ආයතන විකුණා විසඳන්න හදන රටේ ප්‍රශ්න

152

රට හමුවේ තිබෙන්නේ දැවැන්ත අභියෝගයකි. එසේම පවතින ආර්ථික අර්බුදය විසඳීමට රජයට ඇති හැකියාව පිළිබඳව ජනතාව තුළ තවමත් එතරම් විශ්වාසය ද තහවුරු වී නැත. ආර්ථික පීඩාව පොදුවේ මහජනයා විඳිමින් සිටින බැවින් ‘අරගලය’ යනු ගෝල්ෆේස් එකට සීමා වූ එකක් නොවන බව ද අප වටහාගත යුතුය. ජීවන වියදම් අසීමිතව වැඩි වීම හමුවේ පොදුවේ සියලු ජනයා ජීවන අරගලයට මුහුණ දී සිටී. ඒ නිසා මෙවැනි අවස්ථාවක පවතින පාලනය සහ ඔවුන් මේ අර්බුදය විසඳීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙළ ගැන මහජන විශ්වාසය තිබීම ඉතාම අවශ්‍ය දෙයකි. හොඳම දේ මහ මැතිවරණයක් පවත්වා ජනවරමක් සහිත පාලනයක් ඇති කර ගැනීමයි. එහෙත් මේ මොහොතේ වහාම මැතිවරණයක් පැවැත්වීමට අපහසු නිසා එතෙක් රටේ පාලනය පවත්වාගෙන යෑමට සර්ව පාක්ෂික අන්තර්වාර රජයක් පිහිටුවා ගත යුතු බව බොහෝ දෙනාගේ පිළිගැනීම වී තිබේ. ඒ අනුව සර්ව පාක්ෂික පාලනයක් ඇති කර ගැනීමේ සාකච්ඡා දැන් සිදු වෙමින් තිබේ. කෙසේ වෙතත් එම අන්තර්කාලයෙන් පසු ඉතා ඉක්මනින් මහ මැතිවරණයක් කැඳවීමේ අවශ්‍යතාව තිබේ. එහිදී ද මහජන වගකීම වනු ඇත්තේ රටේ නිසි පාලනයක් සහතික කිරීම සඳහා වඩාත් දක්ෂ හා අවංක වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමයි. එහෙත් ඊට පෙර වහාම පුළුල් දේශපාලන සම්මුතියක් සහිත අන්තර්කාලීන රජයක් අවශ්‍ය වන අතර මේ සඳහා කල්පමා වීමේ දී සිදුවනු ඇත්තේ ජනතාව දුක් විඳින සහ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට ගතවන කාලය තවත් දිගු වීමයි. එසේම මේ මොහොතේ අකාර්යක්ෂම රජයක් පවත්වාගෙන යෑමේ දැවැන්ත පිරිවැය හා සසඳන විට මහ මැතිවරණයක් පැවැත්වීම හා සම්බන්ධ පිරිවැය ඇතැම් විට වඩා අඩු විය හැකිය.

● සියලු පාර්ශ්වයන්ගේ වගකීම

මහජන විරෝධතා සහ අරගල ක්‍රියාමාර්ග හමුවේ ඉතිහාසයේ නොවූ විරූ දේශපාලන වෙනස්කම් රැසක් සිදු වී අවසානයේ රටේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉවත් වීමට ද සිදු විය. එහෙත් නිසි කාලයේ දී නිසි තීන්දු තීරණ ගනිමින් අර්බුද කළමනාකරණයට ඔහු සහ ඔහුගේ පාලනය සමත් වූවා නම් එසේම ඇතැම් වැරදි තීරණ නොගත්තා නම් කිසිසේත්ම එවැන්නක් සිදු නොවනු ඇත. කෙසේ හෝ දැන් ඒ සියල්ල සිදු වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කරගෙන ඇත. එහෙත් කවර රජයක් ඇතිකරගනු ලැබුවද මේ මොහොතේ අර්බුදයෙන් මිදීමට සියලු දෙනාගේ සාමූහික උත්සාහයක අවශ්‍යතාව දැඩිව තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු අවධාරණය කරමින් මහ බැංකුව විසින් ද නිල නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි සිරස්තලය යොදා තිබුණේ ‘මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් සාධාරණ ලෙස ක්‍රියා කිරීමේ වැදගත්කම’ යනුවෙනි. එහි මෙසේ සඳහන් විය.

‘වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඕනෑම පාර්ශ්වකරුවන් කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍ර වීම නොවැළැක්විය හැකි අතර එමගින් පුළුල්ව පැතිරුණු අහිතකර බලපෑම් ඇති කරනු ඇත’.

● පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම

අයිඑම්එෆ් මුල්‍ය පහසුකමක් ලබා ගැනීමේ දී ඉටු කිරීමට සිදුවන කොන්දේසි ගැන නොයෙකුත් මාධ්‍ය වාර්තා ද පළවෙමින් තිබේ. ඒ අතර යම් රාජ්‍ය ආයතන ප්‍රමාණයක් පෞද්ගලීකරණය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප වෙත දන්වා ඇති බවට වන මාධ්‍ය වාර්තා ද තිබේ. අයිඑම්එෆ් ආයතනයෙන් මූල්‍ය පහසුකමක් ලබා ගෙන ඉදිරියට යෑමේ දී අනිවාර්යෙන්ම ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත. ඒ ගැන සැකයක් නැත. ඇතැම් වෙනස්කම් ඉතා දුෂ්කර සහ මහජන විරෝධතාවලට තුඩු දෙන ඒවා ද විය හැකිය. එහෙත් අපේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් අපට අයිඑම්එෆ් එක කීවත් නැතත් අනිවාර්යෙන්ම අපේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සිදු වේ. ඒවා රජයට එනම් මහජනයාට බරක් වන තත්ත්වය පාලනය කර ගනිමින් පාඩු අඩු කර ගැනීමට සහ නැති කර ගැනීමට සිදුවේ. එනම් රාජ්‍ය ව්‍යවසායන් නිසා ජනතාව මත පැටවී ඇති බර ඉවත් කළ යුතුය. එය කරන්නේ කෙසේ ද යන්න රජය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සුදුසු පරිදි තීරණය කළ යුතු වේ. ඒ සඳහා වන බොහොමයක් යෝජනා ඉදිරිපත්ව තිබේ.

එක් විකල්පයක් වනුයේ වඩා හොඳ පාලනයක් ඇති කිරීම සඳහා ඇතැම් රටවල පවතින ආකාරයට සමූහ ව්‍යාපාර ආයතනයක් ස්ථාපිත කර ඒ යටතේ එම රාජ්‍ය ආයතන නිසි පරිදි පාලනය කිරීමයි. කරන ක්‍රමය කෙසේ වෙතත් අයිඑම්එෆ් එක කීවත් නැතත් පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් මහජනයාට පැටවී ඇති බර නැති කර ගැනීමට නම් අනිවාර්යෙන්ම ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුතුවේ. පෞද්ගලීකරණය යනු එසේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයන් අතර එක් ක්‍රමවේදයක් පමණක් විය හැකිය. පොදුවේ මහජනයාට කිසිදු ප්‍රතිලාභයක් නොලබන මෙන්ම ඊට අමතරව එම ආයතන නඩත්තු කිරීමේ බර ද පටවන මේ රාජ්‍ය ආයතන සියල්ල ගැන දැන්වත් තීරණයක් ගෙන මේ තත්ත්වය වෙනස් කරගත යුතුව තිබේ.

● ඉන්ධන දීමනා වැඩි කර ගැනීම

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. ඒ ගැන මාධ්‍ය වාර්තා ද පළ වී තිබිණි. ජාතික ජන බලවේගය විසින් මෙය ප්‍රතික්ෂේප කරන බව ද වාර්තා විය. අපට ද කීමට සිදු වන්නේ මෙය ඉන්ධන දීමනා හෝ වෙනත් කිසිදු වරප්‍රසාදයක් වැඩි කර ගැනීමට සුදුසු මොහොතක් නොවන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි කර ගැනීමට තබා එවැනි යෝජනාවක් හෝ ගෙන ඒමට මෙය වෙලාව නොවේ. ඒ නිසා රට ගැන හැඟීමක් ඇත්නම් සියලු දෙනා මෙම දීමනා වැඩි කිරීම් ප්‍රතික්ෂේප කළ යුතු වේ. මෙය මහජනතාව පමණක් නොව සියලු දෙනාම පටි තද කරගත යුතු මොහොතකි. මෙය ඉහළ සිට එනම් ජනාධිපතිවරයාගේ සහ මැතිඇමැතිවරුන්ගේ සිට පහළට ක්‍රියාත්මක විය යුතු වේ. මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කරන බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුවත් එය ක්‍රියාත්මක වනවාද යන්න මෙතෙක් නිශ්චිත නැත. පාර්ලිමේන්තුවෙන් ජනපතිවරයෙක් පත් වුවත් තවමත් රටේ හරිහමන් ආණ්ඩුවක් නැත. මේ නිසා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට අනුගමනය කිරීමට සිදුවන පියවරයන් ද ඒ අනුවම ප්‍රමාද වනු ඇත. මේ නිසා අප නම් කියන්නේ වහාම ජනාධිපතිවරයා සෙසු සියලු පක්ෂ සමග සාකච්ඡා කර දැනට සාකච්ඡා වෙමින් තිබෙන සර්ව පාක්ෂික පාලනය ඉක්මනින් ඇති කරගෙන ඉන්ධන දීමනා වැඩි කර ගැනීමට නොව තවදුරටත් සිය වරප්‍රසාද අඩු කර
ගනිමින් අර්බුදයෙන් මිදීමට නිවැරදි ප්‍රතිපත්තිමය පියවර වහාම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුතුව තිබේ.

● දැන් අප කුමක් කළ යුතු ද?

සර්ව පාක්ෂික පාලනයක් සඳහා වන සාකච්ඡා ක්‍රියාවලියක් සිදුවෙමින් තිබේ. එහෙත් ඒ සඳහා කල්මැරීමට අපට හැකියාවක් නොමැත. කෙසේ හෝ අපට අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටේ යහපත වෙනුවෙන් සියලු දෙනා එකඟ වන යම් වැඩපිළිවෙළක් සහ සැලැස්මක් අවශ්‍ය වේ. විවිධ පක්ෂ සමග ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටියත් තවමත් එවැන්නක් නැත. ඉදිරි අන්තර්කාලීන සැලැස්ම හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී පුළුල් දේශපාලන සම්මුතියක් තිබේ නම් ඒ කටයුතු මහජන සහාය ලබමින් ඉදිරියට ගෙන යෑම පහසුය. මෙහිදී රජයේ වියදම් තවදුරටත් සීමා කිරීම අනිවාර්ය දෙයක් වන අතර නාස්තිය හා දූෂණය අවම කිරීමට පියවර ගත යුතු වේ. අප ගෘහ ඒකකයක් ලෙස ගත්තත් අප ජීවත් විය යුත්තේ අපගේ මූල්‍ය හැකියාව තුළ ය. වියදම් කළ යුතු වන්නේ අපට ලැබෙන ආදායමට අනුවය. වැඩියෙන් වියදම් කිරීමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම අපගේ ආදායම් මට්ටම වැඩි කරගත යුතු වේ. මෙය රටකටද එක ලෙසම අදාළය. රජයට මුදල් මුද්‍රණය කරමින් ජනතාවට සහන සැලසීමට සහ පෙර මෙන්ම සුබසාධන රාජ්‍යයක් පවත්වාගෙන යෑමට හැකියාවක් නැත. සියලුම රාජ්‍ය සේවා සහ උපයෝගිතා සඳහා ජනතාව අවම වශයෙන් පිරිවැය ගෙවිය යුතු අතර මැතිඇමැතිවරුන්ට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ද ඒවා අය කරගත යුතුමය. උදාහරණයක් ලෙස කිසිදු රජයේ නිල නිවසක විදුලි බිල්, ජල බිල් සහ දුරකථන බිල් යනාදිය රාජ්‍ය වියදමින් දැරීම වහාම නැවැත්විය යුතු වේ. සියලු රාජ්‍ය වියදම් හොඳින් සිතා බලා සැලසුම් කළ යුතු අතර යටිතල පහසුකම් සඳහා වන රාජ්‍ය වියදම් දැරිය යුත්තේ ඒ සඳහා වන ණය ආපසු ගෙවීමට ආදායම් උපදවන ව්‍යාපෘති සඳහා පමණක් විය යුතුය. රාජ්‍ය මූල්‍ය විනය සහ රාජ්‍ය මූල්‍ය හිඟය ඉතා මැනවින් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සියලු දේ කිරීමේ දී බොහෝ දුප්පත් සහ අවදාමනට ලක්වන පිරිසක් සිටී. ඒ අය ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට ජීවනෝපාය පවත්වාගෙන යෑමට ඉතා හොඳින් සැලසුම් කරන ලද සහ නිසි ලෙස ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ ජාලයක් අවශ්‍ය වේ. එනම් සහනාධාර අත්‍යවශ්‍ය අයට පමණක් සීමාකර අනවශ්‍ය අයට සහනාධාර වැය නොවන පරිදි සියලු සහනාධාර වැඩසටහන් නැවත ප්‍රතිසංවිධානය කළ යුතු වේ. එසේ කිරීමෙන්, සැබවින්ම සහන ලැබිය යුතු වඩා වැඩි පිරිසකට වැඩි මුදලක් ගෙවීමට ද හැකිවනු ඇත. අනවශ්‍ය වියදම් අඩු කරගන්නා අතරම අපගේ රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම ද අවශ්‍ය වේ.

දැනට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 පමණ වන අතර එය ලෝකයේ රටවල අඩුම ආදායම්වලින් එකක් වේ. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු දැල එනම් බදු අය වන ආයතන සහ පුද්ගලයින් ප්‍රමාණය පුළුල් කිරීමට අවශ්‍ය වේ. බදු ගෙවිය යුතු බොහෝ දෙනෙක් බදු පැහැර හරිමින් සිටී. මේ තත්ත්වයන් නිවැරදි කරගෙන තනි තනි පුද්ගලයින්ගේ බදුබර වැඩි නොවෙන පරිදි සහ ගෙවීමට ශක්තිය ඇති පිරිස්වලින් වැඩියෙන් බදු අය වන පරිදි බදු ක්‍රමයේ පුළුල් ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත. මෙසේ කිරීමට නම් බොහෝ දේවල් තිබේ. එහෙත් ඒ සඳහා හරිහමන් රජයක් අවශ්‍ය වේ. ඒ නිසා සියලු දෙනා එක්ව පුළුල් දේශපාලන සම්මුතියකින් පවතින අර්බුදයෙන් මිදීම සඳහා වන පොදුවේ එකඟ වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තවත් ප්‍රමාද නොවී වහාම අරඹන ලෙස අපි ජනාධිපතිවරයාගෙන්, සියලු දේශපාලන පක්ෂවලින් සහ සමාජයේ අනෙකුත් සියලුම පාර්ශ්වයන්ගෙන් ද ඉල්ලා සිටිමු. අවසාන වශයෙන් ද අප අවධාරණය කරන්නේ තම පුද්ගලික න්‍යායපත්‍ර මොහොතකට අමතක කර අර්බුදයෙන් මිදීමට සාමූහික උත්සාහයක ඇති අවශ්‍යතාවයි. මහජනයාට ද මේ වගකීමෙන් මිදිය නොහැකිය. ඔවුන් ද කරුණු තේරුම් ගනිමින් ඉතා ඉවසීමෙන් ඉදිරි කාලයේ දී රටේ වෙනස්කම් කිරීමට සිය සහාය දිය යුතු වේ. එහෙත් වැරදි දේට, එසේම අනුමත කළ නොහැකි දේට විරුද්ධ වීමට ඔවුන්ට හැම විටම අයිතිය තිබේ. එය කළ යුතුව ද තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment