තෙවරප්පෙරුම මහතා තමන්ගේ ජීවිත කාලය පුරාම ජනතාවාදී සැබෑ දේශපාලනඥයකුගේ භූමිකාව ඉටු කළේ යැයි යටදොලවත්ත විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති යටදොලවත්තේ චන්ද්‍රසිරි හිමිපාණෝ ඊයේ (19 වැනිදා) පැවැසූහ.

විදුලිසර වැදී දිවියෙන් සමුගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට මත්තෙන් ඒ මහතාගේ මතුගම, යටදොලවත්ත නිවසේ ඊයේ (19දා) සවස පැවැති ආගමික කටයුතු සිදු කෙරුණු මොහොතේ උන්වහන්සේ එසේ කියා සිටියහ.

ඒ මහතාට අවසන් ගෞරව දක්වන්නට ඊයේ උදෑසන සිටම දිවයිනේ නන් දෙසින් දස දහස් ගණනින් විවිධ ආගමික නායකයෝ, විවිධ දේශපාලනඥයෝ සහ ඒ මහතාට ආදරය කළ ජනතාව නිවසට ඇදී එන්නට වූහ.

අවමඟුල් උත්සව අවස්ථාවේදීද අති විශාල පිරිසක් පාලිත තෙවරප්පෙරුම මහතාගේ නිවසට ඒකරාශී වී සිටිනු දැකගත හැකි විය.

“ඇතැම් දෙනා අනේ පාලිත අයියේ, ඔයා නැතිව අපි දැන් කොහොමද ඉන්නේ. ඇයි දෙයියනේ ඔයාට විපතක් වුණේ…” යැයි කියමින් විලාප තබමින් හඬා වැළපෙන අයුරු දැකගත හැකි විය.

වැඩම කළ මහා සංඝරත්නය පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් පසු තෙවරප්පෙරුම මහතාගේ බිරිය, පුතා ඇතුළු පවුලේ ඥාතීහු පැන් වඩන්නට වූහ.

ඉන් පසු පැවිදි හා ගිහි දේශන ඇරඹිණි.

යටදොලවත්තේ චන්ද්‍රසිරි නාහිමියෝ මෙසේද කීහ.

පාලිත තෙවරප්පෙරුම චරිතය සුවිශේෂී චරිතයක්. කේසර සිංහයෙක් වගේ අභීත පුද්ගලයෙක් පාලිත තෙවරප්පෙරුම කියන්නේ. තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඔහු මිනිසුන්ට උදව් කළා. තමන් යම්කිසි අර්බුදයකට මැදිහත් වෙනවා නම් යාළුවෙක් එක්කගෙන යන්නේ නැහැ. තනියම තමයි ඒවට ගියේ. ඔහු තුළ මෝඩ චන්ඩිකමක් තිබුණේ නැහැ. ඔහු යුක්තිය වෙනුවෙන් තමයි සටන් කළේ. මහ ජනතාවත් එක්ක තිබුණු හිතවත්කම් නතර කළේ නැහැ. එතුමා තමන්ගේ ඉලක්කය සම්පූර්ණ වෙනකම් ජනතාව වෙනුවෙන් හඬනැගූ කෙනෙක්. එතුමාගේ ජීවිතය සැබෑ දේශපාලනඥයෙක් හැටියට කටයුතු කළා.

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

පැළෑඳ රජමහා විහාරාධිපති පාලින්ද නුවර ප්‍රධන සංඝ නායක සේනමුල්ලේ කල්‍යානවංශ නාහිමිපාණෝ

පාලින්දනුවර, බුලත්සිංහල ප්‍රදේශවල ගංවතුර උවදුරක් වුණාම උදව් උපකාර කරපු කෙනෙක් තමයි එතුමා. එතුමා කූඩැල්ලො කාගෙන, මඩ නාගෙන ගිහින් තමයි මේ දේවල් කළේ.

අමරපුර මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක රන්දෝවේ සුමන නාහිමි

මෙතුමා අපේ විහාරයට උදව් කරපු මහත්මයෙක්. අපේ පන්සලේ වැඩවලට ලක්ෂ ගණනින් උදව් කරලා තියෙනවා. එතුමා කළ මෙහෙය මිල කරන්න බැහැ. අනුන් වෙනුවෙන්ම කැපවූ දැවැන්ත චරිතයක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගෙ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

මෙහිදී සිය අදහස් දැක්වීම කළ පාලිත රංගෙ බණ්ඩාර මහතා මෙසේ ද කීය.

රටේ ජනතාවටත්, ප්‍රදේශයේ ජනතාවටත් සත්ත්ව ලේකයේ සත්තුන්ටත් ආදරය කරපු චරිතයක්. ගංවතුරක් නියං තත්ත්වයක්, වසංගත තත්ත්වයක් ඔහුට අභියෝගයක් වුණේ නැහැ. ඒ ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා නොබියව ක්‍රියාත්මක වෙච්ච දක්ෂ නායකයෙක්. ජනතා හිතවාදියෙක්. ඔහු පවුල දිහා නෙවෙයි බැලුවේ. ඔහු බැලුවෙ රටත්, ජනතාවත්, සමජය දිහා. ඔහුට දේශසීමා තිබුණේ නැහැ. ඔහු කළුතර, මතුගමට සීමා වුණේ නැහැ. සමස්ත රටේ කොතැන ද ඔහු එතැන. ඔහුට නඩු ගණනාවකට මුහුණ දෙන්න සිදු වුණා. අනුන් වෙනුවෙන් තමයි ඔහු ඒ කැපවීම කළේ. එවැනි කැපවීමක් කළ ජනතා නායකයෙක්. 2019 අවස්ථාව වනවිට පලිත ජීවත්කරවපු මිනිස්සු, පාලිත වෙනුවෙන් පෙනී සිටියේ නැහැ කියන එක මගේ මතයයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ශෝක පණිවුඩය මතුගම ප්‍රාදේශීය ලේකම් මනුෂ සංකල්ප මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

මනුෂ සංකල්ප මහතා සිය අදහස් දැක්වීමේදී මෙසේ කීය.

එතුමා රජයේ නිලධාරීන් එක්ක බොහොම ලෙන්ගතුව සමීපව කටයුතු කළ චරිතයක්. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අසීමිතව කැපවීම් කළා. නිලධාරීන් හමුවට ඇවිත් ඔවුන් සමග බොහෝ වැඩ කටයුතුවලට සම්බන්ධ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ශෝක පණිවුඩය හිටපු ඉඩම් අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

පසුව ගයන්ත කරුණාතිලක මහතා පෞද්ගලිකව අදහස් දක්වමින් මෙසේ කීවේය.

පොදු ජනතාව අතරින්ම බිහිවෙලාා පොදු ජනතා පුත්‍රයෙක් හැටියට ජීවත් වුණු විශිෂ්ට පුත්‍රයකුටයි අද අපිට අවසන් ගෞරව දක්වන්න වෙලා තියෙන්නේ. එතුමා මන්ත්‍රීකම් කළත්, ඇමතිකම් කළත් ඒ එකම තනතුරකින්වත් බැබලෙන්න හදපු කෙනෙක් නෙමෙයි.

ප්‍රාදේශීය දේශපාලනය කරද්දිත්, ජාතික දේශපාලනය කරද්දිත් පාලිත හිටියේ එක විදිහටයි. ප්‍රාදේශීය සභාවේ සභාපතිකම කරද්දි වාහනයේ රියැදුරු නැත්නම් රියැදුරු වුණේ පාලිත. ඉදිකිරීමක් කරන කොට, වළවල් කපනකොට උදැල්ල අතට අරගෙන කම්කරුවකුගේ චරිතය රඟපෑවේ පාලිත. ඒ වගේම ගංවතුරක් ගැලුවාම බඩු මල්ලක් කරේ තියාගෙන විටෙක සිමෙන්ති කොට්ටයක් කර තියාගෙන ජනතාව සොයාගෙන ගියේ පාලිත. උයාගෙන, පිහාගෙන කෑම පැකට් එක අරගෙන අසරණ වෙච්ච ජනතාව අසලට ගියේ පාලිත. එතුමා පවතින මේ කිළිටි වෙච්ච දේශපාලනයට අභියෝගයක් කරමින් තමාට ආවේණික වෙච්ච මාර්ගයක ගමන් කරපු පොදු ජනතාවගේ හෘදස්පන්දනය හොඳින් හඳුනාගත්තු දේශපාලනඥයෙක්. පාලිතගේ මේ වියෝවෙන් ඇතිවෙච්ච හිඩැස මේ ගමට, පළාතට, රටට ලේසියෙන් පුරවන්න වෙන එකක් නෑ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා

ඔහුට නීතියක් පේන්නේ නැහැ. සෑම ප්‍රශ්නයක්ම සෑම දුකක්ම එතුමා ඇවිත් මා සමග කියනවා. පාලිත තෙවරප්පෙරුම කියන්නේ උපතින් නායකයෙක්. මේ පාඩුව කවදාවත් කළුතර දිස්ත්‍රික්කයට දරාගන්න බැහැ. දේශපාලන භූමිකාවේ අපිට නැවත පාලිත කෙනෙක් ලැබෙන්නේ නැහ.

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සංජීව එදිරිමාන්න මහතා

පාලිත තෙවරප්පෙරුම ආත්මාර්ථය පසෙකලා පරාර්ථය වෙනුවෙන්ම වෙහෙසුන මිනිසෙක්. මිනිසුන් උදෙසා සේවය කිරීම පිළිබඳ විශ්වීය ආදර්ශයකි. බාහිර හව්හරණයකින් තොරව සිය ජීවිත ජයගත නොහැකි මිනිසුන් වෙනුවෙන් උදව් කිරීම වගකීමක් ලෙස සිතා ඒ වගකීම සිය කැමැත්තෙන්ම තමන් වෙත පවරා ගැනීමට තරම් ඔහු පරාර්ථකාමී වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා (ජා.ජ.බ.)

ඔහුගේ තිබුණේ මහජන සේවය දිගටම කරගෙන යාමයි. ඔහුට මන්ත්‍රීකම්, ඇමැතිකම් වැදගත් වුණේ නැහැ. ඔහු මහජනතාවගේ හදවතේ ගැඹුරුම තැනක හිටියා. පාලිත කවදාවත් තමන්ගේ දේශපාලනයට ජාතිවාදය එකතු කර ගත්තේ නැහැ. පාලිතට මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාවත් ආදරෙයි. ඒ වගේම රුපියල් ලක්ෂ ගණන් වැයකරලා යුරෝපයේ ඉඳලත් ජනතාව මේ පාලිතගේ අවමඟුලට සහභාගි වෙලා ඉන්නවා. පාලිත හම්බ කළේ ජනතාව. ඔහු දේශපාලනය කරපු විසි වසර තුළ තමන්ට කරන්න පුළුවන් මහජන සේවය උපරිමයෙන් කළා. පාලිත කෙනෙක් ආයෙ හදන්න බැහැ. ප්‍රබන්ධ මිනිසුන් ගොඩක් ඉන්න ලෝකයක පාලිත ඇත්ත මිනිහෙක්. ඇත්ත මිනිස්සු කළුයි, ඇත්ත මිනිස්සු සුදුයි, ඇත්ත මිනිස්සු කැතයි, ඇත්ත මිනිස්සු හොඳයි.

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

හිටපු ඇමැති රන්ජන් රාමනායක මහතා

පාලිත කියන්නේ රිප්ලේස් කරන්න පුළුවන් චරිතයක් නොවෙයි. පාරට බැහැල, කාණුවට බැහැලා ජනතාව වෙනුවෙන් හඬනැඟූ දේශපාලනඥයෙක් තමයි පාලිත කියන්නේ. අන්න ඒ නිසයි මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඔහුට ආදරය පෙන්වන්නේ. මේ ජනතාව පිරිලා ඉන්නේ ඒකයි. පාලිත ඉගැන්නුවා දේශපාලනඥයන්ට ජීවත්වෙලා ඉද්දි ජීවත්වෙලා ඉන්න හැටි. රටට වින කරන දේශපාලනඥයෝ මැරෙනකම් ජනතාව බලන් ඉන්නවා. මට මතකයි සමහර දේශපාලනඥයින් මැරුණාම රතිඤ්ඤා පත්තුකරලා කිරිබත් කාපු හැටි. නමුත් තෙවරප්පෙරුම ජනතාවට දැනෙන්න ජීවත් වුණා.

මතකවස්ත්‍ර පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ හා ගිහි කතාවලින් පසු පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඒ මහතා විසින්ම තනන ලද කිලෝ මීටර් 4ක් දුරින් පිහිටි නිසල සෙවන කරා රැගෙන යන්නට කටයුතු සංවිධානය කෙරුණි. ඒ අනුව එම දේහය අවමංගල්‍ය රථයේ තැන්පත් කරන්නට විය. පසුව එම දේහය දහස් සංඛ්‍යාත පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මැද රැගෙන යන්නට වුණි. මග දෙපස සුදු කොඩිවලින්, ශෝකාලාපයන් සහිත බැනරයන්වලින් සරසා තිබෙනු දැක ගත හැකි විය.

මග දෙපස එක් රැස්වී සිටි දස දහස් ගණනක ජනතාවද අවමඟුල් පෙරහැර සමග සම්බන්ධ වූහ. තෙවරප්පෙරුම මහතාගේ අවමඟුල් රථය ඒ මහතාගේ නිසල සෙවන වෙත රැගෙන එනවිට “පුරුදු පාරෙම අදත් යනවා… ඒත් වෙන ගමනක් පුතේ” ගීතය වාදනය වන්නට විය. එය ඉතා සංවේදී අවස්ථාවක් විය. ඒ මහතාගේ දේහය තැන්පත් කරන්නට මත්තෙන් අතිවිශාල පිරිසක් නිසල සෙවන වෙත පැමිණ සිටින ආකාරය දැකගත හැකි විය. ඒ මහතාගේ දේහය නිසල සෙවනේ තැන්පත් කරන විට පැමිණ සිටි ජනතාව විලාප තබමින් හඬන්නට වූහ. දේශපාලනයේ ජනතා වීරයකු වූ පාලිත තෙවරප්පෙරුමගේ කතාව එසේ අවසන් විණි. ඔහුගේ මතක සුවඳ තවත් දිගු කාලයක් ජනතා හදවත් තුළ රැඳෙනු ඇත.

සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නැඟූ නායකයෙක් අහිමි වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඬක් නඟපු සාමාන්‍ය ජනතාවගේ දුක කඳුළ වේදනාව වෙනුවෙන් පෙනී සිටි මහජන නියෝජිතයකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මැතිතුමා ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි බවත් ඔහුගේ මේ හදිසි වියෝව සම්බන්ධයෙන් තමා අතිශය ශෝකයට පත්වන බවත් ඔහුට උතුම් නිර්වාණය ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් තම පක්ෂයෙන් ඉටු විය යුතු සෑම යුතුකමක්ම ඉටු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ජනපති බුහුමන්…

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

සොහොන් ගැබට මම පිවිසෙන්නම්…

ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි

සටහන – ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ඡායාරූප – ධර්මසේන වැලිපිටිය, ගල්පාත – චන්දන

ඡායාරූප – මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment