ආපදා : අද නොවේ හෙට

136

රටට ඇතිවෙන්නට ආපදා පැමිණ තිබේ. කොරෝනා පළමුවැනි, දෙවැනි, තුන්වැනි රැළිවලින් රට හොඳටෝම හාන්සි කරවා ඇත. ආසාදිතයින් අච්චරයි, මෙච්චරයි, මියගිය අය මෙච්චරයි කියමින් දැන් ඉතින් සංඛ්‍යාලේඛන ගැන කතා කරනවාට වඩා වැදගත් වන්නේ මේ බියකරු වසංගතය ඉක්මණින් සමනය කර, රට යළිත් සාමාන්‍යකරණයට ලක්කිරීමය. ඒ සඳහා සහයෝගයක් නොදක්වන්නන් තවදුරටත් සිටී නම් හමුදාව හෝ යොදවා උන් කුදලාගෙන ගොස් සිර කර, සෞඛ්‍ය අංශ කියන අයුරින්ම ආණ්ඩුව සංචරණ සීමා ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය.
 
 මන්ද, අද (10) වන විට සංචරණ සීමා දමා දින 20 ක් ගතවී ඇත. නමුත් තවමත් කොරෝනා රෝගීන් වාර්තාවීමේ සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට නැත. ඒ අතර මරණ ද සිදුවේ. ලබන 14 වැනිදා වනවිට රට යළි විවෘත කිරීමට නියමිත වුවද, යහපත් ප‍්‍රතිපල ලබන්නට නම් අඩුම තරමින් මාසයක්වත් (21 දක්වාවත්) සංචරණ සීමා පැනවිය යුතු බව සෞඛ්‍ය අංශවල මතයයි. නමුත් ඇත්ත නම් හා අපට තිබෙන ගැටලූව නම්, සංචරණ සීමා හරි හැටි ක‍්‍රියාත්මක වන්නේ ද යන්න ය. දිනකට කොළඹට අත්‍යවශ්‍ය සේවා වශයෙන් වාහන ලක්ෂයක් පැමිණෙන බව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
 
 මේ අතර සංචරණ සීමා කඩකරමින් ඇතැම් පුද්ගලයින් කටයුතු කරනු පෙනේ. එනම්, ආණ්ඩුව මෙම සංචරණ නීති සමහරුන් වෙනුවෙන් ලිහිල් කරන බව හෝ රජයට, ජනාධිපතිවරයාට, සෞඛ්‍ය බලධාරීන්ට හොරෙන් හා පොලිසියට බලපෑම් කර තවත් සමහර අදිසි බලධරයෝ අමු අමුවේ සංචරණ නීති කඩමින් කටයුතු කරන බව පසුගියදා ගාල්ලේදී පැවැති එන්නත්කරණ වැඩසටහන කදිමට සාක්ෂි සපයයි.
 
 සංචරණ සීමා පනවා තිබියදී පමණක් නොව පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා පුන පුනා කියද්දීත් ”වෙස්ටන් ප්‍රොවින්ස්” අංක තහඩු ඇති වාහන තොගයක් ගාල්ලට ගියේ කොහොමද යන්න ප‍්‍රශ්නයකි. අපට අසන්නට ඇත්තේ අධිවේගී මාර්ගවලට සංචරණ සීමා නැද්ද යන්න හා සල්ලිකාරයින්ට රටේ නීති කඩන්නට අධිවේගී මාර්ග භාවිත කරන්නට හැකිද යන්නයි.
 
 කෙසේ හෝ එම එන්නත්කරණයේ දී ගාල්ලේ ජනතාව සඳහා ඇති එන්නත් කොළඹ බලපුළුවන්කාරයින්ට ලබා දීමත්, ඉවරයි කී ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් ඇති තරම් මෙහිදී එළියට ඒමත් දෙබිඩි පිළිවෙතකි. ඒ ගැන විධිමත් පරික්‍ෂණයක් අනිවාර්යයෙන්ම කළ යුතුය.
 
 තවත් අතකින් නිරිත දිග මෝසම සක‍්‍රීය වී ඇති තරම් රටට වැසි ලැබෙමින් පවතින්නේ ගංවතුර හා නාය යෑමේ අනතුරු සමයක් රටට උදාකරමිනි. මේ නිසා දැනටමත් ජීවිත 20 ක් අහිමි වී ඇති අතර, විපතට පත් පිරිස ලක්ෂ දෙකකට වැඩිය. මේවා සුළු කොට තැකිය හැකි නොවේ. කොරෝනා වසංගතයෙන් බැටකමින් සිටි දකුණු ලක ජනතාවට මේ සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ සංසිද්ධියකි. ඔවුන්ගේ ජන ජීවිතය එක පැත්තකින් නොව දෙතුන් පැත්තකින් අඩාල වී ඇත.
 
 ඒ මදිවාට අහක යන ඒවා ගෙට ගන්නට ගොස් සිදු වූ නාවික විපත ය. තවත් කල්ප කාලාන්තරයකට ඒ විනාශයෙන් ගොඩ එනු නොහැකිය. වයඹ, බස්නාහිර සිට දකුණු ලක දක්වා ධීවරයින්ගේ රැකියා එක පැත්තකින් අනතුරේය. තවත් පැත්තකින් මත්ස්‍යයින්, ඩොල්පින් වැනි ක්ෂීරපායින්, කැස්බෑවන්, මුහුදු සර්පයින්, කොරල්පර වැනි මෙකී නොකී සමුදුරු ජෛව විවිධත්වයම අනතුරේය. මේ විනාශයේ හොඳ හරිය දැනෙන්නේ තව ඉදිරියට ය.
 
 මේ අතර රටේ පොහොර හිඟයක් මතුව ඇත. තැන තැන ඊට එරෙහිව ජනතාව නගන විරෝධතා ය. මහ කන්නයේ සිට රසායනික පොහොර තහනමක් එන නිසා යලට ගෙනා ඇතැම් පොහොර තොග කූට වෙළෙඳුන් විසින් හංගාගෙන සිටින විට ඉඳ හිට පාරිභෝගික සේවා අධිකාරිය පැන ඒවා අල්ලනවා අපි දුටිමු.
 
 එසේම, රාජ්‍ය යාන්ත‍්‍රණය මගින්ද යල කන්නයට පොහොර හරිහැටි නිකුත් කර නොමැති බැවින් අපකීර්තියට පත්වන්නේ රජය හා ජනාධිපතිවරයා ය. එසේ හෙයින් ඒ සඳහා ද හමුදාව හෝ යෙදෙව්වාට අපගේ අකැමැත්තක් නැත. ජනතාව ද හොඳ කියනු ඇත. සත්‍ය නම් අල්ලසට, දූෂණයට, පගාවට හුරු වූ රාජ්‍ය අංශය තවමත් සියයට සියයක් පිරිසිදු වී නැති නිසා මෙන්ම ඊට හූමිටි තියන දේශපාලකයින් විසින්ද එක ප‍්‍රශ්නයකින් තවත් ප‍්‍රශ්න වැලක් නිර්මාණය කරන නිසාය. මේ නිසා ජන ජීවිතය අවුලෙන් අවුලට යන අතර, ආර්ථිකයේ සිදුරු ඇතිවේ. එය වළකා ලිය යුතුමය.

advertistmentadvertistment
advertistmentadvertistment