වෙනදා දවස් දෙක තුනකට වහින වැස්ස දැන් පැය දෙකට වහිනවා
හදිසියකට ලෙඩක් දුකක් හැදුනොත් මැරෙන්න තමයි වෙන්නෙ
මහ වැස්සෙනුත් බැටකන රටේ ජනතාව
මේ දවස්වල එළියට බහින්නට බැරිතරම් වැස්සය. සතියකටත් අඩු කාලයක් තුළ මේ වනවිට දෙවතාවක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ බොහෝමයක් ගංවතුර තර්ජනයට මුහුණ දී තිබේ. දින හතරක් තුළ මගුරු ගඟ දෙවැනි වතාවටත් පිටාර ගලා තිබේ. අද අපේ කතාව වැස්ස ගැනවත් ගංවතුර ගැනවත් නොව එයින් ජනතාවට සිදුවන පීඩාව පිළිබඳවය.
පසුගිය 16 වැනිදා සිකුරාදා පාලින්දනුවරට ගංවතුර තර්ජනයක් ඇතිවිය. එදින පාලින්දනුවර අවට ජනතාව රාත්‍රියේ නින්දට වැටුනේ ඇදහැලුණු වර්ෂාව සුවබර නින්දකට මහත් ආශීර්වාදයක් වුණු පසුබිමකය. සෑම වර්ෂයකම ගංවතුර ගලන මාස පිළිබඳ මෙන්ම නාය යන වර්ෂා කාලයන් පිළිබඳ හොඳින් දන්නා නිසාත් දැනට මාස දෙකකට පෙර විශාල ගංවතුරක් පැමිණි නිසාත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වර්ෂාව ඇද හැලෙන තෙක්ම නිවැරදි අනාවැකි පළ කොට නොතිබූ නිසාත් බොහෝ දෙනෙක් ඇද හැලෙන වැස්ස දෙස එතරම් අවධානයක් යොමු කළේ නැත. වෙනදා මෙන්ම ඇදහැලෙන සාමාන්‍ය වැස්සක් යැයි සිතා බොහෝ දෙනෙක් ඇඳෙහි අනෙක් පසට හැරී ගුලිවූයේ සුවබර නින්දක පහස විඳින්නටය.
ඒ අතර ගංවතුර අවදානම පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන මගුරු ගඟ ආසන්නයේම පදිංචි පිරිස ගඟ දෙස රාත්‍රී 11-12 විපරම් කර බැලුවත් දකින්නට ලැබුණේ ගඟේ වතුර බොහොම පහළ මට්ටමක ඇති සේයාවකි. නමුත් ගතවූයේ තවත් හෝරාවකි දෙකකි. 2017 වසරේ පැවති ගංවතුර මට්ටමට සමාන ගංවතුරක් මගුරු ගඟ ඉවුරු දෙගොඩ තලා ගියේ ගඟ දෙපස පදිංචි ජනතාවට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි නොකරමිනි. නිවෙස් තුළට වතුර පැමිණෙනවාත් සමග ගඟ ඉහළ ජනතාව ගඟ පහළ පහත් බිම්වල පදිංචි හිතවතුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන්නේ මහා ගංවතුරක අවදානමක් පවතින බැවින් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස කියමිනි. නමුත් සමහරු ඇදහැලෙන වැස්සත් සමග නාද වෙන දුරකථනය විසන්ධි කොට ඇඳේ අනෙක් පැත්ත හැරී තව තවත් නිදි සුව විඳින්නට වූයේ එවැනි අවදානමක් ඇතැයි සිහිනෙකින්වත් නොසිතූ බැවිනි. අවසානයේ දහස් සංඛ්‍යාත ජනතාවගේ නිවාස අඩි හය හතක ජල කඳට හසුව බඩුමුට්ටු ඇඳුම් පැළඳුම් සියල්ල ගසාගෙන ගියේ ඒ පිළිබඳ සිතන්නටවත් කාලයක් ඉතිරි නොකරමිනි.
අතරමං වුණු ජනතාව
ඒ ගඟ දෙපස ජනතාව මුහුණදුන් අත්දැකීමය. පෙරදා රාත්‍රියේ නැති ගංවතුරක් එළිවෙනකොට දෙගොඩතලා ගම්බිම් යටකර අවසානය. ගංවතුර පාලින්දනුවර අවට ජනතාවට නම් අලුත් දෙයක් නොවේ. නමුත් ගැටලුව වන්නේ පාලකයන්ගේ වරදින් හෝ අතපසුවීම් වලින් අහිංසක ජනතාවට පීඩා විඳීමට සිදුවනවා නම් එය කිසිසේත් සමාව දිය හැකි වරදක් නොවේ. අප එම කරුණු ඉස්මතු කළේ ගංවතුර හේතුවෙන් අත්වැල්තොට, මොරපිටිය, හැඩිගල්ල, කෙලින්කන්ද, කොඩිප්පිලිකන්ද ආදී වශයෙන් ගම්මාන සිය ගණනක ජනතාව ගංවතුරට කොටු වී ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල වී ජනතාවට අකටයුත්තක් සිදුවී ඇති බැවිනි.
සෑම වර්ෂයකම තුන් හතර වතාවක් මතුගම – කලවාන මාර්ගය සම්පූර්ණයෙන්ම යටවන බව පාලකයන්ට අලුතින් මතක් කර දිය යුතු නැත. කිසිදු බලධාරියකු මේ වනතෙක් ගංවතුර හේතුවෙන් මහමග අනාථ වන ජනතාවට ගමන්බිමන් යෑමට විකල්ප මාර්ග ඉදිකර නොමැත. එය තමන්ගේ වගකීම බරපතළ ලෙස අතපසු කිරීමකි.
එකම විකල්පයත් නැතිවෙයි
බදුරලියට මතුගමට යන එන ජනතාවට මෙන්ම කලවාන රත්නපුර දෙසට යන ජනතාවට තිබෙන එකම විකල්ප මාර්ගය වන්නේ මොරපිටිය, පැළෑඳ හරහා හෝ මිණිකන්දල හරහා ලත්පඳුරට පැමිණෙන මාර්ගයයි. එම මාර්ගයත් මාරගහදෙනිය ප්‍රදේශයෙන් යට වීමත් සමග ජනතාව පත්වන්නේ දැඩි අසරණ තත්ත්වයකටය.
කලවාන – මතුගම මාර්ගය භාවිත කරමින් රටේ විවිධ පළාත්වලට යෑමට පැමිණි සිය දහස් ගණනක් ජනතාව මෙන්ම රථවාහන ද පත් වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි මට්ටමේ අසරණ තත්ත්වයකටය. ඒ බව මැනවින් පිළිබිඹු වූයේ රථවාහන රියැදුරන් දකින දකින අයගෙන් තම ගමනාන්තයට යෑමට විකල්ප මාර්ග අසන්නට වීමත් සමගිනි. විවිධ පුද්ගලයන්ගේ උපදෙස්වලට අනුව ගිය පුද්ගලයන් වාහන ගමන් කළ නොහැකි මාර්ගවල පවා ධාවනය කර මුළු පාලින්දනුවර පුරාම කරක් ගසා අවසානයේ කුමන හෝ මාර්ගයක ගංවතුර බැස යන තෙක් පැය 10-15 හෝ ඊටත් වැඩි කාලයක් රථවාහන තුළට වී කල් ගෙවන ආකාරය දක්නට ලැබිණි.
සමහර වාහනවල මාස ගණනක් වයසැති කුඩා බිලිඳුන් මරහඬ තලන්නේ මහා වැස්සේ වා කවුළු වසාගෙන සිටින්නට සිදුවීම හේතුවෙනි. තවත් සමහර වාහනවල රෝගයකට ප්‍රතිකාර ගැනීමට පැමිණි වයෝවෘද්ධ පුද්ගලයන්ය. තවත් වාහනයක ගැබිනි මවකි. මේ ආකාරයෙන් අති විශාල පිරිසක් අකලට වට මහ වැස්ස හේතුවෙන් අන්ත අසරණ තත්ත්වයට පත් වූහ. අපට කිසිසේත් වැස්ස පාලනය කළ නොහැක. නමුත් ඒ හේතුවෙන් ඇතිවන පීඩාව අවම කළ හැක.
වෙනදා වසරකට වරක් දෙවරක් එන ගංවතුර දැන් වසරකට තුන් හතර වතාවක් පැමිණෙන තත්ත්වයට පැමිණ ඇත. ඒ එක් අතකින් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විය හැක. නැතිනම් කාලගූණ විපර්යාස හේතුවෙන් විය හැක. ඒ කුමකින් සිදු වුවත් වෙනත් රාජකාරී කටයුත්තකට ගිය ගමනේදී ගංවතුරට කොටුවී දවසකට ආසන්න කාලයක් මහමග රස්තියාදු වීමට අපට ද සිදුවූයේ හැම වසරකම පැමිණෙන ගංවතුරට නිසි පිළියම් නොයෙදීම හේතුවෙනි.
මෙම ගැටලුව මතුවන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නොවේ. ගාල්ල, මාතර, රත්නපුර ආදී දිස්ත්‍රික්ක ගණනාවක ගංවතුර ප්‍රශ්නය ප්‍රවාහනයට බලපෑවත් බොහෝ පළාත්වල ඒ වෙනුවෙන් විකල්ප මාර්ග සංවර්ධනය කර ඇත. නමුත් මඟුරු ගඟ ආශ්‍රිතව ඇතිවන ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ජනතාවට තවමත් නිසි විසඳුම් ලැබී නැත.
ගංවතුර බැසයන තෙක් සිටි කාලය තුළ කිහිප දෙනෙක්ම අප හා අදහස් දැක්විය. සුනිල් කලන්සූරිය මහතාද එවැන්නෙකි. ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
මම නිවිතිගල ඉඳන් ආවේ මතුගම හරහා කරාපිටියේ ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩෙක් බලන්න යන්න.ඒත් මේ හිටි හැටියේ ගලපු ගංවතුර හේතුවෙන් අපට දවස් එකහමාරක් විතර කොහෙටවත් යන්න බැරුව කොටු වුණා. ගාල්ලට යන්න උත්සාහ කරලා බැරි පාර ආපහු ගෙදර යන්න හදනකොට මොරපිටිය ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන් යටවෙලා. අපට එහෙට යන්නත් බෑ මෙහෙට යන්නත් බෑ. අපි පුදුම දුකක් තමයි වින්දේ.
මමයි නෝනයි වාහනේ. ළමයි ටික ගෙදර තියලා ආවේ ඒගොල්ලන්ට පන්ති නිසා. අපට පැය හය හතකින් යන්න පුළුවන්නෙ කියලා හිතලා තමයි ආවෙ. අධිවේගී මාර්ග හදන රටේ හදිසියක් වුණොත් ලෙඩෙක් අරන් යන්න විකල්ප මාර්ගයක් හදාගන්න බැරි කමෙන් අපි මහ පාරේ දුක් විඳිනවා. මේ තියෙන පාරවත් තව අඩි දෙක තුනක් ඉස්සුවනම් හරි.
කෝකිලා කරුණාරත්න කුකුළේගඟ ප්‍රදේශයේ පදිංචි විශ්වවිiාල ශිෂ්‍යාවකි. ඇය සෙනසුරාදා උදේ ලත්පඳුර හරහා පිටත්ව ගියේ විශ්වවිද්‍යාලයෙන් පවත්වන විභාගයකට මුහුණ දීම සඳහාය. ඇයට යළි නිවසට පැමිණීමට සිදුවූයේ පැය පහ හයක දුෂ්කර ගමනකින් පසු ඔරු, පාරුවල පිහිටෙන් සහ කිලෝමීටර් ගණනාවක් පයින් ගමන් කිරීමෙන් අනතුරුවය. වතුරට යටවන කිලෝමීටරයකට අඩු දුරක් සංවර්ධනය නොකිරීමේ වරදට කිලෝමීටර් විස්සක් තිහක් නිකරුණේ රස්තියාදු වී මඟ දෙපස සුසුම් හෙළන රියැදුරන් රාශියක් දැක ගත හැකි විය. ඡන්ද කාලයට පොරොන්දු ගොන්නක් දෙන පාලකයන් මේ දිනවල කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරන්නේ ඡන්ද ප්‍රචාරක කටයුතු වෙනුවෙනි. එයින් සොච්චමක් මෙවැනි ස්ථාන සංවර්ධනයට වැය කළා නම් ජනතාව මෙතරම් පීඩා විඳින්නේ නැත.
විජිත මහතා අත්වැල්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු ගංවතුර හේතුවෙන් ගමනාගමන කටයුතු කිසිවක් කරගත නොහැකිව අසරණ වන ජනතාව සම්බන්ධයෙන් සුවිශේෂ අනාවරණයක් කළේය.
“ගංවතුර නිසා මිනිස්සු හැමදාම පුදුම දුකක් විඳින්නෙ. මිනිස්සු මහපාරෙ දෙතුන් පළක කොටුවෙනව. හදිසියකට ලෙඩක් දුකක් හැදුනොත් මැරෙන්න තමයි වෙන්නෙ. මේකට විසඳුමක් විදිහට කුකුළේගඟ ව්‍යාපෘතිය කරන කාලෙ යෝජනා කරා මොරපිටිය ප්‍රදේශයේ වතුරෙන් යටවෙන කොටස මීටරයක් උසට උස්සන්නත් මිදලන සහ උඩුකුඹුර ප්‍රදේශයේ ළඟින් ළඟින් අඩි 5 බෝක්කු කටවල් දාල පාර උස්සන්නත්. එහෙම කරානම් ගංවතුර වෙලාවට කිසි කරදරයක් නැතිව මිනිස්සුන්ට ගමන් බිමන් යන්නත් පුළුවන්. වතුර ටිකත් ඉක්මනට බැහැල යනව. ඒත් ඒ ඔක්කොම සැලසුම්වලට විතරක් සීමාවෙලා.
2017 නාය ගිය වෙලාවෙ සහන කණ්ඩායම්වලට මෙහෙට එන්න බැරුව මොන තරම් දුකක් වින්ද ද. ඒ වගේ වෙලාවට තමයි මේ වගේ පාරක වටිනාකම වැඩිපුරම දැනෙන්නෙ. දැනට මාස දෙකකට කලිනුත් මේ ප්‍රදේශය නාය ගියා. කොයි වෙලාවෙ හරි ආපහු නාය යයි. ඒ වගේම මේ ප්‍රදේශවල හැම තැනම නාය යන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ ලොකු විනාශයක් වුණු වෙලාවට තේරෙයි පාරෙ තියෙන වටිනාකම.
අසාර්ථක ගංවතුර පාලන ව්‍යාපෘති
මෑත කාලයේ ආණ්ඩුව විසින් රටේ විවිධ පළාත්වල ගංවතුර පාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ආකාරය දක්නට ලැබුණි. නමුත් කනගාටුවෙන් වුණත් කියන්නට සිදුවන්නේ මෙම ව්‍යාපෘති බොහෝමයක්ම අසාර්ථක ව්‍යාපෘති බවයි. ඒ අතරින් එකක් වන්නේ නිල්වලා ගඟේ ගංවතුර ගැටලුවට ඉදිරිපත් කළ විසඳුමයි. නිල්වලා ගඟ ආශ්‍රිතව ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කළත් ඒ එකක්වත් සාර්ථක වූයේ නැත. මෑත කාලීනව ම ඉදිකළ නිල්වලා ගඟේ ලවණ බාධකයද එවන් අසාර්ථක එක් ව්‍යාපෘතියකි. ගංවතුරෙන් නිල්වලා ගඟේ පහළ ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකළ ගල් බන්ට් එකද එවන් අසාර්ථක ව්‍යාපෘතියකි. පසුගිය කාලයේ ඇති වූ සෑම ගංවතුරකදීම එම ගල් බන්ට් එකට උඩින් ජලය පහළට ගොස් පහළ ගම්මාන යට වූ ආකාරය අප කාටත් මතකය.
වෙනදා දින දෙක තුනක් වර්ෂාවෙන් පසු ඇතිවන ගංවතුර දැන් පැය දෙක තුනක වර්ෂාවකින් ඇතිවේ. එවන් වටපිටාවක් තුළ මොන ගංවතුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළත් කිසිදු පලක් නැත. අද වන විට අප ගංවතුර පාලනයට ව්‍යාපෘති හැදුවත් ගංවතුර විසින් අපව පාලනය කරන ආකාරය දක්නට ලැබේ. බොහෝ ව්‍යාපෘති ගඟට කැපූ ඉනි බවට පත්ව ඇත. ඒ වෙනුවෙන් වියදම් කළ සියලු මුදල් ගඟේ ගසාගෙන ගොස් හමාරය.
ක්ෂණිකව හටගත් ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ගම්වාසීන් කිහිපදෙනෙක්ම අප හා අදහස් දැක්විය. ඒ අතරින් මුලින්ම අපට අදහස් දැක්වූයේ මංගල නිශාන්ත මහතායි.
“මම පදිංචි වෙලා ඉන්නේ මගුරු ගඟ අයිනෙමයි. මම බ්ලොක් ගල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ගඟ ගලන පාටක්වත් තිබුණේ නැහැ. පාන්දර එකට විතර යාළුවෙක් කතා කරලා කිව්වා ගඟ ගලනවා කියලා. ඉක්මනට නැගිටලා බ්ලොක් ගල් ගහන්න ගෙනාපු සිමෙන්ති කොට්ට ටික ගෙදරට ඇදල අනිත් පැත්ත හැරෙනකොට ගල් වැඩ වැඩපළ භාගයක් යට වෙලා ඉවරයි. ඉක්මනට ගල් ගහන මැෂින්වල මෝටර් ගලවලා ගෙදරට ගිහින් පැය භාගයක් ගියේ නෑ මුළු ගල් වැඩපළම අඩි හත අටක් වතුරෙන් යට වුණා. ගෙවල් කන්ද උඩ තියෙන නිසා ගෙදර බේරුනා.
මේ අවුරුද්දට මේ තුන්වෙනි පාර යට වුණේ. මැෂින් ඔක්කොම මළකඩ කනවා දවසක් දෙකක් යට වෙලා තිබුනම. මේ පාරත් දවසක් විතර යට වෙලා තිබුණා. මිදලන ප්‍රදේශයේ ගංවතුර අවදානම ක්ෂණිකව මැන බැලීමට හැකි උපකරණ සවිකර ඇතත් එයින් සාමාන්‍ය ජනතාවට සත පහක ප්‍රයෝජනයක් නැත. යාළුවෝ කෝල් නොකරනම් ලක්ෂයක හමාරක පාඩුවක් තමයි විඳින්න වෙන්නේ. දැන් ඉස්සර වගේ නෙවෙයි පැය දෙක තුනක් වැස්සත් වෙනදා දවස් ගාණක් වහින වතුර ගඟට එකතු වෙනවා.”
අදහස් දැක්වූ වසන්ත කුමාර මහතා
“ගිය සිකුරාදා ලොරියෙ වැලි එකක් පටවල ගෙවල් පල්ලෙහා නවත්තල හදිසි ගමනක් ගිහිල්ල එනකොට රෑ 12ට විතර ඇති. වැලි එක උදේට බාන්න තිබුණෙ. ඒත් හදිසියෙන් ආපු ගංවතුරෙන් ලොරිය සම්පූර්ණයෙන් යටවෙලා වැලිවලින් බාගයක් ගහගෙන ගිහිල්ල. ලොරිය රෙපෙයාර් කරන්න රුපියල් තිස් හතළිස් දාහක් යනව. පැය දෙක තුනෙන් ලොකු පාඩුවක් වුණේ.
දැන් මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මිනිස්සු ගෙවල් දොරවල් හදනවත් අඩුයි. ලොරිවලට වැඩ නැහැ. එහෙම වෙලාවක ගංවතුරක් ඇවිල්ල ලොකු විනාශයක් කළේ. මේ හරියෙ හැම ගෙයක්ම අඩි පහ හයක් යටවුණා. වතුර ගැලුවම අපිව හැම පැත්තෙන්ම කොටුවෙනව. යන්න පාරක් නැහැ.”
ක්‍ෂණිකව ගැලූ ගංවතුරෙන් බොහෝ පුද්ගලයන්ට ගෙනදී ඇත්තේ අති විශාල පාඩුවකි. ජනතාව ඉතා දුක් මහන්සියෙන් හදා වඩාගත් වගාව රුදුරු ජල කඳ ඩැහැගෙන ගොස් ඇත. ඒ පිළිබඳ අදහස් දැක්වූ ඥානවතී රණවීර මහත්මිය.
“දැන් අපට මාස ගාණකින් හරි හමන් ආදායමක් අතට ආවෙ නැහැ. දැනට මාස දෙකකට විතර කලින් මහ වතුරක් ඇවිත් මගේ තේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා. යාන්තම් කප්පාදු කරල වගාව හදාගත්ත විතරයි. එකම දවසයි දලු කැඩුවෙ. ආපහු වගාව ඉවරෙටම ඉවරයි. මේ අවුරුද්දට තව කී පාරක් ගංවතුර ගලයිද දන්නෙ නැහැ.”
කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තර්ජනය වැඩිවී තිබෙන්නේ කුකුළේගඟ ජල විදුලි බලාගාරය ඉදිකිරීමත් සමගය. මගුරු ගඟෙන් මෙන්ම පැළැන් ගඟෙන් එන ජල කඳ විදුලි බලාගාරයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුකුළේගඟට එකතුවන ජල කඳ නිසා සම්පූර්ණයෙන්ම අවහිර වේ. මේ නිසා සිදුව ඇත්තේ පාලින්දනුවර ගංවතුර තත්ත්වය දෙගුණ තෙගුණ කිරීමකි.
පසුගිය 21 වැනිදා යළිත් මගුරු ගඟ දෙගොඩ තලා ගොස් තිබේ. යළිත් ජන ජීවිත අඩාළ කර තිබේ. පාලකයන්ගේ ගංවතුර පාලන ව්‍යාපෘති, සැලසුම් සියල්ල සැලසුම්වලට පමණක් සීමා වී තිබේ. මොන සැලසුම හැදුවත් ඒවා ස්වභාවික විපත් හමුවේ පරාජයට පත්වී අවසානය. අවශ්‍ය වන්නේ ස්වභාවික විපත්වලින් ජනතාවට සිදුවන හිංසා පීඩා අවමකර ගැනීමය.
සමීර කන්නන්ගර
ඡායාරූප අන්තර්ජාලයෙනි