ආපහු හැත්තෑව දශකයේ පෝලිම් ලැයිස්තුවට යමු…

398

හාල් තියෙන රටේ ආයිත් පෝලිම්

දේශීය දේ හුරු කරන්නට හදපු පෝලිම් සහ දේශීය දේ තිබෙද්දිත් හදපු පෝලිම්…

රටේ හැමතැනම උක් වගා ඒත් සීනිත් නෑ අල බතලත් නෑ, අත්‍යවශ්‍ය ආහාරත් නෑ

මේ සිටින්නේ ආණ්ඩුවක් එළැඹීමේ මුවවිටය. මේ ලිපිය පළවන මොහොත වනවිට ආණ්ඩුව පෙරළී තිබේ ද නැතිනම් තවත් මැයි නව වැනිදාවක් එළැඹ තිබේ දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් අලුත් ආණ්ඩුවක් පැමිණියත් පවතින ආණ්ඩුව මුක්කු ගසමින් තවදුරටත් පැවතියත් අද මේ පවතින කිසිදු ප්‍රශ්නයක් හමුවේ විසඳුමක් නොලැබෙන බව නම් ඒකාන්තය.

මේ බව සනාථ කරන පැහැදිලිම හොඳම තොරතුර වාර්තා වූයේ ඉකුත් සතියේය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෙළි කළ පර්යේෂණ දත්ත වාර්තා අනුව ලංකාව අද සිටින තැනය.

ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26ක් ඔවුන්ගේ මීළඟ ආහාර වේල සම්බන්ධයෙන් අවිනිශ්චිතව පසුවන බව ලෝක ආහාර වැඩසටහන පවසයි.

එම වැඩසටහන සිදු කළ, ලෝකයේ නවතම ආහාර අනාරක්ෂිත තක්සේරුවකදී තහවුරු වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 3ක් මෙම ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙන බව ය.

වාර්තාගත ආහාර මිල උද්ධමනය, අහස උසට නැඟ ඇති ඉන්ධන මිල සහ පුළුල්ව පැතිරී යන භාණ්ඩ හිඟය හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත.

අධික මිල ගණන් හමුවේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් ලබාගත නොහැකි බැවින්, පවුල්වලින් සියයට 61ක් පමණ තමන් ආහාර ගන්නා ප්‍රමාණය අඩු කිරීම සහ වඩ වඩාත් අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය වැනි වියදම් කපා හැරීම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරන බව එහිදී පෙනී ගොස් තිබේ.

“මේ දවස්වල අපිට හරිහමන් ආහාර වේලක් නැහැ. කන්නේ බත් සහ හොදි පමණයි,” එක් කාන්තාවක ලෝක ආහාර වැඩසටහන සමග ප්‍රකාශ කර ඇත.

එම වැඩසටහන අනතුරු අඟවන්නේ, පෝෂණය නොමැතිකම ගර්ඝණී කාන්තාවන්ට බරපතළ ප්‍රතිවිපාක ගෙනදෙන අතර ඔවුන්ගේ ම සහ ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය අවදානමට ලක් කරන බව ය.

ඒ අනුව, ආහාර අර්බුදයට සහ මන්දපෝෂණයට එහි බලපෑමට එරෙහිව සටන් කිරීම සඳහා ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කර ඇත.

විශේෂයෙන් වතුකරයේ ජීවත්වන ජනතාවට ආහාර අනාරක්ෂිතතාවය ට දැඩි ලෙස මුහුණ දීමට සිදුව තිබෙන බවද අනාවරණය වී තිබේ. ආහාර මිලදී ගැනීම සඳහා දැනටමත් ඔවුන්ට ණය ගැනීමට සිදුව ඇත.

ආපහු හැත්තෑව දශකයේ පෝලිම් ලැයිස්තුවට යමු…

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකිකයන්හට මේ වනවිට ඇති බරපතළම ගැටලුව ඊළඟ ආහාර වේල සපුරා ගන්නේ කෙසේද යන්නය. අතේ සතේ නැතුවාට අතේ ඇති සතේ අරගෙන එය මිට මොලවාගෙන සතොසෙ සහල් පෝලිමේ හෝ කිරිපිටි පෝලිමේ සිටින්නට ජනතාවට සිදුව තිබේ.

එසේත් නැතිනම් තෙල් පෝලිමේ දින ගණනක් රැඳී සිටින්නට අද මිනිසුන්ට සිදුව තිබේ. අද කොතැන බැලුවත් කුමක් හෝ පෝලිමක් ය. මේ පෝලිම් යුගය පිළිබඳ අප අසා තිබූයේ මැතිනියගේ කාලයේ ය. මැතිනිය පෝලිම් තැන වූයේ දේශීය ආර්ථිකය නඟා සිටුවීම පිණිස ය. අද පෝලිම් සැකසී ඇත්තේ රජයේ දේපළ හොරා කෑ උන්ට ආ වඩන්නට ය. හොරා කෑ උන්ගේ පව ජනතාව විසින් විඳවන්නට ය.

ඒ ගැන හොඳටම දන්නේ 70 දශකයේ ඉතා හොඳින් වැජඹුණු මිනිසුන්ය. රජයේ ගුරුවරයකු සහ මාධ්‍යවේදියකු ලෙස එවකට කටයුතු කළ සිරිල් විමලසුරේන්ද්‍ර මහතා ඒ ඒ යුගයේ සිහි කළේ මෙලෙස ය.

“70 දශකයේ මම කටයුතු කළේ ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරු ලෙසයි. රාජකාරිය හැටියට රටේ නන්දෙස ඇවිදින්නට මට සිදුව තිබුණා. මා සතුව තිබුණේ ෆොක්සගන් කාර් එකක්. රටපුරාම ගියේ ඒ කාර් එකේ.

මැතිනිගේ කාලේ පොල්ල ක්‍රියාත්මක වුණේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ය.ි දිස්ත්‍රික්කයෙන් තවත් දිස්ත්‍රික්කයකට හාල් ගෙන යෑම තහනම් කරලා තිබුණා මට හොඳට මතකය.ි මම මාතලේ වැඩ කරද්දී ඒ හිටපු පොලිසියේ මහත්තුරු මාව බොහොම හොඳින් හඳුනගෙන හිටියා. මං කවදාවත් අසාධාරණ විදිහට හරි හොර වංචා විදිහට හරි හාල් තියා මොනවත් එහෙ මෙහෙ ගෙනියන්නෙ නැතිබව ඔවුන් දැනගෙන හිටියා. ඒ නිසා ම පෝලිමේ වාහන පරීක්ෂා කරනකොට මගේ වාහනයට යන්ඩ ඒ මහත්තුරු ඉඩ දුන්නා.

පාරදිගට කූපන් පෝලිම්. එදා වේල කන්න කෑම හොයන මිනිස්සු. මෙයින් මැතිනියගේ අරමුණ වුණේ දේශීය ආහාර සුරක්ෂිතතාවය. පිටරටින් මොනවත් ගේන්න ඇය ඉඩ දුන්නේ නෑ. බතල, මඤ්ඤොක්කා කන කාලේ වෙනවිට මැතිනිට විරුද්ධව කැරලි ගැහුව. මඤ්ඤොක්කා ඇඟට විසයි කියලා රටපුරා ප්‍රචාරය ඇරියා. මිනිසුන්ව අධෛර්යමත් කරන්න නොකරපු දෙයක් නැහැ. පවතින දේශපාලනයට සහ රටේ දියුණුවට නිසි වැඩපිළිවෙළවල් ගෙන ආ හැම මොහොතකම විරුද්ධවාදීන් කියලා පිරිසක් නැඟී ඉන්නවා. ඉන්නේ ඔවුන්ගේ වාසියට. මමත් ඒ කාලේ අල කොළ, අල බතල, මඤ්ඤොක්කා වගේ දේවල් හැදුවා. ඒ කාලේ නුවර තිබුණා ප්‍රසිද්ධ හෝටලයක්. ඒ හෝටලයේ කළමනාකාර මහත්තයා ආරියසේන. මං ගෙනියන අල කොළවලට එතුමාගේ හොඳ ඉල්ලුමක් තිබ්බා. මම ඒ නිසා බොහොම උනන්දුවෙන් වැඩ කරන අතරින් ඒ වගේ ආදායමක් උපයන්නත් පුරුදුවෙලා හිටියා.

ඒ කාලේ සීනි රාත්තලක් ශත හැත්තෑ තුනයි. මැතිනිට ඕනෙවුණා සීනි භාවිතය අඩු කරන්න. සීනි වැඩිපුර පරිභෝජනය කළොත් මිනිස්සු ලෙඩ වෙන බවත් ඇඟට සෞඛ්‍යයට නොගැළපෙන බවත් ඇයගේ තර්කය වුණා. ඒ නිසාම තමයි ඒ කාලේ වැලි හකුරු කියලා දෙයක් ප්‍රචලිත වුණේ. මිනිස්සු පුරුදු වෙලා හිටියා වැලි හකුරු කෑල්ලක් කාලා කහට එකක් බොන්න. මේවටත් එරෙහිව මිනිස්සු නැඟී සිටියා.

මට වුණත් දැන් ඒ ගැන පසුතැවීමක් තියෙනවා. ඒ කාලේ මම නිතර අනුරාධපුරේ යනවා මරදන් කඩවල වැලිගම මුදලාලි මට සීනි රාත්තල් පහක් අරන් තියෙනවා. මුදලාලි මාත් එක්ක බොහොම හිතවත්.

ඒ වගේම තමයි දේශීය අමු රෙදි ප්‍රචලිත කිරීමට මැතිනියගේ වැඩපිළිවෙළට අඳින්න සිද්ධ වුණේ ලංකාවේ නිෂ්පාදිත අමු රෙදි නැත්නම් දේශීය නිමැවුම් සහිත රෙදි විතරය.ි මේකෙන් නම් හානියක් සිදු වුණේ නැහැ බොහෝ නිර්මාණකරුවෝ තමන්ගේ දක්ෂතා උපරිම මට්ටමෙන් සලකලා බොහොම හොඳින් රෙදි නිෂ්පාදනය කළා. ඔය තුල්හිරිය, වේගිරිය ඒ වගේ ආයතන බිහි වුණේ ඒ වගේ ප්‍රතිඵල විදිහට තමයි. ඒ කාලේ පොල්ගොල්ලේ උයන් වත්තේ බණ්ඩා මහත්තයා පේෂකර්මාන්ත ආයතනයක් පවත්වාගෙන ගියා. උන්නැහේ බොහොම වැඩකාරයා. උයන් වත්තේ ඇඳුම් රටින් ගේන ඒවට සමානයි. පොඩි දිලිසෙන ගතියකුත් තිබුණා. මැතිනි නුවර ආවොත් උයන් වත්තට ගිහිල්ලා එතුමියට හරියන රෙදි අරගෙන යන්න පුරුදුවෙලා හිටිය. බණ්ඩා මහත්තයාගේ ඇඳුම් ඇඳපු මැතිනි ට රටේ සමහර මිනිස්සු චෝදනා කළේ අපිට දේශීය රෙදි අඳින්න කියලා මැතිනි රටින් ගෙන ඇඳුම් අඳිනවා කියලයි….“

ඒ සිරිල් මහත්තයාගේ අතීත මතකය ය.

එදා තිබුණ තුල්හිරිය පේෂ කර්මාන්තය අද දියුණු මට්ටමක නැත. ඇත්තේ එකිනෙකා පරයා අතයටින් මුදල් යන ක්‍රමවේද සහිත කර්මාන්තයක් පමණි. මේ සියල්ල දේශපාලනය වෙලා ගෙනය.

77න් පසු ජේ. ආර්. ජයවර්ධන ගෙන ආ විවෘත ආර්ථිකය සමග මේ වනවිට අපට විශාල ඇඟළුම් කම්හල් රැසක් හිමි ව ඇත්තේ ය. ඒ සියල්ල විදේශීය ප්‍රජාවට ය. උසස් තත්ත්වයේ නිමි ඇඳුමක් නම් එය අපනයන නිමැවුමක් ලෙස වර්ගීකරණය කරන්නට ද අද ලාංකිකයන් පුරුදුව ඇත. ශ්‍රී ලාංකිකයන්ට ඉතිරිවන්නේ රොඩ්ඩ පමණකි. උසස් තත්ත්වයේ නිමැවුමකින් වරදක් සහිතව ඉවත් කරන නිමි ඇඳුමක් ඇත්නම් එය ලාංකික ජනතාවට ලැබෙන්නේ ය.

ඇඳුම් පමණක් නොව කෑම බීම පවා එලෙස ය. කෙටියෙන්ම කියතොත් අද ශ්‍රී ලාංකිකයන් කන්නේ රොඩ්ඩ ය. තම රට වැසියාට බෙහෙත් කලවම් කර කල්තැබීමේ රසායනික යොදා ආලවට්ටම් කර කෑම කවන නිවට නියාලු මිනිසුන් පිරිසක් වෙසෙන එකම රට ලංකාව විය හැකිය. සහල් ගත්තත් එළවළු ගත්තත් අල වර්ග ගත්තත් මාළු බිත්තර හෝ වෙනත් ඕනෑම කෑම වර්ගයක් ගත්තත් ඒ සියල්ලටම රසායනික ද්‍රව්‍ය මුසු කොට තිබේ.

70 දශකයේ එවැන්නක් සිදුවූයේ නැත.

අද පෝලිම් ක්‍රමයේත් ආහාර හිඟයෙන් තත්ත්වයේ සමග 70 දශකයේ සංසන්දනය කරද්දී එදා මිනිසුන්ට දේශීය දේ අගයමින් දේශීය දේ හුරු කරන්නට යෑම මත පෝලිම් ක්‍රමයක් බිහි වූ බව අපට පැහැදිලිය.

අද සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ විපත්තිය කි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තවත් අයෙක් සිටි ඔහු සුදත් ගුණසේකර මහතාය. මැතිනිගේ සමයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීහු ඔහු වරෙක මැතිනියගේ සහකාර ලේකම්වරයා ලෙසද කටයුතු කොට තිබේ. ඔහු අතීතය ආවර්ජනය කරන්නේ මෙලෙස ය.

“ මං ඒ කාලේ බොහොම තරුණයි තරුණ ජවයෙන් තමයි වැඩ කළේ. මැතිනි සමග කෙලින් කථා කරනකොට ඇය බැලුව කවුද මේ කියලා නමුත් අපිට විවෘතව ඇයට අදහස් දක්වන්න ඉඩක් සැරසිලා තිබුණා. අපි කිසියම් යෝජනාවක් ගෙනාවම ඒකට එකහෙළා ඇය එකඟ වන්නේ නැහැ. හැමවිටම බැලුවේ ජනතාවගේ ස්වෛරීත්වයට ජනතාවගේ අනාගත සුරක්ෂිතභාවයට මේ වැඩපිළිවෙළ වැදගත් වන්නේ කොහොමද කියලා පමණයි.

එවකට මම රෙදිපිළි කර්මාන්තය භාර ලේකම්වරයා විදිහට කටයුතු කළා.

රට පුරා විවිධ වැඩසටහන් සැලසුම් කරද්දී ඒවට යන වියදම නැවත ලැබෙන ආදායම එයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මේ සියල්ල පිළිබඳව එකින් එක පරීක්ෂා කොට බලා අවසර ලබා දෙන්න මැතනිය තීක්ෂණ බුද්ධියකින් යුතුව කටයුතු කළ බව මට අදටත් මතකයි. රටට අවශ්‍යව තිබුණේ එවන් පරිපාලනයක්. අද දියාරු වී ගිහින්.

අප අද සිහිකරන්නේ අතීතයේ හොඳ තැන් සහ වැරදුණු තැන් ය. එහෙත් අද අපට කන්නට බොන්නට අඳින්නට පළඳින්නට තබා හිත නිදහසේ ජීවත් වන්නට වත් සුදුසු පරිසරයක් ලංකාව තුළ නැත. ඇතිවන පාටක් ද පෙනෙන්නට නැත. මෙවන් පරිසරයක් තුළ ඉදිරියේදී සාගතයක් ද දුර්භික්ෂයක් ද උදාවන්නේ යන්න බලාපොරොත්තුවක් ද නැත. රට අගාධයට දැමූ දේශපාලනඥයන්ට අදටත් කත් අදින ඇතැම් පිරිස් හැර සමස්ත ජනතාව ම දන්නේ එක් දෙයකි. මේ රට යළි ගොඩ ගැනීම පහසු නැති බව පමණි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment