ආදරණීය රන්ජන් ඔබ එනතුරු……

259

සිරගෙදර සිටින රන්ජන් රාමනායකට සනත් ගුණතිලක ලියූ හෘදයාංගම ලිපිය….

ඔබ නිදහස් දිනය දවසේ එළියට එයි කියා සිතුණත්, එය සිද්ධ නොවූ විට වෙසක් පොහොයටවත් එළියට එයි කියලා හිතුවා. එහෙත් ඔබ පොසොන් එකටවත් එළියට එව්වෙ නෑ. ඔබ තවම ඇතුළෙ අපි ඉන්නවා එළියේ. මේක ගේම් එකක්ද? ඇත්තටම දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට ඇතුළෙ ඉන්න එකද හොඳ එළියේ ඉන්න එකද හොඳ කියන එකත් ප්‍රශ්නයක්. ඇතුළෙ ඉන්න ඔබ දැන් ශාස්ත්‍රවේදී උපාධිය හදාරමින් සිටිනවලු. එහි මූලික කටයුතු අවසන් කර දැන් විභාගයටත් පෙනී සිටිනවලු. නියමිත වේලාවට ඇවිදිනවා වගේ ශරීර අභ්‍යාස කරනවලු. මේවා තමයි මට ආරංචි වුණේ. ඔබ කාල සටහනකට වැඩ කරනවානේ. අපි එළියේ හිටියත් මේ තියෙන තත්ත්වය හැටියට කොහොමද කාල සටහනකට වැඩ කරන්නේ. වැඩ කරන්න බැරි බව ඔබටත් ආරංචි වෙනවා ඇතිනේ. ඒ අතින් බලනකොට ඔබ වාසනාවන්තයිනේ. සනත් අයියා හදන්නේ මාව හැමදාම ඇතුළෙ තියන්නද කියලත් ඔබට හිතෙයිද දන්නෙ නෑ. ඔබට නොහිතුණත් මම ඒ විදියට හිතනව කියලා හිතන අපතයොත් නැතුව නොවෙයි.

ආදරණීය රන්ජන් ඔබ එනතුරු......

නමුත් සිර ගෙයක් ඇතුළේ දඬුවම් විඳිනකොට එතන තියෙනි‘රසය’ දන්නේ ඇතුළේ ඉන්න මිනිහ විතරයි කියලා මට නොතේරෙනවා නොවෙයි. එතන තිබෙන කටුක බව, දුක්ඛිත තත්ත්වය, අඩුපාඩු ඔබට දැනෙන කොට මම මේ කියන්නේ මොන විකාර කතාවක්ද කියලා ඔබ කනගාටු වෙන්නත් පුළුවන්. කුරුල්ලෙකුට වුණත් නිදහසේ පියාඹමින් ගත කරන ජීවිතය, මොන තරම් රස බොජුන් ලැබුණත් කූඩුකර සිටියදී ලැබෙන්නේ නැති බව පරම සත්‍යයක්. නමුත් ඔබේ සිත හයියයි. ඒ හයිය තව තවත් වැඩි දියුණු කර ගන්න.

කොහොමටත් දැන් ඔබව විසිට් කරන්න විවිධ අය එන බැවින් ඔබට එය එක්තරා විදියක සැනසීමක් වෙන්න ඇති. ඒ අය එන්නේ ඇත්තටම ඔබව සනසන්නටද එහෙමත් නැත්නම් ඉදිරියේදී ඔබ සමඟ එකතුව ඔවුන්ගේ සැනසීම හදාගන්නද කියලා දන්නෙ නෑ. එතැනත් තියෙන්නේ ගේම් එකක්ද? නමුත් පෙරට වඩා දැන් හිතලා මතලා වැඩ කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ ගේම් අවබෝධ කර ගන්න අපහසු නෑ කියලා මම හිතනවා. දේශපාලන වශයෙන්, සමාජ යථාර්ථය වශයෙන් නෑ හිත මිතුරන් වශයෙන් ඇති සබඳතා කෙතරම් දුරට සත්‍යයට නැඹුරුද? වටිනාකම් සහිතද? රහිතද? වංකද? අවංකද? යන්න තේරුම් ගැනීමට මේ හිටිය කාලය ඔබට හොඳටම ඇති කියලා මම විශ්වාස කරනවා.

ඔබේ අනාගත සැනසීම සඳහා කළ යුතු දේත්, වැනසීම සඳහා නොකරගත යුතු දේත් ඔබට දැන් කියලා දෙන්න අවශ්‍ය නෑ. සිතට වඩා වචනය ඉස්සර කර ගත යුතු නැති බව ඔබ දැන් හොඳටම තේරුම් අරන් යැයි මම හිතනවා. (මෙහෙම පණ්ඩිත කතා කිව්වට අපිටත් හැමවෙලේම වෙන්නේ අනවශ්‍ය විදියට කට ඉස්සර වෙන එකයි.) ඔබ කරේ වැරැද්දක්ද නැත්ද කියලා මම කියන්න යන්නේ නෑ. ඔබ කලබල වෙලා ඔබටම වැරැද්දක් කර ගත්තද කියලා කියන්නත් මම දන්නෙ නෑ. හැබැයි අහිංසක කම්කරුවාගේ සිට ප්‍රභූ පැළැන්තියේ ධනපතියා දක්වා වැඩි ප්‍රතිශතයක්, පක්ෂ පාට, ජාති, කුල මල භේදයකින් තොරව ඔබ දේශපාලනය සම්බන්ධයෙන් කියූ දේ හරි යැයි පිළිගත් අවස්ථා පසුගිය කාලය තුළ විවිධ මාධ්‍ය ඔස්සේ මම දැක්කා. ඒ අය ඒක ප්‍රකාශ කළේ කාගෙවත් බල කිරීමකට නොවේ. අවංකව සද්භාවයෙන්. ඒක කෙනෙකුට තමන්ගේ ජීවිත කාලය තුළ ලබා ගන්න පුළුවන් විශාල ජයග්‍රහණයක්. ආශිර්වාදයක්. එළියේ හිටියත් ඇතුළේ හිටියත් ඒක නම් නැති කර ගන්න එපා සහෝදරයා.

ඔබට බනින අයත් තාම ඇති. (දැන් මේක කිව්වා කියලා බලමුකෝ හෙට අනිද්දා මාව පතුරු ගහන හැටි) ඔබ දැන් කියවන පතපොත ලෝකයේ වර්තමාන යථාර්ථය ගැන, දේශපාලන ඉතිහාසය ගැන, විවිධ රටවල්වල විවිධ ජාතීන්, විවිධ අවස්ථාවල බලය සඳහා විවිධ දේ කරපු හැටි වැනි දේවල් වලින් දැනුම ලබා ගන්නවා ඇති. ඒවායින් ඔබේ ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය තව තවත් පරිපූර්ණ වෙයි කියලා මම විශ්වාස කරනවා. මම දවසක් කිව්වා වගේ ඔබට වැරැදි කරන අයට සමාව දීපං. අපිට කරන්න බැරි දෙයක් උඹ කරලා පෙන්නපන්.

හැබැයි සහෝදරයා තව එක දෙයක් කියන්න ඕන. හිතට වඩා වචනය ඉස්සර කරගෙන ඔබ කරපු යම් යම් ප්‍රකාශ කහිප දෙනකුට තදබල ලෙස වේදනාවක් ගෙන දුන්න බව ඔබ දන්නවද නැත්ද මම දන්නෙ නෑ. මම නම් ගම් කියන්න යන්නෙ නෑ. ඔබ අතින් ඒ වැරැද්ද සිද්ධ වෙලා තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කළොත් එය ඔබේ ඉදිරි ජීවිතයට ගොඩාක් වැදගත් වෙයි. ඔබ කරන ලද සමහර දරුණු ප්‍රකාශ සමහර චෝදනා වල පදනමක් හෝ සත්‍යතාවක් හෝ නොමැති බැවින් සිත වේදනාවට පත්කර ගත් සමහර තැනැත්තන්, තැනැත්තියන් තවමත් එය විඳවනවා ඇති. මම මේක කියන්නේ මගෙ අත්දැකීමෙන්. නොකරන වැරැදි වලට ඇහෙන් දැක්කා වගේ ප්‍රකාශ නිකුත් කරමින් මට අසත්‍ය චෝදනා පැමිණි යුගයේදී මා පමණක් නොව මගේ නැගණියත්, ඇයගේ දරුවනුත් වින්ද වේදනාව සුළු පටු නොවේ. කාලයා විසින් මම ඒවාට සමාව දී හිත හදා ගත්තත් ඒක හැමෝම කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. (බොහෝ විට මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට මුල් වී කටයුතු කරන්නේ පාඩුව හෝ අලාභය වින්ද කෙනා නොවෙයි. එම සිද්ධිය අවස්ථාවක් කරගෙන එයට ප්‍රචාරය දෙමින් සමහර විට පොත් පවා මුද්‍රණය කර ගනිමින් මුදල් හම්බ කර ගත් අදටත් සාන්තුවරයන් වගේ වර්තමාන ප්‍රශ්නවලට ජනතාව වෙනුවෙන් උත්තර හොයන බව පෙන්වන කට්ට කෛරාටික කාලකණ්ණි සිටින බව ඔබ දන්නවාද? ඒ කාලකණ්ණි සමඟ දැන හෝ නොදැන එකට සාකච්ඡා කරන ඔබේ දේශපාලන සගයන් ගේ අනාගතය ගැනත් අපට තබන්න පුළුවන් විශ්වාසය කුමක්ද? මෙය මෙම ලිපියට අනවශ්‍ය කරුණක් ලෙස සමහර විට ඔබට පෙනෙන්නට පුළුවන්. ඒත් අවංකව ඔබට තිබෙන හිතවත් කමට පරිස්සම් වීමට දෙන අවවාදයක්)

මම මේ කිව්ව ටික වෙන කවුරුත් ඔබට කියන එකක් නෑ. නමුත් මම කියන්නේ අවංකවමයි. ඔබම පැත්තකට වෙලා පොඩ්ඩක් හිතලා බලන්න ඔබ කිව්ව සියලුම දේ පදනම් සහිතද, පදනම් රහිතද කියා (මම මේ කියන්නේ දේශපාලනය ගැන නොවේ. විශේෂයෙන් අපේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය ගැන) ඔබ කියූ සමහර කතා පදනම් සහිත සත්‍ය ඒවා විය හැකි නමුත්, ඔබ ඒවා ප්‍රකාශ කළ අන්දම මීට වඩා සුමට වෙන්න තිබුණා. සමාජයේ හැමෝම ඔබට හොඳයි කියනවා කියලා මුසාවක් කියනවට වඩා ඔබ විසින් සිත් රිදවූ අයත් තවම ඒ කම්පනයෙන් යම් සුළු පීඩාවන් හෝ විඳිනවා කියලා සත්‍ය ප්‍රකාශ කිරීම මම ඔබට කරන ලොකු උදව්වක් ලෙසයි සලකන්නේ. ඔබ එය කොයි විදියට බාර ගත්තත් එදත් අදත් හෙටත් මම කිව යුතු දේ පිළිබඳ පැකිලෙන්නේ නෑ.

ඒ වගේම ඔබ ගොඩාක් ආදරය කරන, ඔබ අදහන ඔබේ විජය මාමා අතින් නම් ඒ වැරැද්ද කවදාවත් වුණේ නෑ. ඔහුගේ දේශපාලනයට විරුද්ධ මත දැරූ ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුට ඒ පිළිබඳව කිසිම දොසක් කිව්වේ නෑ. චෝදනා කළේත් නෑ. හැබැයි වැරැද්දක් දුටු තැන කියන්න තියෙන දේ ශිෂ්ට විදියට ඉතා තදින් මුහුණටම කිව්වා. ඒක හොඳට දන්නවා වගේම මම විඳලත් තියෙනවා. ඇත්ත කියන්න එපෑ. ඒවයින් මම හැදිලත් තියෙනවා. මට විස්තර කියන්න බෑ. ඔබ නැවත සිවිල් සමාජයට ආ දිනකදී ඔබේ කතා බහ හැසිරීම, වැඩකිරීම, අදහස් ප්‍රකාශ කිරීම, අන්‍යයන්ට සවන් දීම වැනි දේ මුළු මහත් සමාජයට මෙන්ම වැඩිපුරම අනිත් තරුණ දේශපාලනඥයන්ට ආදර්ශයක් වන්න කියා මා ඉල්ලා සිටිනවා.

දැන් ඔබ කෙරේ ජනතාව තුළ ඇති කැමැත්ත, ආදරය, අනුකම්පාව එතකොට දස දහස් ගුණයකින් වැඩිවෙයි. ඔබ අමරණීය පුද්ගලයෙක් වෙයි. ඒක ලේසි නෑ රන්ජන්, ඒක ලේසි නෑ. එදාට ඒක දකින්න අහන්න මම ජීවත් වුණත් නැති වුණත් ඒ සතුට මගේ ආත්මය සොයාගෙන යයි. (අපි කොයිවෙලේ මේ ලෝකෙට ආවද කියලා දන්නෙ නෑ වගේම අපි යන වෙලාවත් අපිම දන්නෙ නෑනේ රන්ජන්. ඔබ නැවත ආව දිනයක, එදා ඔබ ආදරයෙන් සැලකූ විල්සන් කරූ අයියවත්, චිත්‍රපට නිෂ්පාදිකාවක් සහ ජ්‍යෙෂ්ඨ නිළියක් ලෙස ඔබ ඇසුරු කළ සුමනාවත් ඔබට හමුවෙන්න බැරි බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒක තමයි දෛවය.)

මම ප්‍රධාන පක්ෂ දෙකට අමතරව වෙනත් පක්ෂ වලද ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරල තියෙනවා. ඒක මගේ කරුමයද උරුමයද කියලා කියන්න මම දන්නෙ නෑ. නමුත් අරුමය කියන්නේ, තමන් ගැන නොහිතා, පෞද්ගලික වාසි නොතකා, රට සහ ජනතාව ගේ අභිවෘද්ධිය සඳහා පමණක් කටයුතු කළ දේශපාලනඥයෙක් ඉන්නවාදැයි ඔබ ඇසුවොත්, මගේ පිළිතුර වන්නේ, මම දන්න එහෙම කෙනෙක් හිටියා. ඒ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා. අනිත් අය එහෙම නෑ කියලා මම කියන්නේ නෑ. ඔවුන් ස්වල්ප දෙනෙක් අතරත් මේ ගුණය අඩු වැඩි වශයෙන් පිහිටා තිබූ බව මම කියන්න කැමැතියි. ඒ බොහෝ අය අද ජීවතුන් අතර නෑ.

කලාව හා දේශපාලනය මිශ්‍ර කර ගත් අප පිරිස් අතරේ ඔබද එවැන්නෙක්. ඒ අය අතරින් වැඩිදෙනාගේ හෝ මා පැමිණි දේශපාලන ගමනට වඩා ඔබ ගේ දේශපාලන ගමන රටට ඵලදායී, වැඩදායී අර්ථවත් තත්ත්වයකට පත්කර ගත හැකි නම් එය ඔබ මේ භවයේදී මනුෂ්‍යයෙක් වශයෙන් ලබන විශාලතම ජයග්‍රහණයයි. මම එහෙම කියන්නේ තමන්ගේ කලා ජීවිතයටත් වඩා දේශපාලනය තමාගේ ජීවිතයට කිට්ටු කරගත් ස්වල්ප දෙනාගෙන් ඔබත් එක්නෙක් බැවින්. ඒ නිසාම ඔබ බොහෝ විට සිතුවිලිවලට වඩා වචන ඉක්මන් කළා. එහෙම කරපු එකේ වැරැද්දක් නෑ. එහෙම ඉක්මන් වෙන්නත් ඕන. නමුත් වචන කියලා කියන්නේ තවත් කෙනෙක් වෙත එල්ල කරන මල් වගේම ගල්. එත් ඔබ දැන් ඉස්සරට වඩා වෙනස්. යැයි මම හිතනවා. ඒ නිසා කළයුතු සුදුසුම දේ කුමක්ද තියා තේරුම් ගැනීමට ඔබට අමුතුවෙන් කිවයුතු නෑ. මම මේ ලිපිය ලියූවේ ජුනි 14 වැනිදා පොසොන් පෝය දාය. මේක ඔබ අතට දෙන්නේ කවදාද කියා මම තවම තීරණය කරලා නැහැ. නමුත් තව දවස් දෙකකින් තිරගත වෙන ඔබේ චිත්‍රපටයට මම සුබ පතනවා. එහි සාර්ථකත්වය අපේ සිනමා කර්මාන්තයේ (මේ තිබෙන තද අර්බුදකාරී තත්ත්වය මැද්දේ වුවද) ඉදිරි ගමනට විශාල රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

මා නැවත නැවත කියා සිටින්නේ මා මේ ලිපිය ලියන මොහොතේ එනම් 14. 06. 2022 අපි ඉන්න එළියට වඩා ඔබ ඉන්න ඇතුළ හොඳයි කියාය. යමකු ජීවත්වන කාලයේ තමාගේ අනාගතය සඳහා යම් දැනුමක් ලබා ගැනීමට හැකි අධ්‍යාපනයක් සඳහා කාලය මිඩංගු කිරීමට වාසනාවක් තිබෙනවා කියන්නේ විශාල භාග්‍යයක්. අන්න ඒ හැඟීමෙන් ඔබ කටයුතු කරන්න. ඔබේ ජීවිතය වඩ වඩාත් නිවැරැදි කර ගන්න. ඒ නිවැරැදිතාවයේ එළිය ඇතුළේ ඉන්න ඔබට ලැබුණාට මෙම අවාසනාවන්ත කාලයේ එළියේ ඉන්න අපට ලැබුණේ නැති බව නිරන්තර මතක් කර ගනිමින් ධෛර්යමත් වන්න!

ඔබට වාසනාවන්ත ඉදිරි ජීවිතයක්.

පසුව ලියමි,
2022.06.21

මේ ලිපිය කෙළින්ම ඔබට ලැබෙන්න සැලැස්සුවේ එය මාධ්‍යයකට හෝ වෙනත් කෙනෙකු දැකීම සුදුසුද නැත්ද යන්න හරි හැටි විනිශ්චය කර ගත හැකි නොහැකි වූ නිසා. මේ ලිපියෙන් මට ලකුණු දා ගන්න ඕන වුණේ නෑ. ඕන වුණේ ඔබේ ඉදිරි ජීවිතයට ලකුණු වැටෙන විදියට මේ ලිපිය සලකුණක් කිරීම පමණයි. ලිපියට කළ යුතු දේ ඔබට බාරයි. මෙහි එක් පිටපතක් මමත් තියා ගන්නම්. සුබ ගමන් සහෝදරයා!

නැවත පසුව ලියමි,
2022. 07.07

අනිත් කරුණ නම් ඔබව බලන්න එන්නෙ නැතුව මෙහෙම ලියලා එව්වේ, බලන්න ආව නම් අපේ සුහදකම අනුව ඉහත කී කරුණු එකක්වත් මට ඔබට කියා ගන්නට බැරි වෙයි. ඒ වෙනුවට අපි විහිළු කර ගනිමින් ඔබව සතුටින් තියමින්, සුහදව විසිර යෑම සිදුවේ. ඔබට ප්‍රයෝජනවත් දෙයක් කිරීමට, කීමට මට තිබුණු අවංක උනන්දුව මත මේ ලිපිය ලියූ බව විශ්වාස කරන්න.

සනත් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment