ආපසු හැරීමක් නොමැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුය

156

රට බලාපොරොත්තු වන වෙනස පවතින්නේ අනාගතයේ ය. ආණ්ඩුව ගෙන ආ වෙනස, විශේෂයෙන්ම ඉහළ පැලැන්තියට සහ ඔවුන් සමඟ සහයෝගයෙන් පසුවන අන්තර්ජාතික ප්‍රජාවට අදට ප්‍රමාණවත් වුවත්, බහුතර මහජනතාවගේ අනාගත ප්‍රගතිය සහ යහපැවැත්ම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. ආර්ථික ප්‍රපාතයෙන් හා සමාජ අවුල් ජාලයට කඩාවැටීම නැවැත්වීමට පසුගිය වසර එකහමාර ප්‍රමාණවත් විය. අරුම පුදුම පොහොර තහනම ආපසු හැරවීමත්, අවශ්‍ය බදු පැනවීමත්, නීතිය හා සාමය ස්ථාපිත කිරීමත්, අන්තර්ජාතික ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමත් රට වැටුණු ආර්ථික වළෙන් ගොඩ යා හැකි තැනට ගෙන ඒමට ප්‍රමාණවත්වී ඇති සෙයකි. එහෙත් රට තවමත් ඒ වළෙන් පිටතට පැමිණ නැත. පූර්ණ බලයක් සහිත ආණ්ඩුවක් විසින් දූෂණය සහ වැරදි පාලනය හරහා නිර්මාණය කරන ලද අර්බුදය විසින් හැකිලුණු ආර්ථිකය, එය කඩාබිඳ දැමීමට පෙර තිබූ මට්ටමට පැමිණීමට අවම වශයෙන් තවත් වසර දෙකක්වත් ගතවනු ඇත.

මේ අතර, පොලිසිය විසින් හදිසියේ ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍යවලට එරෙහි අනපේක්ෂිත සංග්‍රාමයක් මගින් ජනතාවගේ අවධානය දැනට පවතින දූෂණයෙන් හා වැරදි පාලනයෙන් ඉවතට හැරෙමින් තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වෙළෙන්දන්, මතට ඇබ්බැහිවූවන් සහ කුඩා අපරාධකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ආර්ථික අර්බුදයෙන් පසු දැනටමත් පිරී ඉතිරී ගිය සහ පහසුකම් අවම බන්ධනාගාර, පාතාලයේ කොටස්කරුවන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ලවූවන් වැඩි වැඩියෙන් අත්අඩංගුවට ගැනීම් සමඟ තවදුරටත් තදබද වෙමින් පවතී. සිරගෙවල් තුළ තත්ත්වය යම් පමණකට හෝ සමාන කළ හැක්කේ, ඖෂධ සහ සැපැයුම් නොමැතිව පීඩාවට පත්ව ඇති දුගී රෝගීන් පිරුණු රජයේ රෝහල් සමග පමණි. දැන් රෝගීන්ට සිදුව ඇත්තේද තමා විසින් තමන්වම බේරාගැනීමටය.

අත්අඩංගුවට ගැනීම් රැල්ල දිගු කාලීනව යම් යහපතක් කරයිද යන්න බොහෝ සැක සහිතය. කඳු මුදුණේ ඇති නිවසින්, එහි කුණු කසළ ද්‍රව්‍ය පහත දිළිඳු වීදිවලට දමන විට, අපිරිසිදුකම මත බෝවන මීයන් කොතරම් ඇල්ලුවද ප්‍රශ්නය පහව යන්නේ නැත. කඳු මුදුණේ ඇති නිවස පහත දුප්පත් වීදිවලට එහි කුණු කසළ දැමීම නැවැත්වීමට නීතියෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. ආණ්ඩුවේ ඇමැතිවරුන්ට විදේශ ගිණුම්වල වත්කම් තිබෙන බවත්, ආරක්ෂක අංශ ප්‍රධානීන් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරුවන් වී ඇති බවත් සත්‍ය වන නමුත් ඔවුන් රැඳී සිටින්නේ කන්දේ පිහිටි නිවසේය. “ධනය වර්ධනය වී මිනිසුන් තණ්හාවෙන් ද්‍රව්‍යමය දේ සහ ලෞකික අවස්ථා කෙරෙහි අවධානය යොමුකරන විට, දේශය රෝගාතුරවී සියලු ආකාරයේ කරදරවලට ගොදුරුවී අවසානයේ පාළු වී දුකට පත් වේ. (ඔලිවර් ගෝල්ඩ්ස්මිත් – 1770)

බලාපොරොත්තු විරහිත ආර්ථිකය

අවාසනාවකට මෙන්, රට තවත් සිංගප්පූරුවක්, මැලේසියාවක් හෝ ඉන්දියාවක් බවට පත්කිරීමේ අපේක්ෂාවන් අවිනිශ්චිත අනාගතයකට පසුබැස තිබේ. බිහිසුණු යථාර්ථය වන්නේ, දූෂණය සහ ආර්ථික අවපාලනය පෙර පරිදිම විරාමයකින් තොරව සිදුවෙමින් පවතින බවයි. ආර්ථික සංවර්ධන න්‍යායේ සහ භාවිතයේ එක් මූලික කරුණක් වන්නේ, විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා බදු සහන සහ බදු විරාම අනවශ්‍ය වන බවත්, එවැනි උපක්‍රම ඵලදායී නොවන බවත්ය. විදේශීය ආයෝජකයන් රටක ආයෝජනය කිරීමට තීරණය කරන්නේ ඔවුන්ට ලබාදෙන බදු සහනවලට ආකර්ෂණය වන නිසා නොව, ඔවුන්ගේ ආයෝජන ආරක්ෂිත යැයි හැඟෙන නිසාය. එසේම රජයේ දූෂිත ඇමැතිවරුන් වෙතින් ඔවුන් කොල්ලකෑමට ලක්නොවන බවත්, ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාවර වීම ඔස්සේ තමන්ගේ ලාභය උපයා ගැනීමට හැකියාව ලැබෙන බවත් තහවුරු වීම මතය. ඔවුන්ට බදු සහන ද ලබාගැනීමට අවශ්‍ය වනු ඇති නමුත් එය අතිරේකයක් පමණක් වනු ඇත. එය කිසිවිටෙකත් රටකට පැමිණීමට එකම හෝ ප්‍රධාන හේතුව නොවේ.

හම්බන්තොට වරාය වසර 99ක බදුදීම ඇතුළු ඉතා හොඳ ආයෝජනයක් දැනටමත් ශ්‍රී ලංකාවේ සිදුකර ඇති චීන සමාගමකට රජය දැවැන්ත බදු සහන සහ බදු විරාම ලබාදෙන බවට සති අන්ත පුවත්පත්වල පළ වූ පුවත් විශ්වාස කළ නොහැකි තරම්ය. මෙය යම් අධි අවදානම් හෝ නව්‍ය ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට නොව, ඉන්දියානු සාගරයේ වඩාත්ම ලාභදායී හා විශිෂ්ට වරායක් ලෙස ප්‍රසිද්ධියට පත් කොළඹ වරායේ සිදුකෙරෙන ආයෝජනයක් වෙනුවෙනි. 2008 උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ මෙම බදු සහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් කර ඇති අතර, එය අදාළ චීන සමාගමට සහ එහි දේශීය සහයෝගිතාකරුවන්ට අදාළ වේ. මෙම නීතිය යටතේ ලබාදී ඇති බදු සහන, සාධාරණ වන්නේද යන්න පිළිබඳව නිසි ඇගයීමක් සිදුකරන තුරු මෙම නීතිය අහෝසි කිරීම හෝ අත්හිටුවීම සිදුකළ යුතු අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පවසා තිබේ. මන්දයත්, බදු විරාම ලබාදීමෙන් බදු ආදායමට සිදුවන පාඩුව ඉතා විශාල විය හැකි බැවිනි.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පළවන පුවත්වලට අනුව, “සමාගම වසර දෙකක සම්පූර්ණ ව්‍යාපෘති කාලය සඳහා රඳවා ගැනීමේ බද්ද ගෙවීමට බලාපොරොත්තු නොවේ. ආයතනික ආදායම් බදු නිදහස් කිරීම, ලාභ සහ එහි ක්‍රියාකාරකම්වලින් ජනනය වන වාසි හා සමාගම බදු ගෙවිය හැකි ලාභ ලබන පළමු වසරේ සිට ආරම්භ වනු ඇත යන්න හෝ වාණිජ මෙහෙයුම් ආරම්භයේ සිට වසර දෙකකට පසුව යන අවස්ථා දෙක (කලින් සිදු වන ඕනෑම දෙයක්) සඳහා වේ. එසේම ලාභාංශ බෙදාහැරීම සහ නිදහස් කරන ලද ලාභ, කොටස් හිමියන් විසින් ලබන ප්‍රතිලාභ වසර 15 ක් සහ ඉන් පසුව වසරක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් වනු ඇත. අගය එකතු කළ බද්ද (VAT), වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද, සෙස් සහ රේගු බදු ආයෝජන මණ්ඩලය (BOI) විසින් අනුමත කරන ලද පරිදි, වසර දෙකක් සඳහා ව්‍යාපෘති ආශ්‍රිත කිසිදු භාණ්ඩයක් ආනයනය කිරීම සඳහා අදාළ නොවේ. ව්‍යාපෘති සමාගමේ විදේශගත සේවකයන් වසර පහක් සඳහා ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබේ (උපරිම වශයෙන් විදේශිකයන් 30 දෙනකුට යටත්ව). මෙම සහනවලින් රටට ආයෝජන මගින් සැපයිය හැකි අරමුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදලක් අහිමිවිය හැකිය.

සැබෑ සංහිඳියාව

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පමණක් නොව සාධනීය වෙනසක් පිළිබඳ බලාපොරොත්තුව ඇත්තේද අවිනිශ්චිත අපේක්ෂාවන් සහිතවය. රටේ දුක්ඛිත තත්ත්වයන්ට හේතුවූ ජනවාර්ගික ගැටුම සම්බන්ධයෙන් ද මෙය සත්‍යයක් වේ. සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වැනි රටවල ප්‍රබුද්ධ නායකයන්ට තම වාර්ගික හා ආගමික ප්‍රජාවන්ගේ විවිධත්වය තුළින් එක් පවුලක් නිර්මාණය කිරීමට හැකිවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් උත්සාහ කළේ පවුල බෙදීම හරහා මැතිවරණ ජයග්‍රහණය කිරීමට ය. රට යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා වසර 75 කට පසුවත්, 2023 පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයට පෙර ගැටලුව විසඳන තිරසාර දේශපාලන විසඳුමක් ගෙන ඒමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය අභීත සහ දිදුලන ප්‍රතිඥාව ලබා දී වසරකටත් වැඩි කාලයකට පසුවත්, අදටත් ඛේදනීය යථාර්ථය එයයි.

දෙමළ ගොවීන් සහ එඬේරුන් සාම්ප්‍රදායිකව භාවිත කරන තණබිම්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පිටතින් පැමිණෙන සිංහල ගොවීන් විසින් අත්පත් කර ගැනීමට සහ එහි පදිංචියට එරෙහිව දින 100 ක විරෝධතාවයක් නිමිත්තෙන් පසුගිය සති අන්තයේ රටේ නැගෙනහිර මඩකලපුවේ විශාල ජනතා විරෝධතාවක් පැවැත්විණි. මෙම සිදුවීම කෙරෙහි උතුර නැගෙනහිර දෙමළ ප්‍රජාව අතර කෙතරම් අවධානයක් ඇතිකර තිබේද යත්, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සමඟ පෙළගැසී සිටින බලවේග විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මයිලතමඩු සහ මාතාවානි යන ප්‍රදේශවල නීති විරෝධී, රාජ්‍ය උපකාරය මත ඉඩම් කොල්ලකෑම් සහ අනවසර තණබිම් අත්පත් කර ගැනීමට එරෙහි විරෝධතාවලට අදට දින 100කි. මෙම නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් සැළකිව යුත්තේ, උතුර-නැගෙනහිර සංස්කෘතික හා ජන විකාශන සංයුතිය වෙනස් කිරීමේ දශක ගණනාවක ක්‍රියාවලියේ කොටසක් ලෙස ය. මෙම ප්‍රචණ්ඩත්වය උතුර – නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් සහ ඔවුන්ගේ සංස්කෘතීන් හා ආර්ථිකය මකා දැමීමට උත්සාහ කිරීමකි.” යනුවෙනි.

භූමියේ මෙම යථාර්ථය නොසලකා හරින බවක් පෙනෙන්නට ඇති අතර, ඒ වෙනුවට ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා කාර්යාලයක් (ONUR) සහ ශ්‍රී ලංකාවේ සත්‍යය, සංහිඳියාව සහ ප්‍රතිසන්ධානය සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරන නව නීති මගින් සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ගැටලුව වන්නේ එවැනි යහපත් සහ සෞඛ්‍ය සම්පන්න නීති ක්‍රියාත්මක වීමට අවශ්‍ය විශාල වටපිටාව වර්තමානයේ නොමැති වීමයි. උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාව විවිධ අංශ ගණනාවක ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ක්‍රියාකාරිකයන් සහ ඔවුන් විසින් නිරන්තරයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද ජීවත් වෙති. මෙම තත්ත්වයන් තුළ සත්‍යය, වගවීම, වන්දි ගෙවීම හෝ ආයතනික ප්‍රතිසංස්කරණ තිබිය නොහැක. ප්‍රමුඛතාවයක් ලෙස ජනතාවට විශ්වාස කළ හැකි රජයක් අවශ්‍ය වන අතර, එමගින් ඔවුන්ගේ භූමිය ආරක්ෂා කරන සහ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන හා ඔවුන්ගේ භාෂාව නිදහසේ භාවිත කළ හැකි රාජ්‍ය පාලනයක් ඔවුන්ට සලසා දෙනු ඇත. පළාත් සභා ඔස්සේ මෙය කිරීමට අදහස් කළ නමුත් ඒවා සඳහා වන මැතිවරණ වසර පහකට වැඩි කාලයක් තිස්සේ හිතාමතාම යටපත් කර ඇති අතර, තවදුරටත් එයම සිදුවෙමින් පවතී.

ආර්ථිකයේ සහ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයේ දී මෙන්, මූලික කරුණු ක්‍රියාත්මක විය යුතු අතර ආපසු හැරවීම් සිදුනොකළ යුතුය. එසේ නොවන තරමට පරතරය සහ අවිශ්වාසය වැඩි වන අතර, මෙය කාලයත් සමඟ රටට වැඩි වැඩියෙන් අයහපතක් සිදුවන්නක් විය හැකිය. මේ ගැටලුවලට අවංකව, නිර්භීතව සහ දක්ෂ ලෙස විසඳුම් ලබා නොදෙන්නේ නම්, ජනාධිපතිවරයා පොරොන්දුවී, ජනතාව සුසුම්ලමින් සිටින 2048 සංවර්ධනදී පවා එය මිරිඟුවක් විය හැකිය.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment