ආබාධිතවූවන්ට ජය වේවා

354

(අදට යෙදෙන ලෝක ආබාධිත දිනය වෙනුවෙනි.)

ලෝක ආබාධිත දිනය අදට යෙදී තිබේ. 1992 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුග්‍රහයෙන් මේ දිනය ලොව පුරා සමරනු ලැබේ. මේ දිනය සතුව ප්‍රමුඛ පරමාර්ථයන් කිහිපයක් ඇත. ආබාධිතයන්ගේ ආත්ම අභිමානය නැංවීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ යහජීවනය නැංවීම මෙකී පරමාර්ථ වෙති. මීට අමතරව දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික ව්‍යුහය තුළ ආබාධිතයන්ට උපරිම තැනක් ලබාදීම මේ දිනයේ අරමුණය. විශ්වය සහ කළු කුහර පිළිබඳ විශිෂ්ට න්‍යායයන් ඉදිරිපත් කළ මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් තරුණ වියේදී ම ආබාධිතයකු බවට පත්විය. ඔහුගේ ආබාධිතභාවය කෙතරම් දරුණු වීද යත් ඔහුගේ ශරීරයේ ක්‍රියාත්මක වූයේ එක් ඇහිපිල්ලමක්, ස්වසනේන්‍ද්‍රියයන් සහ මොළය පමණි. එසේ තිබියදී මහාචාර්ය හෝකින්ස් විශ්වය පිළිබඳ පොත් කිහිපයක් ලියා පළ කළේය. අතපය අක්‍රීයව රෝද පුටුවකට කොටු වී සිටි මහාචාර්ය හෝකින්ස් පොත ලිවීම සඳහා යන්ත්‍රයක් පාවිච්චි කළේය. එම යන්ත්‍රය ඔහුගේ ක්‍රියාකාරී ඇහිපිල්ලම සමඟ සම්බන්ධ වූ අතර එම ඇහිපිල්ලම යම් යම් රටාවලට චලනය කිරීමෙන් අදාළ යන්ත්‍රයට අක්‍ෂර පිළිබඳ සංඥා සම්ප්‍රේෂණය කිරීමට මහාචාර්ය හෝකින්ස්ට හැකි විය. මහාචාර්ය හෝකින්ස් රෝද පුටුවේ සිට ඇසෙන් ලියූ පොත්වලට විශාල ඉල්ලුමක් තිබේ. අපේ රටේ මිනිහකු මේ තත්ත්වයට පත්වුණේ නම් ඔහුට සිදුවන්නේ පාරේ පැත්තක වැටී හිඟා කන්නට ය. එහෙත් විදේශිකයකු වූ හෝකින්ස් වාසනාවන්තයෙකි. ඒ රටවල් ඉතා දියුණු බැවින් ද, මනුෂ්‍යත්වය පිළිබඳව සිතන බැවින් ද ජීවිතය ජය ගැනීමට මහාචාර්ය හෝකින්ස්ට හැකි විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආබාධිත දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1992 දී වුවද, 1976 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කරමින් 1981 අවුරුද්ද ජාත්‍යන්තර ආබාධිත වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කළේය. ආබාධිත ජනතාව වෙනුවෙන් ලෝක ව්‍යාප්ත ජනයා ලෝක ව්‍යාප්ත මට්ටමින් ම ක්‍රියාත්මක විය යුතු බව පිළිගනු ලබන්නේ 1976 දී සම්මත කෙරුණු යෝජනාව තුළ ය. අද වන විට දියුණු රටවල ආබාධිතයන්ට සපයන පහසුකම් ඉතා ඉහළ ය. ඒ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ද යම් පමණකට ව්‍යාප්ත වී තිබේ. අද වන විට ආබාධිතයන් සඳහා රෝද පුටුවලින් ගමන් කළ හැකි වැසිකිළි ගොඩනැංවීම නීතියක්ව පවතී. අලුතින් ඉදිකෙරෙන සෑම පොදු ගොඩනැඟිල්ලකම එම වැසිකිළි පහසුකම් තිබිය යුතු ය. එමතු ද නොව ආබාධිතයන්ට ප්‍රවේශ විය හැකි අන්දමින් සකස් කරන ලද ප්‍රවේශ මාර්ග සහ දොරටු ශ්‍රී ලංකාවේ සෑම අලුත් ගොඩනැඟිල්ලකම අද ඇත. එබැවින් ගොඩනැඟිල්ලකට ඇතුළුවීමේදී තට්ටු නැගීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත. එහෙත් මේ රටේ ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ ආබාධිතයන් විශාල වශයෙන් හිඟාකෑම ය. එයින් හැඟී යන්නේ ආබාධිතයාට උරුම රැකියාව හිඟමන බවය. දෙඅත් නැති නමුදු පා ඇඟිලිවලින් පෑන අල්ලාගෙන විභාගය ලියා සමත් වූ ශ්‍රී ලාංකික දැරියක් ගැන අපි පසුගිය දවසක මාධ්‍යවලින් දුටුවෙමු. පා ඇඟිලිවලින් වාදන භාණ්ඩ වයන සහ වෙනත් කර්මාන්ත සිදුකරන ආබාධිතයෝ විශාල වශයෙන් අප අතර සිටිති. ඔවුන් වෙනුවෙන් ආර්ථික දායකත්වයක් සැපයීම පුරවැසියන් වශයෙන් අපගේ යුතුකම වෙයි. ආබාධිතයන්ට ජය වේවා.

advertistmentadvertistment
advertistmentadvertistment